ලිඛිත ව්‍යවස්ථා ඇති රාජ්‍යයක් ඇතිවීම (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 7)

දීර්ඝ කාලයක් දේව ධර්ම ආධිපත්‍යය තුළ හිරවී එකතැන පල්වෙන තත්ත්වයක තිබූ යුරෝපය වේගයෙන් ඉදිරියට ඇදී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන පුනරුද යුගයට අවතීර්ණ වන්නේ 15 වන සියවසේදීය. ඉන්පසු 17 වැනි සියවස දක්වා ඇතිවන මහා සිදුවීම් යුරෝපය මුල්කරගත් නූතන ලෝකයක් ඇති කිරීමට හේතුවීයැ’යි කිව හැකිය.

දේව ධර්මයට තිබූ ආධිපත්‍යය බිඳවැටී නවීන විද්‍යාව ඒ තැන ගත්තේද කාර්මිකකරණය හා නාගරිකකරණය කරළියට එන්නේද, වැඩවසම් ක‍්‍රමය බිඳ වැටී ධනවාදය ඒ තැන ගත්තේද රාජාණ්ඩු ක‍්‍රමය බිඳ වැටී ජාතික රාජ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරළියට එන්නේද මෙම කාලවකවානුවේදීය.

ලිඛිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පදනම් කරගත් ආණ්ඩුක‍්‍රම ඇතිවීම ආරම්භවන්නේද වැඩවසම් රාජාණ්ඩු ක‍්‍රමය බිඳවැටී නූතන ජාතික රාජ්‍ය පහළවීමේ ක‍්‍රියාදාමයට සමගාමීවය. පැරණි වැඩවසම් රාජ්‍යයට නිශ්චිත දේශ සීමා නොතිබුණි. රටක් ලෙස සැලකුණු භූමි කලාපයක එක රාජධානියකට වැඩි රාජධානි ගණනක් තිබීමේ හැකියාව තිබුණි. පෘතුගීසීන් ලංකාවට එන අවස්ථාව වනවිට කෝට්ටේ, කන්ද උඩරට හා යාපනය වශයෙන් රාජධානි තුනක් තිබුණි. ඒවාටද නිශ්චිත දේශසීමා නොතිබුණු අතර එම රාජ්‍යයන්ට මාධ්‍යගත පාලනයක්ද නොතිබුණි. රජු තේරී පත්වූයේ උරුමයෙනි. රාජධානියට අයත් සියලූ භූමියට අධිපති ලෙස සැලකුණේද රජුය. රජුට නීති සම්පාදන බලය, නීති ක‍්‍රියාත්මක කරවීමේ බලය හා නීති පසිඳලීමේ බලය යන බල තුනම තිබුණි. රාජ්‍යයට පුරවැසියන් නොසිටි අතර සිටියේ යටත්වැසියන්ය.

ජාතික රාජ්‍යය පිළිබඳ ලිබරල් පරිකල්පනය

මෙම පරිවර්තන යුගයේදී යුරෝපයේ පැවති වැඩවසම් රාජාණ්ඩුක‍්‍රමයට එරෙහිව විවිධ රටවල විවිධ අවස්ථාවල මහා කැරලි ඇතිවිය. දේශපාලන තලයේ ඒ කාලයේ සිදුවූ මහා සිදුවීම් අතර බි‍්‍රතාන්‍යයේ පළමුවැනි චාර්ල්ස් රජුට මැරුම් කන්නට සිදුවෙමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය තහවුරු කිරීමට හේතුවන ලෙස 1642-48 කාලයේදී ඇතිවූ සිවිල් යුද්ධයත්, 1758-88 කාලයේදී සිදුවන ඇමරිකන් විප්ලවයත් 1789-99 කාලයේදී සිදුවන ප‍්‍රංශ විප්ලවයත් ප‍්‍රධාන තැනක් ගෙන තිබුණේයැ’යි කිව හැකිය.

