ව්‍යවස්ථා සම්පාදනයේ දකුණු අප‍්‍රිකානු ආදර්ශය ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය – 8

 

ස්පාඤ්ඤ ජාතික ව්‍යවස්ථා  විචාරකයකු වන ටෝනියෝ  ගෑස්ගේ මතය අනුව ලෝකයේ සියලූම ව්‍යවස්ථා අතුරින් වඩාත්ම ලිබරල් හා වඩාත්ම නවීන ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේ දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවය. ඊට ඇතුළත් මානව හිමිකම් ලේඛනය සම්භාව්‍ය ලිබරල් මානව හිමිකම් ලේඛනය ඉක්මවා ගිය දියුණු තත්ත්වයක පවතී. එහි සමානතාවාදී සංකල්පය අර්ථකථනය වී තිබෙන්නේද ඉතාමත් නිර්මාණශීලී හා නවීන ආකාරයකටය. සීමිත ආණ්ඩුව පිළිබඳ ලිබරල් මූලධර්මය ආණ්ඩුක‍්‍රමයට එකතු කර තිබෙන්නේද අන් කවර ව්‍යවස්ථාවකවත් දකින්නට නැති තරම් විචක්ෂණ ආකාරයකටය. එය මහජනයාට තේරුම්ගත නොහැකි නෛතික භාෂාවකින් වෙනුවට මහජනයාට පහසුවෙන් තේරුම්ගත හැකි සරල භාෂාවකින් කෙටුම්පත් කෙරුණු එකම ව්‍යවස්ථාව ලෙසද සැලකිය හැකිය. ව්‍යවස්ථාවේ දර්ශනය, ඊට ඇතුළත් විධිවිධාන හා එය ඇති කර තිබෙන ආයතන ක‍්‍රම ඉතාමත් මහජන හිතකාමී වනවා සේ ම ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙන ක‍්‍රියාදාමයද මහජනයාට බර තැබෙන ලෙස සකස් කරන ලද ක‍්‍රියාදාමයක් ලෙස සැලකිය හැකිය. නූතන පිළිගැනීම අනුව ව්‍යවස්ථා සම්පාදනයකදී මහජනයාගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍ය කොන්දේසියකි. දැන් එය ජාත්‍යන්තර නීතිය සමගද එකට ගැටගැසුණු කොන්දේසියක් වී තිබෙන්නේයැ’යි  කිව හැකිය. දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථා සම්පාදනය එම කොන්දේසිය ප‍්‍රශස්ත ලෙස සම්පූර්ණ කෙරුණු ව්‍යවස්ථා සම්පාදනයක් වනවා සේ ම නව ව්‍යවස්ථා සම්පාදනයක යෙදෙන රටකට දැනට තෝරාගැනීමට තිබෙන හොඳම ආදර්ශ මාදිලිය ලෙසද සැලකිය හැකිය.

