Monday, 21/8/2017 | 4:28 UTC+0
රාවය

සීඑස්එන්ට එරෙහිව දේශපාලන තීන්දුවක්ද?

ලසන්ත රුහුණගේ

කාල්ටන් ස්පෝර් ට්ස් නෙට් වර්ක් පුද්ගලික සමාගම හෙවත් සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබුයේ පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. එම අත්හිටුවීමට හේතු වශයෙන් සඳහන් කළේ බලපත්‍ර කොන්දේසි කඩකිරීමය. එසේ වුවද කඩකරන ලද බලපත්‍ර කොන්දේසි කුමක්ද යන්න එහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ නැත. එහෙත් කඩකරන ලද එම බලපත්‍ර කොන්දේසි කුමක්ද යන්න දැනගැනීමට ලැබුණේ ඔක්තෝබර් 27 දින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී අග්‍රා මාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ලබාදුන් පිළිතුර මගින්ය.
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ විසින් සීඑස්එන් නාලිකාවේ ප්‍රධානී රොහාන් වැලිවිටට බලපත්‍ර තහනම දැනුම් දෙමින් එවන ලද ලිපියක ඇති කරුණු සඳහන් කරමින් ප්‍රකාශ කළේ බලපත්‍රයේ 3(111)11 හා 14 වන වගන්ති උල්ලංඝනය කිරීම නිසා බලපත්‍රයේ 3(1) කොන්දේසිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය අවලංගු කරන ලද බව දැනුම් දී ඇති නමුත් එම කරුණ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය රටට ප්‍රකාශ කර ඇත්තේ එම බලපත්‍රය අත්හිටුවීම සිදුකර ඇති බවත් ය. එසේම වැඩිදුරටත් දිනේෂ් ගුණවර්ධන මහතා එම ලිපියෙහි සඳහන් උල්ලංඝනය කළේ යැයි කියන කොන්දේසි හැටියට දක්වන්නේ, සීඑස්එන් නාලිකාවේ ලියාපදිංචි නම හෝ ලිපිනය වෙනස්කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නොදැන්වීම, දේශපාලන පක්‍ෂයක සමාජිකයෙකු වීම හා විගණනය කරන ලද වාර්ෂික ගිණුම් මූල්‍ය වර්ෂය අවසන් වී මාස තුනක කාලයකදී ඉදිරිපත් නොකිරීමය.
එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ සීඑස්එන් නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරීමේ එම නිගමනවලට පැමිණීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ විදුලි සංදේශ නියාමන කොමිසම කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නොමැති බවත්, එහි නීත්‍යනුකූලභාවයක් නැති බවත්ය. ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසන්නේ සීඑස්එන් බලපත්‍රය අහෝසි කිරීම නීත්‍යනුකූලව සිදු කර ඇති බව හා එම නාලිකාව පිළිබඳව එෆ්සීඅයිඩී හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවා පරීක්‍ෂණ පවත්වන බවත්ය. ජනමාධ්‍ය ඇමතිවරයාට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැවතත් ප්‍රකාශ කරන්නේ එෆ්සීඅයිඩී පරීක්‍ෂණ වෙනම කථාවක් බව හා දේශපාලන පක්‍ෂයකට නාලිකාවේ සම්බන්ධයක් නැති බැවින් නිවැරදි පරීක්‍ෂණයක් සිදුකරන ලෙසය.
එම සංවාදයේදී කඩකළා යැයි සඳහන් බලපත්‍ර කොන්දේසි සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැහැදිලි කරන්නේ එක් කොන්දේසියක් ගැන පමණය. ඒ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පුද්ගලික සමාගම සිය බලපත්‍රය ලබාගැනීමේදී සඳහන්කර ඇති අංක 260/12, ටොරින්ටන් මාවත, කොළඹ 05 යන ලිපිනය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් නොදී හෝ ලේකම්වරයාගෙන් අවසර නොගෙන අංක 236/1, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලෙස වෙනස් කර ඇති බවය. සීඑස්එන් නාලිකාව සම්බන්ධ යැයි කියන දේශපාලන පක්ෂය ගැන හෝ කිනම් වර්ෂයකට අදාළ විගණනය කරන ලද ගිණුම් වාර්තා ලබා නොදුන්නාද යන්න ඔහු ප්‍රකාශ කරන්නේද නැත. ඊට අඩුවැඩිය සපයමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක එම සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ සීඑස්එන් නාලිකාව රුපියල් මිලියන 1000ක මුදලක් නොගෙවූ බව හා ඒ සම්බන්ධයෙන් දෙතුන් වතාවක් දැනුම් දුන් බවය.
