නව ව්‍යවස්ථාව හා පොදු අපේක්ෂකයා

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය පිළිබඳව මා ලියමින් සිටින ලිපි පෙළේ අවසන් ලිපියට පෙර ලිපිය ලෙස සැලකිය හැකි මෙම ලිපියෙන් මා විමර්ශනයට ලක් කරන්නේ ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නයට අදාළව පළවී තිබෙන ප‍්‍රසිද්ධ මත කිහිපයක් පිළිබඳවය.

තිබෙන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හදාගත යුතුයි කියන මතය මේ වන විට දේශපාලන තලයේ මහජනයාගේ උනන්දුවට හේතුවී තිබෙන ප‍්‍රධාන මතයක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. විරුද්ධ පක්ෂ ගණයට වැටෙන සියලූම පක්ෂ ඒ මතය දරන අතර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සමහර පක්ෂ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ඒ මතය දරන බවක් පෙනෙන්නට තිබේ. නව ව්‍යවස්ථාවක් ගැන සිහින දකින සියලූදෙනාම පාහේ දැන් පවතින විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන මතය පිළිගනී. මෙය ශ‍්‍රී ලංකා දේශපාලන මතවාදී තලයෙහි ගොඩනැගෙමින් තිබෙන යහපත් හා ඉදිරිගාමී පෙළගැස්මක් ලෙස සැලකිය හැකිය. එහෙත් එසේ සිතන මොනම දේශපාලන පක්ෂයක්වත් තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් විය යුතුව තිබෙන්නේ ඇයි? ඒ වෙනුවට තෝරාගත යුතු ආණ්ඩුක‍්‍රමය කුමක්ද? එසේ තෝරාගන්නා ආණ්ඩුක‍්‍රමයෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න ගැන විධිමත් අදහස් පළකිරීමක් කර නැති බවද කිව යුතුය. අඩුම වශයෙන් ඒ ගැන මොනම දේශපාලන පක්ෂයක්වත් සංකල්ප පත‍්‍රිකාවක් තරමේ ප‍්‍රකාශනයක්වත් පළකර නැත.

නව ව්‍යවස්ථාවක් ගැන කතා කරන ප‍්‍රවණතා වැඩි හරියක් පොදු අපේක්ෂකයකු ගැනද කතා කරති. ඒ සියලූදෙනාට පොදු අපේක්ෂකයකු අවශ්‍ය වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණ ජයගැනීම සඳහාය. ඒ මගින් නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම එකට ගැට ගැසුණු දෙයක් බවට පත් කරගෙන ඇත්තේ යැ’යි කිව හැකිය. පොදු අපේක්ෂකයකු ගැන සිහින දකින අය කෙරෙහි පළවෙමින් තිබෙන තවත් ජනප‍්‍රිය අදහසක් වනුයේ පොදු අපේක්ෂකයා සිය ජයග‍්‍රහණයෙන් පසු හය මාසයක කාල රාමුවක් තුළ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්ය අවසන් කොට ගෙදර යායුතු බවය. එම අදහසේ පිහිටා කතා කරන තවත් ප‍්‍රකාශකයෝ අවලංගු කර තිබෙන 17 වැනි සංශෝධනය නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවද කියති.

නව ව්‍යවස්ථාවට 17 අවශ්‍යද?

17 වැනි සංශෝධනයේ හොඳ නරක කුමක් වුවද එහි අපේක්ෂිත අරමුණ වූයේ ස්වාධීන තත්ත්වයක තබාගත යුතු ආයතන ගණනාවකට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීම හා සමහර වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී නුසුදුසු පුද්ගලයන් පත්කිරීම වැළැක්වීමය. එම අවශ්‍යතාව සඳහා එවැනි අනියම් ක‍්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූයේ ඒ තත්ත්වය සහතික කරන විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් නොවී තිබූ තත්ත්වය තුළ ඒවා කෙරෙහි පැවති විධායකයේ ග‍්‍රහණය පාලනය කිරීම සඳහාය. හදන්න යන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නම් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවලට ඒ සඳහා අවශ්‍ය බලතල සේ ම වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය බලතල හා විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදිය හැකිය. ඒ නිසා 17 වැනි සංශෝධනය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීමක් අවශ්‍ය වන්නේම නැත.
ඉන්දීය මැතිවරණ කොමිසමට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීන ක‍්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබෙන බලතල නිසා මිස ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් වැනි අතිරේක ආයතන ක‍්‍රමයකින් ලැබී තිබෙන රැුකවරණය නිසා නොවේ. අනෙක් අතට 17 වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමට වඩා ඉන්දීය මැතිවරණ කොමිසම ඉතා බලවත්ය. ඉන්ද පෙනෙන්නේ අනියම් ක‍්‍රම ඇතිකිරීමෙන් තොරව ස්වාධීන තත්ත්වයක තිබිය යුතු අංශවලට ඒ සඳහා අවශ්‍ය බලතල ව්‍යවස්ථාවෙන්ම ලබාදිය හැකි බවය.

