ටිරාන් මුදාහැරීම අසාමාන්‍යයි


LLeed

තිවංක සපරමාදු

පසුගිය රජය කාලයේ 2006 වසරේදී රාඩා ආයතනයේ සිදුවූ රුපියල් මිලියන 124ක් වටිනා පොදු දේපළ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි, ව්‍යාපාරික හා මව්බිම පුවත්පතේ අයිතිකරු ටිරාන් අලස් රක්‍ෂිත බන්ධනාගාරයෙන් මුදාහරිමින් පසුගිය 8 වැනිදා අභියාචනාධිකරණය දුන් නියෝගය අධිකරණයේ සාමාන්‍ය පිළිවෙතින් බැහැරව සිදුවීම නීති ක්‍ෂෙත්‍රයේ විමතියට හේතුවී තිබේ.

ටිරාන් අලස් මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියේ කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 2වැනිදා දුන් නියෝගයක් අනුවය. ඒ ඔහු සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මහාධිකරණය ඉදිරියේ විභාග වන නඩුවේදීය.
එම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට එරෙහිව අලස් මහතා අභියාචනාධිකරණයට ාවැම්බර් 7වැනිදා එය අභියාචනාධිකරණය ඉදිරියේ විමසීමට ගන්නා ලදි. එහෙත් ඒ මේ නඩුවේ වැදගත්ම පාර්ශ්වය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් නොමැතිවය. මහාධිකරණ නඩුවේදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි අවස්ථාවක අධිකරණය ඉදිරියේ නොසිටීම වැදගත් අඩුවක් වන අතර, රාවයට දැනගන්නට ලැබෙන අන්දමට ටිරාන් අලස් මහතාගේ ප්‍රතිශෝධන ඉල්ලීම ගැන නොතීසි නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන්නේද 7වැනිදාය.
සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ නියෝජනයක් අත්‍යවශ්‍ය වන මෙවැනි නඩුවකදී නීතිපතිවරයා පෙනී නොසිටින්නේ නම්, ඔහුට පෙනී සිට කරුණු දැක්වීම සඳහා නැවත දිනයක් ලබාදීම සාමාන්‍ය අධිකරණ පිළිවෙත වන නමුත්, මෙහිදී එම පිළිවෙත අනුගමනය කර නැත. මේ නිසා පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කරුණු අභියාචනාධිකරණය ඉදිරියේ කියාපෑමේ අවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුවට අහිමි විය.
7 වැනිදා අලස් මහතාගේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට පමණක් කන්දුන් දෙදෙනකුගෙන් සමන්විත (එල්ටීබී දෙහිදෙණිය, එච්සීජේ මඩවල) අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය 8වැනිදාම සිය නියෝගය ලබාදෙමින් අලස් මහතා මුදාහැරියේය.
පොදු දේපළ පනත යටතේ ඇප ලබාදීම සම්බන්ධ ප්‍රතිශෝධනයක් ඉල්ලා සිටි විට සාමාන්‍යයෙන් ඉහළ අධිකරණයෙන් කෙරෙන්නේ ඇප කොන්දේසි වෙනස් කිරීම මිස කිසිදු ඇපයක් නැතිව මුදාහැරීම නොවේ. එහෙත් මෙහිදී අභියාචනාධිකරණය, ටිරාන් අලස් මහතා කිසිදු කොන්දේසියක් නැතිව සම්පූර්ණයෙන්ම මුදාහැරියේ නැවතත් 10 වැනිදා මහාධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වමිනි.
කෙසේ වෙතත් 10වැනිදා මහාධිකරණය ඉදිරියේ පෙනීසිටි විට මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන, ටිරාන් අලස් මහතා ඇතුළු සැකකරුවන් එක් පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 5ක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 25 බැගින්වූ ශරීර ඇප මත මුදාහැරියාය. ■