Untitled-1

Untitled-1

සමාජ ව්‍යාපාරය ගැන තවදුරටත්


----

වික්ටර් අයිවන්

පක්ෂ හෝ පුද්ගල යහපත සලකා නොව පොදු යහපත සලකා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්නට ඇපකැප වීමෙන් ක්‍රියා කළ විශේෂ සමාජ තීරුවක් රටේ සිටියේය. යහපාලන ආණ්ඩුවේ ගමන් මග ගැන ඔවුන්ට ඇත්තේ ලොකු විමතියකි. ඔවුන් ඉන්නේ කලකිරීමකින් හා අපේක්ෂාභංග තත්ත්වයකය. යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙපළද තමන් තවත් රවටනු ලැබ ඇතැයි කියන හැඟීම ඔවුන් අතර පවතී. මෙම සමාජ ස්ථරය සැලකිය හැක්කේ දේශපාලන සවිඥානකත්වය අනුව ගත් කල ලංකාවේ සිටින දියුණුම සමාජ ස්ථරය වශයෙනි. ඔවුන් අධෛර්යයට පත්වී අක්‍රීය තත්ත්වයකට පත්වුවහොත් රටේ වර්තමානය කෙරෙහි පමණක් නොව අනාගතය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය.

සමාජ සවිඥානකත්වය
සමාජ සවිඥානකත්වය වර්ධනය වන්නේ සමාජ-දේශපාලන අත්දැකීම් අනුව විශේෂ රටාවකටය. වැඩවසම් ක්‍රමයක් හා රාජාණ්ඩු පාලනයන් පැවති කාලයේ මිනිසුන් කල්පනා කළ ආකාරය හා ධනේශ්වර ක්‍රමයකට මාරුවීමෙන් පසු නූතන මිනිසුන් කල්පනා කරන ආකාරය එක සමාන නැත. ඒ දෙපිරිසේ දැනුම හා රසඥතාවද එක සමාන නැත.
වැඩවසම් රාජාණ්ඩු කාලයක් පැවති කාලයේදී ඒකාධිපති රාජාණ්ඩුක්‍රමය ජනතාව ඉවසුවේය. වංශවතුන්ට බැලමෙහෙවර කිරීමේ සම්ප්‍රදායද ඉවසුවේය. දුප්පත්කම හා නූගත්කමද ඉවසුවේය. එහෙත් ධනපති ක්‍රමයකට මාරුවීමෙන් පසු උරුමයෙන් තේරී පත්වන ඒකාධිපති පාලකයකු වෙනුවට රට පාලනය කළේ මහජන ඡන්දයෙන් තෝරාගත් පාලකයෙකි. පරණ ක්‍රමය තුළ මහජනතාව ඉඩමට බැඳ තිබුණේය. කුලය හැම පුද්ගලයකුම නිරත විය යුතු ජීවන මාර්ගය තීරණය කළේය. ඇඳුම් ඇඳිය යුතු ක්‍රමය තීරණය කළේ ද කුලයයි. එහෙත් ධනපති ක්‍රමය තුළ තමන් කැමති වෘත්තියක් තෝරා ගැනීමේ නිදහස ජනතාවට ලැබුණේය. භේදයකින් තොරව නීතිය ඉදිරියේ සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇතිවිය. වැඩවසම් ක්‍රමය තුළ අධ්‍යාපනය වංශවතුන් සුළු පිරිසකට සීමාවී තිබූ දෙයක් වන අතර ධනපති ක්‍රමය තුළ එය සියලු ජනතාවට විවෘත වූ දෙයක් බවට පත්විය. ධනපති ක්‍රමය වැඩවසම් ක්‍රමයට වඩා දියුණු ක්‍රමයක් වූ අතර ධනපති ක්‍රමය තුළ සමාජ සවිඥානකත්වයද වැඩවසම් ක්‍රමය තුළ පැවති සමාජ සවිඥානකත්වයට වඩා දියුණු තත්ත්වයක පැවතුණි.

