රාවය

කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

 

වංචා දූෂණයන් සිදුවන්නේ නීත්‍යනුකූල නොවන තත්ත්වයක් යටතේ බව බොහෝවිට අපගේ විශ්වාසයය. එහෙත් නීත්‍යනුකූල තත්ත්වයන් යටතේද වංචා දූෂණයන් සිදුවන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුංකා ආනයනයන්ද අපට සැලකිය හැක්කේ නීත්‍යනුකූල තත්ත්වයන් යටතේ සිදුවූ මහා පරිමාණ ජාවාරමක් බවය. මේ ජාවාරමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ද අඩු වැඩි වශයෙන් මෙන්ම දැන හෝ නොදැන සම්බන්ධ වී ඇති බව ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පෙනීයයි.

කරුංකා පිළිබඳව පළමු ආන්දෝලනය ඇති කරන්නේ ප‍්‍රතිඅපනයනය සඳහා ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද කරුංකා කන්ටේනර් 9ක් රේගුව විසින් මුදා නොහැර රඳවා තබා ගැනීමත් සමගය. දෙවන ආන්දෝලනය ඇතිවන්නේ රඳවාගත් එම කරුංකා කන්ටේනර් 9 මුදාහරින ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කරන ලද නියෝගයත් සමගය.

මෙම ජාවාරම හඳුනාගැනීම සඳහා පළමුව අප අවබෝධ කරගත යුත්තේ කරුංකා ආනයනය හා ප‍්‍රතිඅපනයනය යනු කුමක්ද යන්නය. කරුංකා ආනයනය කර තිබුණේ ඉන්දුනීසියාවෙන්ය. ප‍්‍රතිඅපනයනයැ’යි කියා අපනයනය කර තිබුණේ ඉන්දියාවටය. ඒ ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම උපයෝගී කරගනිමින්ය. එම ගිවිසුම යටතේ ලංකාවෙන් ඉන්දියාවට කරුංකා අපනයනය කිරීමේදී ලැබෙන බදු සහනය උපයෝගී කරගනිමින් අතිවිශාල ලාභ ලැබීම සඳහාය. ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට කරුංකා අපනයනය කළහොත් මේ බදු සහනය නොලැබෙන්නේය. ඒ නිසා ජාවාරම සිදුවූයේ ඉන්දුනීසියාවෙන් ලංකාවට කරුංකා ආනයනය කර නැවත එම කරුංකා ඉන්දියාවට අපනයනය කිරීම මගින්ය. ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වන කරුංකා ඉන්දියාවට යවනු ලැබූයේ ප‍්‍රතිඅපනයනයක් ලෙසින් වුවද ඉන්දියාවට එම කරුංකා හඳුන්වා දී තිබුණේ ලංකාවේ නිෂ්පාදිත කරුංකා වශයෙන්ය. ඉන්දුනීසියාවේ කරුංකා ලංකාව හරහා ඉන්දියාවට ප‍්‍රතිඅපනයනය කරනු ලබනවායැ’යි කිවහොත් ඊට බදු සහන ලැබෙන්නේ නැත. බදු සහන ලැබෙන්නේ ලංකාවේ නිෂ්පාදිත කරුංකා ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කළහොත් පමණය.

මේ සඳහා ක‍්‍රමවේදය ලෙසට ජාවාරම්කරුවන් උපයෝගී කරගනු ලැබූයේ ඉන්දුනීසියාවේ සිට ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලබන කරුංකා අගය එකතුකර ඉන්දියාවට අපනයනය කිරීම නම්වූ අවසරයය. ඒ අනුව අගය එකතු කරන ලද කරුංකා ලංකාවේ කරුංකා ලෙස අපහසුවකින් තොරව ඉන්දියාවට යැවිය හැකි බව ජාවාරම්කරුවන් තේරුම් ගෙන සිට ඇත.