නිදහසේ වාන් දොර ඇරීම

දකුණු අප‍්‍රිකාවේ ජීවත් වූ සුදු මිනිසුන් සුළුතරය විසින් එහි ජීවත් වූ කළු බහුතරයට එරෙහිව වර්ණභේද ආධිපත්‍යයක් සහිත රාජ්‍යයක් නිර්මාණය කළේ විසිවන සියවසේ පළමු දශකයේදීය. එහෙත් එම සාහසික ප‍්‍රතිපත්තිය 1948 දක්වාම ක‍්‍රියාත්මක වූයේ නොනිල වශයෙනි. 1948 සිට එය නිල වශයෙන්ම ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්තියක් බවට පත්විය. වර්ණ භේදවාදය විසින් නිර්මාණය කරන ලද ව්‍යුහයන් ඉතාමත් කුරිරු හා අමානුෂික සමාජයක් ඇති කිරීමට හේතුවිය. කල්ලන් මේ තත්ත්වයට එරෙහිව දිගින් දිගට විවිධ ආකාරයෙන් අරගල කළ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වර්ණභේදය මත පදනම් වූ දකුණු අප‍්‍රිකානු රාජ්‍යයේ මූලික වෙනසක් ඇති කිරීමෙන් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකට එම රාජ්‍යය පත්ව තිබුණේය. ඒ තත්ත්වය කෙරෙහි අන්තර්ජාතික වශයෙන් එම රාජ්‍යයට එරෙහිව එල්ලවෙමින් තිබූ බලපෑම්ද බලපෑවේය. මේ චිත‍්‍රයේ මහා වෙනසක් ඇති කිරීමට හේතුවන පරිවර්තනය ආරම්භවන්නේ 1990 පෙබරවාරි මස දෙවැනි දින එරට පාර්ලිමේන්තුව විවෘත කිරීමේ සාම්ප‍්‍රදායික උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපති ඩි ක්ලර්ක් කරන ලද කතාවකිනි. ඔහු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය, සමස්ත අප‍්‍රිකානු කොංග‍්‍රසය, දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය ඇතුළු තවත් සංවිධාන තිස් එකකට පනවා තිබූ තහනම ඉවත් කරන බව එහිදී කියා සිටියේය. ඒ සමග අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවත් හදිසි නීතිය ලිහිල් කරන බවත් ප‍්‍රකාශ කරමින් ‘සාකච්ඡුා කිරීමට කාලය පැමිණ ඇතැ’යි ද කීවේය. ඒ අනුව පෙබරවාරි 11 වැනි දින අත්අඩංගුවේ සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස් කළේය. මැන්ඩෙලා සමග රජයේ නියෝජිතයන් සාකච්ඡුා කිරීම ආරම්භ කර තිබුණේ ඔහු නිල වශයෙන් නිදහස් කිරීමට පෙර සිටමය. ඉන්පසු රහසේ කෙරෙන ද්විපාක්ෂික සාකච්ඡුා ගණනාවකින් පසුව 1991 දෙසැම්බර් අවසානයේදී බහුපාක්ෂික සාකච්ඡුා ආරම්භ කරන ලදි. ඒ සඳහා පැවති පළමු සමුළුවේදී පොදු අභිලාෂ පළකෙරෙන ප‍්‍රකාශයකට සමුළුවට සහභාගි වූ එක් පක්ෂයක් හැර අන් පක්ෂ අත්සන් තැබූහ. සර්වජන ඡුන්ද බලය මත පදනම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුපක්ෂ ක‍්‍රමයක් සහිත, නීතිය ඉදිරියේ සියලූදෙනා සමානයන් ලෙස සලකන, ස්වාධීන අධිකරණයක ආරක්ෂාව ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ නොබැඳි අප‍්‍රිකාවක් ඇතිකර ගැනීමට එම ප‍්‍රකාශනයට අත්සන් තැබීම මගින් ඔවුහු එකඟ වූහ. ප‍්‍රකාශනයට අත්සන් නොතැබුවේ ඉන්කාතා පක්ෂය පමණය. ක්වාසුලූ ප‍්‍රාන්තයේ විශාල දේශපාලන බලයක් හිමි කරගෙන සිටි එම පක්ෂය ස්වාධිපත්‍යයක් ලැබෙන ආණ්ඩුක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ නිසා නොබෙදුණු දකුණු අප‍්‍රිකාව යන යෙදුමට එකඟවීමට පුළුවන්කමක් එම පක්ෂයට නොතිබුණි. ඩි ක්ලර්ක්ට දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමේ ඇත්ත අවශ්‍යතාවක් තිබුණි. එසේ නැතිව දකුණු අප‍්‍රිකාවට පැවැත්මක් නැති බව ඔහු දැන සිටියේය. එහෙත් ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රියාමාර්ගයක් තුළ ඇතිවන විපර්යාසයේදී සිය ජනයා (සුදු ජනයා* එහි රුදුරු බිල්ලක් වනවා දකින්නටද ඔහු කැමති නොවීය. ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රියාමාර්ගයක් තුළ දැන් තමන් (සුද්දන්* අත තිබෙන බලය නැතිවී කල්ලන් අතට බලය මාරුවන බව ඔහු දැන සිටියේය. එම පරිවර්තනයේදී තම ජනයාට සිදුවන හානිය පිළිගත හැකි අවම මට්ටමක තබාගැනීම ඔහුගේ අභිලාෂය විය. ක්ලර්ක්ගේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කල්ලන්ගේ අමන්දානන්දයට හේතුවී තිබුණද කළු නායකයන් ඒ දෙස බැලූවේද සැකයෙනි. ඩි ක්ලර්ක් තම ව්‍යාපාරය උගුලකට හසුකර ගන්නට යන්නේද කියන සැකය ඔවුන් තුළ තිබුණි. දකුණු අප‍්‍රිකාවේ ජනගහනයෙන් 75%ක් කල්ලන් වන විට 14%ක් සුද්දෝ වූහ. මුල් ලන්දේසි ජනපදිකයන්ගෙන් පැවත එන අප‍්‍රිකානා ජනවර්ගය 9%ක්ද, 3%ක් ඉන්දියානුවෝ ද වූහ. යුරෝපීය සුදු ගණයට වැටෙන ජනයා අතරද දේශපාලන ධාරා දෙකක් තිබුණි. පාලක ජාතික පක්ෂය බහුතර කල්ලන් කෙරෙහි පවත්වාගෙන යන පීඩාකාරි ආධිපත්‍යයේ වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේයැ’යි කල්පනා කරන තත්ත්වයක සිටියද කන්සර්වේටිව් පක්ෂය කල්පනා කළේ කල්ලන් සමග ඇති කරගන්නා  ඕනෑම එකඟතාවක් මහා පාවාදීමක් ලෙසය. අප‍්‍රිකානා වර්ගයට බර තැබූ දේශපාලන ප‍්‍රවණතාද ඩි ක්ලර්ක්ගේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දැක්කේ පාවාදීමක් ලෙසය. කල්ලන්ගේම අතුරු ප‍්‍රභේදයක් ලෙස සැලකිය හැකි ඉන්කාතා ජනවර්ගය නියෝජනය කළ ඉන්කාතා පක්ෂයටද තමන්ගේ දේශපාලන බල ප‍්‍රදේශය මත ක්වාසුලූ ප‍්‍රාන්තයට ස්වරාජ්‍ය තත්ත්වයක් දිනාගැනීම ගැන සිහින දැක්කා මිස නොබෙදුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දකුණු අප‍්‍රිකාවකට එකඟවීමේ හැකියාවක් ඔවුන්ටද නොතිබුණේය. දකුණු අප‍්‍රිකාවේ ජනවර්ග අතර තිබුණු වෙනස්කම් සේම ඔවුන් අතර ආකල්පමය වශයෙන් තිබුණු වෙනස්කම්ද විසින් සියලූදෙනාට පිළිගත හැකි විසඳුමක් ඇතිකර ගැනීම ඉතා දුෂ්කර හා සංකීර්ණ දෙයක් බවට පත්කර තිබුණේය. මේ නිසා විසඳුමක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන සාකච්ඡුා තුළ අවුල් ඇතිවීම සේ ම එය දිග්ගැස්සුණු ස්වරූපයක් ගැනීමද අසාමාන්‍ය දෙයක් නොවීයැ’යි කිව හැකිය. මෙම පරස්පර විරෝධී එකතුව තුළ සිටි ප‍්‍රධාන බල කණ්ඩායම් දෙක ලෙස සැලකිය හැකි සුදු වර්ගය නියෝජනය කළ පාලක පක්ෂය වූ ජාතික පක්ෂයේ හා කළු වර්ගයට අයත් ජනයාගෙන් අතිවිශාල බහුතර පිරිස නියෝජනය කළ දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකයන් අන් බල කණ්ඩායම් නායකයන්ට වෙනස්ව, පිළිගත හැකි විසඳුමක් ඇතිකර ගැනීමේ මූලික අරමුණින් බැහැර නොවී මහත් ඇපකැපවීමකින් යුතුවත් ප‍්‍රඥාවන්ත හා නිර්මාණශීලී ලෙසත් ක‍්‍රියාකරන්නට සමත්වීම නිසා ඒ සඳහා ආරම්භ කළ ගමන තර්කානුකූල අවසානයකින් නිමකිරීමට හැකිවීයැ’යි කිව හැකිය.