ජාතික රාජ්‍යය හා ජාතිය
ජාතික රාජ්‍යය හා ජාතීන් බිහිවන්නේද ධනේශ්වර ක්‍රමයට මාරුවීමෙන් පසුවය. වැඩවසම් ක්‍රමය තුළ රාජ්‍යයක් තිබුණද ඒවාට ස්ථිර දේශසීමා නොතිබුණි. ඒවා මධ්‍යගත රාජ්‍යයන් ලෙසද සැලකිය නොහැකිය. පෘතුගීසීන් ලංකාවට එනවිට ලංකාවේ කෝට්ටේ රාජ්‍යය, කන්ද උඩරට රාජ්‍යය, යාපනේ රාජ්‍යය නමින් රාජ්‍යයන් තුනක් තිබුණි. ඒවාට විටින් විට වෙනස්වන දේශසීමා මිස ස්ථිර දේශසීමා නොතිබුණි. ජනවර්ග මිස ජාතීහුද නොසිටියෝය. ලංකාවේ ස්ථිර දේශසීමා සහිත ඒකාබද්ධ හා මධ්‍යගත පාලනයකින් යුතු ජාතික රාජ්‍යයක් බිහිවූයේ බි්‍රතාන්‍ය යුගයේදීය. ජාතික රාජ්‍යයක යහපැවැත්ම සඳහා ජාතියක් අවශ්‍ය වන අතර සාර්ථක ලෙස ජාතිය ගොඩනගා ගැනීමට හැකිවනුයේ කිසියම් විශාල ප්‍රමාණයකට දියුණු සවිඥානකත්වයක් ඇති සමාජයකට පමණය.
අසල්වැසි ඉන්දියාව ජාතික රාජ්‍යයකට අවශ්‍ය ජාතිය ගොඩනගා ගත් රටක් ලෙස සැලකිය හැකි වුවද ලංකාව සැලකිය හැක්කේ අද දක්වාම ජාතික රාජ්‍යය සඳහා අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වූ රටක් ලෙසය. ඉන්දියාව ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන දියුණු සවිඥානකත්වයක් ගොඩ නගා ගත්තේ ඉන්දියානු නිදහස් අරගලය හරහාය. ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාව නිදහස් අරගලය සමඟ බද්ධ කළෝ ඉන්දියානු නායකයෝය.
එහෙත් අපේ රටේ ජාතික නායකයෝ ඉන්දියානු නායකයන් මෙන් දියුණු සවිඥානකත්වයක් තිබූ නායකයෝ නොවූහ. ඒ නිසාම ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය තරමේ දියුණු සවිඥානකත්වයක් ලංකා සමාජයට උරුම කරදීමට අපේ ජාතික නායකයන් සමත් වූයේ නැත. අපේ රටේ ජාතික නායකයන්ගේ අසමත්කම ආරම්භවන්නේ එතැනිනි.
ලංකාව නිදහස දිනාගන්නා කාලයේදී සමාජය වර්තමාන සමාජයට වඩා නූගත් විය. රටේ දේශපාලන නායකයන් සමාජයට වඩා ඉතා උගත් වුවත් අපේ ඒ උගත් නායකයන්ට පවා ඉන්දියානු නායකයන්ට තරම් දියුණු සවිඥානකත්වයක් නොතිබුණි. ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ගැන ඔවුන්ට මොනම අවබෝධයක්වත් නොතිබුණි. නිදහස ලැබී අවුරුදු 30කට පමණ පසුව තවත් අවුරුදු 30ක කාලයක් ලංකාව එක දිගට ලේ හලන රටක් බවට පත්වූයේ ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම නිසාය.

ප්‍රචණ්ඩ අරගල
දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ අරගල හා ඒ නිසා සමාජයේ රජ කළ මරණ බිය සමාජ සවිඥානකත්වයේ පසුබැසීමක් හා එක තැන පල්වෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. එම වටාපිටාව තුළ දේශපාලනඥයන්ගේද ස්වභාවය වෙනස් වී ඔවුන් නූගත් නීතියට ගරු නොකරන පොදු දේපළ කොල්ලකන සාහසික පිරිසක් බවට පත්වූහ. එම තත්ත්වය සමාජ සවිඥානකත්වයේ ඇතිව තිබූ පිරිහීම තවදුරටත් වර්ධනය කළේය.
මරණ බිය රජකරන තත්ත්වයක් පැවති කාලයේදී සමාජය විශාල ප්‍රමාණයකට විද්‍යාත්මකව කරුණු සලකා බලන තත්ත්වයෙන් ඉවත් වී අනවශ්‍ය තරමට ආගමට හා මිථ්‍යා විශ්වාසයන්ට බර තබා ක්‍රියාකරන තත්ත්වයකට පත්විය. අතුරුදන් වී සිටින තම දරුවා හෝ ස්වාමි පුරුෂයා ගැන දැනගැනීමට අණවිනකාරයන් හෝ පේනකාරයන් සොයා යන තත්ත්වයක් ඇතිවිය. මෙම නැඹුරුව රටේ ජනමාධ්‍ය විසින් පෝෂණය කළේය. පැවති එම බිහිසුණු කාලයේදී සමාජයේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ රටේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා දෙසය. රටේ ජනමාධ්‍ය ප්‍රමුඛ වැදගත්කමක් ලබාදී වාර්තා කළේද එවැනි සිදුවීම් ගැනය. ඒ නිසා රටේ සිදුවෙමින් පැවති රටේ සිදුවන දූෂණ ක්‍රියා හෝ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීම ජනතාවට පෙනුණේ නැත.
මෙම තත්ත්වයෙහි වෙනසක් ඇතිවන්නේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව ප්‍රචණ්ඩ ගැටුම්වල අවසානයක් ඇතිවී මරණ බිය පහවීමෙන් පසුවය. ඉන්පසුව මහජනයාට පෙනෙන්නට වූයේ රටේ සිදුවන දූෂණ, දේශපාලකයන් කරන සාහසික ක්‍රියාය. ඒ දේවල් කලාතුරකින් අසන්නට ලැබෙන දේවල් වෙනුවට නිතර නිතර අසන්නට ලැබෙන දේවල් වීම නිසා තමන් මහත් වීරත්වයකින් සැලකූ ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි දැනුවත් ජනතාව අතර ලොකු කලකිරීමක් ගොඩනැගෙන්නට විය. අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සාහසික පවුල් පාලනය පරාජය කිරීම ඉතා අවශ්‍ය වේයැයි සිතන තත්ත්වයක් ඔවුන් අතර ගොඩනැගුණි. සෝභිත හිමියන් ගොඩනගන ලද සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය කෙරෙහි ප්‍රකාශ වූයේ දැනුවත් මහජනතාව තුළ ගොඩනැගෙමින් තිබූ එම විරෝධයයි.

