අපේ ලෙඩට ඉන්දීය ඇම්බියුලන්ස්

නිමල් අබේසිංහ

හදිසි අනතුරක්ද? එසේ නැතිනම් දරුණු හෘදයාබාධයක්ද? අංගසම්පූර්ණ නවීනතම පහසුකම් සහිත ගිලන්රථයකින් ඔබව රෝහල් ගතකිරීමට ඔවුහු සූදානමින් සිටිති. කාලවේලාවක් නැත. මුදල් අයකරන්නේද නැත. මෙය නොමිලයේ ඔබට ලැබෙන සේවාවකි. ඔබ කළයුත්තේ 1990 දුරකතන අංකයට අමතා අවශ්‍යතාව පැවසීම පමණකි.
අඩුවකට ඇත්තේ දැනට මෙම සේවාව ලබාගත හැක්කේ ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි ජනතාවට පමණක් වීමය.

ගිලන්රථ සේවාවේ ඇරඹුම
ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම හදිසි අවස්ථා ගිලන්රථ සේවාව ආරම්භ කිරීමට යෝජිත අවස්ථාවේදී රටපුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිවූ බව ඔබටද මතක ඇති බවට සහතිකය.
ඉන්දීය ආක්‍රමණයක්, මෙම සේවාවට බඳවාගන්නේ ඉන්දීය සේවකයන්, ශ්‍රී ලංකාවේ අයට මෙතෙක් රැකියා ලැබෙන්නේ නැහැ යනාදි ප්‍රචාරයන් පමණක් නොව මේ ගිලන්රථවලින් රැගෙන එන රෝගීන් රජයේ රෝහල්වලට භාර නොගන්නා බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කළ බවක් අපට මෙනෙහි වේ. එතරම් ආන්දෝලනයක් ඇති වුවද ක්‍රියාත්මකවීමේදී ඒ චෝදනා හා බිය හුඹස් බියක් බවට පත්වෙමින් ඉතා අපූරුවට මහජන සේවාවක් ලෙසට දැන් එය ක්‍රියාත්මක වෙයි.
මෙම සේවාව ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා මූලික වී ඇත්තේ වත්මන් රජයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාය. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර මේ සඳහා ආධාර ලබාගෙන තිබේ. ඒ අනුව ලංකාවෙන් තෝරාගත් පනස් දෙනකුගෙන් යුත් පිරිසක් ඉන්දියාවට යවා රෝගීන් ප්‍රවාහනය හා ඔවුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළයුතු තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අංගසම්පූර්ණ පුහුණුවක් ලබාදී තිබේ. සියලුම රියදුරන් සහ රියදුරු සහායකයන්ද බඳවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. වෙනකක් තබා සියලුම ගිලන්රථ පවා ලියාපදිංචි කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමිනි. වසරක් පුරා සේවක පඩිනඩි හා සියලු පරිපාලන වියදම්හි බරපැන දරන්නේ ඉන්දීය රජයයි. ඒ කාලය තුළ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන්ය. පරිපාලන කටයුතු සිදුවන්නේ ඉන්දියානු සමාගමක් වන ජී.වී.කේ. සමාගම වෙතින්ය. එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනුයේ G.V.K. Emri Sri lanka වශයෙනි.
මේ වන විට මෙම ආයතනයේ සේවය කරනුයේ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු පමණක් වීමද විශේෂත්වයකි.

ප්‍රතිලාභ ලබන ප්‍රදේශ
දෙදහස් දහසය වර්ෂයේ ජූලි නමවැනි දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම නොමිලේ රෝගී ප්‍රවාහන සේවයට නවීනතම උපාංගයන් සහිත රෝගීන් ප්‍රවාහන කිරීමේ රථ (ඇම්බියුලන්ස්) ලබාදී තිබේ. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ 13ක්ද, මාතර 9ක් ද, හම්බන්තොට 6ක්ද, ගම්පහ 24ක්ද, කොළඹ 25ක්ද, කළුතර 11ක්ද වශයෙන් ඇම්බියුලන්ස් රථ ලබාදී ඇති අතර ඒවා ස්ථානගත කර ඇත්තේ පොලිස් ස්ථානවල බව කියැවෙයි. එසේ වීමට හේතුව නම් රජයේ රෝහල් පරිශ්‍ර තුළ නතර කර තැබීමට එරෙහිව පැනනැගුණු විරෝධයයි.