මුදල් අමාත්‍යවරයා රුපියල් මිලියන 1000ක් වශයෙන් ප්‍රකාශ කරන්නේ, එම නාලිකාවේ බලපත්‍ර කොන්දේසිවලට අයත් විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය වාර්තාවලට අදාළ බලපත්‍ර කොන්දේසියක් නොවන අතර, එය වූකලි යහපාලන රජයේ පසුගිය අයවැයේදී මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළ ක්‍රීඩා විකාශන කටයුතුවල යෙදෙන ක්‍රීඩා නාළිකාවක් එක් වරකදී පමණක් ගෙවිය යුතු යැයි පැනවූ රුපියල් මිලියන 1000ක් වූ බද්දය. එම බද්ද පැනවීම පැහැදිලිවම සීඑස්එන් නාලිකාව අරමුණු කරගෙන පසුගිය අයවැයේදී පැනවූ බවට කිසිදු තර්කයක් නැති අතර පුද්ගලයන් හෝ ආයතන ඉලක්ක කරගෙන ඒ ආකාරයේ බදු පැනවීම් කෙසේවත් සාධාරණීය කරණය නොහැකිය. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවකට එය කිසිසේත් උචිත වන්නේ ද නැත.
කළ පව් පස්සෙන් එනවා කියන කියමනද සීඑස්එන් නාලිකාවට මෙහිදී සිහිපත් වීම අරුමයක් නොවේ. ඊට හේතුව පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී ජාත්‍යන්තර ක්‍රීඩා තරග විකාශන කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් අපූරු තීරණයක්ය. එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කළේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග විකාශන අයිතිය රජයේ රූපවාහිනී ආයතන විසින් සිදුකළ යුතු බවය. ඊට අමතරව ක්‍රීඩා විකාශනයන් පමණක් පවත්වාගෙන යන ක්‍රීඩා නාළිකාවන්ටද ඊට ඉල්ලුම් කිරීමේ හැකියාව ඇති බවය. ඒ අනුව ජාතික රූපවාහිනිය පසෙකට දා ජාත්‍යන්තර ක්‍රීඩා තරග (ක්‍රිකට්) විකාශනය කිරීමේ අයිතිය සීඑස්එන් නාළිකාවට, ක්‍රීඩා නාළිකාවක් වශයෙන් නම් කරමින් ලැබුණු අතර ඒ මගින් රුපියල් මිලියන ගණනක අසාධාරණ හා අයුතු ලාභයක් ලබාගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණි. අද සීඑස්එන් නාලිකාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද අමාත්‍යවරයකු ලෙස එදා කැබිනට්ටුවේදී එම වැරදී තීන්දුවට අත් එසවූ අයෙකි.
කෙසේ හෝ සීඑස්එන් බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳ පාර්ලිමේන්තු සංවාදයේදී උල්ලංඝනය කළා යැයි සඳහන් වන විකාශන බලපත්‍රයේ එක් කොන්දේසියක් වන ලිපිනය ගැන සඳහන් කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ නොදන්වා හෝ අවසර නොගෙන වෙනස්කර ඇතැයි කියන සීඑස්එන් ලිපිනයට ජනමාධ්‍ය අමාත්‍යාංශය ලිපි හුවමාරු කරගෙන ඇති බවයි.
