රාවය

ගැහැනුන්ට හා පිරිමින්ට ආදරය කළ හැකි වන්නේ මිනිස් අරගලවලදීය |නීතිඥ ජීවනී ඤාණකාන්ති කාරියවසම්

ගැහැනුන්ට හා පිරිමින්ට ආදරය කළ හැකි වන්නේ මිනිස් අරගලවලදීය |නීතිඥ ජීවනී ඤාණකාන්ති කාරියවසම්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන ඔබ වැඩිපුර කතා කරනවා. කාන්තා දේශපාලනයත්, දේශපාලනයේ කාන්තා නියෝජනයත් ගැන ඔබට මොකද හිතෙන්නේ?
මනුෂ්‍ය ජනගහනයෙන් බාගයක් වුණු ගැහැනියව දෙවෙනි පන්තියේ ජීවියෙක් විදිහට සලකලා පීඩනයට පත්කිරීම සහ ඒ පීඩාවේ ඇති ඉතා සියුම් වගේම වඩා සාහසික සහ ම්ලේච්ඡ මාදිලි අධ්‍යයනය කරන එකයි, ඊට විරුද්ධව සටන් කරන එකයි තමයි කාන්තා දේශපාලනය කියන්නේ. කාන්තා පීඩනය මේ මොහොතෙත් වඩ වඩා ම්ලේච්ඡ ස්වරූපවලින් හා අදෘශ්‍යමාන ස්වරූපවලින් පවතිනවා.
ඊනියා ශිෂ්ට බටහිර දියුණු රටවල කාන්තා ශ්‍රමයට අඩු වැටුපක් ගෙවන පුරුද්ද, ඊට විරුද්ධ නීතිරීති තිබියදීත් රහසින් ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ ලොකු ම ප්‍රජාතන්ත්‍රවාදී රට කියලා ආඩම්බර වෙන ඉන්දියාවේදී දෑවැදි බරින් නිදහස් වෙන්න කුඩා බිලිඳියන් දහස් ගණනක් ඉපදුණු විගස මරලා දානවා. මේක පිරිමි ගෑනුන්ට විරුද්ධව කරන යුද්ධයක් නෙවෙයි. ගැහැනු පිරිමි දෙගොල්ලම අනුගත කෙරුණු සංකීර්ණ සමාජ ක්‍රියාවලියක්. අපි කාන්තා නියෝජනයයි කාන්තා දේශපාලනයයි එකක් කියලා පටලවාගන්න එක වැරදියි.