මාස හයේ කාල රාමුව

ජනාධිපතිවරණයකින් තේරී පත්වන පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක‍්‍රියාව හය මාසයක කාලයක් තුළ සම්පූර්ණ කළයුතුයැ’යි කියන අදහසද අර්ථවත් හෝ ප‍්‍රායෝගික හෝ අදහසක් ලෙස සැලකිය නොහැකිය. හය මාසයක කාලය ව්‍යවස්ථා සම්පාදනයන් සඳහා දිය හැකි හොඳ හෝ සාධාරණ හෝ කාල නිර්ණයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි කාලසීමාවක් තුළ ඇති කරගත හැක්කේ හොඳ ව්‍යවස්ථාවක් නොව දඩිබිඩි ව්‍යවස්ථාවකි.
මීට පෙරද සලකා බලා ඇති පරිදි ලෝකයේ තිබෙන පුංචිම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේ මීට වසර 225කට ඉහතදී සම්පාදනය කරගන්නා ලද වගන්ති කොටස් 7කට, වචන 700කට හා අතින් ලියන ලද පිටු 9කට සීමාවූ ඇමරිකන් ව්‍යවස්ථාවයි. ඒ පුංචි ව්‍යවස්ථාව හදාගන්නටද දින 16ක කාලයක් ගතවිය. ඒ අනුව එක වගන්තියක් හදාගැනීම සඳහා ගතකර තිබෙන සාමාන්‍ය කාලය දින 2.28කි.

ඉන්දියානු ව්‍යවස්ථාව වගන්ති කොටස් 395කින්ද, ආරම්භයේදී උප ලේඛන 8කින්ද යුතු විය. ඇමරිකන් ව්‍යවස්ථාව සම්පාදනය කළ අයවලූන් ඒ වේගය අනුව ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කළේ නම් ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ගතවී තිබෙන කාලයට සමාන කාලයක් (අවුරුදු 3කට ආසන්න* ඔවුන්ට ගතවන්නට ඉඩ තිබුණේයැ’යි කිව හැකිය.

දකුණු අප‍්‍රිකාව අන්තර් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් පසු ව්‍යවස්ථාව සම්පාදනයට ලබාදෙන ලද කාලය වසර දෙකකි. එම කාල රාමුව තුළ සකස් කරගන්නා ලද ව්‍යවස්ථාව අන්තර්කාලීන ව්‍යවස්ථාවේ එන මූලධර්ම 34ට අනුකූලව සකස් කර තිබෙන්නේද යන්න සලකා බැලීමට ව්‍යවස්ථා අධිකරණයට මාස දෙකකට ආසන්න කාලයක් ගතවිය.

1986 නොවැම්බර්වලදී සම්මත කරගන්නා ලද නිකරගුවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ලබාදී තිබුණු කාලයද වසර දෙකකි. 1978 දෙසැම්බර්වලදී සම්මත කරගන්නා ලද ස්පාඤ්ඤ ව්‍යවස්ථා සම්පාදනයට ගතවී තිබෙන කාලය මාස 16කි. බ‍්‍රසීලයට නව ව්‍යවස්ථාවක් සඳහා න්‍යාය පත‍්‍රය සකස් කරගැනීම සඳහා පමණක් මාස දෙකක කාලයක් ගතවී තිබෙන අතර ව්‍යවස්ථා සම්පාදනයට ගතකර තිබෙන කාලය මාස 20කි.
ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා දැක්විය හැකි නවතම නිදර්ශනය ලෙස සැලකිය හැකි නේපාල ව්‍යවස්ථා සම්පාදනයට අන්තර්වාර ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ කාලයද වසර දෙකකි. එහෙත් එම කාලය තුළ ව්‍යවස්ථා සම්පාදනය අවසන් කිරීමට නොහැකි වී අවස්ථා ගණනාවකදීම අන්තර්කාලීන ව්‍යවස්ථා දීර්ඝ කරගැනීම නිසා අගමැතිවරයා 2012 මැයි 28 වැනිදා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසුරුවා හැරියේය. එම විෂයේදී දැන් නේපාලය සිටින්නේ මහා අවුලකය.