අන්තර් වාර ව්‍යවස්ථාව

නිල වශයෙන් බහුපාක්ෂික සාකච්ඡුා ආරම්භ කෙරුණේ 1991 දෙසැම්බර් අවසානයේදීය. පිළිගත් පොදු වැඩසටහනක් සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවූයේ 1993 ජූනි 3 වැනිදාය. එහිදී ඇති කරගනු ලැබූ පොදු එකඟතාවකට ඇතුළත් ප‍්‍රධාන කාරණා මේවාය. 1.  සිදුවන පරිවර්තනය අදියර දෙකකින් යුතුය. ඒ දෙක එකිනෙකට සම්බන්ධය. 2. පළමු අදියරේදී අන්තර්කාලීන ව්‍යවස්ථාවක්ද සර්ව පාක්ෂික අන්තර්කාලීන භාරකාර ආණ්ඩුවක්ද ඇති කරගනු ලැබේ. 3.  පළමු අදියරේදී සිදුකළ යුතු දේවල් සේ ම එය සම්පූර්ණ කිරීමෙන් පසුව දෙවැනි අදියරේ සිදුවිය යුතු දේවල්ද අන්තර්කාලීන ව්‍යවස්ථාවෙන් විස්තර කෙරේ. 4. මහා ආණ්ඩුව ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයකින්ද දෙවැනි පෙළ ආණ්ඩුව ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් 9කින්ද යුතුය. මහා ආණ්ඩුවේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය තෝරා පත්කර ගන්නා නියෝජිතයන් 400කගෙන්ද, සෙනට් සභාව ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් 90කින්ද සමන්විතය. නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත්කර ගන්නේ අනුපාතික ක‍්‍රමයට මහජන ඡුන්දයෙනි. 5. එසේ තෝරා පත්කර ගන්නා ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථාව සම්පාදනය කරන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ලෙස ක‍්‍රියා කළ යුතුය. 6. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ව්‍යවස්ථාව සම්පාදනය කළයුත්තේ අන්තර් ව්‍යවස්ථාවේ දක්වා ඇති ව්‍යවස්ථා මූලධර්ම 34ට අනුකූලවය. 7.  ව්‍යවස්ථා සම්පාදනය අවුරුදු දෙකක කාලයක් තුළ සම්පූර්ණ කළ යුතුය. 8. සම්පාදනය කෙරෙන ව්‍යවස්ථා කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ තුනෙන් දෙකක ඡුන්දයකින් අනුමත විය යුතුය. එසේ නොවී එය අනුමත වන්නේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ බහුතර ඡුන්දයකින් පමණක් නම් ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කොට 60%කට අඩු නොවන ජන අනුමැතියකින් සම්මත කරගත යුතුය. 9.  ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු එය ව්‍යවස්ථා මූලධර්ම 34ට අනුකූලව සකස් කර තිබේද යන්න සොයා බලා තීන්දු කිරීම පිණිස ව්‍යවස්ථා අධිකරණයට යොමු කළ යුතුය. එහි දෝෂ ඇති බව අධිකරණයේ තීරණය වේ නම් අධිකරණය දෙන නිර්දේශවලට අනුකූලව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කෙටුම්පත නැවත සකස් කළ යුතුය. 10. මැතිවරණ පැවැත්විය යුතු කාලවකවානුවද අතුරු ව්‍යවස්ථාවට ඇතුළත්ය. 11. මැතිවරණයෙන් පසුව තේරී පත්වන පක්ෂ නියෝජිතයන් සර්ව පාක්ෂික ජාතික එකමුතු ආණ්ඩුවක් ඇති කරගත යුතුය. තනතුරු බෙදී යායුත්තේ ඒ ඒ පක්ෂ ලබාගන්නා මන්ත‍්‍රී අනුපාතයන්ට අනුකූලවය. 12. සර්වපාක්ෂික ජාතික එකමුතු ආණ්ඩුව පවතින්නේ අවුරුදු පහක කාලසීමාවක් සඳහා පමණය. ඒ අනුව දකුණු අප‍්‍රිකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන තැනකට යන්නට පෙර ඊළඟට දේවල් සිදුවිය යුතු ආකාරය විස්තර කෙරෙන අතුරු ව්‍යවස්ථාවක්ද තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක්ද ඇතිකර ගත්තේය. නව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතුව තිබුණේ අතුරු ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ව්‍යවස්ථා මූලධර්ම 34ට අනුකූලවය. ඒ මගින් හැදෙන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල කල්තියා දැකීමේ හැකියාව සියලූදෙනාට ලැබී තිබුණි. මැතිවරණයෙන් පසුව බිහිවන්නේද ඒක පාක්ෂික ආණ්ඩුවක් නොව වසර 5ක කාලයක් සඳහා වන සර්ව පාක්ෂික ජාතික එකමුතු ආණ්ඩුවකි. ඒ සියලූ විධිවිධාන මගින් සිදුවන්නට නියමිත පරිවර්තනය කිසිදු අවිනිශ්චිත ගමනකට ඉඩක් නැති ඉතාමත් ක‍්‍රමවත්ව හා විධිමත්ව ඉදිරියට ගලා යන තත්ත්වයක් සහතික කර තිබුණේය. මෙවැනි විශේෂ ක‍්‍රමවේදයක් වැඩියෙන්ම අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් දරදඬු වර්ණ භේදවාදී ආධිපත්‍යයක් පවත්වාගෙන ගිය සුදු ජනයාගේ ආරක්ෂාව සඳහාය. බල හුවමාරුවකින් පසු ඔවුහු බරපතළ අයිතිවාසිකම් අහිමි කිරීමකට හෝ පළිගැනීමකට ලක්වීම වැළැක්වීම සඳහාය. කිසිදු අවිනිශ්චිත හැඟීමකින් තොරව තමන් අත තිබෙන බලය සාමකාමී ලෙස අත්හැරීමේ පුළුවන්කම ඔවුන්ට ලබාදීම සඳහාය. ව්‍යවස්ථා මූලධර්ම විශේෂ වශයෙන් වැදගත් වූයේද ඔවුන්ටය. ඒ මගින් කල්ලන්ට වැඩි බලය ලැබෙන ව්‍යවස්ථාදායකය විසින් හදන්නට යන්නේ කුමන ආකාරයේ ව්‍යවස්ථාවක්දැ’යි කල්තියා දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණි. එය සාමකාමී පරිවර්තනයක් සඳහා සකස් කෙරුණු විශිෂ්ට මාර්ග සිතියමක් වේයැ’යි කිව හැකිය.

