දුඹුරුවන් මිනිසුන් ඉතිරි කළ ටං ටං ගාන මතකය

දයාරත්න අමු ගඩොල් කැටයක් දයාවෙන් යුතුව පිරිමැද්දේය. මාසේ පොහොයත් අවසන්ය. දුර ඉඳන් එන වැහි කළුව ළං වෙමින් තිබේ. ඉදින් මැයි මාසේ ඉඳන් දිගටම වැස්සය. දයාගේත් අත ඉක්මන් වෙයි. අනාගත් මැටි කැට අතින් කඩාගෙන එකසේම දයාවෙන් අච්චුවෙහිලා ගඩොල් කැට පහ බැගින් සාදා ගන්නා දයාරත්න ඒවා සීරුවට ගෙන ගොස් වේලෙන්නට තබයි. ගඩොල් පෝරණුවෙන් එළිමහනේ භූමියක ඒවා වේළෙන්නට එක පේළියට තබන එකට ඔවුන් ව්‍යවහාර කරන්නේ කන්දේ හිටවනවා යනුවෙනි. ගඩොල් කැට පන්හය සියයක් කන්දේ සිටුවා තිබේ. ඒත් ළ`ග ළ`ගම වැස්සය. ඒවා ඝනැති කළු ඉටි රෙදිවලින් වසා දැමෙමින් තිබුණේ එනිසාය.

ඉංජිනේරු ගඩොල්

යසරත්න පටන් ගන්නකොටම කීවේ දැන් ගඩොල් කර්මාන්තය අන්තිමට වැටී ඇති බවකි. පහළ හංවැල්ලෙන් ගම ඇතුළට හැරී මද දුරක් ගිය විට හමුවන පුස්ඇලි ඔය ආසන්නයේ ගඩොල් හිමියකු වූ යසරත්න දයාරත්නගේ සේව්‍යයාය.

ගඩොල් කර්මාන්තය වැටෙන්න පටන් ගත්තේ බ්ලොක් ගලයි ලොකු ගඩොලයි ආවට පස්සේ. මේකෙන් ගල්වරි තුනක් කියන්නේ බ්ලොක් ගලෙන් එක ගල් වරියයි. ඉතින් බ්ලොක් ගලට සිමෙන්ති යන්නේ අඩුවෙන් හැබැයි ඉංජිනේරු ගඩොලෙන් ගෙයක් බැන්දොත් කල්ප කාලයක් පවතිනවා. බ්ලොක් ගල උපරිම අවුරුදු 15යි නැත්නම් 20යි. යසරත්න ගඩොල් පෝරණු කර්මාන්තය පටන්ගෙන තිබුණේ 1982දීය. කැලණි ගෙ`ගන් එහා පැත්තේ ගමක් වූ තිත්තපත්තර සිට ගෙ`ගන් මෙහා පහළ හංවැල්ලට පැන්න යසරත්න මුලින්ම කළේ ගඩොල් අදින පටවන රස්සාවය. ක‍්‍රමයෙන් මුදල් ටිකක් එකතු කරගත් හෙතෙම වසර කිහිපයක අවෑමෙන් ගඩොල් පෝරණු සතරක අයිතිකාරයකු වූයේය. එකක් මගේ. අනික් තුනම මම කළේ බද්දට අරන්. මං ගාව සෑහෙන පිරිසකුත් වැඩ කළා. දැන් ගඩොල්වලට ලොකු ඉල්ලූමක් නැති නිසා මගේ පෝරණුවේ විතරක් ගඩොල් ටිකක් හදාගෙන ජීවත් වෙනවා.