දඩිබිඩි ව්‍යවස්ථා

මාස 6ක කාල රාමුවක් තුළ සමහරවිට ඊටත් අඩු කාල රාමුවක් තුළ තනන ලද ව්‍යවස්ථාද ලෝකයේ ඇත්තේය. එහෙත් ඒ කිසිවක් හොඳ ව්‍යවස්ථා ලෙස සැලකෙන්නේ නැත.

කාම්බෝජය සිය ව්‍යවස්ථාව හදාගත්තේ මාස හතරක් තරම් කෙටි කාලයක් තුළය. නැගෙනහිර ටිමෝරය සිය ව්‍යවස්ථාව හදාගත්තේ මාස තුනක් වැනි කාලයකදීය. චාවේස්ගේ වෙනිසියුලාව ව්‍යවස්ථාව හදාගත්තේද මාස 5ක් තරම් වන කාලයකදීය. කෙටි කාලයක් තුළ සම්පාදනය කළ ව්‍යවස්ථාවකට දැක්විය හැකි හොඳම නිදර්ශනය ප‍්‍රංශ ව්‍යවස්ථාවය.

වර්තමානයේ ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක ව්‍යවස්ථාව ඩිගොල්ගෙන් ප‍්‍රංශයට ලැබුණු දේශපාලන දායාදයක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යවස්ථාව කරළියට එන කාලයේදී ප‍්‍රංශයට අවශ්‍ය වී තිබුණේ හොඳ ව්‍යවස්ථාවක් නොව දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රංශයේ පැවති දේශපාලන අස්ථාවරභාවය ජයගැනීම සඳහා ඩිගොල් පාලන බලයට ගෙන්වා ගැනීමය. සිව්වැනි සමූහාණ්ඩුව ඇතිකර ගැනීමෙන් පසු 1946-1958 දක්වා කාලය තුළ ප‍්‍රංශයේ කැබිනට් මණ්ඩල 25ක් තිබී ඇති අතර ඒ හැම කැබිනට් මණ්ඩලයකම ආණ්ඩු කාලය මාස 07කට වඩා අඩු විය. ප‍්‍රංශයේ පැවති අවුල්සහගත දේශපාලන වටාපිටාව තුළ ඩිගොල් සඳහා තිබුණු මහජන ඉල්ලීම අනුව විශ‍්‍රාම ගොස් සිටි ඩිගොල් හය මාසයක කාලයක් සඳහා නම් කළ අගමැති බවට පත්කර ගැනීමෙන් පසු ඒ හයමාසයක කාලය තුළ ජනමත විචාරණයකින් අනුමත වන ව්‍යවස්ථාවක් හදන බවට ඩිගොල් මහජනයාට පොරොන්දු විය. පොරොන්දු වූ ආකාරයටම ඩිගොල් විශේෂඥ කණ්ඩායමක් ලවා ඒ කාලය තුළ ව්‍යවස්ථාවක් සම්පාදනය කොට එය ජනමත විචාරණයකටද ඉදිරිපත් කළේය. ජනමත විචාරණයට ඡුන්දය පාවිච්චි කළ 80%ක ජනතාවත් එය අනුමත කළේය. මහජනයාට ඒ මොහොතේ වැදගත් වූයේ ව්‍යවස්ථාව නොව ඩිගොල්ය. ඔහු කරළියට ගෙනා ව්‍යවස්ථාව ගැළපුණේ ප‍්‍රංශයේ දේහයට නොව ඩිගොල්ගේ දේහයටය. විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් අද දක්වා ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවය. ප‍්‍රංශය දියුණු රටක් ලෙස සැලකුණද ප‍්‍රංශ ව්‍යවස්ථාව සැලකෙනුයේ මනා නිමාවකින් තොර අවුල්සහගත ව්‍යවස්ථාවක් ලෙසය.
ව්‍යවස්ථා සම්පාදනයක තිබිය යුතු අභිලාෂ ගැන මම අවසන් ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි. ව්‍යවස්ථා සම්පාදනයක කාල නියමය කෙරෙහි ඒ අභිලාෂද බලපායි. කවර ආකාරයකින් ගත්තත් ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා හය මසක කාලය ප‍්‍රමාණවත් කාලයක් ලෙස සැලකිය නොහැකිය. ව්‍යවස්ථා සම්පාදනයකින් ශ‍්‍රී ලංකාව විසඳාගත යුතුව තිබෙන ගැටලූ සම්භාරය දෙස බලන විට ශ‍්‍රී ලංකාව අඩුම වශයෙන් ඒ සඳහා වසර දෙකක කාලයක්වත් වෙන් කළ යුතුය යන්න මගේ මතයයි. ඒ ගැනද අවසාන ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