ඒ අනුව සීඑස්එන් බලපත්‍රය අහෝසි කිරීමට හෝ අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට අදාළ උල්ලංඝනය කළේ යැයි කියන බලපත්‍ර කොන්දේසි තුන පිළිබඳව සාක්‍ෂි සහිත පැහැදිලි විස්තරයක් රට හමුවේ තැබීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ යහපාලන ආණ්ඩුව ඉක්මනින්ම කටයුතු කළ යුතුය යන්න අපගේ විශ්වාසයයි. පැවති රාජපක්‍ෂ ආණ්ඩුවත් යහපාලනය යැයි කියන මෙම ආණ්ඩුවත් අතර වෙනසක් ඇත්නම් එම වෙනස සනිටුහන් කළ හැක්කේ එවැනි තාර්කික හා නීතියට අනුකූල විනිවිද පෙනෙනසුලු ක්‍රියා මාර්ගයකින් පමණය. නැතහොත් සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීම හෝ අත්හිටුවීම දේශපාලන පළිගැනීමක් යැයි අර්ථ දැක්වීම වළක්වනු නොහැකි වනු ඇත.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලි මේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි සීඑස්එන් නව ලිපිනයට මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍යාංශය ලිපි හුවමාරු කළා නම් එය සිදුවූයේ කෙසේද? ලිපිනය වෙනස් වූවා යැයි කියන කොන්දේසියක් විකාශන බලපත්‍රයක් අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට තරම් ප්‍රබල හේතුවක්ද? ලිපිනය වැනි බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් බලපත්‍රලාභියා හා බලපත්‍ර ලබාදෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් හෝ දැනුවත් කිරීමකින් නිවැරදි කළ නොහැකි තරම් විකාශන බලපත්‍රයක් අහෝසි කිරීමට තරම් බලවත් කොන්දේසියක්ද? සීඑස්එන් නාළිකාව සම්බන්ධ යැයි කියන දේශපාලන පක්ෂය කුමක්ද? ඊට ඇති හේතු හෝ සාධක මොනවාද?
ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ යහපාලන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු කරුණු ඉහත සඳහන් ඒවාය. එසේ අප කියන්නේ සීඑස්එන් නාළිකාව ගැන අපට ඇති හුදු අනුකම්පාවකින් හෝ එම නාළිකාව සමග ඇති හෝ ඇති කරගන්නට නියමිත සම්බන්ධතාවකින් නොවේ. රූපවාහිනි විකාශන බලපත්‍ර අහෝසි කිරීම හෝ අවලංගු කිරීම පිළිබඳ නරක පූර්වාදර්ශයක් ඒ මගින් ඇතිවන නිසාය. යහපාලන ආණ්ඩුව වුව ඉදිරියේදී තමන් අකමැති තවත් නාළිකා සම්බන්ධයෙන් මෙවැනි තීන්දු තීරණ නොගනීවී යැයි මේ පූර්වාදර්ශය නිසා අපට සහතික දිය නොහැකි නිසාය. විශේෂයෙන්ම ඉදිරියේදී බලයට පත්වන ඕනෑම තවත් ආණ්ඩුවකට මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමේ හැකියාවට පූර්වාදර්ශ ලැබෙන බැවින්ය. එය රටේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අසුබ පෙර ලකුණකි. (රටේ ස්ථාපිත සෑම ජනමාධ්‍ය ආයතනයක්ම ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරන බව ඉන් නොසැලකේ.)