මේ කාලය සංගීතය, සාහිත්‍ය කලාව, දර්ශනවාදය හා දේශපාලන විද්‍යාව යන අංශවලද මහා දියුණුවක් ඇතිවූ කාලයක් විය. ගොඩනැගෙමින් තිබූ ‘නූතන ජාතික රාජ්‍යය’ දේශපාලන න්‍යායවාදීන්ගේ විමර්ශනයට ලක්වෙමින් තිබූ වැදගත්ම මාතෘකාවක් විය. ජාතික රාජ්‍යය පිළිබඳ ලිබරල් පරිකල්පනය ලෙස හැඳින්වෙන න්‍යායවාදය ඇතිවී වර්ධනය වන්නේ මේ කාලයේදීය. ජෝන් ලොක් (1636-1704), චාල්ස් ලූවිස් මොන්ටෙස්කි්‍යු (1689-1755) හා ජෝර්ජ් ස්ටුවර්ට් මිල් (1806-1873) එම න්‍යායවාදයේ මූලික අංග සූත‍්‍රගත කළ චින්තකයන් ලෙස සැලකිය හැකිය. නූතන ජාතික රාජ්‍යය පිළිබඳ එම පරිකල්පනයට අයත් ප‍්‍රධාන මූලධර්ම මේවාය.

1. රාජ්‍යයේ මූලික පරමාර්ථය වියයුත්තේ පුරවැසියන්ගේ ජීවිතය, නිදහස හා පුද්ගලික දේපළ ආරක්ෂා කිරීමය.
2. රාජ්‍යයට පරමාධිපත්‍යය බලය ලැබෙන්නේ මහජනයාගෙනි. ඒ නිසා රාජ්‍ය බලය මහජන කැමැත්තට යටත්ය.
3. ආණ්ඩු බලය මහජනයා සමග ඇතිකර ගන්නා ගිවිසුමක ඵලයකි.
4. ආණ්ඩුවට අසීමිත බලයක් නැත. ආණ්ඩුව මහජනයා පවරා තිබෙන බලතලවලට පමණක් සීමා විය යුතුය. ඒ සීමාව ඉක්මවා ක‍්‍රියාකරන ආණ්ඩුවක් පලවාහැරීමේ බලය මහජනයා සතුය.
5. ආණ්ඩුවේ සංවිධාන ව්‍යුහය බලතල බෙදීමේ සිද්ධාන්තයට අනුකූලව සිදුවිය යුතුය. නීති සම්පාදනය නීති ක‍්‍රියාත්මක කිරීම හා නීති පසිඳලීම එකිනෙකට ස්වාධීන බලමණ්ඩල තුනක් අත වෙන් වෙන්ව තිබිය යුතු අතර ඒවා නිර්මාණය කළයුත්තේ එක් බලමණ්ඩලයකට අනෙක් බලමණ්ඩල ග‍්‍රහණයට ගත නොහැකි ආකාරයටය.
6.ව්‍යවස්ථාදායකය විධා යකයට වඩා උත්තරීතර විය යුතුය. විධායකය ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට තිබිය යුතුය. එහෙත් ව්‍යවස්ථාදායකයට ලැබෙන බලයද පරම බලයක් නොවිය යුතුය.
7. සියලූදෙනා නීතියට යටත්ය. සියලූදෙනා කෙරෙහි සමාන ආකාරයකින් නීතිය ක‍්‍රියාත්මක විය යුතුය.
8. බහුතර බලයකට සුළුතර අයිිතිවාසිකම් පාගා දැමීමට ඉඩ නොතිබිය යුතුය.
9. රාජ්‍ය නිරාගමික විය යුතුය.
10. රාජ්‍යයට විධිමත්ව සකස් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබිය යුතුය. එය සකස් කළයුත්තේ පාලකයන්ට හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමට නොහැකි ආකාරයටය.