ඊට පහසුවක් වශයෙන් ජාවාරම්කරුවන් මුලින්ම සිදුකරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ TIEP හෙවත් අපනයන සැකසුම් සඳහා තාවකාලිකව ආනයනය කිරීමේ බලපත‍්‍රයක් ලබාගැනීමය. (තේ සඳහා ද මෙවැනි බලපත‍්‍ර නිකුත් කර ඇති අතර එම බලපත‍්‍රලාභීන්ද වෙනත් රටවලින් ලංකාවට තේ ආනයනය කර ලංකා තේ යනුවෙන් වෙනත් රටවලට අපනයනය කිරීම සිදුකරනු ලබයි.)ඒ අනුව මෙම TIEP බලපත‍්‍රය කරුංකා ආනයනය සඳහා සමාගම් තුනකට ලබාදී ඇත. කොළඹ 03, ගාලූ පාරේ අංක 377 ආර්.එම්. හෝල්ඩිංග්ස්, වත්තල මීගමු පාරේ, පර්ල් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ 4th International (Pvt) හා කොළඹ 12 පීර් සයිබු පටුමගේ, වයඹ ටේ‍්‍රඩර්ස් එම ආනයනකරුවෝ වෙති. මේ සමාගම් අතරින් වසර පහක කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකාවට කරුංකා ආනයනය කර ඇත්තේ වත්මන් ආනයනික කරුංකා කන්ටේනර්හිද හිමිකාරිත්වය දරන වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනය පමණි.
අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන බලපත‍්‍රයක් කරුංකා සඳහා ලබාගත්තද එමගින් පමණක් කරුංකා ලංකාවට ගෙන්විය නොහැකි අතර ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ශාක ආනයන බලපත‍්‍රයක්ද ලබාගත යුතුය. ඒ ශාක ආරක්ෂණ පනත යටතේය. ලංකාවේ ශාක ප‍්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ විශේෂයෙන්ම ආනයනික කරුංකා සමග පැමිණිය හැකි කෘමීන්ගෙන් ශ‍්‍රී ලංකාවේ පොල්, කිතුල්, තල් වැනි තාල වර්ගයේ ශාක ආරක්ෂා කිරීම එහි අරමුණය. ඊට අමතරව යම් ආනයනික ශාකයක් හෝ ශාක කොටසක් ලංකාව තුළ භාවිතයට ගන්නේ නම් හෝ අගය එකතු කිරීම වැනි කටයුත්තක් සඳහා රට තුළට නිරාවරණය කරන්නේ නම් එම ආනයනික ශාක හෝ ශාක කොටස්වල පලිබෝධ, දිලීර හෝ කෘමි විශේෂ සිටීද යන්න ගැන නිරෝධායන සහතිකයක්ද ලබාගත යුතුය.

ඒ අනුව වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනය සිදුකර ඇත්තේ ඉන්දුනීසියාවෙන් ලංකාවට කරුංකා ආනයනය කර ලංකාවේදී ඊට අගය එකතු කර ඉන්දියාවට ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ඉල්ලීමය. ඒ ගැන දෙවරක් නොසිතන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සිදුකරනු ලබන්නේ ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් යොමුකිරීමය. කැබිනට් මණ්ඩලය සිදුකරන්නේ භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු නිලධාරී කණ්ඩායමක් යොදවා ඒ ගැන වාර්තාවක් කැඳවා කෘෂිකර්ම ඇමතිවරයාගේ ඉල්ලීමට ඉඩ දීමය. ඒ අනුව සිදුවන්නේ කිසිදු අගය එකතු කිරීමකින් තොරව වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනය ඉන්දුනීසියාවෙන් ගෙන්වනු ලබන කරුංකා ලංකාවේ කරුංකා වශයෙන් සඳහන් කර ඉන්දියාවට යවා ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ බදු සහන ලබා ඉන්දියාවද රවටා අධික ලාභ ලැබීමය.

