රාවය

අලූත්ගම ගිනිගන්නට පෙර

අලූත්ගම ගිනිගන්නට පෙර

බස්නාහිර – දකුණ  සීමාවේ අවසන්  වෙළෙඳ නගර යයි, මේ අලූත්ගම. හැමතැනම පොලිස් මුරභටයෝය. හැමතැනම රංචු රංචු පොලිස් විශේෂ බලකා සෙබළු ය. ආණ්ඩුව සුපුරුදු ලෙසම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. අෂ්මියා මහල් වෙළෙඳ සංකීර්ණය අළු දූවිලි බවට හැරී ඇත. ෆීනික්ස් පක්ෂියකු තවමත් පෙනෙන්ට නැත. මම ඡුායාරූපයක් ගතිමි. අඩෝ පොටෝ ගන්නේ කවුද? කොණ්ඩය වවාගත් කරාබු පැළඳ ගත් බීච් බෝයි කෙනෙකු මා අසලය. ‘මල්ලි බය වෙන්න එපා. ගෝඨාභය මහත්තයා ඉන්නවා. සිංහල එව්වෝ ඉඩම් සේරම මුන්ට විකුණලා. මුන්ට නෙවෙයි ගහන්න  ඕනෑ, ගහන්න  ඕනෑ අපේ එවුන්ට.’ මේ අලූත්ගම දැන් සිංහල මනසය. මුස්ලිම් කඩ ඇතුළින් ඔළුව දමා බලන මුස්ලිම් මුහුණුවල බිය රැුඳී ඇත. අවිනිශ්චිතතාව වෙළාගෙන ඇත. මේ අවිනිශ්චිතාව මදි නම් සිංහල – මුස්ලිම් සමගිය භේද කළ ගැටුමේ මුලට යමු.

අපි අෂ්මියා මහල් වෙළෙඳ සංකීර්ණයේ හිමිකරු මොහොමඞ් කාන් මහතා සොයා ගියෙමු. ඔහුගේ නිවස දර්ගා නගරයේය. පොලිස් මුරභටයන් දෙදෙනකු ගේට්ටුවට මෑතින් විපරමේය. ඇතුළත කෑ කොස්සන් හ`ඩ වැඩිය. කාන් මහතාගේ ගෙදරට විශාල මුස්ලිම් ප‍්‍රජාවක් එකතු වී සිටිති. දෙමළෙන් කතාකරන ඔවුන් අතර විශාල නොසන්සුන්තාවක් ඇතැයි පෙනේ.