ලිඛිත ව්‍යවස්ථාවක් නැති බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමය

බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමයේ ඇතිවෙමින් තිබූ වෙනස්කම් මෙම චින්තකයන් කෙරෙහි බලපෑවේය. එම ආණ්ඩුක‍්‍රමය විකාශය වෙමින් තිබුණේ සාදා නිම කළ සැලැස්මකට අනුව නොව විටින් විට ඇතිවන ස්වයං සිද්ධීන්ට අනුකූලවය. එහි රජුගේ නියම බලය පිරිහෙමින් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය තහවුරුෙවිමන් තිබුණද රජුගේ බලතල මුළුමනින් ඉවත් කිරීමක්ද සිදු නොවීය. මුලදී සාමි මන්ත‍්‍රී මණ්ඩලය බලවත් තත්ත්වයක තිබුණද ඒ තත්ත්වය වෙනස් වී සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ බලය අබිබවා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ ආධිපත්‍යය තහවුරුවෙමින් තිබුණි. නීතියේ ආධිපත්‍යය තහවුරුවෙමින් ඒ මගින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන තත්ත්වයක්ද ගොඩනැගෙමින් තිබුණි.

බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමය කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ හැඩගැසෙමින් තිබූ ආකාරය ඉතාමත් සුවිශේෂය. එය රාජාණ්ඩු, රදළ ආණ්ඩු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමවලට සමහර ලක්ෂණ එකට එකතු වී විකාශය වූ ආණ්ඩුක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. රජු රාජාණ්ඩුක‍්‍රමයද, සාමි මන්ත‍්‍රී මණ්ඩලය රදල ආණ්ඩු ක‍්‍රමයද, නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද සංකේතවත් කළේය. රජු හා සාමි මන්ත‍්‍රී මණ්ඩලයට තිබුණේ සංකේතාත්මක වැදගත්කමක් පමණය. නියම දේශපාලන බලය තිබුණේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයටය. බි‍්‍රතාන්‍ය රාජ්‍ය නමැති නෞකාව හසුරුවන සුක්කානම වී තිබුණේ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයය.

ඉතාමත් සුවිශේෂ දේ වනුයේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමයට ලිඛිත ව්‍යවස්ථාවක් නොතිබීමය. බි‍්‍රතාන්‍ය ලිඛිත ව්‍යවස්ථාවක් හදාගැනීමේ උනන්දුවක් පවා පෙන්නුම් කර නැත. එයට ව්‍යවස්ථාවක් තිබුණද එය ලිඛිත නොවූ අතර එය විකාශය වූයේ අත්දැකීම් හා සම්ප‍්‍රදායයන් ඔස්සේය. එම ලිඛිත නොවන ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබූ බොහෝ මූලධර්ම පාර්ලිමේන්තුව මගින් සම්මත කරගනු ලැබූ ඒවාද නොවීය. භාවිතාව තුළින් පිළිගත් සම්ප‍්‍රදායයන් ලෙස ස්ථාපිත වූ මූලධර්ම විය. එම සාම්ප‍්‍රදායික මූලධර්ම දැඩි ලෙස මුල් බැසගෙන තිබෙන දෙයක් වන අතර ඒවා එම ලිඛිත නොවන ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රධාන සංරචකය ලෙසද සැලකිය හැකිය. එම ලිඛිත නොවන ව්‍යවස්ථාවේ ඉතිරි කොටස් සමන්විත වූයේ ප‍්‍රඥප්තීන්, පාර්ලිමේන්තු පනත්, අධිකරණ, තීන්දු ශ්‍රේෂ්ඨ පොත් හා පොදු නීතියෙනි.

