Saturday, 19/8/2017 | 5:29 UTC+0
රාවය

ළමා විවාහද? ජීඑස්පී ප්ලස්ද?

කේ. සංජීව ඡායා: සමීර වීරසේකර

පසුගිය නොවැම් බර් මස තුන්වැනි දින කොළඹ මාලිගාවත්තේදී අපූරු උද්ඝෝෂණයක් පැවැත්විණි. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ තව්හිඞ් ජමාත් නම් මුස්ලිම් සමාජය විසිනි. මෙහි හරි අපූරු සටන් වැකි බොහෝ තිබුණි. ‘විවාහයට වයස් සීමාවක් පැනවීම ප්‍රයෝගික නැත, මුස්ලිම් කාන්තාවක වැඩිවිය පත්වුවා නම් විවාහවීමට කැමති නම්, සහකරුවෙකු සිටී නම් ඇයට විවාහය සිදුකර ගැනීමට පූර්ණ අයිතියක් ඇත, වෙනිසියුලාවේ පිරිමි සහ කාන්තා විවාහක වයස අවුරුදු දොළහකි. මෙය මානව හිමිකම් කැඩීමක්ද?’ මේ ඒ වැකිවලින් මගේ මතකයේ රැඳුණු කිහිපයක් ය. මොවුන් මේ උද්ඝේාෂණ යෙන් ඉල්ලන්නේ කුමක්ද? මේ ඉල්ලීමට හේතු මොනවාද? මේ නිසා මුස්ලිම් සමාජයේ මෙන්ම පොදුවේ ලංකාවේ ජනසමාජය තුළ මේ වනවිට ඇතිවී තිබෙන තතු කවරේද?

පසුබිම
2010 අගෝස්තු 15 වැනිදා සිට ඉදිරියට අප රට සඳහා ජීඑස්පී ප්ලස් නැතිනම් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය ක්‍රියාත්මක වීම යුරෝපා සංගමය විසින් අත්හිටුවන ලදි. එයට හේතුව ලෙස එකල ඔවුන් කීවේ අප රට තුළ මානව හිමිකම් තත්ත්වය සුබදායක නැති බව ය. මෙම බදු සහනය නිසා අපට තීරු බදු රහිතව යම් යම් භාණ්ඩ යුරෝපීය රටවලට අපනයනය කිරීමට හිමිකම සැලසුණි. ඒ නිසාම අපට අඩු තරගකාරීත්වයකට මුහුණදෙමින් බදු රහිත මිලකට අපේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහෙත් මෙම බදු සහනය නොමැතිව ගෙවී ගිය පසුගිය කාලයේදී අපට අපගේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළ තුළ අලෙවිකර ගැනීමේදී ඉහළ තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවීය. මේ නිසා අපට යුරෝපය තුළ වෙළෙඳපොළ අවකාශය තුනී විය. එය රටේ සමස්ත ආර්ථිකයේ විශාල පසුබෑමකට හේතුව විය. මේ තත්ත්වය තුළ විශේෂයෙන් ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය විය. මේ බදු සහනය නැවත ලබාදීමට නම් රට තුළ මානව හිමිකම් තත්ත්වයේ සංවර්ධනයක් කළයුතු බව යුරෝපා සංගමයේ අදහස වූ අතර ඔවුහු ඒ සඳහා අප රටට කොන්දේසි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළෝය. එහෙත් පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ මේ පිළිබඳව තැකීමක් නොකළ තත්ත්වය නිසා බදු සහනය නැවත අප රටට ලැබීම එන්න එන්නම ප්‍රමාද විය. එහෙත් යුරෝපා සංගමය අප රටට ඉදිරිපත් කළ කොන්දේසි යෝජනා බොහොමයක් පොදුවේ අප ප්‍රජාවට බෙහෙවින් හොඳ සහ දියුණු රටකට සුබ විය. එහෙත් එවක පාලකයෝ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වැනි වචනවලට මුවාවෙමින් මේ කොන්දේසි ඉටුකිරීම පැහැර හැරියෝ ය.