ව්‍යවස්ථා සම්පාදනයේ මහජන සහභාගිත්වය

1994 අපේ‍්‍රල්හි පැවති මහ මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ආරම්භක සැසිය පවත්වන ලද්දේ 1994 මැයි 24 වැනිදාය. එය සිය දෙවැනි සැසියේදී 44 දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් ඇතිකර ගත්තේය. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ කළමනාකරණ ව්‍යුහයක් ගොඩනැගීම හා ඒවා කළමනාකරණය කිරීම එම කමිටුව වෙත පැවරුණු ප‍්‍රධාන වගකීම විය. ව්‍යවස්ථා සම්පාදනයට මහජනයා සම්බන්ධ කරගැනීම සඳහා සංවිධාන ක‍්‍රම සැලසුම් කිරීම හා ඒවා ක‍්‍රියාත්මක කරවීමේ වගකීම පැවරී තිබුණේද එම කමිටුවටය. ඊට අතිරේකව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තේමා කමිටු 6ක්ද ඇතිකර ගත්තේය. ඒ හැම කමිටුවකටම නෛතික හා ප‍්‍රතිපත්ති විශේෂඥයෝද ඇතුළත් වූහ. තේමා කමිටු වෙත පැවරුණු වගකීම වූයේ ලැබී තිබුණු තේමාවන්ට අදාළව කෙරෙන ව්‍යවස්ථා සම්පාදන කාර්ය සඳහා විශේෂඥයන්ගෙන්, ශාස්ත‍්‍රාලයීය උගතුන්ගෙන් ඒ තේමා ගැන උනන්දුවක් දක්වන සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් අදහස් ලබාගැනීමය. ඒ සමග ඒ අරමුණු වෙනුවෙන් ඒ තේමා කමිටුව සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්විය යුතුය. ව්‍යවස්ථා සම්පාදනයට මහජනයා සහභාගි කරගැනීම පිළිබඳ කාරණයේදී දකුණු අප‍්‍රිකානු ආදර්ශය තාමත් තිබෙන්නේ අසමසම තත්ත්වයකය. ව්‍යවස්ථා සම්පාදනයෙන් අපේක්ෂා කරන අරමුණු හා එම ක‍්‍රියාවලියට සම්බන්ධවීමෙන් මහජනයාට ලබාගත හැකි ප‍්‍රතිඵල ගැන මහජනයා දැනුවත් කරන මහජන රැුස්වීම් සිය ගණනක්ද, වැඩමුළු හා සම්මන්ත‍්‍රණ දහස් ගණනක්ද පවත්වා තිබේ. ව්‍යවස්ථා සම්පාදනයට අදාළව ගුවන්විදුලිය පවත්වාගෙන ගිය විශේෂ වැඩසටහන්වලට සවන් දී ඇති අසන්නන්ගේ ප‍්‍රමාණය මිලියන 10කි. ව්‍යවස්ථා සම්පාදනය ගැන මහජනයා දැනුවත් කිරීම සඳහා විකාශනය කර තිබෙන රූපවාහිනී වැඩසටහන් සංඛ්‍යාව 37කි. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයද එහි සිදුවන දේවල් මහජනයාට දැනගැනීමට සැලැස්වීම සඳහා පුවත්පතක් ප‍්‍රකාශයට පත් කළේය. වරකට මුද්‍රණය කර තිබෙන පිටපත් සංඛ්‍යාව 1,60,000කි. මහජනයා දැනුවත් කිරීම සඳහා පවත්වාගෙන ගිය එම ප‍්‍රචාරක වැඩසටහන් අළලා 1976දී දීප ව්‍යාප්ත ආකාරයට පත්වන ලද සමීක්ෂණයකට අනුව එම අධ්‍යාපන වැඩපිළිවෙළ රටේ වැඩිහිටි ජනගහනයෙන් 84%ක් කෙරෙහි බලපා තිබේ. එහි සිදුවූ ව්‍යවස්ථා සම්පාදනයේදී මහජනයා දක්වා තිබෙන උනන්දුවේ ප‍්‍රමාණය පෙන්නුම් කරන හොඳම සාධකය වනුයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත මහජනයා ඉදිරිපත් කර තිබෙන යෝජනා හා අදහස් පළකිරීම් ප‍්‍රමාණයයි. 1994 සිට 1996 දක්වා කාලය තුළ ලැබී තිබෙන මහජන අදහස් හා යෝජනා ප‍්‍රමාණය මිලියන 2කි. මෙසේ දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථා සම්පාදනය දකුණු අප‍්‍රිකාව සඳහා එහි සියලූදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන නව රාජ්‍යයක් ගොඩනගන ක‍්‍රියාමාර්ගයක් වනවාට අතිරේකව එය ඇතිකර ගන්නා නව ජාතික රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය දකුණු අප‍්‍රිකානු ජාතියක් ගොඩනගන හා ඇති කරගනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයේ සාර්ථක පැවැත්ම සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්ද ගොඩනගන ක‍්‍රියාදාමයක් වූයේය.