බි‍්‍රතාන්‍යයේ ඇත්තේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යයක් සහිත ආණ්ඩුක‍්‍රමයකි. රජු නාමික විධායක පමණක් වේ. පාර්ලිමේන්තුව පනවන අණපනත් කිසිවක් අධිකරණයට සමාලෝචනය කළ නොහැකිය. එහෙත් පුදුමයකට මෙන් පාර්ලිමේන්තුවට තිබෙන ඒ බලය වැරදි ලෙස ප‍්‍රයෝජනයට ගත් අවස්ථාද නැත. බි‍්‍රතාන්‍යයට ඇත්තේ ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයකි. මහජන නියෝජන මන්ත‍්‍රී මණ්ඩලයට මහජන ඡුන්දයෙන් නියෝජිතයන් පත්වන අතර සාමි මන්ත‍්‍රී මණ්ඩලයට සාමි ගණයට වැටෙන සියලූදෙනා අයත් වෙති. නියම විධායක බලය තිබෙන්නේ අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයටය. අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තාක් පමණය. නීතියේ ආධිපත්‍යය බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමයේ තිබෙන වැදගත්ම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. සියලූදෙනා නීතිය ඉදිරියේ සමානය. සාධාරණ විධිමත් නඩු විභාගයකින් තොරව කිසිවකුට දඬුවම් කළ නොහැකිය. රජ පවුල පවා නීතියට යටත්ය. මූලික අයිිතිවාසිකම් සඳහා විශේෂ ප‍්‍රඥප්තියක් නැතත් වෙනත් රටවලටත් වඩා එම අයිතීන් ඒ රටේ සුරක්ෂිතය. අධිකරණයට නීති සමාලෝචන බලයක් නැතත් අධිකරණය ඉහළම තත්ත්වයක ස්වාධීනත්වයක් භුක්ති විඳී. අපක්ෂපාතීභාවය හා නොනැමෙනසුලූ භාවය එහි අධිකරණයට ආවේණික නිත්‍ය ලක්ෂණයකි.

ඇමරිකන් ව්‍යවස්ථාදායකය

පසුකලක ඇමරිකා එක්සත් ජනපදය ලෙස එකට එකතුවන ඉංග‍්‍රීසි ජනපද 13 එම ජනපද කෙරෙහි පැවති බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව යුද්ධ කොට 1776දී නිදහස දිනාගැනීමෙන් පසු කෙටි ව්‍යවස්ථාවක් ඇතිකර ගනිමින් සංයුක්ත රාජ්‍යයක් ඇතිකර ගත්තේය. එහෙත් ටික කලකින් යුද කාලයේදී ඇතිව තිබූ සමගිය නැතිවී ජනපද අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් ඇතිවීම නිසා එම ආරාවුල් නිරාකරණය කරගැනීම සඳහා 1786 සැප්තැම්බර්වලදී ජනපද නියෝජිතයන්ගේ සම්මේලනයක් කැඳවන ලදි. එහෙත් ඊට සහභාගි වූයේ ජනපද 5ක නියෝජිතයන් පමණය. ඊට සහභාගි වූ එක් නියෝජිතයකු වූ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති සංශෝධනය කිරීමේ ප‍්‍රශ්නය සලකා බැලීම සඳහා ජනපද නියෝජිතයන්ගේ සම්මේලනයක් කැඳවන ලෙස කොංග‍්‍රසයට යෝජනා කළේය. 1787 වර්ෂයේදී පවත්වන ලද ෆිලඩෙල්ෆියා මහා සමුළුව එහි ප‍්‍රතිඵලයක් විය.

එම මහා සමුළුවලට එක ජනපදයක් සහභාගි නොවූ අතර, ඉතිරි ජනපද 12 නියෝජිතයෝ 73ක් සහභාගි වූහ. ඔවුන් අතරින්ද මහා සමුළුවට සහභාගි වූයේ නියෝජිතයන් 55 දෙනකු පමණය. සමුළුවට සහභාගිවූවන්ගෙන් වැඩි පිරිස විශේෂ දක්ෂතා ඇති සම්භාවනීය අය වූහ. ඒ සියලූදෙනා අතරින්ද වඩාත්ම කැපීපෙනෙන අය වූයේ ජෝර්ජ් වොෂින්ටන්, ජේම්ස් මැඩිසන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, බෙන්ජමින් ප‍්‍රෑන්ක්ලින් හා ජේම්ස් විල්සන්ය.
සම්මේලනය ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වෙනුවට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට තීරණය කළේය. දින 16ක කාලයක් තුළ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සම්මේලනය සමත් විය. එය වගන්ති කොටස් 7කින් යුතු වචන 7000කින් සමන්විත අතින් ලියන ලද පිටු නවයක ලියවිල්ලක් විය. අදටත් ලෝකයේ තිබෙන පුංචිම ව්‍යවස්ථාව ලෙස සැලකෙන්නේ එයයි.