එම අසුභ පෙර ලකුණට අදාළ තීන්දු තීරණය සීඑස්එන් නාළිකාව විසින් මේ වනවිට අධිකරණයේ අභියෝගයට ලක්කර තිබේ. සීඑස්එන් නාළිකාව ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය නොවැම්බර් 01 වැනිදා නියෝග කර තිබුණේ නාළිකාවට අදාළ සංඛ්‍යාත නොවැම්බර් මස 16 දින දක්වා විකිණිය නොහැකි බවයි. එම නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව නොවැම්බර් 16 දායින් පසු තීරණය වනු ඇත. එසේ වුවද අධිකරණ තීන්දුවට පෙර තමන් අතින් වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමේ හැකියාව යහපාලන ආණ්ඩුව සතුව පවතී. කෙසේ හෝ සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන්වූ යහපාලන ආණ්ඩුවේ මෙම තීරණය සාධාරණ ද නැද්ද යන්න තීරණය වනු ඇත්තේ ඉහතින් සඳහන් කරන ලද ප්‍රශ්නවලට ආණ්ඩුව ලබාදෙන පිළිතුරු මතය. එහිදී තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අමාත්‍යාංශයක් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය රටට, රටේ මහජනතාවට කිවයුත්තේ ඔවුන් විසින් මෙතෙක් නිකුත් කර ඇති රූපවාහිනී බලපත්‍ර 28ට හා ගුවන්විදුලි බලපත්‍ර 24ට අදාළව එම බලපත්‍රලාභී ආයතන සියල්ලම බලපත්‍ර කොන්දේසි කඩනොකර සිය විකාශන කටයුතු සිදු කරනවාද යන්නය.
ජනමාධ්‍ය ලේකම්ට ‘මඤ්ඤං’ද?
සීඑස්එන් නාලිකාවේ මෙම තහනම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේගෙන් විමසීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් අතර ලියුම්කරුගේ නම කියූ විගසම ප්‍රශ්නය කුමක්ද යන්නත් නොවිමසා. ටී.එන්.එල් ආයතනයට ලියුම්කරු විසින් ඔහු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති නිසා (සීඑස්එන් නාලිකාවේ ප්‍රශ්නය ගැන නොවේ) කිසිදු පිළිතුරක් අපට ලබානොදෙන බව පවසා දුරකථන සම්බන්ධතාව විසන්ධි කළේය.
ඉන්පසු කිහිප අවස්ථාවකම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නත් දුරකථනයට ඔහු සම්බන්ධ නොවීය. පසුව ඔහුගේ කාර්යාල දුරකථනයට කථා කර නැවත ඔහු සම්බන්ධකර ගැනීමට හැකි වූ අතර ඔහු විමසුවේ එක්වරක් කථා කරන්නට බැහැ කිව් නිසා නැවත කථා කරන්නේ කුමකටද යන්නය. අප ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිසා ඔහුට හැර අප කථා කරන්නේ කාහටද යන්නය. එහිදීත් අපගේ ප්‍රශ්නය කුමක්ද යන්නවත් නොඇසූ ඔහු ප්‍රකාශ කළේ ඔහුගෙන් නොවිමසා ටීඑන්එල් ආයතනයට අප ප්‍රකාශයක් ලබාදුන් බැවින් අපට කථා නොකරන බවය. එවිට අප ඔහුට කීවේ ජනමාධ්‍ය සංවිධානයක ප්‍රධානියකු ලෙස හා ජනමාධ්‍යවේදියකු ජනමාධ්‍ය ආයතන විසින් කරන ලද විමසීම්වලදි අපගේ මතය ප්‍රකාශ කරන බවත්, අපගේ මතය ප්‍රකාශ කිරීම සඳහා ඔහුගෙන් අවසර ලබාගැනීමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්නත්ය. ඔහු ඒ සමඟම දුරකථනය සම්බන්ධතාව විසන්ධි කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය ගැන ජනමාධ්‍ය වාර්තා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හා එසේ නොකළහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සිය පත්වීම් ලබාගත් දිනවලම අමනොඥ නිවේදනයක් මාධ්‍ය ආයතනවලට නිකුත් කළ හා ඉන්පසු මෑතකදී ජනාධිපතිවරයා සිදුකළ ‘ඵෙතිහාසික’ රණවිරු කථාවේදී ජනමාධ්‍ය එය වාර්තා කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව උපදෙස් දෙමින් නැවත වරක් ජනමාධ්‍ය ආයතනවලට නිවේදනයක් නිකුත් කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ මෙවැනි හැසිරීම් ගැන වැඩි විග්‍රහයක් නොකර අපට විමසීමට ඇති දෙය නම් ඔහුට ‘මඤ්ඤං’ද යන්නය.■