මොහොමඞ් කාන් මහතාගේ කතාව

‘ගිය මාසේ 27 වෙනිදා තමයි මේ සිද්ධිය ඇති වුණේ. ඇත්තටම කියනවා නම් මේක කුමන්ත‍්‍රණයක්. මගේ අයියා මුසම්මිල්. එයාට මේ කඬේ අයිතියක් නැහැ. ඒත් එයා තමයි මේ කඬේ වැඩ කරන්නේ. අෂ්මියා මහල් කියන්නේ අලූත්ගම කවුරුත් දන්න මේ ටවුමේ ලොකුම කඬේ. මේ කඬේ ඇතුළට ගියාම සිංගප්පූරුවට ගියා වගේ තමයි කියලායි හැමෝම කියන්නේ. මේක ඇතුළේ කඩ හතරක විතර බඩු තිබුණා. කෝටි පහක විතර බඩු. 27 වැනිදා ඔය කියන ගෑනු කෙනායි එයාගේ පුතායි ඇවිල්ලා 3.30ට විතර බඩු අරගෙන ගිහිල්ලා තිබුණා. පස්සේ හවස හය හමාරට විතර කඬේ ඉස්සරහට ඇවිල්ලා කෑගහලා තිබුණා මගේ අයියා ඒ ගෑනු කෙනාගේ දරුවාට බලහත්කාරකමක් කළා කියලා. දරුවාගේ චූ කරන තැන මිරිකුවා කියලා. අපි කියන්නේ අපි එහෙම දෙයක් කළේ නැහැ කියලා. අපි බොහොම අමාරුවෙන් බිස්නස් කරලා මේවා ගොඩන`ගා ගත්තේ. අපි අපේ කඬේට එන පාරිභෝගිකයන්ට සලකන්නේ අපේ දෙවියන්ට වගේ. පස්සේ 28 හවස අලූත්ගම පොලීසියෙන් ඇවිත් කිව්වා 29 උදේ අයියාව පොලීසියට එවන්න කියලා. 29 උදේ අපි කියන ඒ ගෑනු කෙනාත් ඇවිත් හිටියා. අපේ අයියා එදා රිමාන්ඞ් කළා. ඒත් මම කිව්වා අයියාව රිමාන්ඞ් කරන්න එපා අපි වැරදි වැඩකරන මිනිස්සු නෙවෙයි කියලා. ඒත්  ඕ.අයි.සී මහත්තයා පැමිණිල්ලක් දාලා තියෙනවා, දැන් ඒක ලියලා ඉවරයි කියලා අයියා කූඩු කළා. පස්සේ 30 වැනිදා අයියාව කළුතර උසාවියට දැම්මා. උසාවියෙන් අපිට ඇප ලැබුණා. දැන් මේක නීතිය ඉදිරියේ තියෙන ප‍්‍රශ්නයක්. අපි නීතියට ගෞරව කරනවා. ඒත් උසාවියෙන් අපි ඇප ගන්න යනකොට උසාවියට ඇවිත් හිටිය හාමුදුරුවරු ටිකත් එතන කෑගහලා කලබල කළා. පස්සේ ගෙදරට ආවාට පස්සේ ආරංචි වුණා උද්ඝෝෂණයක් පටන් ගන්නවා කියලා. අපිට උසාවියෙන් ඇප ලැබුණේ. අපි පොලීසියට පගාව දීලා ඇප ගත්තා නොවෙයි. එයාලා උද්ඝෝෂණ පෙරහැරක් 8 වෙනිදා ටවුන් එකේ ගියා. එදා උද්ඝෝෂණයේදී කිව්වේ තම්බිලාට අලූත්ගම බිස්නස් කරන්න දෙන්නේ නැහැ කියලා. කඬේ ගිනි තියෙනවා කියලාත් කිව්වා. එදා අලූත්ගම පොලීසිය මට කෝල් කරලා කිව්වා කඬේ වහන්න කියලා. මම කිව්වා මම මෙතන බිස්නස් කරන්නේ නීත්‍යනුකූලව කියලා. ඒ නිසා කඬේ වහන්නෑ කියලා කිව්වා. එතකොට පොලීසිය මට කිව්වා ආරක්ෂාව දෙන්න බැරිවෙයි කියලා. මම කිව්වා කමක් නැහැ කියලා. එයාලා ගල් එහෙම අරගෙන ආවා. ඒත් කඩයට මොකුත්ම කළේ නැහැ. එදා උද්ඝෝෂණය ඉවරවෙලා පහුවදාට එළිවෙන්න උදේ 4ට මට කෝල් කරලා කිව්වා කඬේට ගිනි තියලා කියලා.