එය ඇති කළ ප‍්‍රතිඵල ඉතා ප‍්‍රබල වූවා සේ ම ඉතා විප්ලවකාරී වීයැ’යි ද කිව හැකිය. ජාතික රාජ්‍ය පිළිබඳ ලිබරල් පරිකල්පනයේ එන එක මූලධර්මයක් හැර අන් සියලූ මූලධර්ම ඊට ඇතුළත්ව තිබුණේයැ’යි කිව හැකිය. ඊට ඇතුළත්ව නොතිබුණු මූලධර්මය ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථාදායකය විධායකයට වඩා උත්තරීතර විය යුතුය, විධායකය ඉවත්කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට තිබිය යුතුය කියන මූලධර්මය පමණය. මොන්ටෙස්කි්‍යුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය පරිපූර්ණ ලෙස යොදාගත් ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේද ඇමරිකානු ව්‍යවස්ථාවය.

ඇමරිකානු එක්සත් ජනපදයේ ඓතිහාසික වටාපිටාව සේ ම භෞමික වටාපිටාවද බි‍්‍රතාන්‍යයට වඩා වෙනස්ය. එක්සත් ජනපදය ලෙස ලිහිල් ලෙස එකට එකතු වී තිබූ ජනපද රාජ්‍ය 13 ස්වාධීන රාජ්‍ය 13ක් විය. ඒ මොහොතේ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ට අවශ්‍ය වූයේ ඒ බැඳීම ශක්තිමත් කරන ව්‍යවස්ථාවකි. අනෙක් අතට බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව යුද්ධයක් කරන තැනකට ගිය ඔවුන්ට බි‍්‍රතාන්‍ය වන හැම දෙයක් කෙරෙහිම විරෝධයක් තිබුණි. ඒ නිසා බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රමය ආදර්ශයට ගැනීමේ වුවමනාවක්ද ඔවුන්ට නොතිබුණි. ඒ නිසා ඇමරිකානු ව්‍යවස්ථාව නිර්මාණය වූයේ ඊට ආවේණික සුවිශේෂ තත්ත්වයට අනුරූපී වන ආකාරයටය.

ඇමරිකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක‍්‍රමයකි. සියලූම විධායක බලතල ඇත්තේ ජනාධිපතිටය. ඔහු කොංග‍්‍රස් මණ්ඩලයට වගකිවයුතු නැත. ඔහු ඉවත් කිරීමටද කොංග‍්‍රස් මණ්ඩලයට පුළුවන්කමක් නැත. එසේම කොංග‍්‍රස් මණ්ඩලය විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිට නැත. ජනාධිපති පත්වන්නේ වක‍්‍ර ක‍්‍රමයකටය. ඡුන්ද මණ්ඩල ක‍්‍රමයකටය. ජනාධිපතිගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් කොංග‍්‍රසයේ සාමාජිකයෝ නොවෙති. ඇමරිකාවේ තිබෙන්නේද ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයකි. රජයේ නිලධාරීන් පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට වුවත් එසේ පත්කරන්නන් සෝදිසියට ලක්කොට නුසුදුසු අය සිටී නම් ඔවුන් පත්කිරීම වැළකීමේ බලය කොංග‍්‍රසය සතුය. නීති සම්පාදන බලය තිබෙන්නේ ව්‍යවස්ථා දායකයටය. ව්‍යවස් ථාවට පටහැනි කොංග‍්‍රසය පනවන ඕනෑම නීතියක් සේ ම ව්‍යවස්ථාවට පටහැනි ජනාධිපතිගේ ඕනෑම ක‍්‍රියාවක් බලරහිත කිරීමේ බලය අධිකරණය සතුය. අධිකරණය රටවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂකයා හා භාරකාරයා ලෙස ක‍්‍රියා කරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇමරිකාවේ උසස්ම නීතිය වන අතර මධ්‍යම රජයට හෝ ජනපද රජයකට එය නොසලකා ක‍්‍රියා කළ නොහැකිය. ඇමරිකන් ව්‍යවස්ථාව පෙඩරල් ව්‍යවස්ථාවක් වන අතර ලොව වැඩිම අනම්‍ය බවක් ඇති ව්‍යවස්ථාවද වේ.