කර මැට්ට හා වැලි මැට්ට

ගඩොල් කැපීමට උචිත මැට්ට හඳුන්වනු ලබන්නේ කර මැට්ට යනුවෙනි. තනිකර මැටි යන්න එහි අරුතයි. වැලි මැට්ට යනු වැලි මිශ‍්‍ර වූවකි. ඒ දෙකෙහිම සමානුපාතික මිශ‍්‍ර කිරීමෙන් තොරව ප‍්‍රමිතිගත ගඩොලක් නිපදවිය නොහැකිය. තනිකර මැට්ටෙන් එනම් කර මැට්ටෙන් පමණක් ගඩොල් කැපීම ඒවා ඉක්මණින් ඉරිතලා බිඳීයාම්වලට හේතුවන්නකි. මැටි දෙවර්ගය හොඳින් එකට අනා නිසි පදම ගෙන අච්චුවෙහිලා කපා අව්වේ වේලා අනතුරුව පෝරණුවේ දින පහක් පුච්චා ගැනීමෙන් රත් පැහැයෙන් දිදුලන ගඩොලක් නිෂ්පාදනය කර ගත හැකිය. පහළ හංවැල්ල, ආටිගල, ජල්තර, කඩුවෙල, පූගොඩ ආදී බොහෝ ප‍්‍රදේශවල ගඩොල් නිෂ්පාදනය කැරුණු අතර පූගොඩ මැටි කපා ගැනීමට ඉඩම් අහිමි වීම නිසා ගඩොල් කර්මාන්තය 90%කින්ම ඇනහිට තිබේ. පූගොඩ මැට්ටෙහි එක් විශේෂත් වයක්ව තිබුණේ එම මැටිවලට වැලි මැට්ට මිශ‍්‍ර කිරීමට අවශ්‍ය නොවීමය. එනම් වැලි නිසි පදමට මිශ‍්‍රිත ගඩොල් කැපීමට උචිත පසක් එහි තිබිණි. මීට පෙර අවදියක මුල්ලේරියාවේද ගඩොල් නිෂ්පාදනය කැරුණු අතර මැටි හා වැලි පස සපයා ගැනීම දුෂ්කර වීම හේතුවෙන් ප‍්‍රදේශයෙන් එම කර්මාන්තය නතර වී තිබුණි. විශේෂයෙන්ම මේ ඇතැම් ප‍්‍රදේශවල ඉඩම් මිල ඉහළ යාම නිසාත් ගඩොල් නිෂ්පාදනය සඳහා ඉඩම්වල පස් කැපීමෙන් ඒසා ලාභයක් ලබාගැනීමට නොහැකි වීමත් එම ප‍්‍රදේශවල ගඩොල් නිෂ්පාදනය ශීඝ‍්‍රයෙන් ආපසු ගමන් යාමට හේතු විය.

වියදම්

කර මැට්ට හා වැලි මැට්ට මිශ‍්‍රිත මැටි ට‍්‍රැක්ටරයක එනම් මැටි කියුබ් එකක මිල රු.දහසකි. වැලි මැට්ට හා කර මැට්ට නිසි පදම එනතුරු පෑගීම සඳහා එක් පුද්ගලයකු සහ ගවයන් දෙදෙනකු අවශ්‍යය. මැටි කියුබ් එකක් පෑගීම සඳහා ගවයන් දෙදෙනාට රු.200කුත් මැටි පාගන්නාට රු.1000කුත් කුළිය වශයෙන් ගෙවිය යුතුය. ඊට අතිරේකව ගඩොල් කපන ස්ථානය දක්වා පාගන ලද මැට්ට ප‍්‍රවාහනය සඳහා ට‍්‍රැක්ටර් කුළිය රු.700කි. මේ අනුව මැටි කපා පාගා ගඩොල් කපන ස්ථානය දක්වා ගෙන එන කි‍්‍රයාවලිය සඳහා ගඩොල් නිෂ්පාදකයකු රු.3000 පමණ වැය කළ යුතුය.

ගල් කැපීම

ගඩොල් කැපීම හරි අපූරු වැඩකි. අපිට මුලින්ම හමුවන විට දයාරත්න නිමග්නව සිටියේ ඒ කාර්යයෙහිය. ශක්තිමත් කකුල් සහිත මේසයක් මත 8×4×2 අච්චුව තබා පදම් කළ මැට්ට දෑතින්ම ගෙන අච්චුවෙහිලා සිහින් කෝටුවකින් උඩ මැට්ට කපාගත් විට අමු ගඩොලක් නිර්මාණය වෙයි. අච්චුව මේසය මත ස්ථානගත කිරීමට පෙර කුඩුවැල්ලෙන් ස්වල්පයක් ගෙන මේස ලෑල්ල මත ඇතිරිය යුතුය. කුඩුවැල්ල කියුබ් එකක මිල රු 5000කි. ගඩොල අච්චුවේ ගානට තබා කපා ගන්නේ තාඹු ලීයෙනි. සෑම කැපීමක් අවසානයෙහිම තාඹු ලීය වතුරට ඔබනු ලබයි. ඒ ලීය මැටි රහිතව සුමට බවින් යුතුව හැම විටම මේ කාර්යයට යොදා ගැනීම පහසු කරවනු පිණිසය. කුඩුවැල්ල අතුරන්නේ ගල් එකිනෙක ඇළවීම වැළැක්වීම සඳහාය. එලෙස කපන ගල් ලෑලි කැල්ලක් මත හෙළන අතර ගල් පහක් කුඩා ලෑලි කෑලි පහක් මත එක උඩ එක තබා සකස් කර ගැනීමෙන් පසු වේළෙන ස්ථානයෙහි හෙවත් කන්දෙහි සිටුවීම කරනු ලබයි. ගල් දහසක් කැපීමේ ගාස්තුව රුපියල් 1000කි. අපට හමුවූ දයාරත්න ශූර ගඩොල් කපන්නෙකි. අවිස්සාවේල්ලේ පෙතං ගොඩ සිට පහළ හංවැල්ලට එන ඔහු සතියකට දෙකකට හෝ මසකට වරක් ගෙදර යයි. එතෙක් දයාරත්න ජීවත්වන්නේ පෝරණුවට නුදුරින් තනාගත් කුඩා පැළකය. එහි ලෑලි සයනයකි. ලූණු පොල් කට්ටේ සිට කෑම පීසිමට අවශ්‍ය සෑම දෙයක්ම එහි තිබිණි. මේක පරිස්සමින් කරන්න ඕනෙ රස්සාවක්. මැට්ට අස්සට බැරිවෙලාවත් ගල් කැටයක් ගියොත් ගඩොල් පුපුරනවා. පිරිසිදුව මැට්ටක් තිබුණොත් දවසකට ගල් 1500ක් වත් කපාගන්න පුළුවන්. මටත් ශුද්ධ කරලා ගන්න වෙන මැට්ටකින් නම් ගල් 1350ක් විතර කපාගන්න පුළුවන්.

