රාවය

EPF මුදල් කොටස් වෙළෙඳපොළ මාෆියාවට යටවීද?

EPF මුදල් කොටස් වෙළෙඳපොළ මාෆියාවට යටවීද?

 

සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට ඇති විශාලතම අරමුදලය. රුපියල් බිලියන 1000කටත් වඩා එම අරමුදල මේ වනවිට විශාලය. මේ මුදල් වූ කලි රජයේ මුදල් නොවේ. සේවකයන් සිය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ඉතිරි කළ මුදල්ය. මේ විශාල අරමුදල සඳහා දැනට නෛතික වශයෙන් රජයේ පාර්ශ්ව දෙකක් වගකීමට බැඳී සිටී. ඒ කම්කරු දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකා මහ බැංකුවය. කම්කරු දෙපාර්තමේන්තුව මෙම අරමුදල සඳහා මුදල් අයකිරීම සිදුකරන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව එම මුදල් පරිපාලනය සිදුකරයි.

මුදල් පරිපාලනය යටතේ මෙම අරමුදලේ මුදල් ආයෝජනය කර ප‍්‍රතිලාභ ලබාගැනීම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වූ අතර භාණ්ඩාගාර බිල්පත් හා රජයේ සුරැුකුම්පත් හරහා රජයට ණය ලබාදීම ඒ යටතේ ප‍්‍රමුඛවම සිදුවිය.

රජයට මුදල් ලබාදීමෙන් ලබාගන්නවාට වඩා ප‍්‍රතිලාභයක් වෙනත් ආයෝජන ඔස්සේ ලබාගත හැකි බවට වූ කතිකාවක් ඔස්සේ ඒ සඳහා නීති සම්පාදනය කිරීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ වැනි ආයෝජන මාර්ගවලද මෙම අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ලැබුණු අතර ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජන වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කරාද ගෙනයනු ලැබීය.

මේ ආකාරයට කොළඹ කොටස් වෙළෙඳපොළ කරා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ගෙනයෑම මුල් අවස්ථාවේ සිටම විවිධ වාද විවාදවලට ලක්වූ කරුණක් වූ අතර අරමුදලට වඩා වැඩි ප‍්‍රතිලාභ ලබාගත හැකි සමාගම්වල එම මුදල් ආයෝජනය කෙරේද යන සැකය එහිදී මතුවිය.
එම සැකය තහවුරු කරමින් රජයේ විගණකාධිපතිවරයා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව වූ වාර්තාවක් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යවරයාට ලබාදී ඇත.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇති ප‍්‍රධානතම කරුණ වන්නේ 2013 ජනවාරි 15 දින වනවිට සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ කර ඇති ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 11ක (රු. 11,737,841,979/-) හෙවත් රුපියල් කෝටි 1100කින් අඩුවී ඇති බවය. එහි සරල අර්ථය වන්නේ සැකයට බඳුන්වූ පරිදිම මෙම මුදල් නිසියාකාරව ආයෝජනය කර නැති බවය. රටේ සිදුවූ දැවැන්තම වංචාව මෙන්ම ආසියාවේ සිදුවූ දැවැන්තම වංචාව වශයෙන් සැලකෙන වැට් බදු වංචාවද රුපියල් කෝටි තුන්සිය ගණනක් වන විට ආයෝජනවල මෙම අඩුවීම එමෙන් තුන් ගුණයක් හා සමානය.
කොළඹ කොටස් වෙළෙඳපොළ යනු මේ වනවිට මාෆියාකාරයන්ගේ රජදහනක් වන බව රටේ බොහෝ අය දන්නා රහසක් වන අතර එය දේශපාලන බලවතුන්ගේ කළු සල්ලි සුදුකරන සූදු පිටියක් වී හමාරය. දේශපාලන කළු සල්ලි සුදු කරන මාෆියාකාරයන්ගේ බලයට නතුවී ඇති කොටස් වෙළෙඳපොළ මාෆියාවන් නතර කිරීම කිසිවකුට කළ නොහැකි බව පසක් කරමින් එහි පාලනයට පත්වීම් ලද බොහෝ පිරිසකට එම තනතුරු හැරදා යන්නට පසුගිය කාලයේ සිදුවිය.

අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව මේ කතාබහ ඇතිවන්නේ එවන් තත්ත්වයක් තුළදීය.

ඉතිං විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් තවදුරටත් සඳහන් කරන්නේ කුමක්ද? සේවක අර්ථසාධක අරමුදල 2010 ජූලි මාසයේදී ගුවන් සමාගමක රුපියල් මිලියන 500ක් යොදා කරන ලද ආයෝජනයක් සම්බන්ධයෙන් 2012 ජූනි 30 දක්වා කිසිදු ආදායමක් අරමුදලට (ඊපීඑෆ්) ලැබී නොමැති බවය. එමෙන්ම එම ආයෝජනය සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව අපූරු පිළිතුරක් ලබාදී තිබෙන බවය. එම පිළිතුර වන්නේ ”අලාභ ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවන මෙම සමාගමෙන් අනාගතයේදී ලාභ ලබාගැනීමට හැකි බවට විශ්වාස කරන බව”ය.

තවද විදුලිබල සමාගමක 2007 අපේ‍්‍රල් මාසයේ සිට 2008 නොවැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2975ක් ආයෝජනය කර තිබුණද, 2008, 2009 හා 2010 යන වර්ෂවලදී ඉන් කිසිදු ආදායමක් ලැබී නැත. එහෙත් 2011 වර්ෂයේදී පමණක් දෙවරකදී ලාභාංශ ආදායම් ලෙස එම ආයෝජනයෙන් රුපියල් මිලියන 540ක් (රු. 540,909,091ක්* ලැබී තිබේ. ආයෝජිත කාලසීමාවට අනුව එම ආදායම වාර්ෂිකව 4%ක් පමණ වන බවත් ඒ සම්බන්ධයෙන් විමසීමේදීද ශ‍්‍රී ලංකා මහ බැංකුව ”2012දී ලැබුණු රු. 216,363,636ක ආදායමද සමග මෙම සමාගමෙන් ලැබුණු වාර්ෂික ආදායම් ප‍්‍රතිශතය 4.9% දක්වා වර්ධනය වී තිබුණු අතර මෙම සමාගම සැලකිය යුතු ලාභ උපයන මට්ටමක පවතින නිසා 2013 වර්ෂයේදී ප‍්‍රමාණවත් ලාභාංශයක් අරමුදලට ලැබීමේ හැකියාවක් පවතින බව” යනුවෙන් පැවසූ බව එම වාර්තාවේ සඳහන්ය.

2011 පෙබරවාරි 23 සිට 2011 නොවැම්බර් 01 දක්වා කාලය තුළ එක් මූල්‍ය සමාගමක රුපියල් මිලියන 205ක් (රු. 205,489,613) අයෝජනය කර තිබුණු බවත්, එසේ ආයෝජනය කිරීමට තීරණය කරනු ලැබූ අවස්ථාවේදී එම සමාගම විසින් අවසාන වරට ප‍්‍රකාශිත ගිණුම්වලින් ප‍්‍රකාශිත පරිදි රුපියල් මිලියන 4285ක අලාභයක් ලබා තිබීම සලකා බලා නැති බවත්, එම සමාගමේ කොටසක් රු. 40.36ක සාමාන්‍ය මිලක් යටතේ මිලදී ගෙන ඇති බවත්, 2012 ජූලි 31 දින වනවිට එම කොටසක වෙළෙඳපොළ අගය රු. 24 දක්වා පහත වැටී ඇති බවත්, එම ආයෝජනයෙන් කිසිදු ආදායමක් අරමුදලට ලැබී නොමැති බවත් විගණකාධි පතිවරයා සඳහන් කරයි. මෙයින් අපට නැවත නැවත ගම්‍ය කරන්නේ මෙම මුදල් ආයෝජනය කිරීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් වැඩි මිලට මිලදී ගැනීම බඳු සෙල්ලම්ද සිදුවී ඇති බවයි.