දැන් එම ව්‍යවස්ථාව අවුරුදු 228ක් පැරණිය. මුලදී ඇමරිකන් එක්සත් ජනපදය අයත්ව තිබුණේ ජනපද 13ක් පමණය. එදා ඊට අයත් ජනගහනය දශ ලක්ෂ 04කි. වර්තමානයේ ඊට ඇතුළත් ජනපද සංඛ්‍යාව 50කි. ජනගහනය මිලියන 320කි. ව්‍යවස්ථාවට එකතු වී තිබෙන සංශෝධන සංඛ්‍යාව 27කි.
ඇතිවූ නව ජාතික රාජ්‍යයන් සුදුසු ආණ්ඩුක‍්‍රමයක් තෝරාගැනීමේදී බොහෝවිට ආදර්ශයට ගත්තේ බි‍්‍රතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය හෝ ඇමරිකාවේ පැවති ජනාධිපති ආණ්ඩුක‍්‍රමයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යටත්විජිත තත්ත්වයක ඉඳ නිදහස ලැබූ නව රාජ්‍යයක්ද ආණ්ඩුක‍්‍රමයක් තෝරාගැනීමේදී බොහෝවිට ආදර්ශයට ගත්තේ මේ රටවල් දෙකය. ඉතා වැදගත් දේ බි‍්‍රතාන්‍ය යටත්විජිත තත්ත්වයක සිට නිදහස ලැබූ බොහෝ රටවල් බි‍්‍රතාන්‍ය ආදර්ශයට ගනිමින් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තෝරා ගත්තද ඒ හැම රටක්ම පාහේ ලිඛිත ව්‍යවස්ථාවක්ද ඇතිකර ගත්තේය. ලිඛිත ව්‍යවස්ථාවක් නැති එකම රට වශයෙන් සැලකිය හැක්කේ බි‍්‍රතාන්‍යය පමණය. ව්‍යවස්ථා සම්පාදනයේදී ඒ රටවල් බොහෝ දුරට ආදර්ශයට ගත්තේ ඇමරිකාවය. ඇමරිකන් ව්‍යවස්ථා සම්පාදනයෙන් පසු ව්‍යවස්ථා සම්පාදනයේදී වඩා දියුණු පරමාදර්ශී තත්ත්වයක් හිමිකරගත් රට බවට පත්වූයේ ඉන්දියාවය.

ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදනය

ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදනයේදී යොදාගැනුණු ප‍්‍රතිපත්තිය වූයේ දැනඋගත් කිහිපදෙනකු ශාලාවකට එකතු වී ජාතියේ අවශ්‍යතාවන් සලකා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. ඉන්දියාව වඩා ජනහිතකාමී ප‍්‍රවේශයක් ක‍්‍රියාත්මක කළේය. ජාතියේ සියලූ විවිධ ප‍්‍රවණතා නියෝජනය කරන හොඳම නියෝජිත පිරිසක් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තුළ ඒකරාශි කොට භේදයකින් තොරව සියලූදෙනාට සමාන ගෞරවයක්ද, සමාන අයිතිවාසිකම්ද සහතික කරන ප‍්‍රතිපත්තියක් තුළ එක්සත් ජාතියක් ඇති කිරීමට හේතුවන යහපත් හා කාර්යක්ෂම රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීමට හේතුවන මූලධර්ම හඳුනාගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කොට හා වාද විවාද කොට වැඩි ඡුන්ද බලයෙන් නොව පොදු එකඟතාවක් සඳහා අවශ්‍ය සම්මුති ඇතිකර ගන්නා ප‍්‍රවේශයක් මගින් ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේය. එය ව්‍යවස්ථා සම්පාදන විෂයට ඉන්දියාව විසින් එකතු කරන ලද ඉතා වැදගත් නව මානයක් විය. ව්‍යවස්ථාව රටක ජනතාවක් විසින් ඇතිකර ගන්නා සම්මුතියක් නම් අවසාන විග‍්‍රහයේදී ව්‍යවස්ථාව සාදාගත යුත්තේද ජනතාව විසිනි. ඉන්දියානු ව්‍යවස්ථාව ඒ කරා යන ගමනක වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

