Untitled-1

Untitled-1

අමරදේවයන්ට සිල්ලර කාසිවලින් වන්දි ගෙවීම


saraath

මහාචාර්ය සරත් විජේසූරිය

පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගත්තේ රටට ණය නැති උදාර පුරවැසියෙකු ලෙසිනි. ඔහු ස්වකීය ප්‍රතිභාව හා නිර්මාණ කෞශල්‍යය පරම්පරා ගණනාවක රසභාව පෝෂණයට හා වින්දන චින්තන ශක්තිය ඉහළ නැංවීමට කැප කළ අන්දම අසමසම වන්නේය. මගේ අවංක හැඟීම වන්නේ රටේ සියලුම විද්‍යුත් මාධ්‍ය අමරදේවයන්ට ගෙවා නිම කර දැමිය නොහැකි තරමට ණය බවයි. රටේ ගුරු භවතුන් බහුතරයක් අමරදේවයන් දැයේ මතු පරපුරට සම්ප්‍රදානය කළ ‘මහා නිධානය’ ආරක්ෂා කිරීමට අසමත් වූවා පමණක් නොව, ඉතා අවලස්සණ අන්දමට ඉබාගාතේ යන කාටවුව සොරකම් කිරීමට දැන හෝ නොදැන උඩ ගෙඩි දීමක් සිදු කළ බවයි. තතු කෙසේ වුවත් සිදු වන සියල්ල දෙස අමරදේවයන් බලා සිටියේ උපේක්ෂාවෙන් යයි මම සිතමි. වරෙක අමරදේවයන්ගේ විශිෂ්ට නිර්මාණයක් වන, ‘රත්නදීප ජන්ම භූමි’ ගීතයේ තනුව අවභාවිත කරමින් කලාවිහීනයකු ඊට ගොතා තිබුණ අශීලාචාර පදවැලක් ගයන අන්දම අසා සිටි අමරදේවයෝ මහ හඬින් සිනාසුණහ. ඉක්බිතිව එතුමන් පවසා සිටියේ, ‘ගුණ යහපත් දෙමව්පියන් ළඟත් ඇට්ටර ළමයි හැදෙනවා, මොනවා කරන්න ද?’ යන්නයි. ඒ අවලස්සණ කටයුත්තට එරෙහිව නීතිමය පියවරක් ගත යුතු නොවේ දැයි කෙනෙකු විමසා සිටි විට අමරදේවයන් ඊට පිළිතුරු දුන්නේ කුමාරතුංගයන්ගේ පියසමරේ එන මේ කවිය රසවත් අන්දමින් ගායනා කරමිනි.
ලොව සියල්ල බිඳෙයි නොතිරයි දුකයි
අපට ඒ සැබවින් වෙනසක් නොවී
වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇතිවීම මැයි
විද්‍යුත් මාධ්‍ය
අමරදේවයන් ජීවිතයෙන් සමු ගත් තැන් සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ඒ පුවතින් සසලව ජනතාව දැනුවත් කිරීමට මූලික අවධානය යොමු කළ අන්දම ප්‍රශංසනීය වේ. ඇතැම් මාධ්‍ය ආයතන අමරදේවයන්ගේ මධුර ගීත ප්‍රචාරය කරමින්, අමරදේවයන් ගැන විවිධාකාර වැඩ සටහන් ද ප්‍රචාරය කිරීමට උත්සුක වූ අන්දම කැපී පෙනුණේය. ඒ සියල්ල අතුරින් වරින් වර මතු වුණේ බොළඳ නිවේදක නිවේදිකාවන්ගේ අවරසිකත්වයයි. එක්තරා නාලිකාවක තරුණයෙකු හා තරුණියක අමරදේවයන් සම්බන්ධ ප්‍රවාද ගෙනහැර පාමින් හාස්‍යය දැනවීමට උත්සුක වී සිටීම ඉවසා සිටිය නොහැකි තැන, ඒ වැඩසටහනට දුරකථනයෙන් සම්බන්ධ වුණ පුද්ගලයෙකු ඊට විරෝධය පළ කළ විට, මේ දෙදෙනා පවසා තිබෙන්නේ මෙවැන්නකි.
“අපෙ අප්පෝ අපි ආනන්තරිය පාප කර්මයක් කරලා නේද?, සමාවෙන්න සමාවෙන්න”
මේ වචන උච්චාරණය කළ අන්දම තුළ අවඥාව පිරිතිරී තිබුණ අන්දම විස්තර කෙරුණේ, තරුණ නිවේදක නිවේදකාවන්ගේ උඩඟු බව ඉන් විශද වූ අන්දම ද විස්තර කරමිනි.
අමරදේවයන්ගේ ගීත මේ දිනවල නිතර එක දිගටම ප්‍රචාරය කරමින් අවර ගණයේ ගීත ප්‍රචාරය අඩු කර තිබුණ ද තව සතියක් පමණ ගත වන විට නැවත අවර ගණයේ ගීත ප්‍රචාරය පටන් ගැනීම සිදු වන බව සාමාන්‍ය තත්වයක් වනු ඇත යන අදහස මිතුරෙකු මා සමඟ පැවසුවේ, නාළිකාවල කටයුතුවල වගකීම් විරහිත බව දෝෂ දර්ශනයට ලක් කරමිනි.