තවද රුපියල් මිලියන 680ක් ආයෝජනය කර සන්නිවේදන සමාගමක කොටස් මිලදී ගෙන තිබුණද එම කොටස් 2009 වර්ෂයේ සිට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා යොදවා නැති බවත්, එම ආයෝජනයෙන් 2008 හා 2009 වර්ෂවලදී 3.39%ක් බැගින්ද, 2010 වර්ෂයේදී 0.81%ක්ද හා 2011 වර්ෂයේදී 1.67%ක් ද වශයෙන් ලාභාංශ ලැබී තිබුණද එම ආදායම කරන ලද ආයෝජනයට ප‍්‍රමාණවත් නැති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන්ද ශ‍්‍රී ලංකා මහ බැංකුව පිළිතුරු දී ඇත්තේ ”ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රමවේදය තුළ සන්නිවේදන ක්ෂේත‍්‍රය තවදුරටත් වර්ධනය වන බැවින් අනාගතයේදී මෙම සමාගමෙන් අරමුදලට ලැබෙන ලාභාංශ හා ප‍්‍රාග්ධන ලාභ ඉහළ යන බවට විශ්වාසයක් පවතින බව”යි.

2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේදී කොටස් වෙළෙඳපොළේ සමාගම් 11ක කර තිබුණු රුපියල් මිලියන 3555ක ආයෝජනයෙන් කිසිදු ආදායමක් ලැබී නොතිබුණු බවද, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් හෝටල් හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩි කිරීමට දෙන ලද උපදෙස් ප‍්‍රකාරව, 2010 වර්ෂයේ හෝටල් සමාගම් 18ක කරන ලද රුපියල් මිලියන 3882ක ආයෝජන සඳහා 1.31%ක ආදායමක්ද, 2011 වර්ෂයේ හෝටල් සමාගම් 16ක කර තිබූ රුපියල් මිලියන 7219ක ආයෝජන සඳහා 2.4%ක ආදායමක්ද ලැබී ඇති බවත්, රුපියල් බිලියන 6.28ක ණය මුදලක් ගෙවීමට තිබූ හා 2007, 2008, 2009 හා 2010 යන වර්ෂවලදී රුපියල් මිලියන 1500කට ආසන්න අලාභ ලැබූ හෝටල් සමාගමක රුපියල් මිලියන 810ක් ආයෝජනය කර තිබුණ බවත්, ඉන් 2013 ජූනි 30 තෙක් කිසිදු ආදායමක් ලැබී නැති බවත් වාර්තා වේ සඳහන්ය. එසේ වුවද එම හෝටල් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන්ද ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කර ඇත්තේ ”කොළඹ නගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටා ඇති මෙම හෝටල් සමාගමට සංචාරක ක්ෂේත‍්‍රයේ සිදුවන වර්ධනය තුළින් වැඩි ප‍්‍රතිලාභ ලබාගැනීමක් අපේක්ෂා කළ හැකි බව” යන්නය. හෝටල් සමාගම්වල කොටස් මිලදී ගැනීම් හා ඒවායින් ආදායම් නොලැබීම් සම්බන්ධයෙන් වූ අනෙකුත් ගනුදෙනු සම්බන්ධයෙන්ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිචාර වෙනසක් නැති අතර ‘අනාගත අපේක්ෂා’ යන්න ඒ හැම පිළිතුරකම පොදු හරය බවට පත්වී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාවන් එසේ වුවද 2008, 2009. 2010 හා 2011 වර්ෂ සඳහා කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් පිළිවෙළින් එම වර්ෂ සඳහා ලැබී ඇති ආදායම 8.94%ක්, 24.18%ක්, 6.84%ක් හා 4.08%කි
මේ තත්ත්වය නිසාම විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් අවධාරණය කරන්නේ සේවක අර්ථසාධක අරමුදල් පනතේ බලතල ප‍්‍රකාරව එම අරමුදලේ භාරය දැරීම හා එහි අතිරික්ත මුදල් පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පැවරී ඇති බලතල ක‍්‍රියාත්මක කිරීමේදී කම්කරු කොමසාරිස්වරයාට හා කම්කරු විෂයභාර ඇමතිවරයාට පැවරී ඇති බලතල සලකා බලා මෙම විශාල අරමුදලේ ආයෝජන කටයුතුවලදී ඔවුන්ගේ නියෝජනයන්ද ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කරන බවයි.

