විජයග‍්‍රහණය හා පරාජය

 

රජය මේ වසරේ දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ පස්වැනි සංවත්සරය වෙනදා මෙන් ම මහ ඉහළින් සමරයි. ඒ සඳහා මාතර නගරය සූදානම් කොට ඇති අතර, ප‍්‍රදේශයේ පාසල්වලට දින ගණනක් නිවාඩු ද දී මේ උත්සවය උත්කර්ෂවත් ව පවත්වන්නට සෑම පියවරක් ම ගෙන තිබේ. ඒ අතර වාර්තා වන්නේ යාපනය විශ්වවිද්‍යාලයද මැයි 16 සිට 20 දක්වා වසා දැමීමට උතුරේ හමුදා පාලන අධිකාරිය තීරණය කොට ඇති බව ය. ආණ්ඩුව විසින් පවත්වන්නට යන විජයග‍්‍රහණයේ සැමරුම සාර්ථක කරගැනීම සඳහා දකුණේ පාසල් වසන අතර, උතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සිය මියගියවුන් සිහි කරාවි ය යන සැකය නිසා යාපනය විශ්වවිද්‍යාලය වසා තැබෙන බව හොඳින් පෙනෙයි.

විජයග‍්‍රහණය මහ ඉහළින් සමරන ආණ්ඩුවේ ඉහළම සිට පහළට සියල්ලන්ට අමතක වී ඇත්තේ පසුගිය කාලයේ රටේ යුද්ධයක් පැවතුණේ කා සමග ද, විජයග‍්‍රහණයක් ලද්දේ කා පරදවා ද යන්න ය. ගැටුම පැවැතියේ ලංකාව ආක‍්‍රමණය කරන්නට ආ වෙනත් රටක ආක‍්‍රමණකාරී බල සේනාවක් සමග නොවේ. මේ රටේම මේ පොළොවේ ම හැදී වැඩුණු, පුරවැසියන් පිරිසක් සමග ය. දිගු කාලයක් තිස්සේ තමන්ට අසාධාරණයක් විණැ’යි කී ඔවුන් ඊට ඇති අවසාන විසඳුම සේ දුටුවේ සන්නද්ධ පෙළගැසීම යි. ඇත්ත වශයෙන් ම එසේ අසාධාරණයක් වී ඇති බව ද ලංකාවේ ඉතිහාසය පිරික්සන අන්තවාදියකු නොවන ඕනෑ ම කෙනකුට පෙනෙයි. අවසානයේ රට යුද්ධයකට ගියේ ය. එක් පාර්ශ්වයක් පරාජය විය.

පරාජය වූවෝ කවරහු ද? අපේ ම රටේ, අපේ ම සහෝදර පුරවැසියන් කොටසකි. වෙන රටකින් ආවෝ නොවෙති. එහෙත්, අද විජයග‍්‍රහණය සමරන්නේ ඒ පිරිස මුළුමනින් ම චිත‍්‍රයෙන් ඉවත් කොට ය.

ගැටුමේ පාර්ශ්වයක් ලෙස සහභාගි වී හෝ, එසේ නොවී පසෙකට වී සිටියදී හෝ මියගිය පුද්ගලයකුගේ මරණය සමරන්නට, මතක් කරන්නට ඔවුන්ගේ ඥාතීන්ට, සමීපතමයන්ට කිසිදු නීීතිමය ඉඩක් අද ඇත්තේ නැත. රහසින් වත් මියගියවුන් සමරන්නට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීයැ’යි කියන රටේ ඉඩක් ද නැත. එසේ කරන්නට ඇති අවස්ථා යාපනය විශ්වවිද්‍යාලය වසාදැමුවාක් වැනි හිතුවක්කාරී පියවර මගින් අඩපණ කැරෙන අතර, රහසින් හෝ එසේ කරන්නවුන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අතිශය දරදඬු නීතියක් යටතේ වැරදිකාරිත්වයට යටත්වන්නට හොඳටම ඉඩ තිබේ.

ජනාධිපතිවරයා විසින් ම පත්කරන ලද උගත් පාඩම් කොමිෂන් සභාවෙන් පවා නිර්දේශ කර ඇත්තේත්, සංහිඳියාව සාමය වෙනුවෙන් වැඩකරන සියලූ පාර්ශ්වයන්ගේ පොදු ඉල්ලීමක් වී ඇත්තේත්, වාර්ගික බෙදීම් තවදුරටත් පවත්වාගන යන හා තීව‍්‍ර කරන වාර්ෂික විජයග‍්‍රහණයේ සැමරුම වෙනුවට යුද්ධයෙන් මිය ගිය, හානියට පත්වූ ජයග‍්‍රාහී මෙන් ම පරාජිත යනාදි වූ සියලූ පාර්ශ්වයන්ට එක් ව සැමරිය හැකි පොදු අනුස්මරණ උත්සවයක් ජාතික වශයෙන් ඉදිරියට ගන්නා හැටියට ය. එවිට, ජයග‍්‍රාහකයා හා පරාජිතයා යන බෙදීම වෙනුවට, අපි එක ම ඛේදවාචකයක කොටස්කරුවෝ වෙමු’ය යන අදහස සියලූ පාර්ශ්ව තුළ ඇති වනු ඇත්තේ ය. රටක් හා සමාජයක් ගැලීසිටින අභාවවාචක අත්දැකීම්වලින් එළියට ඒමේ දොරටු විවර කරගත හැකි වන්නේ එවැනි සාමූහිකත්වයක් ගොඩනගාගත හොත් පමණෙකි.

යුද්ධය අවසන් කොට අවුරුදු පහක් ගතවන විට දී ද අප කරමින් සිටින්නේ ජයග‍්‍රාහකයාගේ ඊනියා අභිමානය හා ශක්තිය පෙන්වමින් පරාජිතයා තවදුරටත් මානසික වශයෙන් පෙළීම ය. මහත් උත්කර්ෂයෙන් සමරන මේ විජයග‍්‍රහණය, තමන්ගේ පාර්ශ්වයේ පරාජයක් වන විට හා ඒ පරාජිතයන් සමරන්නට වත් නිදහසක් තමන්ට නැති වන වග දැනෙන විට ජනවර්ගයක් ලෙස ඔවුන්ගේ අභිමානයට ඇතිවන හානිය තක්සේරු කළ හැක්කේ කෙසේ ද? ඉන් නොනැවතී ඒ පරාජිත හා අසහනකාරී මානසිකත්වය රටක් ලෙස අප බලාපොරොත්තු වන අනාගත සංහිඳියාවට කරන හානිය තක්සේරු කරන්නේ කෙසේ ද?
අවාසනාවට, මේ සියල්ල දෙස අවදියෙන් බලන නායක පිරිසක් මේ රටේ නැත.