පොදු අපේක්ෂකයා

දැන් අපට පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස සලකා බැලිය හැකිය. මට පෙනෙන්නේ පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස හා බලාපොරොත්තුව දියසේන කුමාරයාගේ පහළවීම වැනි චමත්කාර දේශපාලන අපබ‍්‍රංසයක් ලෙසය. පොදු අපේක්ෂකයා කව්ද කියා කිසිවකුත් දන්නේ නැත. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ අතර කෙරෙන සාකච්ඡුා මගින් ඇති කරගත් කිසිදු එකඟත්වයක්ද නැත. පොදු අපේක්ෂකයා සොයාගන්නට යන්නේ කෙසේද, කවුරුන් විසින්ද යන්නද නොපැහැදිලිය. එහෙත් කොයි මොහොතක කොහෙන් හෝ පොදු අපේක්ෂකයකු පහළ වී ඔහු හෝ ඇය විසින් භේදභින්න වී තිබෙන මුළු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයම සමගිකොට එක ධජයක් යටතට ගෙනඑමින් අවසානයේදී ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කොට රටට නිදහස ගෙන එනු ඇති බවට ඒ මතයේ සිටින සියලූ දෙනා විශ්වාස කරති. මේ ලස්සන සිහිනය දකින්නන් තුළ පෙනෙන්නට තිබෙන නරකම ලක්ෂණය වනුයේ තමන්ගේ දේශපාලන අභිලාෂ සපුරාගැනීම වෙනුවෙන් ඵලදායී කිසිවක් නොකොට එම සුන්දර සිහිනය තුළ ගැලී ජීවත්වීමය.

ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ පොදු අපේක්ෂකයකු සොයාගැනීමට නොහැකි වෙතොත් වියහැක්කේ කුමක්ද? පොදු අපේක්ෂකයකු සොයා ගත්තද ප‍්‍රධාන එක් පක්ෂයක් හෝ එම අපේක්ෂකයාට එකඟ නොවුවහොත් සිදුවන්නේ කුමක්ද? පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනයට වැඩියෙන්ම කැමති වනු ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පරාජය කිරීම සඳහා දැන් සිටම වැඩ කරන පොදු විරුද්ධ පක්ෂයක් වෙනුවට ඒ සඳහා කිසිදු වැඩකිරීමකින් තොරව පොදු අපේක්ෂකයකු පහළ වන තෙක් උඩ බලාගෙන සිහින දකින විපක්ෂයක් ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසිදායකය.

පොදු අපේක්ෂකයකු පිළිබඳව පසුගිය ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂ ලැබූ අත්දැකීමද ආස්වාදජනක නැත. එය විරුද්ධ පක්ෂ ව්‍යාපාර හොඳින් සාකච්ඡුා කොට ගනු ලැබූ තීරණයක් නොවීය. අවසාන මොහොතේ තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැතිකම තුළ දඩිබිඩියේ ගනු ලැබූ තීන්දුවක් විය. තෝරාගත් පොදු අපේක්ෂකයා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල සාමාන්‍ය අනුගාමිකයන් තුළ ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණද පක්ෂ නායකයන් අතර විශ්වාසයක් ඇති කිරීමට හේතුවී තිබුණේ නැත. පොදු අපේක්ෂකයා තුළ පක්ෂ නායකයන් කෙරෙහි විශ්වාසයක් නොතිබුණා සේ ම පක්ෂ නායකයන් තුළද පොදු අපේක්ෂකයා පිළිබඳ විශ්වාසයක් නොතිබුණි. ඒ සමග ලද පරාජයත් සමග එකට එකතු වී සිටි බලවේගයන් සීසීකඩ වූයේය.