ව්‍යවස්ථා අධිකරණයේ ප‍්‍රතිචාරය

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සම්පූර්ණ නොකළ පළමු කෙටුම්පත 1994 නොවැම්බර්වලදී මහජනයාගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධ කළේය. ඉන්පසු 1995 අගෝස්තුවලදී සංශෝධිත සම්පූර්ණ නොකළ දෙවැනි කෙටුම්පතද ප‍්‍රසිද්ධියට පත් කළේය. ඉන්පසු සම්පූර්ණ කළ අවසන් පිටපත 1996 මැයි 8 වැනිදා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඊට පක්ෂව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සාමාජිකයෝ 87%ක් ඡුන්දය දුන්නෝය. විරුද්ධව ඡුන්දය දුන් හා ඡුන්දය දීමෙන් වැළකී සිටි අයගේ අනුපාතිකය 13%කි. ඡුන්දය දීමෙන් වැළකී සිටියෝ ඉන්කාතා පක්ෂයේ නියෝජිතයෝය. අප‍්‍රිකානු ක‍්‍රිස්තියානි පක්ෂයේ නියෝජිතයෝ දෙදෙනා විරුද්ධව ඡුන්දය දුන්නෝය. ව්‍යවස්ථාව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ තුනෙන් දෙකකට වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් අනුමත වීමෙන් පසු අන්තර්වාර ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබූ කොන්දේසියක් අනුව ඊට ඇතුළත් ව්‍යවස්ථා මූලධර්ම 34ට අනුකූලව ව්‍යවස්ථාව සම්පාදනය කර තිබෙන්නේද යන්න සලකා බැලීම සඳහා ව්‍යවස්ථා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. ව්‍යවස්ථා අධිකරණය අලූතෙන්ම ඇතිකර තිබූ ආයතනයක් වූ අතර එය එම අධිකරණයේ සාධාරණත්වය හා අපක්ෂපාතභාවය උරගා බැලීමකට ලක්කෙරුණු වැදගත් අවස්ථාවක් විය. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය සේ ම දකුණු අප‍්‍රිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද විවාදයට හේතුව තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයක් විය. එය දකුණු අප‍්‍රිකාව එතෙක් පවත්වාගෙන ගිය වර්ණ භේදවාදී ප‍්‍රතිපත්තිය අනුමත කරමින් ඊට අනුකූලව යුක්තිය පසිඳලූ ආයතනයක් විය. ඒ නිසා එම ශ්‍රේෂ්ඨාධිකරණය කල්ලන්ගේ පිළිගැනීමට හෝ ගෞරවයට හේතුවී තිබුණේ නැත. ඒ නිසාම ව්‍යවස්ථාව ඇති කරගත් ව්‍යවස්ථා මූලධර්මවලට අනුකූලව සකස් කර තිබෙන්නේද කියන ප‍්‍රශ්නය සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දෙනවාට දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය තරයේ විරුද්ධ වූ අතර ඒ වෙනුවට ව්‍යවස්ථා අධිකරණයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටියෝද ඔවුහුය. මෙම ඉල්ලීමට විරුද්ධවීමේ හැකියාවක් අන් අයටද නොතිබුණු අතර අවසානයේ ව්‍යවස්ථා අධිකරණයක් ඇතිකර ගන්නා ලද්දේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එම ආයතනය සඳහා සුදුසු