සවිඥානකත්වයේ දියුණුවක් ඇතිවීම
සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බිහිවන අවස්ථාව වන විට, එනම් 2010 ජනාධිපතිවරණය පැවති අවස්ථාව වනවිට ඒ තිබුණු තත්ත්වයට වඩා සමාජ සවිඥානකත්වයේ දියුණුවක් ඇතිවී තිබුණි. දැනුවත් ජනතාව රටේ සිදුවී තිබුණ දේවල්වලින් කිසියම් ප්‍රමාණයකට ඉගෙනගෙන තිබුණි. ප්‍රචණ්ඩ ගැටුම් පැවති කාලයේ පසුබැස්මක හා එක තැනක පල්වෙන තැනක පැවති සමාජ සවිඥානත්වය හෙමින් හෙමින් වුවත් ඉදිරියට ගමන් ගන්නා තත්ත්වයකට පත්ව තිබුණි.
එහෙත් වර්ධනය වෙමින් පැවති එම සමාජ සවිඥානකත්වයේ ඇති දියුණුවේ තරම තිබුණේ සමස්ත අර්බුදය නිවැරදිව තේරුම් ගතහැකි උසස් මට්ටමක නොව ආණ්ඩු පෙරළියක අවශ්‍යතාව තේරුම් ගැනීමට ප්‍රමාණවත් තරමේ දියුණුවක් පමණය. එම දියුණුවේ තරම අනුව සමස්ත අර්බුදය පෙනුණේ නොපැහැදිලි නාමමාත්‍රික තත්ත්වයකින් පමණය. එහෙත් නූතන යුගයට මාරුවීමෙන් පසුව ඒ ඉතිහාසයේ පළමුවරට රටේ දේශපාලන නායකයන්ගේ සවිඥානකත්වය සමඟ කරට කර යන සවිඥානකත්වයක් දැනුවත් සමාජය හිමිකරගෙන තිබුණි. නිදහස ලැබෙන විට ඒ දෙපිරිස අතර වෙනසේ ලොකු පරතරයක් තිබූ අතර හැත්තෑ ගණන්, අසූ ගණන්, අනූ ගණන් හා දෙදහස් ගණන් ආරම්භ වන විටත්, ඒ දෙපිරිස අතර කැපී පෙනෙන පරතරයක් තිබුණි. සවිඥානකත්වයේදී මේ පරතරය සම මට්ටමකට පත්වන්නේ 2010න් පසුවය. ඒ සමඟ දේශපාලන නායකයන්ට සමාජය පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇති කළේය. ඒ නිසා දේශපාලන බලය සඳහා කෙරෙන තරගයේදී සමාජයට අණදෙන පැරණි ප්‍රතිපත්තියෙන් බැහැර වී දැනුවත් සමාජයට ඇහුම්කන් දෙන තැනකට මාරුවීමට දේශපාලන නායකයන්ට පළමුවරට සිදුවිය.