පොදු අපේක්ෂකයා වෙනුවට පොදු වැඩපිළිවෙළක්

විරුද්ධ පක්ෂවලට සේම ඒ ගැන උනන්දුවක් දක්වන මහජන සංවිධානවලටද තෝරා ගැනීමට තිබෙන හොඳම ප‍්‍රායෝගික විකල්පය වනුයේ පොදු අපේක්ෂකයකු ගැන සිහින දකිමින් නිකරුණේ කාලය ගෙවනවා වෙනුවට රටේ පවතින අවලස්සන හා දූෂිත ආණ්ඩුක‍්‍රමයේ වෙනසක් ඇති කරමින් කැබලි වී තිබෙන ජාතිය එකට එකතුකිරීම සඳහා වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් එම අරමුණ ජයගැනීම සඳහා ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ලෙස දැන් සිටම මහජනතාව අතර වැඩ කරන තැනකට යොමුවීමය. ආණ්ඩුව මහජනයා කෙරෙහි මතවාදී තලයෙහි පවත්වාගෙන යමින් තිබෙන දේශපාලන ආධිපත්‍යයේ බිඳ වැටීමක් ඇතිවනු ඇත්තේ එවිටය.

එවැනි ඒකාබද්ධ වැඩසටහනක් මහජනයාගේ විශ්වාසයට, ආකර්ෂණයට හා ආස්වාදයට හේතුවනු ඇත්තේ එකට එකතු කිරීමට දුෂ්කර, ජන පදනමක් තිබෙන දේශපාලන ප‍්‍රවණතා සියල්ල පොදු වැඩසටහනක් තුළ එකට එකතු කිරීමට සමත්වෙයි නම් පමණය. එවැනි එකතුවක් තුළ ආරම්භයේදී යූඑන්පිය, ජේවීපීය, ෆොන්සේකාගේ පක්ෂය, දෙමළ හා මුස්ලිම් පක්ෂ සිටිය යුතුය. එවැනි පරස්පර විරෝධී පක්ෂ ගණනාවක් එකට එකතු කිරීම පහසු නැතත් ආණ්ඩුවක් හදන වැඩසටහනක් වෙනුවට දේශපාලන ක‍්‍රමයේ හා සමාජ ක‍්‍රමයේ වෙනසක් ඉලක්ක කරගත්, ඒ වෙනස සම්පූර්ණ කිරීමේ අරමුණ සඳහා පමණක් එකට එකතු වී වැඩ කරන හා ඒ වෙනස ඇතිකිරීමෙන් පසු පැවැත්වෙන මැතිවරණයකදී වෙන්වී තරග කිරීමට ඉඩ ලැබෙන ප‍්‍රායෝගික හා සංක‍්‍රමණීය පොදු වැඩසටහනක් සඳහා ඒ සියලූදෙනා එකඟ කරගැනීමේ නොහැකියාවක් තිබිය නොහැකිය.

එහෙත් එවැනි වැඩසටහනක් ඒ සියලූ පක්ෂවල විශ්වාසයට හා පිළිගැනීමට හේතුවනු ඇත්තේ එය කවර තනි පක්ෂයක්වත් පිළියෙළ කරන වැඩපිළිවෙළක් නොවී ඒ සියලූ පක්ෂ එකට එකතු වී සාකච්ඡුා කොට එම ‘අන්තර්කාලීන ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ’ සම අයිතිය ඒ සියලූදෙනාට ලැබෙන ලෙස සකස් කරගන්නේ නම් පමණය.