කරුණු එසේ වුවද මෙම විගණකාධිපති වාර්තාවේ ඇති කරුණු හෙළිදරව් වීමත් සමගම කලබලයට පත්වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ නිකුත් කරන්නට යෙදුණි. එහිදී එම දෙපාර්තමේන්තුව කීවේ අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ පාඩුවයැ’යි පවසන කරුණු සත්‍ය නොවන බව හා ඒවා කොටස් වෙළෙඳපොළ මිලෙහි ඇතිවන වෙනස්කම් ගැළපීමෙන් පෙන්වා දී ඇති පාඩු බවයි. එමෙන්ම එම කරුණු දැක්වීම්වල සඳහන් වූයේ 2009දී 13.75%ක්ද, 2010දී 12.5%ක්ද, 2011දී 11.5%ක්ද, 2012දී 11.5%ක්ද හා 2013දී 11%ක් වශයෙන් සාමාජිකයන්ට අර්ථසාධක අරමුදල ප‍්‍රතිලාභ ගෙවා ඇති බවයි.

එමෙන්ම අර්ථසාධක අරමුදල 2009දී රුපියල් බිලියන 101.7ක්ද, 2010දී රුපියල් බිලියන 111.5ක්ද, 2011දී රුපියල් බිලියන 107.5ක්ද, 2012දී රුපියල් බිලියන 111.8ක්ද හා 2013දී රුපියල් බිලියන 125.6ක්ද ලාභ ලබා ඇති බවයි.

එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුව නොකියන කරුණ වන්නේ අරමුදලේ අගයට සාපේක්ෂව අදාළ වර්ෂවලදී ලැබූ ලාභය ප‍්‍රතිශතයක් වශයෙන් කොපමණද යන්න හා එය ආයෝජන ආදායම්වල වර්ධනයක්ද නැද්ද යන්නය.

අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සද්භාවයෙන් හා නියමාකාරයෙන් එය සිදුකළේ නම් ඒ සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවී ඇති මේ අවස්ථාවේදී එහි සියලූ තොරතුරු රටට හෙළිදරව් කළ යුතුය. එම තොරතුරුවලට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇති සමාගම් නාමලේඛනය, එම සමාගම්වලින් මිලදී ගෙන ඇති කොටස් ප‍්‍රමාණය හා ඒවාහි මූල්‍යමය අගය, එම කොටස් මිලදී ගැනීමේ අවස්ථාවේ සිට මේ දක්වා එම කොටස්වල මිල වෙනස්වීම් ආදිය ඊට ඇතුළත් විය යුතුය.

එවිට විගණකාධිපති වරයාගේ වාර්තාවටත් ඔබ්බට ගොස් සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට මෙන්ම රටේ පොදු මහජනයාටද මෙම අයෝජනවලට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සැබෑ අවබෝධයක් ලබාගත හැකිය.

අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යවරයාට යොමුකර ඇති වාර්තාවේද එම ආයෝජන සමාගම් මොනවාද යන්න සඳහන් කර නැත. එම නිසාම මෙම ආයෝජන සමාගම් මොනවාද යන්න තවදුරටත් රහසක්ව පවතී. එහෙත් 2010 ඔක්තෝබර් මස 16 දින එවක එජාප පා.ම. දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කම්කරු සබඳතා හා ඵලදායිතා ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ජගත් බාලසූරිය මහතා අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ අයෝජනය කර ඇති සමාගම් 76ක ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ රුපියල් මිලියන 100කට වැඩි ආයෝජන හා රුපියල් මිලියන 100කට අඩු ආයෝජන වශයෙන් සමාගම් නම්කරමින්ය. මේ එම සමාගම් ලැයිස්තුවය.