සවිඥානකත්වයේ සීමා
මහින්ද රාජපක්ෂ පරාජය කරන සූත්‍රය විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයෙන් ලබාගන්නට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය පිළිබිඹු කළ දැනුවත් සමාජයේ සමාජ සවිඥානකත්වය දේශපාලන නායකයන්ගේ සවිඥානකත්වය සමඟ කරට කර සිටින තත්ත්වයකට පත්ව තිබුණද ඒ හිමිකරගෙන තිබුණු දියුණුවේද බරපතළ සීමාසහිතකම් තිබුණි. ඔවුන්ට මහින්ද රාජපක්ෂ පාලනය කිරීමේ අවශ්‍යතාව ගැනද ඒ සඳහා යොදාගත යුතු ක්‍රමවේදය ගැනද මනා වැටහීමක් තිබුණද අසීලාචාර දේශපාලන ක්‍රමය පරාජය කළයුත්තේ කෙසේද යන්න ගැන හෝ ජාතිය ගොඩනගා ගනිමින් සීලාචාර රාජ්‍යයක් ගොඩනගා ගතයුත්තේ කෙසේද යන්න ගැන නිරවුල් අවබෝධයක් නොතිබුණි. මහින්ද පරාජය කොට ක්‍රියාවට නගන සරල ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩසටහනකින් ලොකු සමාජ පරිවර්තනයක් ඇතිවනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. දේශපාලන නායකයන්ට අවශ්‍ය වූයේ අන් හැම දේකටමත් වඩා මහින්ද පරාජය කොට තමන්ගේ පාලනයක් ඇතිකර ගැනීමය. ලොකු පරිවර්තනයක් සඳහා වුවමනාවක් හෝ ඒ සඳහා වන දැක්මක් ඔවුන්ට නොතිබුණේය.
දැනුවත් මහජනයා අපේක්ෂා කළේ යෝජනා වී තිබූ වැඩසටහනින් ලොකු පරිවර්තනයක් ඇති කිරීමට හේතුවනු ඇති බවය. එහෙත් ඒ වැඩසටහනට මහින්ද පරාජය කිරීමේ අරමුණට ගාම්භීර පෙනුමක් ලබාදෙනවා මිස ලංකාවේ අර්බුදයට විසඳුමක් ලබාදීමේ හැකියාවක් නොතිබුණි. එම සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන පවා පරිපූර්ණ ලෙස සම්පූර්ණ කිරීමට යහපාලන ආණ්ඩුව සමත් නොවීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි මහජනතාව අපේක්ෂා කළද එසේ කිරීමටද යහපාලන ආණ්ඩුව සමත් නොවීය. ජනාධිපති ශ්‍රීලනිපයේ නායකත්වය ගැනීම, ඉක්මන් මැතිවරණයකට නොගොස් කප්පම් ගෙවන ක්‍රමයක් තුළ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයට ගැනීම, පොරොන්දු වූ පරිදි රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ බරපතළ වැරදිවලට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපරිම මට්ටමෙන් වරදාන ලබාදෙන අතර මහජනයා මත අනවශ්‍ය ලෙස බර පැටවීම වැනි හේතු නිසා යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා ආත්මාර්ථකාමී අරමුණුවලින් තොරව පොදු යහපත සලකා ඇප කැපවීමකින් ක්‍රියා කළ ජනතාව අතර ලොකු කලකිරීමක් ඇති කිරීමට හේතුවී තිබේ. අනෙක් අතට රාජපක්ෂ රෙජීමය පරාජය කර ඇතත් එම රෙජීමයේ රෙජිමේන්තු පරාජය කිරීමට අසමත් වී තිබෙන තත්ත්වයක් තුළ පරාජිත දේශපාලන බලවේගයන් නැවත හිස ඔසවන තත්ත්වයක්ද ගොඩනැගෙමින් පවතී.

සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීම
මෙම නිශ්චිත ඓතිහාසික මොහොතේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන පරිවර්තනය ඇති කිරීමේ හැකියාව යහපාලන ආණ්ඩුවට නැත. එම ආණ්ඩුවේ ගමන් මගෙන් ලොකු වෙනසක් ඇතිකර ගැනීමේ ඇත්ත හැකියාවක්ද නැත. ආයාචනා කිරීමෙන් හා කරුණු පැහැදිලි කිරීමෙන් සමහර සරල හා පුංචි වෙනස්කම් ඇතිකර ගැනීමට හැකිවනු ඇතත්, සමස්ත චිත්‍රයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමේ හැකියාවක් නැත. ඒ වෙනුවට තෝරා ගැනීමට තුන්වැනි පිරිසක්ද නැත. පරාජය කරන ලද බලවේගයට නැවත බලයට පත්වීමට ඉඩ දුනහොත් ඉන් විය හැකි විනාශයද අතිවිශාලය. එසේම රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ දැනුවත් සමාජ ස්ථරය අපේක්ෂාභංග හැඟීමෙන් නිෂ්ක්‍රීය තත්ත්වයකට පත්වුවහොත් දියුණුව කරා යමින් තිබුණ සමාජ සවිඥානකත්වයේ නැවත කඩා වැටීමක් හා පිරිහීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
මෙම නිශ්චිත ඓතිහාසික මොහොතේදී ආරක්ෂා කරගත යුතු වැදගත්ම බලවේගය ලෙස සැලකිය හැක්කේ සාපේක්ෂ වශයෙන් දියුණු සමාජ සවිඥානකත්වයන් හිමිකරගෙන සිටින සමාජ ස්ථරය ආරක්ෂා කරගැනීමය. ඔවුන් නිෂ්ක්‍රීය තත්ත්වයකට පත්වන්නට ඉඩ නොදී ඔවුන්ගේ සක්‍රීයතාව ආරක්ෂා කරගැනීමය. එක තැන පල්වෙන ආණ්ඩුවක් යහපත් නැතත් රට ඉදිරියට ගෙනයෑමට සුදුසු තුන්වැනි පිරිසක් නැත්නම් රට ආපස්සට ගෙනියන ආණ්ඩුවක් වෙනුවට එක තැන පල්වෙන ආණ්ඩුව තෝරා ගැනීමට දැනුවත් මහජනතාවට සිදුවන්නේය. පරාජය කරන ලද බලවේගයට නැවත ජයග්‍රාහී වීමට ඉඩ නොදීමේ හැකියාව තිබෙන්නේද ඔවුන්ටය. මෙම දියුණු සමාජ ස්ථරය ප්‍රබෝධවත් හා සක්‍රීය තත්ත්වයක තබාගැනීම සඳහා තෝරාගත හැකි ක්‍රමවේදයක් තිබේද?
මට පෙනෙන ආකාරයට මෙම සමාජ ස්ථරය නිෂ්ක්‍රීය වන්නට ඉඩ නොදී සක්‍රීය ලෙස ක්‍රියාකරන තැනකට ගන්නා අතර ඔවුන්ගේ සවිඥානකත්වය වඩා දියුණු තැනකට ගැනීමට හැකිවනු ඇත්තේ ප්‍රධාන කොට එම විශේෂ ස්ථරය පදනම් කොටගත් සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමෙනි. එය මෙම සමාජ ස්ථරය නිෂ්ක්‍රීය වීම වළකා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය වනවා සේ ම ලංකාවේ අර්බුදය විසඳා ගැනීමට තිබෙන ක්‍රමය ලෙසද සැලකිය හැකිය. එම සමාජ ව්‍යාපාරයේ දාර්ශනික හා ක්‍රියාකාරී රාමුව තනාගැනීමේදී පහත සඳහන් කාරණා සැලකිල්ලට ගැනීම වැදගත්ය.

යථා තත්ත්වය තේරුම් ගැනීම
යහපාලන ආණ්ඩුවට වෙනදා නොතිබුණු නිදහස් අවකාශයක් ජනතාවට ලබාදෙනවා හැරුණු විට ලංකාවේ අර්බුදයට විසඳුම් ලබාදෙන කර්තෘකාරකයෙකු ලෙස ක්‍රියාකිරීමේ ඇත්ත හැකියාවක් නැත. යහපාලන ආණ්ඩුවේ නායකයෝ ලංකාවේ අර්බුදය ගැන හොඳින් හැදෑරූ හෝ එය හොඳින් තේරුම් ගත් අය නොවෙති. මෙම තත්ත්වයට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිව බලයට පත්වූ අය නොවෙති. බලයට පත්වීමෙන් පසුව වුවද ප්‍රමාණවත් තරමේ හැදෑරීමකට යොමුවූ අයද නොවෙති. “ඔවුන් වැදගත් කොට සැලකූ එකම දේ ලෙස සැලකිය හැක්කේ බලය අල්ලා ගැනීම පමණය.” රටේ සිදුවූ අවාසනාවන්ත දේවල් පිළිබඳ අවංක කනගාටුවක් හා බලවත් කම්පාවක් ඔවුන් තුළ තිබෙන බවක් පෙනෙන්නේම නැත. ඔවුන් කතා කරන විට ඔවුන්ගේ ඇස්වල කඳුළු පිරෙන අවස්ථාවන් අප දැක නැත. ප්‍රධාන නායකයන් දෙපළ පොදු දේපළ සොරකම් කළ අය ලෙස සැලකිය නොහැකි වුවත් තමන්ගේ දේශපාලන සගයන් කරන වංචා ඉවසාගෙන සිටීමට පුරුදු වී සිටි අය වෙති. ඒ නිසාම වංචාව හා දූෂණය තුරන් කිරීමේ ප්‍රබල වුවමනාවක් ඔවුන් තුළ තිබිය නොහැකිය.

