ඉන්දියාව සමග ගනුදෙනුව

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පත් වීම ලෝකයේ, ආසියානු කලාපයේ මෙන් ම ලංකාවේ ද විවිධ මත දැක්වීම්, අනාවැකි කීම් හා නව ප‍්‍රවණතාවන් කෙරෙහි යහමින් හේතු වී තිබේ. එවැනි පසුබිමෙක, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ලද ආරාධනය පිළි ගෙන එහි යෑම සාධනීය කාරණයකි.

කලාපයේ බලවතා වන ඉන්දියාව සමග ශ‍්‍රී ලංකාව යහපත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම භූදේශපාලනය ගැන දන්නා ඕනෑ ම කෙනෙකු අනුමත කරන කාරණයකි. එහෙත් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික පිළිවෙත් හා ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රික පිළිවෙත් එතරම් සුහද ලෙස නොපැවැති බව අප පිළි ගත යුතු ය. එවැනි තත්ත්වයක දිවුරුම් දීමේ අවස්ථාවේ සිට ම ඉන්දීය අගමැතිවරයා සමග සුහදත්වයෙන් කටයුතු කරන්නට ජනාධිපතිවරයා ගත් ප‍්‍රවේශය යහපත් ය.

ඉන්දියාව සමග මෙතෙක් පැවැති සම්බන්ධතා අයහපත් වීමට බල පෑ ප‍්‍රධාන හේතුව ලංකාවේ ආණ්ඩුව බලය බෙදීමට දක්වන අකැමැත්තත්, දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට ප‍්‍රමාණවත් තරම් අවධානය යොමු නොකිරීමත් බව පැහැදිලි ය. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට වහා පියවර ගන්නා ලෙස ඉන්දියාවෙන් කැරුණු ඉල්ලීම් දිගින් දිගට ම නොසලකා හැරීමත්, ඒ ඒ අවස්ථාවලදී ඒ ගැන කිසියම් පොරොන්දුවක් දී පසුව ඒවා අවඥාවෙන් බැහැර කිරීමත් ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික උපාය මාර්ගය බවට පසුගිය කාලයේ පත් වී තිබුණේ ය. කොන්ග‍්‍රස් රජය ඒ කෙරෙහි දැක් වූ කිසියම් ආකාරයක නිවුණු ප‍්‍රතිචාරය නිසා, බරපතළ නරක ප‍්‍රතිඵලවලට මුහුණ නොදී එවැනි හැසිරීමක දිගට ම යෙදීමට ලංකාවට හැකි විය. එහෙත් දැන් තත්ත්වය වෙනස් විය හැකි බව පෙනෙන්නට තිබේ.

දිවුරුම් දීමේ උත්සවයෙන් පසු එකිනෙකා පළමුවර මුහුණට මුහුණ හමු වූ විට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරෝහ පරිණාහ පෙනුමටත්, මිත‍්‍රශීලී එළැඹුමටත් ඉන්දීය අගමැතිවරයා ආකර්ෂණය වූවාට සැක නැත. එහෙත් ඒ පළමු හමුවේදී ම අගමැති නරේන්ද්‍ර මෝදි සමස්තයක් ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කර තිබුණේ, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැුකීම හා ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් විශේෂ අවධානයකින් හා වේගයකින් කටයුතු කරන ලෙස ය. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරන ලෙස ද මෝදි අගමැතිවරයා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට කී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මෙය ඉතාමත් වැදගත් සංඥාවකි. කොන්ග‍්‍රස් පාලනය බොහෝ කාලයක් තිස්සේ කියමින් සිටි දේ මෝදි අගමැතිවරයා සිය පළමු සුහද හමුවේ දී ම ලංකාවේ ජනාධිපතිවරයාට අවධාරණය කොට තිබේ. එහි තේරුම නම්, ඒ පිළිබඳ ඉදිරි වර්ධනයන් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගෙන ඇරැුඹෙන්නට නියමිත බව ය.

13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කරන්නටයැ’යි ඉන්දීය අගමැතිවරයා කීයේ එම සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නට හෝ එහි බලතල කපා හැරෙන ලෙස නව සංශෝධනයක් ගෙන එන්නට හෝ යැ’යි සිය පාලන සභාගයේ විවිධ පාර්ශ්ව හරහා තමන්ගේ ම අදහස කියා පෑ ආණ්ඩුවක ජනාධිපතිවරයකුට ය. දැන් ඒ ජනාධිපතිවරයා හෙවත් මහින්ද රාජපක්‍ෂ මහතා මෝදි අගමැතිවරයාගේ අවධාරණයට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න ලංකාවේ අනාගතය තීරණය වන වැදගත් සාධකයක් වනවාට සැකයක් නැත.

මීට පෙර එවැනි සෑම අවස්ථාවකදීම ලංකාවේ ප‍්‍රතිචාරය වූයේ පොරොන්දුවක් දී එවැන්නක් නොදුන් බවට පසු ව කීම හෝ ඒ පොරොන්දු ඉටු නොකර සිටීම ය. මීට පෙර ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකාව ලෙස ලංකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට පැමිණි සුෂ්මා ස්වරාජ් මහත්මියට ද ලංකාව එවැනි ම පොරොන්දු දුන් නමුත් පසු ව එවැන්නක් නොකීවේයැ’යි කියන තැනට වෙනස් විය. දැන් සුෂ්මා ස්වරාජ් ඉන්දියාවේ විදේශ කටයුතු භාර ඇමතිනිය යි.
ශ‍්‍රී ලංකාව නරේන්ද්‍ර මෝදිගේ අලූත් ආණ්ඩුව සමග කටයුතු කරන්නට යන්නේ කෙසේ ද යන්නට නිමිත්තක් ද දැනටමත් රටට තිබේ. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ගැන ජනාධිපති ප‍්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ, ජනාධිපතිවරයාත් මෝදි මහතාත් අතර පැවැති සාකච්ඡුාවලදී 13වැනි සංශෝධනය ගැන කළ කතා ගැන එක් අකුරක් වත් සඳහන් නොවේ. මේ නොසැලකිල්ලද? නැතිනම් වැදගත් කරුණු සැඟවීමක් ද?

කෙසේ වෙතත්, ඉන්දියාවේ අතිශය බහුතරයකින් ආණ්ඩු බලයට පත්, පුද්ගල ස්වභාවයෙන් ම දැඩි තීරණාත්මක පුද්ගලයකු සේ සැලකෙන, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනටමත් විවිධ අවස්ථාවල දී අවධාරණය කර තිබෙන නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවත් සමග ශ‍්‍රී ලංකාව ඉදිරියට කටයුතු කරන්නට යන්නේ මේ ආකාරයෙන් නම් අනාගත අඳුරක් මිස එළියක් නොපෙනෙන බව කිව යුතුය.