නියම කරගත් කාල රාමුවක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම, ඒ සඳහා අවශ්‍ය ආයතන නිර්මාණය කිරීම වැනි සීමිත අරමුණකට පමණක් සීමාවී හා ඒ වෙනුවෙන් පොදු එකඟතාවකින් හදාගත් පොදු වැඩසටහනක් මගින් බලවත් ලෙස ක‍්‍රියාකරන ඒකාබද්ධ විපක්ෂ ව්‍යාපාරයක් ඇති කරගත හැකිය.
එසේ ඇතිකර ගන්නා පොදු වැඩසටහන භේදයකින් තොරව මහජනයාගේ ආකර්ෂණයට හේතුවන්නක් විය යුතුවා සේ ම එම තාවකාලික අන්තර්කාලීන වැඩසටහන අව්‍යාජ සියලූ දේශපාලන පක්ෂවල යහපතට හේතුවන්නක්ද විය යුතුය. එය සැඟවුණු න්‍යාය පත‍්‍රවලින් තොර අව්‍යාජ එකක් විය යුතුවා සේ ම ඊට එකතු වන සියලූ පක්ෂවලට ඔවුන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට ඉඩදෙන අතර ඒ සියලූ පක්ෂ එකට බැඳ තබා ගනිමින් එම පක්ෂවල ක‍්‍රියාකාරී ශක්තිය පොදු වැඩසටහන වෙනුවෙන් යෙදීමට පොළඹවනසුලූ වැඩසටහනක් විය යුතුය.

එවැනි වැඩසටහනක් ඇති විට ඊළඟට පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක් වුවද ඊට ආත්ම විශ්වාසයකින් මුහුණදීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට හිමිවන්නේය. පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කරන්නට සිදුවනු ඇත්තේ පොදු අපේක්ෂකයෙකි. තනි පක්ෂයක සලකුණකින් නොව ඒකාබද්ධ විපක්ෂය ඇතිකර ගන්නා සලකුණකිනි. පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොවී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නම් ඒකාබද්ධ විපක්ෂය ඊට තරග කරනු ඇත්තේද පක්ෂ ලැයිස්තුවලින් නොව පොදු ලැයිස්තුවකිනි. ජනාධිපතිවරණයක් ජය ලැබීමෙන් පසුව පමණක් නොව පළමුව ජනාධිපතිවරණයක් නොපවත්වා ඒ වෙනුවට පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් ජය ලැබීමෙන් පසුව වුවද අන්තර්කාලීන වැඩසටහන ක‍්‍රියාත්මක කළ හැකිය.

සම්පාදනය කෙරෙන නව ව්‍යවස්ථාව සඳහා පදනම් කරගත යුතු මූලධර්ම ඒකාබද්ධ විපක්ෂයට කල්තියා හඳුනාගත හැකිය. එම මූලධර්ම සඳහා කල්තියා පොදු එකඟතාවක් ඇති කරගත් විට අන්තර්කාලීන ව්‍යවස්ථාවට එම මූලධර්ම ඇතුළත් කළ හැකිය. එවිට ව්‍යවස්ථා සම්පාදනයක් සඳහාම තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්වෙමින් සම්පාදනය කරන්නට සිදුවන්නේ එම මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවකි. ජනාධිපතිවරණයක් පවත්වා එය ජයගැනීමට පොදු අපේක්ෂකයා සමත් වුවහොත් ඔහුට ඉටුකරන්නට සිදුවන්නේද අන්තර්කාලීන ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන සංකේතාත්මක වැදගත්කමක් ඇති සීමිත කාර්යභාරයක් පමණය. ඔහු තාවකාලික සර්ව පාක්ෂික භාරකාර ආණ්ඩුවක ප‍්‍රධානියා පමණක් වේ. තාවකාලික භාරකාර ආණ්ඩුවේ කාර්යභාරය අවසන්වීමත් සමග ඔහුගේ කාර්යභාරයද අවසන් වේ.