තේරුම් ගත යුතුව තිබෙන තවත් වැදගත් කරුණක් වනුයේ ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඒවාහි නායකයන්ද සමඟ ඓතිහාසික වශයෙන් අවලංගු වන තත්ත්වයකට පත්වෙමින් සිටින බවය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට ඒ සියලු දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන්ද අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. මේ සියලු පක්ෂ අඩු වැඩි වශයෙන් රට අඳුරු කිරීමට මිස ආලෝකවත් කිරීමට සමත් වී නැත. ඒවා දායක වී ඇත්තේ මෛත්‍රිය හා කරුණාව පැතිරවීමට නොව ක්‍රෝධය හා වෛරය වැපිරීමය. ජනතාව සමඟි කරනවා වෙනුවට කර ඇත්තේ ජනතාව භේදභින්න කිරීමය. මේ එකම දේශපාලන පක්ෂයක්වත් ප්‍රමාණවත් තරමේ ප්‍රඥාවක් පෙන්නුම් කිරීමට සමත් වී නැති බවද අමතක නොකළ යුතුය. මොනම වැදගත් ප්‍රශ්නයක් පිළිබඳවවත් හොඳ සංකල්ප පත්‍රිකාවක්වත් මේ පක්ෂවලට පළකිරීමට හැකිවී නැත. රටේ පවතින බංකොළොත්භාවය මෙම පක්ෂවල බංකොළොත්භාවයේම ප්‍රතිබිම්බයක් ලෙස සැලකිය හැකිය.
ලංකාව මේ සා විශාල අර්බුදයකට තල්ලු කිරීමට හේතුවූ ලොකුම සාධකය ලෙස සැලකිය හැක්කේ ධනේශ්වර පරිවර්තනයකට මාරුවීමෙන් පසුව ඇතිවූ ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමය. ඒ නිසා කුලභේද, වර්ගභේද හා ආගම් භේද මත ගැටුම් ඇතිවීම වළකා ගැන්මට තිබුණු පුළුවන්කම නැති කරගත්තේය. නිදහස වෙනුවෙන් පෙනීසිටි අපේ නායකයන්ට අවශ්‍ය වූයේද බලය ලබාගැනීම පමණය. ජාතික රාජ්‍යයක යහපැවැත්ම සඳහා අවශ්‍ය ජාතියද ඒ ආශ්‍රයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක යහපැවැත්ම සඳහා අවශ්‍ය දියුණු සවිඥානකත්වයක් සහිත සමාජයද ගොඩනගා ගැනීමේ වැදගත්කම තේරුම් ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. ඉන්දියානු නායකයන් සමඟ සසඳන විට අප අපේ ජාතික වීරයන් ලෙස පුදන නිදහසේ නායකයන් සැලකිය යුත්තේ අඥාන නායකයන් ලෙසය.

නිදහස
නිදහස දිනාගැනීම සඳහා කරන උත්සාහය තුළ ලංකාවට නිදහස ලබාදෙනවාට එකඟ නොවූ හෝ විරුද්ධ වූ හෝ ප්‍රධාන සමාජ කණ්ඩායම් දෙකක් රටේ සිටියෝය. එක් කණ්ඩායමක් වාර්ගික අර්ථයෙන් සුළු ජාතීන් ලෙස සැලකිය හැකි කණ්ඩායම්ය. අනෙක් කණ්ඩායම කුල අර්ථයෙන් සිංහල හා දෙමළ සමාජයේ සිටි පීඩිත කුල කණ්ඩායම්ය. මෙම කණ්ඩායම් දෙකේ නායකයෝද පළමුව ඩොනමෝර් කොමිසම ඉදිරියටද, දෙවනුව සෝල්බරි කොමිසම ඉදිරියට යමින් නිදහස ලබාදීමට ලංකාව තවමත් සුදුසු තත්ත්වයක නොපවත්නා බව කියා සිටියෝය. සුළු වාර්ගික නායකයන් කියා සිටියේ නිදහස නිසා සිංහල මහා වර්ගයට බලය ලැබී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවිය හැකි බවය. පීඩිත කුලවල නායකයන් කියා සිටියේ සිංහල හා දෙමළ සමාජයේ වංශවත් හා විශාලතම කුල දෙක ලෙස සැලකිය හැකි ගොවිගම හා වෙල්ලාල කුලවලට බලය ලැබී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
මෙම මූලික ප්‍රශ්නය විසඳාගත යුතුව තිබුණේ ලංකාවේ ජීවත් වන සියලුදෙනාට භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ක්‍රමයක් තුළ ජාතිය ගොඩනැගීමෙනි. එහෙත් ලංකාව නිදහස ලබාගත්තේ ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. නිදහස ලැබීමෙන් පසුද ඒ ගැන තැකීමක් නොකළේය. බලයට පත්වන ආණ්ඩු ක්‍රියා කළේද පීඩිත ගණයෙහිලා සැලකිය හැකි ජන කණ්ඩායම් පීඩාවට පත් කෙරෙන ආකාරයටය. ඒ තත්ත්වය පීඩිත ගණයෙහිලා සැලකිය හැකි ජනතාව අතර ලොකු අතෘප්තියක් ඇති කිරීමට හේතුවී තිබුණි.