දැන් නව ආණ්ඩුව මේ සාකච්ඡා නැවත සක්‍රීය තලයකට ගෙනැවිත් ඇත. ඒ සාකච්ඡා තුළද මේ මානව හිමිකම් පිළිබඳ කොන්දේසි සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ. මේ කොන්දේසි මාලාවද රටේ මානව හිමිකම් අනාගතයට හොඳය. ඒ නිසා මේ කොන්දේසි ආණ්ඩුව ඉටුකළ යුතු බව අපේ හැඟීමයි. අනෙක් පැත්තෙන් මේ කොන්දේසි ඉටුකිරීම නිසා නැවත රට තුළට විශාල ආර්ථික වාසියක් හිමිවෙනු ඇති. මෙම සාකච්ඡාවේදී එක් කොන්දේසියක් ලෙස මුස්ලිම් විවාහ පිළිබඳ විශේෂ නීතිය සංශෝධනය වියයුතු බව යුරෝපය කියයි. එහිදී ඔවුන් කියන්නේ ළමා විවාහ අද ලෝකයේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් සේ සලකන බැවින් මේ නවීන ලෝකයට නොගැළපෙන නීතිය අද ලෝකයට ගැළපෙන සේ වෙනස් වියයුතු බවයි. මේ සංශෝධනයට ආණ්ඩුව සිය කැමැත්ත පළකර ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ නිසා මීට වසර හතකට පෙර මේ නීතිය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සලීම් මර්ෂුෆ් කමිටුව (එවක ඔවුන් වාර්තාවක් ලබා දී නැත) නැවත සක්‍රීය තත්ත්වයට පත්කර ඇති බවත් දැනගන්නට ඇත. මේ තත්ත්වය තුළ අන්තගාමී මුස්ලිම් කල්ලි කණ්ඩායම් පාරට බැස ඇත. ඔවුන් සමස්ත මුස්ලිම් සමාජයම මේ තත්ත්වය පාවිච්චි කරමින් නොසන්සුන් තාවකට පමුණුවා ඇත. පසුගිය නොවැම්බර් තුන දා උද්ඝෝෂණය ද එහිම දිගුවකි. එහිදී ශ්‍රී ලංකා තව්හිඞ් ජමාත් මහලේකම් ආර්. අබ්දුල් රාසික් දේශනයක් කරමින් ගුගුලේ තමන් ගලබඩ අත්තේ හිමියන්ගේ එක කුස සොහොයුරෙකු ලෙසය. එම කතාව මේ ලිපිය තුළ පසුව ඔබට මුණගැසෙනු ඇති.

මොකද්ද විවාහය ගැන මුස්ලිම් නීතිය
මුලින්ම මුස්ලිම්වරුන් අතර තිබූ නීති, පොත්වල ලියන්නේ යටත් විජිත සුදු පාලකයන්ය. ඒ 1801 තරම් ඈතකදී ය. ඊළඟට මේ නීති සංශෝධනයට ලක්වන්නේ 1951දී ය. 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත තුළින් වෙනමම විවාහ නීති පද්ධතියක් ඇති කර ඇත. ඇත්තටම මේ නීතියේ කෙළවර සිටින්නේ සර්වබලධාරි අල්ලාහ් දෙවියන්ය. ශුද්ධ වූ කුරාණයය. නබිනායක තුමාගේ ඉගැන්වීම්ය. මේ අප කතා කරන කාරණයට කෙළින්ම බැඳෙන්නේ පනතේ 47 (1) (i) වගන්තියයි. මෙහිදී බහුභාර්යා සේවනයට ඇති අයිතිය, දෑවැදි ලාබාදීමේ ක්‍රමය, කාන්තාවකට මේ පිළිබඳව තීරණයක් ගැනීමට තිබෙන අයිතිය වැනි කරුණු කතා කරන්නේ නැත (ඒවාද දියුණු සමාජයකට තරම් නැත). ඒ වගන්තිය කියන්නේ මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදුකළ හැක්කේ මුස්ලිම්වරුන් දෙදෙනෙකු අතර පමණි. එහිදී විවාහවීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12ට අඩු ගැහැනු ළමයෙකුට වුවද අදාළ ප්‍රදේශයේ කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකි බවය. මේ කියන්නේ කුමක්ද? කුරාණය කියන දේමය. කුරාණය කියන්නේ කාන්තාවක මල්වර වූ පසුව විවාහයට සුදුසු බවය. මේ වැකියට මේ නීතිය තුළ පුංචි අයිසිං තැවරුමක් උලා ඇත. ඒ වයස 12ට අඩු කාන්තාවක විවාහ කරගන්නේ නම් ඒ ප්‍රදේශයට අදාළ කාතිවරයාගෙන් අවසර ලබා ගතයුතු බවය.
අද ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවිය පැමිණීමේ වයස් ගැන සිතීමේදී මේ නීතිය කොතරම් දුරට මානව අයිතීන් උල්ලංඝනය කරනවාදැයි ඔබට සිතාගන්නට අමාරු නැත. සාමාන්‍ය නීතිය යටතේ මේ පිළිබඳ ප්‍රතිපාදන කවරේද? සසඳමු. පොදු විවාහ හා දික්කසාද ආඥාපනතේ 1995 අංක 18 සංශෝධනයට අනුව විවාහ විය හැකි අවම වයස ලෙස දක්වන්නේ අවුරුදු 18කි. එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු ය. මේ ලංකාවේ අනෙකුත් ජාතීන්ටද බලපාන නීතියයි (මෙහිදී උඩරට ප්‍රදේශවලටද වෙනම නීතියක් විවාහය සඳහා තිබුණත් එය මේ වනවිට භාවිත නොවන තත්ත්වයක් වෙනවා සේ ම ඒ තුළද ළමා විවාහවලට ඉඩක් නැත. ඒ කුමක් වුවත් ලියුම්කරුගේ අදහස නම් රටකට එක් පොදු නීතියක් පමණක් ප්‍රමාණවත් බවයි).