ඔබ කියන දේශපාලනය ලංකාව ඇතුළේ නූතන රාමුවට ගොඩනැගෙන්නේ කොහොමද?
කාන්තා දේශපාලනය ලංකාවේ පැවතුණු මාදිලි කිහිපයක් තිබුණා. එක්කෝ ඒක ඉංග්‍රීසි කතා කරන, බටහිර රටවල මධ්‍යම පන්තියේ ජීවන විලාසිතාවට ආස කළ, ආර්ථික වශයෙන් ඉහළම පන්තිවල සමහරක් ස්ත්‍රීන්ගේ පුද්ගලික ජීවිතයේ රැඩිකල්කමක් විදියට තිබුණා. මේක මූලිකව පවුල් ජීවිතය තුළයි, ලිංගික ජීවිතයෙහි පුද්ගලික කැරැල්ලක් විදිහටයි තියෙන්නේ. මේ ප්‍රකාශනයට බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් පිරිමි බයවුණු එකයි වුණේ.
අනෙක් අතට ඊට වඩා බැරෑරුම් අර්ථයකින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න හදපු උත්සාහයන් කිහිපයක් තියෙනවා. එකක් 80 දශකයේ සුනිලලා, ලීනා අයිරින්ලාගේ ස්ත්‍රී කවවලින් පටන් ගත්ත ස්ත්‍රී දේශපාලනය. මේක දෙදාහ වසර පමණවන තුරු රොහාන් පෙරේරා හා එක්ස් කණ්ඩායම දක්වායි, අනෙක් අතට පසුකාලීන රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනය ඇතුළේයි යම් දුරකට තිබුණා. ඒත් ඒක ආන්තික ප්‍රවාහයක්.
ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඇතුළේදී මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණයි, එල්ටීටීඊ එකයි යම් මැදිහත්වීමක් කළා. බොහෝ දෙනා නොදන්නවා වුණාට එල්ටීටීඊ එක කාන්තා පීඩනය ගැන ප්‍රශ්නය සැලකිල්ලට ගත්තා විතරක් නෙවෙයි, ඔවුන්ගේ කාන්තා මිලිටරි කාඩරය ගැහැනුන්ට සාමාන්‍යයෙන් ආගන්තුක ලෙස සැලකෙන යුද කලාවේ තීන්දු තීරණ ගන්න වගේම අතිශය කායිකව අසීරු මෙහෙයුම් ඇතුළේදී පිරිමින්ට කිසිදු විටෙක නොදෙවෙනි කාර්යයන්වල නියැලෙන්න හැකියාව පෙන්නුවා. කාන්තාව ගැන අගතිගාමී සාම්ප්‍රදායික හින්දු සමාජයක් තුළ සමාජයේ පීඩිත පවුල්වලින් ආ ඒ ගැහැනුන් ඉදිරිපත් කළේ විශාල අභියෝගයක්.
ඇත්තටම අපට කතා කර කර ඉඳලා හරි නීතිරීති දාලා විතරක් හරි ගැටලුව විසඳන්න බැහැ. ගැහැනු පිරිමි හැමෝටම බලපාන ගැටලුවලට බද්ධ අරගල ඇතුළේදී ගැහැනුන්ටයි පිරිමින්ටයි අලුත් විදිවලට එකිනෙකාව ඕනෑවෙනවා. පවුලේ, මහපාරේ, කාර්යාලවලට වඩා වෙනස් අලුත් විදිවලට එකිනෙකාට හමුවෙන්න වෙනවා. එතැනදී සමහරවිට එකිනෙකාට ආදරය කරන අලුත් විදියක් හොයාගන්න පුළුවන් වෙයි. දේශපාලනයේ කාන්තා නියෝජනය කියන්නේ ඒ අර්ථයෙන් ගත්තාම ඉතා සීමිත ව්‍යාපෘතියක්.