ඉන්දුනීසියාවෙන් ගෙන්වනු ලබන කරුංකා අගය එකතු කර පසුගිය වර්ෂ පහක කාලය තුළ ඉන්දියාවට යැව්වේ නම් අනිවාර්යයෙන්ම ආනයනික සෑම කරුංකා කන්ටේනර යන් සම්බන්ධ යෙන්ම පළිබෝධක දිලීර හෝ කෘමීන් ඇත්දැ’යි යන්න පිළිබඳව නිරෝධායන සහතිකයක් ලබාගැනීමට වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනයට සිදුවන්නේය. එහෙත් එවැනි අවශ්‍යතාවක් එම කාලයේදී ඔවුන්ට ඇති වී නැත. ඒ ඔවුන් අගය එකතු කළායැ’යි සඳහන් කරමින් ඉන්දුනීසියානු කරුංකා ඉන්දියාවට යැවූ නිසාය. එහෙත් එම ක‍්‍රියාවලියේදීද නිරෝධායන අවශ්‍යතාවක් තිබූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු දෙපාර්තමේන්තුවේද ගරුකටයුතු නිලධාරීන්ගේ මතය වී ඇත. ඒ ඉන්දුනීසියාවෙන් ගෙන්වනු ලබන කරුංකා ඉන්දියාවට යැවීම සඳහා නැවත වෙනත් කන්ටේනර්වලට පැටවීමේදී එම ශාක කොටස් රට තුළට නිරාවරණය වීම මගින් රටේ තාල වර්ගයේ ශාකවලට තර්ජනයක් ඇතිවීම හේතුවෙන්ය. එසේ වුවද වයඹ ටේ‍්‍රඩර්ස් සතුව පැවති විශේෂ බලයක් නිසාම මෙම නිරෝධායන කාරණය පසුගිය වසර පහක කාලය තුළදීම ප‍්‍රශ්න කෙරී නැත.
එමෙන්ම අදාළ කාලය තුළදී වෙනත් ව්‍යාපාරිකයන් කරුංකා ආනයනය සඳහා බලපත‍්‍ර ලබාදෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීම් විෂයභාර අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. එය කොතෙක්දයැ’යි කිවහොත් වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනයේ ඉල්ලීම අනුව කැබිනට් මණ්ඩලය ලබා දුන් අවසරය අනුව වෙනත් ව්‍යාපාරික ආයතනවලටද එම අවසරය ලබාදිය හැකි බවට තීන්දු කර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු වැඩබලන ලේකම්වරයකු වෙනත් ව්‍යාපාරික ආයතනයකට ලබා දුන් කරුංකා ගෙන්වීමේ බලපත‍්‍රයද විෂයභාර අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින් අහෝසි කර ඇත.
කෙසේ හෝ වේවා කරුංකා පිළිබඳව ආන් දෝලනයක් ඇතිකරමින් ආනයනික කරුංකා කන්ටේනර් 9ක් නිදහස් කිරීම රේගුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ කරුංකා ආනයනයන් සම්බන්ධයෙන් 2014 අපේ‍්‍රල් මස 04 දින සහිතව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් කරනු ලබන අමාත්‍ය මණ්ඩල තීරණයක් පදනම් කරගනිමින්ය. එම අමාත්‍ය මණ්ඩල තීරණයට හේතුවූ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම, කර්මාන්ත හා වාණිජ, සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන සහ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන සහ අමාත්‍යවරුන් ඒකාබද්ධවය. (ඇත්ත වශයෙන්ම මෙම ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන්නට සිදුවී ඇත්තේ මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවක් පොදු කැබිනට් පත‍්‍රිකාවක් ලෙසට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම්දීම අනුවය.) එම ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවේ උද්ධෘතය වී ඇත්තේ ‘ශාක නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට තාවකාලිකව ආනයනය කර අගය එකතු කර ප‍්‍රතිඅපනයනය කිරීමෙන් ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය උපයාගැනීමේ නව උපායමාර්ග සඳහා ක‍්‍රමෝපායයන්’ යන්නය.

ඒ අනුව 2014 ජනවාරි මස 03 දින අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට නිලධාරි කමිටුවක් පත්කිරීමටය. 2014 අපේ‍්‍රල් 04 දින සහිතව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා කැබිනට් මණ්ඩල තීරණයක් වශයෙන් මුදල් හා ක‍්‍රමසම්පාදන, කර්මාන්ත හා වාණිජ, කෘෂිකර්ම, සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම් වරුන්ට දැනුම්දෙන්නේ එම නිලධාරි කමිටු නිර්දේශයන්ය.

එම නිර්දේශයන් වන්නේ, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන පදනම යටතේ කරුංකා පුවක් ප‍්‍රතිඅපනයනය සඳහා අලූතින් බලපත‍්‍ර නිකුත් කිරීම නතර කිරීම, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන පදනම මත සිදුකරන කරුංකා පුවක් ආනයනය ඉදිරි පස් අවුරුදු කාලපරිච්ෙඡ්දය තුළ ක‍්‍රමිකව අඩු කිරීම, කරුංකා පුවක් සැකසුම්කරණයේ නිරත සමාගම් අමුද්‍රව්‍ය අවශ්‍යතා දේශීය නිෂ්පාදනවලින් සපුරා ගතයුතුවීම, පස් අවුරුදු කාලපරිච්ෙඡ්දයෙන් පසු කරුංකා පිරිසැකසුම් සඳහා නැවත බලපත‍්‍ර දීර්ඝ නොකිරීම, ආනයන කරුංකා පුවක් මෙටි‍්‍රක් ටොන් එකක් මිලදී ගන්නා විට මෙරට නිපදවූ කරුංකා පුවක් මෙටි‍්‍රක් ටොන් 2ක් මිලදී ගතයුතු බවට කොන්දේසියක් පැනවීම, අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන වැඩපිළිවෙළ(TIEP) නැවත සමාලෝචනය කර ඒ පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීම ආදියය.