සේ.අ.අ. ආයෝජනය කර ඇති සමාගම් (මිලියන 100කට වැඩි)

1. අහුන්ගල්ල හෝටල් සමාගම, එයිට්කන් ස්පෙන්ස් සමාගම, ඒෂියන් හෝටල් සමාගම, අමායා ලෙෂර් හෝටල් සමාගම, කොමර්ෂල් බැංකුව, කැල්ටෙක්ස් සමාගම, කාර්ගිල්ස් සමාගම, සිලෝන් ග්ලාස් සමාගම, සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් සමාගම, සිලෝන් තියටර් සමාගම, කෝල්ඞ් ස්ටෝර්ස් සමාගම, සීඅයිසී සමාගම, ඞීඑෆ්සීසී බැංකුව, ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් සමාගම, ඩයලොග් සමාගම, ඩොක්යාර්ඞ් සමාගම, ගලදාරි හෝටල් සමාගම, හේකාබ් සමාගම, හේලීස් සමාගම, හේලීස් එම්ජිටි නිටිං සමාගම, හේමාස් සමාගම, හොටේල් සර්විසස් සමාගම, එච්එන්බී බැංකුව, ජේකේඑච් සමාගම, කීල්ස් හෝටල සමාගම, ලයිට්හවුස් හෝටලය, එල්අයි ඕසී සමාගම, ලංකා ටයිල්ස් සමාගම, ලංකා වෝල්ටයිල් සමාගම, එන්ඞීබී බැංකුව, නවලෝක සමාගම, ඕවර්සීස් රියැලිටි සමාගම, රයිගම වයඹ සමාගම, රිචඞ් පීරීස් සමාගම, රෝයල් සෙරමික් සමාගම, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ටැන්ජරින් හෝටල් සමාගම, ටාජ් ලංකා හෝටල් සමාගම.

සේ.අ.අ. ආයෝජනය කර ඇති සමාගම් (මිලියන 100කට අඩු)

ඒසීඑල් කේබල්ස් සමාගම, ඇපලෝ රෝහල් සමාගම, ආසිරි මෙඩිකල් සමාගම, ඩර්ඩන්ස් සමාගම, ඊනින් හෝටල් සමාගම, ග්රේන් එලිවේටර්ස් සමාගම, නෙස්ලේ සමාගම, සියෙරා කේබල්ස් සමාගම්, ටෝකියෝ සිමෙන්ති සමාගම, ට‍්‍රාන්ස් ඒෂියා හෝටලය, ඒසීඑල් ප්ලාස්ටික් සමාගම, අගලවත්ත වතු සමාගම, ආසිරි රෝහල් සමාගම, බලංගොඩ වතු සමාගම, බොගවන්තලාව වතු සමාගම, බ‍්‍රවුන්ස් සමාගම, බ‍්‍රවුන්ස් බීච් හෝටල් සමාගම, සී.ඩබ්ලිව්. මැකී සමාගම, කලම්බු ලෑන්ඞ් සමාගම, ඩිස්ටිලරීස් සමාගම, හේමාස් පවර් සමාගම, කෑගල්ල වතු සමාගම, කැලණි කේබල්ස් සමාගම, කැලණිවැලි වතු සමාගම, කුරුවිට ටෙක්ස්ටයිල් මිල්ස් සමාගම, ලංකා ඇලූමිනියම් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම, ෆෙගාසස් හෝටල් සමාගම, රේණුකා සිටි හෝටල් සමාගම, සෙරෙන්ඩිබ් හෝටල සමාගම, සීගිරිය විලේජ් හෝටල් සමාගම, සිංගර් ශ‍්‍රී ලංකා සමාගම, ස්ටැෆර්ඞ් හෝටල් සමාගම, තලවකැලේ වතු සමාගම, ටී. ස්මෝල් හෝල්ඩර්ස් ෆැක්ටරිස් සමාගම, වැලිබල් පවර්ස් සමාගම හා වටවල වතු සමාගම.