අනෙක් පැත්තෙන් ලංකාවේ පොදු නීතිය වන දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ කුමක්ද? වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයකු සමඟ කැමැත්තෙන් වුව ලිංගිකව එක්වීම දූෂණයක් ලෙස එහිදී සැලකෙන බවය. එය වරදක්ය. ඒ වෙනුවෙන් වසර හතේ සිට 20 දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවය. එහෙත් මේ නීතිය මුස්ලිම්වරුන්ට බලපාන්නේ නැත. ඒ අර විශේෂ විවාහ නීතිය නිසා ය. වයස 16කට අඩු මුස්ලිම් කාන්තාවක දූෂණයකට ලක්වුවේයැයි අපි මොහොතකට සිතමු. එවිට ඇයට නීතියෙන් පිහිටක් තිබේද? මේ තත්ත්වය උඩ නැත. මේ නිසා මේ නීතිය එක පැත්තකින් මානව හිමිකම් ලැබීමට ගැහැනියකට තිබෙන අයිතිය පැහැරගන්නා අතරම ලංකාවේ පොදු නීතිය සමඟද ගැටුම් ඇතිකර ගනී. මේ නීති ගැන පොදු මුස්ලිම් ජනසමාජය කියන්නේ කුමක්ද? ඔවුන් කියන්නේ මේ නීති සර්වබලධාරී දෙවියන්ගේ බවය. ඒ නිසා ඒවා වෙනස් කිරීමද දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුකළ යුතු බවය. අපි ශ්‍රී ලංකා තව්හිඞ් ජමාත් මහලේකම් ආර්. අබ්දුල් රාසික්ගේ මේ පිළිබඳ අදහස බලමු.

පුළුවන් නම් වෙනස් කරලා බලපන්
“විවාහය, දික්කසාදය, දේපළ උරුමය, වකුස් නීතිය මේවා අපේ අයිතිය. මේවා අපේ නායකයෝ දිවි දීලා අරගෙන තියෙන්නේ. මේවා ලේසියෙන් වෙනස් කරන්න බැහැ. මේ අපේ සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත, නබිතුමාගේ ඉගැන්වීම. 1994 ආණ්ඩුව හදන්න අපේ නායකයෝ උදවු කළා. 2015 මෛත්‍රී ගේන්නත් අපි උදවු කළා. ඒ උදව් අද ආණ්ඩුව අමතක කරලා තියෙනවා. මේ බදු සහනය ගොනා සහ පොල්කොළ වගෙයි. රටේ ස්වාධීනත්වය තමයි අපිට වැදගත්. ඒක නැතිවෙනවා නම් මේ බදු සහන මොකටද?” මේ ඔහු පසුගිය නොවැම්බර් තුන්වෙනිදා උද්ඝෝෂණයේදී කළ කතාවේ කොටස් ය. ළමා විවාහ ගැන ඔහු කියන්නේ කුමක්ද? “අපි කියන්නේ කාන්තාවක් විවාහ කරගන්න නම් මල්වර වෙන්න ඕනෑ. ඒක තමයි සීමාව. මල්වර වෙන්නේ නැතුව කසාද බැඳලා මොකටද? කාන්තාවක් විවාහ කරගන්නේ අවශ්‍යතා ඉටුකර ගන්න. ඒක බැරි නම් මොකටද විවාහ වෙන්නේ? අනික විවාහයට අවම වයසක් තීරණය කරන්නේ කොහොමද? දැන් අවුරුදු 10ක ළමයෙක් ගන්න. අහන්න කසාද බැන්දාම මොකද කරන්නේ කියලා. අවුරුදු 55ක එකාට වැඩිය හොඳ දේවල් අහගන්න පුළුවන්. දැන් විවාහයට අවම වයස 18 කියලා කියනවා. ඒකට අවුරුදු 7, 8 වෙනකොට අවශ්‍ය දේවල් සේරම කරගෙන.” මේ මානව විරෝධී නීතිය සුරක්ෂිත කරගන්න දොඩවන ඔවුන්ගේ කට වචනවල මහතය. අප හිස නමන්නේ අල්ලාට පමණ බව කියමින්ද සංහිඳියාව මෙමගින් කෙළවර වෙන්න පුළුවන් බව කියමින්ද ඔහු මෙහිදී ලාංකීය ජනසමාජයට පොඩි තර්ජනයක්ද කරයි. අනෙක් පසින් බොදුබල සේනාවට ද ගොරහැඩි ලෙස අවලාද නගමින් ඍජුවම අභියෝග කරයි. මෙලෙස කුමන සංවිධානයක් කුමන සංවිධානයකට අභියෝග කළත් අපට කම් නැත. එහෙත් මේ ප්‍රකාශ තුළින් සිංහල ජනයාත් මුස්ලිම් ජනයාත් අතර පළල් විරසකයක් ඇතිවන්නේ නම් එය බලධාරීන් මෙන්ම දෙපාර්ශ්වයේම ලොක්කන් අවධානයට ගතයුතුය. ඒ මන්ද තවදුරටත් ජාතිවාදී යුද්ධ අපිට අවැසි නැති නිසාය. එහෙත් සංහිඳියාව පෙරට දමාගෙන මෙවැනි වැඩවසම් නීති ආරක්ෂා කරගැනීමට මුස්ලිම් සමාජය උත්සාහ කරන්නේ නම් ඒ ආස්ථානයන්ද බිඳ දැමිය යුතුය.