අනභිභවනීය සේවාවක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයකු මෙම සේවාව සම්බන්ධයෙන් කළ ඇගැයීම මෙහිලා සඳහන් කරමු.
“හදිසි අනතුරු අවස්ථාවකට බඳුන් වූ අයකු හෝ හදිසියේ රෝගී වූ අයකු සිද්ධිය වෙලා පළමු පැය ඇතුළත ඒ රෝගියාව කළමනාකරණය කිරීමට කොතෙක් පොහොසත්ද කියන එක මත තමයි රෝගියාගේ ඉරණම තීන්දු වෙන්නේ. අපි ඒකට කියනවා ‘රන් පැය කළමනාකරණය’ කියලා. අද අපේ රටේ තත්ත්වය දිහා බැලුවොත් මෙවැනි රෝගීන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ ත්‍රිරෝද රථවලින්. එතකොට මේ රෝගියාගේ අයටවත් ත්‍රිරෝද රථ රියැදුරන්ටවත් මේ ගැන දැනුමක් නැහැ.
දෙදහස් දහතුන වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ හදිසි අනතුරු ප්‍රතිපත්තිය යටතේ වන එක් යෝජනාවක් වූයේ පූර්ව රෝහල් ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීමයි. යෝජනාව අනුමත වුණාට එය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ යෝජනාව වුණේ පූර්ව රෝහල්ගත කිරීමේ කාලය තුළ රෝගියා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රියැදුරන් පුහුණු කිරීමයි. ඒ අනුව අපි ත්‍රිරෝද රියැදුරන් පුහුණුකිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කළා. එවැනි වාතාවරණයකදී තමයි ඉන්දීය රජයේ ආධාර මත වසරක කාලයකට මෙම වැඩසටහන ලැබුණේ. තවම ආරම්භ කරලා ගතවී තිබෙන්නේ මාස කීපයක් පමණක් නිසාත් නිශ්චිත ඇගැයීමකුත් සේවාව ගැන
කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. ඒත් අපි ඇගැයීමකට යනවා. ඊට පසුව ඒ ගැන යමක් කිවහැකියි.’

මහජන ප්‍රතිචාර හා අත්දැකීමක්
දෙදහස් දහසයේ ජූලි මාසයේ නමවැනිදා සිට දෙදහස් දහසයේ නොවැම්බර් මස පස්වැනිදා දක්වා කාලය තුළ මෙම සේවාව මගින් රෝහල්ගත කර ඇති රෝගීන්ගේ ප්‍රමාණය දෙදහස් එකසිය හයකි. අංක 1990ට ලැබුණු දුරකතන ඇමතුම් ප්‍රමාණය 29,156කි. ඒ සා විශාල ඇමතුම් සංඛ්‍යාවක් ලැබී රෝහල්ගත කර ඇත්තේ සුළු ප්‍රමාණයක් නම් මෙහි කිසියම් දෝෂයක් තිබෙන බව ඔබටද සිතෙනු ඇත. රහස හෙළිදරව් කරගතිමු. විහිළුවට, තොරතුරු දැනගන්නට, වැරදීමෙන් පමණක් නොව අඩියක් පුඩියක් ගැසූ විට බයිට් එකට ගෙන බනින්නටත් මේ අංකය භාවිතයට ගෙන ඇත්තේය. මෙය නම් සංවේගජනක වනවා සේ ම අපේ රටේ ජනතාවගේ තරම කියාපාන්නක් නොවේද?
‘එක දවසක් රාත්‍රියේ මට හෘදයාබාධයක ලක්ෂණ පහළ වුණා. ළඟපාත ත්‍රීවීල් එකක්වත් සොයා ගන්නවත් විදියක් තිබුණෙත් නැහැ. එක පාරටම 1990 සේවාව ගැන මතක් වෙලා කෝල් එකක් දුන්නා. විනාඩි දහයකින් ඇම්බියුලන්ස් එක ගේ ළඟට ආවා.’ කොහුවල රංජිත් සිය අත්දැකීම පැවසුවේ මෙලෙසය.
‘මුලින්ම කෝල් එක දුන්නාම අපේ නොම්මරයයි නමයි අහලා ඒ අය ලියා ගන්නවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකෙන් කතා කරලා පාර අහගෙන ගෙදරට එනවා. ඊට පස්සේ භාරකාරයෙකුගෙන් අත්සන් කරගෙන ඇම්බියුලන්ස් එකට නංගවාගෙන, ප්‍රෙෂර්, ඊසීජී ඔක්කොම චෙක් කරනවා විතරක් නෙමෙයි, හුඟක් අමාරු නම් රෝහලට දැනුම් දෙනවා මෙවැනි රෝගියෙක් අරගෙන එන බවට. අපිට ළඟ රෝහල කළුබෝවිල වුණත්, මට ඕනෑ නම් කොළඹ ජාතික රෝහලට වුණත් යන්න පුළුවන්කම තිබුණා.”
අවසර ලබාගත නොහැකිවීම හේතුවෙන් සේවකයන්ගේ අත්දැකීම්, ඇම්බියුලන්ස් ස්ථානගත කර ඇති පොලිසි මොනවාද යන්න ගැන තොරතුරු ලිවීමේ අවස්ථාව අවහිර විය.■