ඉන්දියාව සිය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නියෝජිතයන් තෝරාගත්තේ ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් හරහාය. ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව කදිම කෘතියක් ලියා ඇති ඇමරිකානු ඉතිහාසඥයෙකු වූ ග‍්‍රැන්විල් ඔස්ටින් පෙන්වා දී ඇති පරිදි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නියෝජිතයන් තෝරාගැනීම ආවාට ගියාට සිදුවූ දෙයක් නොවූ අතර නිසිමග පෙන්වීම් යටතේ ඉතා විධිමත් ලෙස ජාතියේ සියලූ වැදගත් ප‍්‍රවණතා බොහෝදුරට ඔවුන්ගේ අනුපාතිකයන්ට සරිලන ලෙස කෙරුණු විශිෂ්ට තේරීමක් විය. ඒ තුළ සියලූ වර්ගවලට අයත් සියලූ ආගම්වලට අයත් සියලූ සංස්කෘතික කණ්ඩායම්වලට අයත්, සියලූ පන්තීන්ට හා සියලූ දේශපාලන ප‍්‍රවණතාවලට අයත් නියෝජිතයන් සිටියා පමණක් නොව එය ඉන්දියානු ජාතියේ බුද්ධිමය සාරය මනා ලෙස ඒකට ඒකරාශි කරන ලද අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සම්පූර්ණ නියෝජිත සංඛ්‍යාව 296කි. ප‍්‍රාන්ත ව්‍යවස්ථා දායකයක් මගින් තෝරාගත් නියෝජිතයන් 235ගෙන් 88ක් සුළු ජාතිකයෝ වූහ.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පළමු රැුස්වීම පවත්වන ලද්දේ 1946 දෙසැම්බර් 9 වැනිදාය. කමිටු 15කට වැඩි ගණනකට බෙදී ඒ කමිටුවලින් ඉදිරිපත්වූ යෝජනා පදනම් කරගනිමින් කෙටුම්පත් කමිටුව කෙටුම්පත් කරන ලද මුල් කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත ඉදිරිපත් කළේ 1947 නොවැම්බර් 04 වැනිදාය. ඉන්පසු එම කෙටුම්පතේ එන විවිධ කොටස් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡුාවට හා විවාදයට ලක්වෙමින් මුල් කෙටුම්පත වෙනස්වෙමින් වර්ධනය වූවේය. මුල් කෙටුම්පත වගන්ති 315කින් හා උපලේඛන 13කින් සමන්විත විය. අවසාන කෙටුම්පත වගන්ති 395කින් හා උප ලේඛන 8කින් සමන්විත විය. මුල් කෙටුම්පතේ ඇතිවී තිබෙන වෙනස්කම්වල තරම ඉන් සිතාගත හැකිය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වී තිබූ යෝජනා සංඛ්‍යාව 7000කි. ඉන් තෝරාගත් යෝජනා 2473ක් සාකච්ඡුාවට ලක් කර තිබේ. රාජ්‍ය භාෂාව වැනි ප‍්‍රතිපත්තීන් සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට ගතවූ කාලය ඉතා දීර්ඝය.