මම දන්නවා මේක කතා කරලත් වැඩක් නැහැ කියලා. මම ජීවිත කාලයක් දුක් විඳලා පේමන්ට්වල රස්තියාදු වෙලා ගොඩනගපු දේ එක පැයෙන් ඉවර කළා. හාමුදුරුවන්ට වගකීමක් තියෙනවා මීට වඩා කල්පනාවෙන් වැඩකරන්න. අපේ කිසිම ජාතිවාදයක් නැහැ. අපි හැමෝටම උදව් කරනවා. ඔය කඬේ තමයි ටවුන් එකේ තියෙන එකම සින්නක්කර කඬේ. ඒක තමයි ප‍්‍රශ්නය.  ඕක තමයි ගිනි තියන්න හේතුව. අලූත්ගම පොලීසිය අපිට ඉල්ලලත් ආරක්ෂාව දුන්නේ නැහැ.’ කාන් මහතා ඔවුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු කියයි. ඔහුගේ කඩයට ගිනි තැබීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද? සොයා ගැනීම යුක්තිය පසිඳලීමට පිහිටුවා තිබෙන ආයතනවලට භාර කරමු. මේ ගැටුමට මුල් වූ දරුවා සහ ඔහුගේ මාපියන් සොයා අපි බෙන්තර ගමට ගියෙමු. නදීෂා මනෝජි වීරසේකර ඇයගේ කතාව අපට කීවාය. පොලීසිය සාධාරණය කළේ නැහැ ‘ අපේ‍්‍රල් 27 වැනිදා හවස තුනහමාරට විතර අපි, මමයි මගේ අවුරුදු හතක පුතායි අලූත්ගම අෂ්මියා මහල් කඬේට ගියා. දරුවාගේ ටියුෂන් සර්ට දෙන්න තෑග්ගක් ගන්න. පුතා කඬේ තියෙන ලොකු බල්ලෙක් පෙන්නලා ඒක ඉල්ලූවා. මම කිව්වා ඒක අරං දෙන්න සල්ලි නැහැ පුතා, මම ඔයාට පුංචි ඔරලෝසුවක් අරං දෙන්නම් කියලා. මම ඊට පස්සේ ඔය කඬේ අයිතිකාරයාගේ අයියා ළ`ගට ගිහින් කිව්වා අයියේ මෙන්න මෙයාට පොඩි ඔරලෝසුවක් තෝරලා දෙන්න කියලා. එයා ඔරලෝසුව දරුවාගේ අතේ බැන්දා. මම බිල ගෙවන්න කැෂියර් එක ළ`ගට ආවා. දරුවා වතුර පොන්ඞ් එක ළ`ග නැවතිලා හිටියා. අපි බිල ගෙවලා කඩෙන් එළියට එන්න හදනකොට දරුවගේ ඇස් දෙකේ කඳුළු පිරිලා. මම හිතුවා බල්ලා අරගෙන දුන්නේ නැති නිසා කියලා. දරුවා කඩෙන් එළියට ආවේත් ඇඹරි ඇඹරි වගේ. බෙන්තර පාලම පහුකරන කොට දරුවා කිව්වා, අම්මේ මගේ චූවා ගොඩක් රිදෙනවා කියලා. මම ඇහැව්වා ඒ ඇයි කියලා. දරුවා කිව්වා අර ඔරලෝසුව බැඳපු මාමා චූවා හයියෙන් මිරිකුවා කියලා. මට හරිම කේන්තියිි. මම එහෙමම පන්තියට ගියා. දරුවාත් හොඳටම අමාරුවෙන් හිටියේ. මම සර්ටත් කිව්වා. සර්ගේ අම්මාටත් කිව්වා. පස්සේ පන්ති ඇරිලා අපි හවස 6.30ට විතර කඬේට ඇවිල්ලා කිව්වා. එතකොට ඒ මනුස්සයා කිව්වා මම කඬේට ආවේ නැහැ කියලා. පස්සේ එතනට එකතු වුණ අය කිව්වා කැමරාව ඔන් කරන්න කියලා. සීසීටීවී කැමරාව බැලූවා. මම කියපු දේ ඒ විදිහටම කැමරාවේ සටහන් වෙලා තිබුණා. දරුවාව අතින් ඇදලා දොර මුල්ලට අරගෙන මිරිකනවා ඒකේ හොඳින්ම පෙනුණා. අපි හොඳටම කෑගහලා එතනින් ආවා. දරුවා හොඳටම බය වෙලා හිටියේ. එයාගේ  හිතින් මේක අයින්කරන්න මට  ඕනෑ වුණා. ඒ නිසා මම පහුවදා දරුවාව ඉස්කෝලේ ඇරියා. ඒත් පහුවෙනිදා දරුවා ආයෙත් රිදෙනවා කිව්වාම මම දරුවාව ඉස්පිරිතාලේ ගෙනියන්න ලෑස්ති වුණා. එතකොටම තමයි කාන් කියන මනුස්සයායි තවත් එක්කෙනෙකුයි ගෙදරට ආවේ. ඇවිත් බෙහෙත් ගන්න සල්ලි දෙන්නම් කිව්වා. ඉල්ලන ගාණක් දෙන්නම් මේක අතඇරලා දාන්න කිව්වා. ගමේ කට්ටිය වටවුණ නිසා මම එයාලාට කිව්වා ප‍්‍රශ්නයක් වෙන්න කලින් සල්ලිත් අරගෙන යන්න කියලා. ඉස්පිරිතාලයට ගියාම ඩොක්ටර්ස්ලා දරුවා නතර කර ගත්තා. පහුවදා උදේ 7.30ට මම අලූත්ගම පොලීසියට ගියා පැමිණිල්ල දාන්න. 9.30 වෙනකම් හිටියා. පැමිණිල්ල ලියුවේ නැහැ. ඒ වෙලාවේ පොලිසිය ඇතුළට ඇවිල්ලා හිටිය මුස්ලිම් කට්ටිය මට කරදර කළා සල්ලි ගන්න පැමිණිලි කරන්න එපා කියලා. පැමිණිල්ල ලියාගන්න, මම සල්ලි ගන්නෑ කිව්වාම ලියන්න පටන් ගත්තා. පැමිණිල්ල ලියන්න කාමර හතරකට යන්න වුණා. පොලීසියේ ලොක්කෝ සේරමලා හිටියා. ඒ මිනිස්සු අල්ලස් දෙන්න හැදුවේ මේ සේරමලා ඉස්සරහා. පොලීසියේ එක්කෙනෙක්වත් ඒ මිනිස්සුන්ට එළියට යන්න කියලා කිව්වේ නැහැ. පස්සේ පරීක්ෂණවලට කියලා දරුවා බෙන්තරින් බලපිටියට බලපිටියෙන් කරාපිටියට මාරු කළා. කරාපිටියේ දවස් තුනක් තියාගෙන 2 වෙනිදා හවස ටිකට් කැපුවා. ඒත් මේ පරීක්ෂණ තාම ඉවර නෑ. දරුවා හොඳටම මානසිකව වැටිලායි ඉන්නේ. අපි මුළු සමාජය ඉස්සරහ අසරණ වුණා. ඒ මනුෂ්‍යයා නිදහස් වුණා. අලූත්ගම පොලීසිය හරියට මට සාධාරණය ඉෂ්ඨ කළේ නැහැ. මම දන්නෑ මේ නඩුව උසාවියේ ඇහෙන දවසවත්. අලූත්ගම පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය මොකුත්ම කළේ නැහැ. පොලීසිය හරියට නීතියට වැඩ කළා නම් මේ ප‍්‍රශ්නය මෙච්චර දුර යන්නෙත් නැහැ. පොලීසිය හරියට නීතිය කරන්නෑ කියලා තේරෙනකොට ගමේ අය, හාමුදුරුවරු මේකට මැදිහත් වුණා. රක්ෂණය කරලා තියෙන කඩ ගිනි තියන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. ඒ තරමටම අපි මෝඩත් නැහැ. පොලීසියට අපි කියන්නේ අපිට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා එච්චරයි. මගේ දරුවාට වෙච්ච මේ දේ තවත් දරුවකුට වෙනවට මම කැමති නෑ. මෙතන සිංහල – මුස්ලිම් ප‍්‍රශ්නයක් නැහැ.’

