රාවය

සමසෞඛ්‍යය හා අපේ රට

සමසෞඛ්‍යය හා අපේ රට

 

සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව වසර හතරක් වන ලෙසට ම ඉදිරියටත් පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ ව වූ පසුගිය සිදුවීම් අප ජීවත් වන්නේ කුමන රටකදැ’යි අපට කියා දෙන කැඩපතක් වැන්න.

පළමුවැන්න, විශ්ව විද්‍යාල හා වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ විද්වතුන් විසින් දේශීය අවශ්‍යතාව හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ගැන මැනැවින් කරුණු සලකා බලන ලදුව අවුරුදු හතරකට සැලසුම් කරන ලද සමසෞඛ්‍ය උපාධි අධ්‍යයන කාලය වෙනත් බලපෑම් පාර්ශ්වයන්ගේ වුවමනාව මත, ගැටලූවට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡුා නොකොට අවුරුදු තුනක් දක්වා කෙටි කිරීමට ආණ්ඩුව තීරණය කිරීම යි. මේ තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ද, සමසෞඛ්‍ය විද්‍යා පාඨමාලාව අවුරුදු හතරක් පැවැත්වීම අවශ්‍ය වන බව අවධාරණය කරයි. වසර හතරක පාඨමාලා කාලයක් සඳහා සිසුන් කරන ඉල්ලීම නිවැරදි කරුණු මත පදනම් ව ඇති බව ද ආචාර්යවරුන්ගේ සම්මේලනය තවදුරටත් කියයි.

දෙවැන්න, සිය පාඨමාලා කාලය වසර හතරක් කරන සේ ඉල්ලමින් දින සියයකටත් වැඩි කාලයක් තිස්සේ සිසුන් කරන පන්ති වර්ජන, උද්ඝෝෂණ, උපවාස ඇහින් නොදැක කණින් නොඅසා සිටින්නට ආණ්ඩුව දක්වන සමත්කම යි. එසේ ම බලවත් වෘත්තීය පාර්ශ්වයන්ට යටත් වීමෙන්, රටේ උසස් අධ්‍යාපනයේ වැදගත් ගැටලූ විසඳන්නට ආණ්ඩුව දක්වන අසමත්කම යි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා කියන්නේ, වර්ජන, උපවාස අත් හැර පැමිණිය හොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡුාවක් සිසුන්ට ලබා දීමට තමාට හැකි බව යි. මේ ප‍්‍රශ්නය මත සිසුන් විරෝධතා පවත්වා රජයේ උත්සවවලට බාධා පැමිණ වුවහොත් සිසුන්ට හා දෙමාපියන්ට හැංගෙන්නට තැන් සොයා ගන්නට සිදු වනු ඇතැ’යි ද ඇමැතිවරයා කියයි. රටක උසස් අධ්‍යාපන ඇමැතිවරයා රටේ සාමාන්‍ය පන්තියේ බුද්ධිමත් දූ දරුවන්ගේ වැදගත් අධ්‍යාපනික ප‍්‍රශ්නයක් ගැන දක්වන ආකල්පය එය යි.

තුන්වැන්න, සිය ප‍්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට සාමකාමී පාගමන්වල යෙදෙන්නට සිසුන් සංවිධානය කරන විට පොලිසිය අධිකරණය ඉදිරියට ගොස් ඊට එරෙහි තහනම් නියෝග ලබා ගැනීම යි. ඒ තහනම් නියෝග ලබාගන්නට පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු අසත්‍ය බව දැන් අධිකරණය ඉදිරියේ දී ම පැහැදිලි වී තිබේ. ආණ්ඩුව විවේචනය කරන, ආණ්ඩුවට අභියෝගයක් වන සාමකාමී උද්ඝෝෂණ නැවැත්වීම සඳහා අධිකරණයට ගොස් මෙවැනි නියෝග ලබාගැනීම පොලිසිය දැන දැන ම කරන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයකි. අදහස් පළකිරීමේ අයිතිය ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙන් ම නඩු තීරණවලින් ද ජාත්‍යන්තර සම්මුතිවලින් ද ආරක්‍ෂා කොට ඇති නමුත් පොලිසියේ කාර්යභාරය වී ඇත්තේ තමන්ගේ දේශපාලන නායකයන්ගේ වුවමනාවන් අනුව හැකි තරම් ඒ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමයි.

සිව්වැන්න, පොලිසිය නිසි ලෙස කරුණු තහවුරු කිරීමකින් තොරව ඉල්ලන නියෝග නිසි විමර්ශනයකින් තොර ව වහා ම ලබා දෙන්නට සැදී පැහැදී සිටින අපේ අධිකරණ පද්ධතියේ ස්වභාවය යි. ජනතාවට හිමි අධිකරණ බලය ප‍්‍රායෝගික ව අධිකරණ පද්ධතිය විසින් ක‍්‍රියාත්මක කරනු ලැබූවත්, අද සමස්තයක් ලෙස අපේ අධිකරණය කටයුතු කරන්නේ අසාධාරණ මහජන පීඩකයකු ලෙස මිස අන් ආකාරයකට නොවේ.

පස්වැන්න, බොරු වරෙන්තු පෙන්වා, පාගමනේ යෙදුණු සිසුන් සිවිල් ඇඳුමෙන් යුතු නිලධාරීන් යොදවා වටකොට අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඇස් ඉගිල්ලෙන ලෙසත්, මුහුණුවලට ලේ බසින ලෙසත් පහර දීමට පොලිසිය දක්වා ඇති සමත්කම යි. ‘උඹලාට පුළුවන්ද රට හදන්නයැ’යි කියමින් ඒ නිලධාරීන් තමන්ට පරිභව කළ බව මේ ශිෂ්‍යයෝ කියති.

සයවැන්න හෙවත් කනගාටුදායක ම කාරණය නම්, මෑත කාලයේ දිගින් දිගට ම සිදුවූ මේ ආකාරයේ මෙන් ම වෙනත් ආකාරවල ද කෙළවරක් නැති ආණ්ඩුවේ හිතුවක්කාර, අවනීතික ක‍්‍රියා හමුවේ ඇස්, කන්, කට වසාගෙන සිටින අපේ රටේ උගත්, බුද්ධිමත්, වැදගත්යැ’යි සම්මත ජනතාව පෙන්වන අසංවේදී නිද්‍රාශීලී බව යි. නිර්වින්දනය වූ ස්වභාවය යි.