කාන්තා දේශපාලන ප්‍රතිමානයන්ට පුරුෂෝත්තම සමාජ කථිකාවන් ඇතුළේ පවතින්න වෙන්නේ කොහොමද?
කාන්තා දේශපාලනය කියන්නේ පුරුෂෝත්තම සමාජ දෘෂ්ටිවාදය ඇතුළේ තැනක් හොයන ව්‍යාපෘතියක් නෙවෙයි. ඒ වෙනුවට පුරුෂෝත්තම සමාජ දෘෂ්ටිවාදයට විරුද්ධව ගැහැනු පිරිමි නව ලෝකයක් සොයන ව්‍යාපෘතියක්.
පුරුෂෝත්තම සමාජ දෘෂ්ටිවාදය කියන්නේ කාගේවත් මනසේ තියෙන කැත අදහසක් නෙවෙයි. වෛරී සිතිවිල්ලක් නැති වෙලාවක පවා ප්‍රායෝගිකව, අර්ථ විරහිතව ක්‍රියාත්මක වන පීඩාකාරී යාන්ත්‍රණයක්. දෙදහස් දොළහේදී එළි දක්වපු ෂඑ.ි ් ඨසරක කියන වාර්තා චිත්‍රපටය බැලුවා නම් මේක තේරෙයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවෙයි, චීනෙයි මිලියන ගණනක් කුඩා ගැහැනු ළදරුවන් අතුරුදන් වන ක්‍රමය ගැන ඒකෙ කතා කරනවා. ලංකාවේදී සුදු වෑන්වලින් අතුරුදන් කරන්නේ වැඩිහිටි පිරිමින් වුණාට මේ චිත්‍රපටයට අනුව අදෘශ්‍යමාන සංකීර්ණතා සමාජ යාන්ත්‍රණයක් කුඩා බිලිඳියන්ව ගිල ගන්නවා.
මේ වාර්තා චිත්‍රපටියේ එක් ප්‍රසිද්ධ දර්ශනයක් තියෙනවා. දකුණු ඉන්දියානු මැදිවියේ කාන්තාවක් මුහුණේ කිසිදු හැඟීම්බර සලකුණක් නැතිව තමන් කුඩා දියණියන් කිහිප දෙනෙකුව මරා දැමූ ආකාරය හා වැළලූ තැන පෙන්වමින් විස්තර කරනවා. මෙය බාහිර අයෙකු කම්පනයට පත් කළත් එම ඉන්දියානු සමාජය ප්‍රසිද්ධ රහසක් ලෙස නඩත්තු කරන සාමාන්‍ය කාරණයක්. ගැහැනු දරුවන් මරා දමන්නේ ගැහැනුන්මයි. පුරුෂෝත්තම සමාජ දෘෂ්ටිවාදය කියන්නේ ඒ වගේ දෙයක්.
තවත් අතකට මෙහෙම සිද්ධ වෙන්නේ, ගැහැනු දෙවිවරුන් මහා බලසම්පන්න ලෙස සලකමින් වැඳුම් පිදුම් කරන සමාජ සැකැස්මක් තුළමයි. පීඩාවට ලක් කෙරෙන අනෙකාව විශිෂ්ට ලක්ෂණ සහිත අයෙකු ලෙස සලකමින් උත්තරීතර කිරීම ලෝකයේම සම්ප්‍රදායයක්. ගැහැනු පිරිමින්ට වඩා වෙනස් විදියට ආදරය කරන්න දන්නවා කියන එක, ගැහැනුන්ට පිරිමින්ට නැති විශේෂ ඥානයක් තියෙනවා කියන එක, ඔවුන් සුකොමල නිසා රැක බලා ගතයුතුයි, ගෞරව කළ යුතුයි කියන එක, එකම කාසියේ අනෙක් පැත්ත.

කලිනුත් කිව්වා වගේ, නියෝජන දේශපාලනය ගැන ඔබ වැඩිපුර කතා කරනවා. දේශපාලනයේ කාන්තා නියෝජනය කියන එක මේකත් එක්ක ගැටගැහෙන්නේ කොහොමද?
දේශපාලනයේ විතරක් නෙවෙයි සෑම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනයට තියෙන බාධා ඉවත් කළ යුතුයි. මුළු ප්‍රශ්නයට උත්තරයක් නැති වුණාට සීමිත පියවර පවා වැදගත්.
මේ ගැන ප්‍රකට වෙමින් තියෙන මතයක් තියෙනවා. ඒ තමයි, පිරිමි ස්වභාවයෙන්ම ආධිපත්‍යයිකයි, පීඩාකාරීයි, බලයට සහ ධනයට ලෝභයි, දූෂණයට ගොදුරු වීම ඉහළයි, තරගකාරීයි. එහෙත් ගැහැනු ආදරණීයයි, සාමූහිකයි, බලයට විරුද්ධයි, පිරිමින්ගේ රළු පරළු යාන්ත්‍රික තාර්කික චින්තනයට වෙනස් හදවතට, හැඟීමට බරයි කියලා. ඒ නිසා ඔවුන් අතට පාලනය ගියාම ලෝකය යහපත් වෙනවා කියලා. මම මේ කතාව විශ්වාස කරන්නේ නෑ විතරක් නෙවි මේක ඉතා හානිකරයි. ඒක දැනටමත් තියෙන පීඩාකාරී සැකැස්ම තුළ අන්තර්ගත ඊටම අවශ්‍ය අදහසක්.
පිරිහුණු දේශපාලන ක්‍රීඩාවට ඇතුළු වුණාම ගැහැනුන්ටත් හොඳටම මේ දූෂිත ක්‍රීඩාව කරන්න පුළුවන් කියලා ඔවුන් දැනටමත් ඔප්පු කරලා තියෙනවා.