කූඩු තැබීම

අමු ගඩොල් කන්දේ සිටුවා මදක් වියළි ස්වභාවයට පත් වූ විට කූඩු තැබීම සිදුකරයි. එනම් ගඩොල් දෙකක් මත එකක් කෝණාකාර හිඩැසක් සෑදෙන පරිදි තැබීමය. එවිට ඒ හිඩැස් අතුරින් සුළංවැදී ගල තවදුරටත් වේළීම සිදුවෙයි. මේ අවස්ථාව වනවිට මෙතෙක් දුඹුරු පැහැගත් ගල සුදු පැහැයට හැරෙන අතර එබෙන ස්වභාවයද නැතිවී යයි. ඉන් පසුව අතින් ගත හැකි ගල පිච්චීම සඳහා පෝරණුවෙහි අඩුක් කිරීම සුදුසුය.

කැටය හා පිචාරුව

ඒ දෙකම ඇත්තේ පෝරණුව තුළය. පෝරණුව ඇත්තේ පළ දෙකට ගැසූ උස පොල් අතු මඩුවක් තුළය. හංවැල්ල, කඩුවෙල, පූගොඩ ආදී ප‍්‍රදේශවල පෝරණු මිනිසකු සිටගත් විට ඔහුගේ බඳ හරියට බැඳ ඇති අතර මැද විශාල කුහරයේ සිට පොල් අතුවහලයේ මුදුනට අඩි දෙක තුනක් පහළ අවකාශය දක්වා ගල් අඩුක් කරයි. පෝරණුවෙහි බිම් මට්ටමෙහි දර දමන අර්ධ වෘත්තාකාර කවුළු දෙකක් හෝ තුනක් ඇති අතර දර ඇතුළු කරන එම කවුළුව කැටය යනුවෙන් හඳුන්වයි. පෝණුව ඇතුළත දර තැන්පත් කරන දිගු කාණුවක් බඳු ස්ථානය හඳුන්වන්නේ පිචාරුව යනුවෙනි. පිචාරුවට දෙපැත්තෙන් දර ඇතුළු කළ හැකිය. පිචාරුව නම් ස්ථානය ගල් අඩුක්කිරීමේ ක‍්‍රමවේදය විසින්ම නිර්මාණය කර දෙන්නකි. යසරත්න කීවේ පෝරණුව තුළ ගල් අඩුක් කිරීමේදී ගිනි රස්නය මුදුනතෙහි ඇති ගල් දක්වා වදින ලෙස ගිනි කැට තබන බවය. එනම් ගල් අඩුක් කිරීම අතර ස්ථාන කිහිපයකින් රස්නය මතුපිටට එන්නට අවකාශ ඇති වන පරිදි තබන හිඩැස්ය. පෝරණුවෙහි මැද හා මුදුනතෙහි ඇති ගල් පවා රත් පැහැ ගැන්වෙන පරිදි පිච්චෙන්නේ ඒ කි‍්‍රයාවලියෙනි. හොඳින් පිච්චුනු ගලකට තට්ටු කරන විට ටං ටං හ`ඩ න`ගන අතර කළු වැදී හරි හැටි ගිනි නොවැදුණු ගල් දඹුගිය ඒවා ලෙස හඳුන්වයි. ඒවා යළි වතාවක හරි හැටි පුච්චාගත යුතුය.