දෙපාර්ශ්වයේම චෝදනා පොලීසියට

දෙපාර්ශ්වයම මෙම ගැටලූවේදී පොලීසියට චෝදනා කරන බවක් පෙනේ. ලංකාවේ පොලීසිය ප‍්‍රශ්නවලට මැදිහත් වෙන ආකාරයේ ඉතිහාසය පිරික්සීමේදී මොවුන් න`ගන චෝදනා අපට බැහැර කළ නොහැක. විශාල වත්කමක් සහිත වෙළෙඳ ව්‍යාපාරික යකුට ඔහුගේ ආධාර කරුවකුට පොලීසියක් තුළ කි‍්‍රයාත්මක විය හැකි ආකාරය අපි දනිමු. එලෙසම මුස්ලිම් මිනිසකුට විරුද්ධ සිංහල පැත්ත ගෙන කි‍්‍රයාකරන පොලිස් නිලධාරීන් ගැන ද එක එක බලසේනාවලට හිතු මනාපයට කටයුතු කිරීමට ඉඩහසර සලසන පොලිස් නිලධාරීන් ගැන ද අපි කරුණු හරිහැටි දනිමු. එනිසා දෙපාර්ශ්වයෙන්ම එල්ල වන චෝදනාවලින් ඇ`ග බේරා ගැනීමේ හැකියාවක් අලූත්ගම පොලීසියට නැත. එය ඇ`ගවීම් කරන්නේ සාධාරණ පරීක්ෂණයක අවශ්‍යතාවයි. දැන් මෙහි පරීක්ෂණ කටයුතු බදුරලිය පොලිස් කොට්ඨාසයට පවරා ඇත. එනිසා මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම ඔවුන් සතු වගකීමය. එහෙත් ලංකාවේ රාජ්‍ය ආයතන වගකීම් ඉටුකරන අයුරු දකින  ඕනෑම කෙනකුට මේ ගැන දෙගෙඩියාවක් ඇතිවීම සාධාරණය.