මොන අඩුපාඩු තිබුණත්, නියෝජිත දේශපාලනය ඇතුළේ අපි ඉහළම තලවලට කාන්තාවන් ඔසවා තැබූ රටක්. ඒ නියෝජනයන් ඇතුළේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික කාරණාවල සුවිශේෂීත්වයක් තිබුණ ද?
ලංකාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දේශපාලනය තුළ ඉහළින් ම කාන්තා නියෝජනයන් තිබිලා තියෙනවා තමයි. උදාහරණයකට ලෝකයේම ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය. එහෙම නැතිනම් ඊට පසු විධායක ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා මහත්මිය.
ඒ වගේම වාමාංශික දේශපාලන සංස්කෘතියක වටපිටාව තුළ ඉදිරියට ආපු විවියන්, පියසීලි වගේ සටන්කාමී කාන්තාවන් මේකෙ තවත් පැත්තක්.
මේ උදාහරණ තුළ ඒවාටම ආවේණික වැදගත්කමක් තියෙන බව ඇත්ත. එහෙත් මේ උදාහරණ අපිට සතුටු වෙලා ආඩම්බර වෙන්න විතරක් පුළුවන් සීමාවේ නවතිනවා.
බිම් මට්ටමේ සමිති සමාගම්වල කාන්තා ක්‍රියාකාරිත්වය සීමා මායිම් සහිතව හෝ ඉහළ මට්ටමක තියෙනවා. ඒ අත්දැකීම්වල විශාල වැදගත්කමක් තියෙනවා. ඒත් ඒකට එතැනින් එහාට යෑමේ ගැටලු තියෙනවා. එල්ටීටීඊ හෝ ජේවීපී වගේ ව්‍යාපාරවල අත්දැකීම් මම ඉදිරිපත් කළේ ඒ නිසායි. ගැහැනුන්ට හා පිරිමින්ට අලුතින් ආදරය කරන්න ඉගෙන ගන්න පුළුවන් වන්නේ මහා පරිමාණ, ජීවමාන මිනිස් අරගලවලදියි කියන එක විශාල විශ්වාසයකින් කිව හැකියි.

බොහෝවිට ලාංකීය දේශපාලනයේ කාන්තාව නියෝජනය වෙන්නේ පුරුෂ ප්‍රමුඛත්වයේම දිගුවක් ලෙස කියන එක ජනප්‍රිය මතයක්?
මේකෙ එක්තරා ඇත්තකුත් තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට එන්නේ ස්වාමි පුරුෂයා නිසා තමයි. ඒත් ඇයගේ දේශපාලන තීන්දු ගැනීම් හා ක්‍රියාකාරිත්වය පිරිමි මණ්ඩලයකට අවශ්‍ය පරිදි සිදු කළ හුදු නාමික එකක් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙනුත් තත්ත්වය එහෙමමයි. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන් පැමිණි මූලයට ඌනනය කරන්න බැහැ. ප්‍රභූ පවුල්වල මූලයන් තිබීම ගැහැනුන්ට පමණක් නෙවෙයි, පිරිමි දේශපාලඥයන්ටත් පොදුයි.
සමස්තයක් විදිහට ප්‍රධාන ධාරාවේ පක්ෂ දේශපාලනය තුළ කාන්තාවන්ගේ ක්‍රියා කාරිත්වය අඩුවීමට සාධක ගොඩක සංකීර්ණ එකතුවක් බලපානවා. කාන්තාවන් දාගැනීම කරදරයක් විදිහට ඔවුන් සලකනවා.■