දල්වා ගැනීම

මගේ පෝරණුවේ එක වතාවකට ගල් 15000ක් පුච්චනවා. ඒකට දර ලොරියක් ඕනෙ. වල් දර ලොරියක් රු.13000යි. අමු දර කොටන් කැටෙන් ඇතුළට දාලා පිචාරුවේ හරියට අඩුක් කර ගන්න ඕනෙ. ඊට පස්සේ අ`ගුර හරියට හදාගෙන ටික ටික ගින්න බෝ කර ගන්නවා.

කැප අකැප

ඉන් නොනැවතුණු යසරත්න ගඩොල් කර්මාන්තය තුළ පැවති පැරණි විශ්වාස ගැනත් කීවේය. පෝරණුවත් තනි කරන්නේ නැහැ. කිළි හොඳ නැහැ. ඒ කාලේ ගෑනු කෙනෙක් පෝරණුවක් ළ`ගට එක්කගෙන එන්නේ නැහැ. අද නම් ගෑනු කට්ටිය මේවයේ වැඩත් කරනවා. මමත් හරි පුදුම අත්දැකීම් ලබලා තියනවා. ගඩොල් පෝරණු පාළුවට ගිය තැන් නිසා අමනුස්ස බැල්ම තියන තැන් කියලා පැරණි විශ්වාසයක් තිබුණා. ඉස්සර මම එක කැටේකින් දර දාලා ගින්දර පත්තු කරනකොට අනික් පැත්ත කැටෙනුත් කවුරි හරි දර දානවා මට ඇහෙනවා. සමහරවිට අමනුස්ස හ`ඩවල් ඇහිලා තියනවා. දැන්නම් වටේම ගෙවල් නිසා ඒවා මොකුත් නැහැ.

පෝරණුව කඩා දැමීම

දින තුනක් එක දිගට ගල් පිච්චෙන්නට ඉඩ හළ යුතුය. ඊළ`ග දින දෙකෙහි ගල් නිවෙන්නට ඉඩ හැරීමෙන් පසු පෝරණුවේ කවුළුව දෙසින් ගල් ගලවා ඉවත ගැනීමේ අවස්ථාව එළඹේ. හංවැල්ල ප‍්‍රදේශයේ පෝරණු මුළුමනින් බිමට සමතලා නොකරයි. ඒ එම පෝරණු යම්තාක් දුරකට වරිච්චි ගසා ස්ථිරව බැඳ ඇති නිසාය. කොච්චිකඬේ පැත්තේ ගඩොල් පෝරණු මුළුමනින් කඩා දමා ගල් ඉවත් කර ගන්නා ක‍්‍රමවේදයට සකසා ඇත.

ගල් මිල

පහළ හංවැල්ලේදී අපට හමුවූ පෝරණු කර්මාන්තයේ නියුතු වූවකු වන ජයරත්න කීවේ නිෂ්පාදන වියදම් ගිය පසු ලාභයක් ඉතුරු නොවන කර්මාන්තයක් බවට මෙය පත්වී ඇති බවය. ගල් දහසක මිල රු.6000 කි. දෛනික වැටුපට වැඩකරන සේවකයන්ගේ යැපුම් මාර්ගයක් පමණක් බවට අද වන විට මෙය පත්ව ඇති බවත් හෙතෙම කීවේය. පස් ට‍්‍රැක්ටරයකින් ගල් 1350ක් කැපීම හා එම පස් ට‍්‍රැක්ටරය වැඩ බිමට ගෙන ඒම සඳහා යන වියදම සසඳා බලන විට ජයරත්නගේ කතාව සත්‍යයක් බව පසක් වෙයි.

දුඹුරුවන් මිනිස්සු

ගඩොල් පෝරණු ආශි‍්‍රතව දුඹුරුවන් මිනිසුන් දක්නට ලැබෙන්නේ සවස් වන විටය. අපට හමුවූ යසරත්නත්, ජයරත්නත්, දයාරත්නත් යන තිදෙනාම කීවේ තරුණ පරම්පරාවේ අය මේ රස්සාවට නොඑන නිසා තමන්ගේ ඇවෑමෙන් ගඩොල් කර්මාන්තය ඇන හිටින්නට ඉඩ ඇති බවය. සැබැවින්ම දවස පුරා මඩ ගාගෙන හවස් වන විට ඒවා ඇ`ගටම වේලී දුඹුරුවන් මිනිසුන් බවට පත්වීමට නව පරපුර නොරිසිය. එහෙත් මේ දුඹුරු මිනිස්සු අපූරු කර්මාන්තයක් දැන සිටිති. ඒ කර්මාන්තය ක‍්‍රමයෙන් අවසැඟව යමින් තිබුණත් ඔවුන් නිසි ප‍්‍රමිතියට සැදු තට්ටු කරන විට ටං ටං ගාන රතු ගඩොල් කැටයක බුහුටි බව නම් අමතක කළ නොහැකිය.