මෙම කැබිනට් තීරණය ප‍්‍රකාරව කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට 2014 අපේ‍්‍රල් 17 දින සහිතව දැනුම් දෙන්නේ අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන යටතේ කරුංකා ගෙන්වීම සඳහා ඔහු විසින් නිකුත් කර ඇති සියලූ බලපත‍්‍ර අහෝසි කර ඇති බවයි. තවද සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාද 2014.05.05 දින සහිතව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දක්වන්නේ කරුංකා පුවක් ආනයනයට ලබාදී ඇති අවසරය අත්හිටුවා ඇති බව හා අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කරුංකා ලංකාවට ආනයනය කිරීමට ඉඩ ලබානොදෙන ලෙසය.

රේගු විමර්ශන කණ්ඩායමක් විසින් පසුගියදා කරුංකා කන්ටේනර් 9ක් නිදහස් කිරීම අත්හිටුවනු ලබන්නේ ඉහත සඳහන් දැනුම්දීම් අනුවය. එමෙන්ම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කරුංකා කන්ටේනර් 9 නිදහස් කරන ලෙසට නියෝග කරනු ලබන්නේ්ද එම දැනුම්දීම් තුට්ටුවකට මායිම් නොකරමින්ය.
ඒ අනුව පැනනගින බරපතළම ප‍්‍රශ්නවන්නේ කරුංකා ආනයන බලපත‍්‍ර අහෝසි කර තිබියදී හා ශාක නිරෝධායන සහතික නොතිබියදී කරුංකා නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේ ඇයි හා ඒ සඳහා ඔහුට බලපෑම් එල්ල වූයේ කාගෙන්ද යන්නය.

භාණ්ඩාගාරයේ වැඩක්  – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන

අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන පදනම යටතේ (TIEP) බලපත‍්‍රලාභී සමාගමක් අපිට යෝජනාවක් ඉදිරිපත් කළා අගය එකතු කරලා කරුංකා නැවත පිටරට යැවීම ගැන. ඒ අනුව අපි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු පත්කරපු කමිටුවත් වාර්තාවක් සකස් කරලා ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. ඉන්පසු මේ සම්බන්ධයෙන් කටයුතු කළේ වෙළෙඳ අමාත්‍යාංශයයි, භාණ්ඩාගාරයයි. අපේ සම්බන්ධය තිබුණේ ශාක නිරෝධායන කටයුතු සඳහා පමණයි

කැබිනට් මණ්ඩලයේ පෙර අනුමැතිය අනුව ඔවුන්ටත් අවසර දෙන්න කියලා තව සමාගමක් ඉල්ලූවා. අපි බැහැ කිව්වා. කලින් අනුමැතිය අනුව එය කරන්න පුළුවන් කියලා නිලධාරීන් කිව්වා. මම කිව්වේ නැවත කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දැමිය යුතුයි කියලායි. ඒ නිසා වැඩබලන ලේකම්තුමා දුන්න බලපත‍්‍රයකුත් මම වහාම නැවැත්තුවා. එම බලපත‍්‍රය අනුව වරායට ගෙනාපු බඩුත් ගෙනාපු රටටම ආපහු යැව්වා. ඒ සමාගම ඇහැව්වා එක් කෙනෙකුට විතරක් ඇයි අවසර දීලා තියෙන්නේ කියලා. ඒක භාණ්ඩාගාරයේ වැඩක් කියලා මම කිව්වා. කොහොමහරි ප‍්‍රතිඅපනයනය සඳහා බදු නෑ. ගුදම් ගාස්තු විතරයි. වරාය සම්පූර්ණයෙන් නිදහස් කියලා ජනාධිපතිතුමා ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කළා. අර වගේ අනිත් සමාගම්වලටත් අවසර ඉල්ලන්න ඉන්න කොට තමයි කැබිනට් මණ්ඩලය ලේකම්වරු පස්දෙනකුගේ කොමිටියකින් මේ අලූත් තීරණයට ඇවිත් ඉන්නේ. කොහොමත් අලූතින් බලපත‍්‍ර අපි දෙන්නේ නෑ. දීපු බලපත‍්‍ර තියෙනවා.