විනිසුරුවරුන් 11 දෙනකු සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගන්නා ලද්දේද නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ පුද්ගලික අධීක්ෂණය යටතේය. ඒ නිසාම එම අධිකරණය ගැන ආරම්භයේදී ප‍්‍රතිපක්ෂ අතර කිසියම් සැකයක්ද ගොඩනැගී තිබුණි. කෙටුම්පත ව්‍යවස්ථා අධිකරණයට ලැබීමෙන් පසු අධිකරණය ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ව්‍යවස්ථාව අන්තර් ව්‍යවස්ථාවේ දක්වා ඇති ව්‍යවස්ථා මූලධර්ම 34ට අනුකූලව සකස් කර තිබෙන්නේද යන්න හා එසේ නොවෙතොත් ඒ මොනවාද යන්න පෙන්වාදීම සඳහා ව්‍යවස්ථා අධිකරණයට සහාය දෙන ලෙස සියලූ දේශපාලන පක්ෂවලින්ද ඒ ගැන උනන්දුවක් දක්වන සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන්ද ඉල්ලා සිටියේය. දේශපාලන පක්ෂ 5ක් හා පුද්ගලයෝ 84 දෙනෙක් ඒ ගැන වන තම අදහස් අධිකරණය වෙත ඉදිරිපත් කළෝය. දකුණු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය ඊට සම්බන්ධ වූයේ නැත. ව්‍යවස්ථා අධිකරණය එම විමර්ශනය සඳහා මාසයකට ආසන්න කාලයක් ගත කළේය. අධිකරණයේ තීන්දුව වූයේ ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සමහර ව්‍යවස්ථා මූලධර්මවලට අනුකූල නොවන බවය. මූලධර්ම 11කට අදාළ වගන්තිවල ඇති පරස්පරතා සිය තීන්දුවෙන් ව්‍යවස්ථා අධිකරණය පෙන්වා දුන්නේය. ඒ අනුව නැවත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ව්‍යවස්ථාව සංස්කරණය කරන්නට සිදුවිය. එසේ සංස්කරණය කිරීමෙන් පසු ව්‍යවස්ථා අධිකරණය කෙටුම්පතට අනුමැතිය ලබාදීමෙන් පසු ජනාධිපතිවරයා එයට අත්සන් තැබීමෙන් පසු එය දකුණු අප‍්‍රිකාවේ මූලික නීතිය බවට පත්විය. දැන් මට මෙම ලිපි පෙළ ආශ‍්‍රයෙන් සලකා බලන ලද දේශීය හා අන්තර්ජාතික අත්දැකීම් ඔස්සේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අළලා වර්තමානයේ අපේ රටේ සිදුවන දේශපාලන කතිකාව විශ්ලේෂණය කරන තැනකට යා හැකිය. මාගේ විශ්වාසය වන්නේද අප රටට අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. එහෙත් අලූත් ව්‍යවස්ථාවක් ගැන සිහින දකින්නන් දකින සිහින තුළ බරපතළ දෝෂ තිබෙන බවක් ද පෙනෙන්නට තිබේ. මගේ අරමුණ ඔවුන් අධෛර්යමත් කිරීම නොව ඔවුන් වඩා යථාර්ථවාදීව හා නිසි වගකීමකින් යුතුව දේවල් දකින තත්ත්වයක් සඳහා වටාපිටාවක් ඇති කිරීමය. ඊළඟ ලිපියෙන් හෝ දෙකෙන් අප රටට අවශ්‍ය වී තිබෙන්නේ කවර ආකාරයක ව්‍යවස්ථාවක්ද, ඒ උදාර අරමුණ සපුරාගත යුතුව තිබෙන්නේ කවර ආකාරයටද යන්න හා මෙම මූලික ප‍්‍රශ්නය සමග ගැටගැසී තිබෙන පොදු අපේක්ෂකයා පිළිබඳ ප‍්‍රශ්නයද සලකා බැලීමට බලාපොරොත්තුවෙමි.

මතු සම්බන්ධයි