අසීලාචාර කාලය
ලංකාව නිදහස ලබාගත්තේ එක ලේ බිඳුවකුදු නොසොල්වාය. එහෙත් නිදහස ලැබී වසර තිහකට පමණ පසුව එක දිගට තවත් අවුරුදු 30ක් පමණ කාලයක් ලංකාව මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය. එම ලේ හැලිල්ල ආරම්භ වූයේ සිංහල දකුණෙනි. අවසන් වූයේ දෙමළ උතුරෙනි. කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා අතින් ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්වූ අතර ඊට වැඩි පිරිසක් වදහිංසාවන්ට ලක්වූහ. මෙසේ විශාල පිරිසක් මියයන විට මරණයට පත් නොවූ මිනිසුන්ද ආධ්‍යාත්මික වශයෙන් මුළුමනින් හා අර්ධ වශයෙන් මියගියවුන් බවට පත්විය. මරණ බිය රජ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම අසීලාචාර වටාපිටාව තුළ මිනිසුන් පමණක් නොව රාජ්‍යයද, රාජ්‍යයේ ආයතන ක්‍රමයද දූෂිත හා ජරාජීර්ණ තත්ත්වයකට පත්විය.
ප්‍රචණ්ඩ ගැටුම් අවසන්වීමෙන් පසුව රාජ්‍යයද, සමාජයද ප්‍රතිසංවිධානය කොට ප්‍රතිනිර්මාණය කළ යුතුව තිබුණේය. ආධ්‍යාත්මික වශයෙන් මුළුමනින් හෝ අර්ධ වශයෙන් මරණයට පත්ව සිටි මිනිසුන් සුවපත් කොට ඔවුන් නැවත ප්‍රකෘති මිනිසුන් බවට පත්කරගත යුතුව තිබුණේය. දූෂිත හා ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යයද එම රාජ්‍යයේ ආයතන ක්‍රමද ප්‍රතිසංවිධානය කොට ඒවා ප්‍රතිනිර්මාණය කරගත යුතුව තිබුණේය. එහෙත් ඒ පිළිබඳ දැනුමක් හෝ වුවමනාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොති බුණේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කර යුද්ධය ජයගැනීමට සමත් වුවත් ජරාජීර්ණ වී තිබූ රට ප්‍රතිසංවිධානය කරන තැනකට යමින් ලංකාවේ අර්බුදය ජයගැනීමට සමත් වූයේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වූයේ එහිම ප්‍රතිඵලයක් වශයෙනි. යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් යහපාලන ආණ්ඩුවද අර්බුදය මතුපිටින් අතපත ගාන තත්ත්වයක සිටිනවා විනා අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික දැක්මක් හා ක්‍රියාමාර්ගයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. එම තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුවද ලොකු අර්බුදයකට තල්ලු වනු නොවැළැක්විය හැකිය.
මෙසේ රට හා සමාජය දැන් තිබෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා නායකයන්ට තිබෙන පිළිගැනීම මුළුමනින් අහිමි කරමින් ඒ සියල්ල ඓතිහාසික වශයෙන් අවසානයක් කරා යන තැනකය. ඒ දේ සිදුවෙමින් තිබෙන්නේද ඒ තැන ගැනීමට කිසිදු විකල්පයක්ද නැති තත්ත්වයක් යටතේය. එහි අවසාන තේරුම වනු ඇත්තේ රට එක් ආකාරයක හෝ තවත් ආකාරයක අරාජික තත්ත්වයකට යොමුවනු ඇති බවය.

විය යුත්තේ කුමක්ද?
ඒ නිසා සිදුවන හානිය අවම කරගත හැකිවනු ඇත්තේ එම යථාර්ථය තේරුම් ගනිමින් දැනුවත් සමාජයේ පුරවැසි බලය සංවිධානාත්මකව ශක්තිමත් කිරීමට හේතුවන සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගන්නා තැනකට යොමුවීමෙනි. එහි අත්තිවාරම බවට පත්කරගත යුත්තේ ඉහත කී දියුණු සමාජ සවිඥානකත්වයෙන් යුතු හා මේ මොහොතේ අපේක්ෂාභංග තත්ත්වයට පත්ව සිටින සමාජ තීරුවයි. ආණ්ඩු බලය පුරවැසියන්ට යටත්ව ක්‍රියා කරන තැනට ගැනීම එහි අරමුණ විය යුතුය. නිදහස ලැබුණු කාලයේ ආණ්ඩු කරන දේශපාලකයන් හා මහජනයා අතර සවිඥානකත්වයේ ලොකු පරතරයක් තිබුණි.