රසඥතාව
සමාජයක ජන විඥානය පෝෂණය කිරීම මෙන්ම රසඥතාව වඩා වර්ධනය කිරීම ද ජන මාධ්‍ය සතු වගකීමකි. මේ වගකීම ඉටු කිරීමට ප්‍රධාන වශයෙන්ම අද දවසේ අදාළ වන්නේ මාධ්‍ය ආයතනයේ න්‍යාය පත්‍රයයි. පෞද්ගලික මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් නිතර පැවසෙන්නේ ලාභයම ලුහු බඳින බවයි. එනමුත් මේ පිළිබඳ තතු දත් උදවිය පවසන්නේ, මාධ්‍ය ආයතනය මඟින් උපයන ලබන ලාභයට වඩා මුල් වන්නේ ඒ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ ව්‍යාපාරවල පැවැත්මට අදාළ කාරණා බවයි. මේ කාරණාව සත්‍යයක් නම්, මේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට තමන්ගේ අභිමතාර්ථ සාධනය පිණිස ජන විඥානය පෝෂණය කිරීම මෙන්ම රසඥතාව වඩා වර්ධනය කිරීම අදාළ නොවන්නේ මන් ද? මේ ප්‍රශ්නයට ද පැහැදිලි පිළිතුරක් ඇත. ඒ පිළිතුර නම් ප්‍රධාන පෙළේ සමාගම්වල දැන්වීම් කළමනාකරණය කරන ප්‍රචාරණ ආයතන සතු බලයක් ජන විඥානය පෝෂණය කිරීම මෙන්ම රසඥතාව වඩා වර්ධනය කිරීමට එරෙහි න්‍යාය පත්‍රයකට ප්‍රාණය සපයන බවයි. මේ උගුලෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ද නිදහස් වීමට බැරි තත්වයක් පැවතීම මොන තරම් භයානක තත්වයක් ද?
කෙසේ වෙතත් රටක ජන මාධ්‍ය ජනතාව වෙනුවෙන් තමන් සතු කාර්යභාරයෙන් අඩක් වත් නිසි අන්දමින් සපුරාලීම අවශ්‍ය වේ. ඒ සඳහා පවතින යථාර්ථය තුළ අවකාශයක් නිර්මාණය කර ගැනීම ආයතන ප්‍රධානීන් සතු වගකීමකි. ජන විඥානය පෝෂණය කිරීම සහ රසඥතාව ඉහළට එසවීම සම්බන්ධයෙන් ගුවන් විදුලි නාලිකා අවධානය යොමු කළ යුත්තේ; කියවිය යුත්තේ අතීතයේ තිබුණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අනුගමනය කළ පිළිවෙත් වෙතට බව මගේ පිළිගැනීමයි. ඉන් අදහස් කරන්නේ සියල්ල අතීතයට ගෙන යා යුතුය යන්න නොවේ. කිසි විටක සම්ප්‍රදාය හදාරන්නේ නැතුව නවීකරණය යහපත් නොවේය යන අදහස බැහැර කළ නොහැකිය.