මුස්ලිම් බුද්ධිමතුන්ගේ අදහස කුමක්ද?
මේ නීති සංශෝධන යෝජනා සහ මුස්ලිම් සමාජයේ ඇතිවී තිබෙන නොසන්සුන්තාව ගැන අපි මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්එම් අමීන්ගෙන් කරුණු විමසුවෙමු. මේ ඔහුගේ හඬ.
“මුලින්ම කියන්න ඕනෑ අල්කුරාණය මත පදනම් වෙච්ච නීති අපිට වෙනස් කරන්න බැහැ. හැබැයි ඔය දෑවැදි ප්‍රශ්න වගේ සංස්කෘතියත් එක්ක බැඳුණු දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි. අනික දැන් මේ නීතිය සම්මතවෙලා කොච්චර කල්ද? මේ කාලෙට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇයි දැන් මේ ප්‍රශ්නයක් හදන්නේ? මේක වෙනස් කළා කියලා මොකද වෙන්නේ. දැන් ඇත්තටම මේකෙන් මුස්ලිම් මිනිස්සු කුලප්පු වෙලා.’
අමීන් මහත්තයාගේ කතාවෙනුත් පෙනෙන්නේ මේ නීතිය වෙනස කරන්නට මුස්ලිම් සමාජය විරුද්ධ බවය. හැබැයි මුස්ලිම් සමාජය නවීන විය යුතුයි. ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕනෑ වැනි ප්‍රකාශ කරන පිරිසකුත් මුස්ලිම් සමාජය අස්සේම ඉඳිති. එහෙත් ඔවුන්ගේ හඬට මුස්ලිම් ලෝකය තුළ ඉඩක් නැත. මේ පිළිබඳව කතා කිරීමේදී අපගේ මුස්ලිම් මිතුරියක ප්‍රකාශ කළේ තමන් පුංචි කාලයේ සිට මේ ඉරණමට පිරිමින් විසින් හුරුකරන බවය. එනිසා වැඩිවිය පැමිණෙන වයස ආ විට ඒ තීරණය, විවාහය පිළිබඳ තීරණය ගැනීම එතරම් ආමරු නැති බවය. අනෙක් පැත්තෙන් තමන්ගේ සමාජය තුළ කාන්තා අයිතීන් ගැන කතා කිරීමත් විහිළුවක් බවය. මුස්ලිම් ලෝකය මෙලෙස තමන්ගේ කර මත බලහත්කාරයෙන් පටවා තිබෙන දෑවලින් තමන්ට දැනට මිදෙන්නට තිබෙන එකම මග ලෙස තමා දකින්නේ අධ්‍යාපනය පමණක් බවද ඇය කියන්නීය. මේ මුස්ලිම් සමාජයේ තත්ත්වයයි.
අපගේ අදහස නම් නීතිය තුළ මේ මානව හිමිකම් කෙළෙසීම්වලට වැටකඩුලු බඳින්නේ නම් කාලයක් යනවිට මුස්ලිම් සමාජය වුණත් වෙනස් විය හැකි බවය. මෙවැනි ගෝත්‍රික ස්වරූපයේ නීති වෙනස් කරන්නට යුරෝපා සංගමය කියනකම් බලා සිටීම පිළිබඳව අපි ජාතියක් විදිහට ලජ්ජාවට පත්විය යුතුවෙමු. එනිසා මේ මොහොතේ හෝ මේ සංශෝධන නියමිත පරිදි කිරීම හොඳය. ඒ සඳහා කල් මැරීම නොකළ යුතුය.■