එහෙත් මේ වනවිට දෙපිරිස එක සමාන තත්ත්වයකට පත්වී තිබේ. පුරවැසි සමාජය සවිඥානකත්වයේදී සංවිධාන ශක්තියේදී දේශපාලනඥයන් අබිබවා ගිය තත්ත්වයකට පත්වූ විට පුරවැසියන් නටවන ආණ්ඩු බලයක් වෙනුවට පුරවැසියන්ට නැටවිය හැකි ආණ්ඩු බලයක් රටේ ඇතිවනු ඇත. එය පුරවැසි ව්‍යාපාරයේ වැදගත් ඉලක්කයක් විය යුතුය.
සමාන අදහස් දරන තමන් දන්නා අයද එකතුකර ගනිමින් පුරවැසියන්ට තමන් ජීවත් වන ප්‍රදේශවල කුඩා කණ්ඩායම් හදාගන්නා තැනකට යාහැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය, පුරවැසි බලය වැනි ව්‍යාපාරවලටද විවිධ නාම පුවරුවලින් පෙනීසිටින විවිධ ව්‍යාපාරවලටද තමන්ගේ මුල් අරමුණු අත නොහැර ක්‍රියාකාරී පුරවැසි සමාජ ව්‍යාපාරයක් ගොඩනගන ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත්විය හැකිය. සෝභිත හිමියන්ගෙන් පසුව ඒ තැන ගනු ලැබූ මහාචාර්ය සරත් විජේසූරිය තමන් වෙත පැවරී තිබෙන වගකීම සාධාරණ හා අපක්ෂපාත ලෙස ඉටුකරමින් සිටින්නේයැ’යි කිව හැකිය. එහෙත් ඒ මගින් ප්‍රමාණාත්මක වෙනසක් මිස ගුණාත්මක වෙනසක් ඇති කරගත හැකිද යන්න ගැන එම ව්‍යාපාරය සේම පුරවැසි බලය වැනි ව්‍යාපාරද බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යෑම වැදගත්ය. තිබෙන සංවිධාන සේ ම අලුතෙන් ගොඩනගා ගන්නා සංවිධානද එකිනෙකට ඒකාබද්ධ කරමින් පහළ සිට ඉහළට යන මධ්‍යම සංවිධානයක් ඇතිකර ගැනීම වැදගත්ය. එම සංවිධාන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ගොඩ නගන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් සඳහා දැක්විය හැකි හොඳ ආදර්ශ මාදිලියක් ලෙස සකස් කර ගැනීම වැදගත්ය.
එම සමාජ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවට පුනරුදය උදාකිරීමය. මිනිසුන්ගේ බෙලහීන හා විනාශ වී තිබෙන සමාජ අධ්‍යාත්මය සුවපත් කොට ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තීන් විකසිත කරන අතර කැබලි වී තිබෙන ජාතිය එක්සේසත් කිරීමද වැදගත් අරමුණක් කරගත යුතුය. කුලභේදයට තිබෙන පිළිගැනීම මුළුමනින් තුරන් කිරීම, වර්ග හා ආගම් අතර භේද තුනී කොට ඒවා අතර සංහිඳියාවක් ඇති කළ යුතුය. විචාර බුද්ධියෙන් හා දියුණු රසඥතාවකින් යුතු යහපත් හා සංස්කෘතික මිනිසුන් තැනීම එම ව්‍යාපාරයේ වැදගත් අරමුණක් විය යුතුය. ව්‍යාපාරයේ මූලික දෘෂ්ටිය ලෞකික හා බහුත්වවාදී විය යුතුය. ව්‍යාපාරයට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හේතුවන පිළිගත් පොදු දෘෂ්ටියක් තිබිය යුතු වුවත් එය අනේකවිධභාවයට ඉඩ දෙන්නක්ද විය යුතුය.
මහජනයා කෙරෙහි ලොකු බලපෑමක් ඇති කළ හැකි එවැනි සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමට හැකිවේ නම් නව වටිනාකම්වලින් යුතු විකල්ප සංස්කෘතික සමාජ වටාපිටාවක් ඇතිකර ගැනීමට හේතුවනු ඇති අතර බෙලහීන බවට පත්කිරීමට හේතුවී තිබෙන මිනිසුන්ගේ අධ්‍යාත්මය සුවපත් කොට නිර්මාණශීලී ලෙස ක්‍රියාකරන මිනිසුන්ගෙන් යුතු සමජයක් ඇති කර ගැනීමටද හැකිවනු ඇත. එය දහස් ගණනක් වෙනුවට ලක්ෂ ගණන් ජනයා එකට ඒකරාශී කරන ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි නම් ආණ්ඩු බලය ලබාගැනීමකින් තොරවම රටට අවශ්‍ය වෙනස්කම් ඇති කරන ව්‍යාපාරයක් බවට පත් කළ හැකිය. අවසාන විග්‍රහයේදී රටේ දැන් තිබෙන අඳුර පහකොට රටට ආලෝකය ලබාදිය හැකිවනු ඇත්තේ එවැනි ව්‍යාපාරයකටය.■