  ප‍්‍රශ්නයේ අවසානය

කෙදිනක කෙලෙසක මේ සිදුවීම සිදුවුණත් දැන් මේ ප‍්‍රශ්නයේ ජාතිවාදී අළු දුහුවිලි ගෑවී ඇත. ඇත්තටම මෙම සිදුවීම තුළ දරුවාට අගතියක් සිදුවුවායැ’යි සිතමු. එවිට හානිය දරුවාටය. මේ අවුරුදු හතක පුංචි දරුවා මේ නිසා ජීවිත කාලයක්ම මානසිකව තැවෙනවා ඇත. අනෙක් පසින් මුසල්මානුවන් විනාශ කිරීමට ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කිරීමට මෙම ප‍්‍රශ්නය දරුවාගේ මාපියන් හිතවතුන් හිතාමතාම ගොඩ නැගුවා’යැයි සිතමු. එහිදීත් දැන් අගතියට පත්වී තිබෙන්නේ කවුරුද? මේ පුංචි දරුවාමය. මේ නැගෙන ප‍්‍රශ්න කිරීම්වලට නිරන්තර වෛද්‍ය පරීක්ෂා කිරීම්වලට නතුවන ඔහුගේ මනස ඔහුගේ යහළුවන් අතරේදී පාසලේදී විඳින්න සිදුවන කරදර හිරිහැර ගැන තක්සේරුවක් මොවුන්ට තිබේද? එනිසා මෙම ප‍්‍රශ්නය මෙම අන්ත දෙකෙන් කුමන අන්තය ගත්තද වි`දවන්නේ දරුවාය. විනාශ වන්නේ ඒ දරුවාගේ අනාගතයය. එනිසා කල්පනාවෙන් වැඩකිරීම ආඩම්බරකාර තාත්තලාගේ යුතුකමය.

ගිනි තැබීමේ හැඟවීම

අලූත්ගම ගැටලූවේ සිදුවීම් කෙලෙසක පෙළගැසුණද පාර්ශ්වයක් සතු දේපළ තවත් පිරිසකට විනාශ කළ හැකිද? එම විනාශය නොකියා කියන්නේ ලංකාව නැවතත් වාර්ගික අසමගියේ රේඛාව දෙසට ධාවනය වන බවද? ඉහත සිදුවීම් අප තාර්කික අවසානයකට ගෙන ආවත් බෞද්ධ භික්ෂූන් පෙරටු කරගෙන අධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබියදීත් වාර්ගික අසමගිය වැපිරෙන කතා කියමින් පෙළපාළි යෑම සහ පසුව එදිනම රාත‍්‍රියේ වෙළෙඳ සංකීර්ණය ගිනි තැබීම අපට නොකියා කියන සත්‍යය රට තුළ නැග එන සිංහල-බෞද්ධ අන්තවාදය බොරදියේ මාළු බෑ බවද? නැතිනම් ‘ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් කියන්නා’ සේ හදිසියේ පැනනැගි මේ පුංචි දරුවාගේ කාරණය මුල්කරගෙන අන්තවාදී මහඑවුන් කඩය ගිනිතබා මඟුල් කෑ බවද? අන්තවාදයේ ගිනිදැල් අලූත්ගම නගරය වසා ගන්නට කලියෙන් පාලකයන් මෙන්ම සහජීවනයට කැමති ජනතාවද මේ ගැන යළි යළිත් සිතා බැලිය යුතුය. එය දරුවාගේ හෙට දවසට මෙන්ම රටේ අනාගතයටත් සුබය.