දේශපාලන ක‍්‍රමයේ වෙනසක් රටේ ඉදිරිගමන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකි වුවද ආණ්ඩුවක් වෙනස් කරනවාට වඩා දේශපාලන ක‍්‍රමයක් වෙනස් කිරීම ඉතා දුෂ්කර හා සංකීර්ණ දෙයක් බවද තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ආණ්ඩුවක් වෙනස් කිරීමට අවශ්‍ය වනුයේ බහුතර බලයක් පමණය. එහෙත් දේශපාලන ක‍්‍රමයක් බහුතර බලයකින් පමණක් වෙනස් කළ නොහැකිය. ඊට වඩා විශාල ප‍්‍රමාණයක මහජන අනුමැතියක් සේ ම ව්‍යවස්ථාදායකයේද විශේෂ බහුතර අනුමැතියක් අවශ්‍යය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවතින දේශපාලන ක‍්‍රමයට අනුගතවී තිබෙන ප‍්‍රමාණය අනුව එම ක‍්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයක් ඔහුට තිබිය නොහැකිය. ඒ නිසා දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමේ අරමුණ දිනාගත හැකිවනු ඇත්තේ ජනාධිපතිවරයා පරාජය කෙරෙන ක‍්‍රියාමාර්ගයක් තුළිනි. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන වැඩසටහනකට ජනාධිපතිවරයා කැමති නැතත්, දේශපාලන ක‍්‍රමය වෙනස් කරන වැඩසටහනට උනන්දුවක් දක්වන අය ආණ්ඩු පක්ෂය තුළද සිටින්නේය. එවැනි පිරිස් ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහනට එකතුවීමට කැමති නම් ඔවුන්ටද එම වැඩසටහනට එකතුවිය හැකි පරිදි දොරටු විවෘතව තබාගත යුතුය. අනෙක් අතට ආණ්ඩු පක්ෂය බලයේ සිටියදී දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සඳහා වන ව්‍යවස්ථා සම්පාදනයකට එකඟ නොවූවද ආණ්ඩු බලය අහිමිවීමකින් පසුව විරුද්ධ පක්ෂය බවට පත්වන ඔවුන්ද මෙම වැඩසටහනට කොටස්කරුවන් කරගත යුතුය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වියයුත්තේ කොල්වින් හෝ ජේ.ආර්. එම ව්‍යවස්ථාවන් සකස් කළ හිතුවක්කාරී ආකාරයට නොව ජාතිය නියෝජනය කරන ලොකු කුඩා සියලූ ප‍්‍රවණතා ඊට සම්බන්ධ කරගන්නා ආකාරයටය. සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දීර්ඝකාලින පැවැත්මක් ඇති නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිවනු ඇත්තේ එවිටය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර පෙන්වා දිය යුතුව තිබෙන කටුක යථාර්ථයක් මෙසේය.
මා බොහෝ විට කියා තිබෙන ආකාරයට රට ගමන් කරමින් තිබෙන්නෙ අරාජිකත්වයකටය. රාජ්‍යයේ ආයතන ක‍්‍රමය උපරිම මට්ටමෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන අතර ආණ්ඩුවට තිබෙන මහජන පිළිගැනීමද වේගයෙන් වාෂ්පවෙමින් පවතී. ආණ්ඩුව පිරිහී තිබෙන වේගයට ගැළපෙන ප‍්‍රමාණයට විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල වර්ධනයක් ඇතිවී නැත.

අරාජික තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පැවැත්ම හා ක‍්‍රියාකාරීත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ශක්තිමත් කරගැනීමට විරුද්ධ පක්ෂ සමත්වන්නේ නම් පමණය. මේ මොහොතේ තනිතනිව ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියකින් විරුද්ධ පක්ෂවලට වේගවත් වර්ධනයක් හිමි කරගත නොහැකි අතර වේගවත් වර්ධනයක් ලබාගත හැකිවනු ඇත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාර පොදු වැඩපිළිවෙළක් තුළ ඒකාබද්ධව ක‍්‍රියාකරන තත්ත්වයකට මාරුවීමෙන් පමණය. ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට ආත්ම විශ්වාසයකින් මුහුණ දිය හැකිවනු ඇත්තේද එවැනි ක‍්‍රියාමාර්ගයක් ඔස්සේ පමණය.

එහෙත් අවාසනාවකට පොදු වැඩපිළිවෙළක් තුළ සියලූ විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකට එකතු කිරීමට දරන උත්සාහයක ඉඟියක්වත් පෙනෙන්නට නැත. ඒ සමග සමහර ව්‍යාපාර විරුද්ධ පක්ෂවල එකඟතාවකින් තොරව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ උත්සාහයක්ද පවතී. මේ සියලූ තත්ත්වයන් රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කරන්නේයැ’යි කිව හැකිය.

ප‍්‍රමාද වී හෝ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට තෝරාගැනීමට තිබෙන හොඳම දේ ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කොට කැබලි වී තිබෙන ජාතිය එකමුතු කිරීම සඳහා වන අන්තර්කාලීන වැඩසටහනක් සඳහා ඇතිකර ගන්නා එකඟතාවක් මත ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ගොඩනගා ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීමය.

මතු සම්බන්ධයි