එම ව්‍යවස්ථා සම්පාදනයේ එක් වැදගත් අරමුණක් වූයේ නිදහස් ඉන්දියාවට පුනරුදය අත්පත් කරදීමය. නිදහස් අරගල ක‍්‍රියාවලිය තුළ ගොඩනගා ගනිමින් තිබූ ඉන්දියානු ජාතියේ සැලකිල්ල හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයේ සැකිල්ල ශක්තිමත් කිරීමය. භේදයකින් තොරව රටේ සියලූ ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව රාජ්‍යයක් ගොඩනැගීමය. ඒ සඳහා අවශ්‍ය ව්‍යුහයන් පටිපාටි හා ආයතන ක‍්‍රම ඇතිකර ගැනීමය. ඉන්දියානු පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් නීතිගත කිරීමය.

ඒ මගින් ඔවුහු ඉන්දියාවේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අපූරු ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගත්තෝය. බලතල බෙදීමේ සිද්ධාන්තය ක‍්‍රියාත්මක කිරීමේදී ඇමරිකන් ක‍්‍රමය ආදර්ශයට ගත් අතර ආණ්ඩුක‍්‍රමය සඳහා ආදර්ශයට ගත්තේ බි‍්‍රතාන්‍යයයි. අධිකරණයට විනිශ්චයකරුවන් තෝරාගන්නා ක‍්‍රමයේදී බි‍්‍රතාන්‍යයත්, අධිකරණයට බලතල ලබාදීමේදී ඇමරිකාවත් ආදර්ශයට ගත්තෝය. ඔවුන් සංක්ෂිප්ත ව්‍යවස්ථාවක් වෙනුවට ඇතිකර ගත්තේ දීර්ඝ විස්තරාත්මක ව්‍යවස්ථාවකි. රාජ්‍යයේ ස්වරූපය සන්ධීය වුවද හරය ඒකීය විය. තෝරාගත් ආණ්ඩුක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය විය. ජනාධිපති ප‍්‍රධාන විධායකය වුවද සියලූ බලතල අයත් වූයේ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. රජය මෙලොව අරමුණුවලට පමණක් සීමා කළේය. ව්‍යවස්ථාවට අයත් මූලික අයිතීන් අවලංගු කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා තිබෙන්නේද පුරවැසියන්ගේ අයිතිවාසිකම්වල ආරක්ෂකයා ලෙසය. ව්‍යවස්ථාවට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආධිපත්‍යයක් සහිත සමූහාණ්ඩුවට බලය ලැබෙන උල්පත මහජනයාය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යටත්විජිත තත්ත්වයක තිබී නිදහස ලැබූ ජාතීන් කිසියම් විශාල සංඛ්‍යාවක් ලිඛිත ව්‍යවස්ථා ඇතිකර ගත්තද ව්‍යවස්ථා සම්පාදනයේදී ඉන්දියාව ක‍්‍රියාවට නගන ලද පොහොසත් සම්ප‍්‍රදායට සමාන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට ඒ කිසිදු ජාතියක් සමත් වී නැත. බුරුමය හා පාකිස්තානයද ව්‍යවස්ථා සම්පාදනය සඳහා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල ක‍්‍රමයකට ගියද පාකිස්තානයට 1960 වන තෙක්ම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හැකිවූයේ නැත. බුරුමයෙන් අසන්නට ලැබෙන්නේද අසාර්ථක කතාවකි. නයිජීරියාව, ඝානාව හා මැලේසියාව යන රටවලට ව්‍යවස්ථා සම්පාදකයන් සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසයක් හෝ දැක්මක් නොතිබුණු අතර ඒ රටවල් තුන සඳහාම ව්‍යවස්ථා සම්පාදනය කර දුන්නේ බි‍්‍රතාන්‍ය යටත්විජිත කාර්යාලය විසිනි.
ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයට ඊළඟට ඉන්දියාව ඉක්මවා ගිය පොහොසත් සම්ප‍්‍රදායක් එකතු කළ රට බවට පත්වන්නේ දකුණු අප‍්‍රිකාවය. ඊළඟ ලිපියෙන් දකුණු අප‍්‍රිකානු අත්දැකීම සලකා බලන අතර නව ව්‍යවස්ථා සම්පාදනයකදී අප තෝරාගත යුතු මගද සාකච්ඡුා කළ හැකිය.

මතු සම්බන්ධයි