ගුවන් විදුලි සංස්ථාව සමාජයේ රසඥතාව වඩා වර්ධනය කිරීමට අනුගමනය කළ ප්‍රතිපත්ති, අමරදේවයන්ගේ සිට බොහෝ කලාකරුවන් ලියා ඇති සහ පවසා ඇති දේ ගැන මගේ සැලකිල්ල උවමනාවෙන් යොමු කර තිබේ. මගේ නිරීක්ෂණයට ලක්වුණ එක් වැදගත් කරුණක් වන්නේ ගුවන් විදුලිය සමාජයට ඉහළින් තබා ගැනීමට පෙරදා ඒ ආයතනයට නායකත්වය ලබා දුන් පුද්ගලයන් නිර්භීත වූ බව හා ඒ සඳහා අවශ්‍ය දර්ශනයක් ඔවුන් සතුව තිබුණ බවයි. මේ කාරණය අවබෝධ කර ගැනීමට හොඳම සාධකය වන්නේ එදා සිටි නිවේදක නිවේදිකාවන්ගේ තත්වයයි.
අමරදේවයන්ගේ අභාවයෙන් පසුව වැඩ සටහන් ඉදිරිපත් කළ ඇතැමුන් භාවාත්මක වචන හරඹවල නිමග්න වූ අන්දම කනගාටුදායකය. ඇතැමුන් ප්‍රකාශ කිරීමට කිසිවක් නැතිව වල්පල් දෙඩවීම ද කැපී පෙනුණේය. තවත් විටෙක ගායකයෙකු හෝ ගායිකාවකට හෝ ගීත රචකයෙකු හෝ සම්බන්ධ කර ගනිමින් විමසා සිටියේ අතිශයින් බොළඳ කාරණාය. තරුණ නිවේදිකාවක මගෙන් විමසූ පැනයක් හේතුවෙන් මා අසරණ වුණ අන්දම ගැන ඇයට යමක් මා පැවසූ විට ඇය කිසි ලෙසකින්වත් කනගාටු නොවීම ගැන මම පුදුම වීමි. ඇය මගෙන් ඇසූ මුල්ම පැනය මෙයයි.
“ආචාර්ය අමරදේවයන් ලංකා විශ්වවිiාලයේ පීඨාධිපති ලෙස කටයුතු කළ කාලය මතක් කරමින් ඔබතුමන් ලබාපු අත්දැකීම් අපට කියන්න පුළුවන් ද?”
මේ ප්‍රශ්නයෙන් තිගැස්සුණ මා ඇගේ නොදැනුම පැහැදිලි කළෙමි. සැබවින්ම මා එහිදී ඇය යම් විවේචනයකට භාජනය කළෙමි. එහෙත් ඇයට කිසි ගාණක් නොවූ සේය. ඊළඟට ඇය ඇසුවේ මෙවැන්නකි.
“ඔබ අමරදේවයන්ට සමීප මොන අංශයෙන් ද? ගීත රචකයෙක් වශයෙන් ද, නැත්නම් මිතුරෙක් වශයෙන් ද?”
සංගීත ක්ෂේත්‍රයේ මොනම අංශයකටවත් මගේ සම්බන්ධයක් නැති බවත්, අමරදේවයන් මට අසාමාන්‍ය ගුරු උතුමෙකු බවත් පවසා, පියෙකු ගැන දරුවෙකුගෙන් ඇසිය යුතු නොඇසිය යුතු ප්‍රශ්නය කුමක්ද යන්න ගැන හැඟීමක් පවා නොමැතිව නඟන ප්‍රශ්න සැබවින්ම අපහාසාත්මක බව මම පැවසීමි. මෙබඳු ශෝචනීය තත්වයකට හේතුව කුමක් ද? ඊට ප්‍රධාන හේතුව මාධ්‍ය ආයතන කිසි වගකීමකින් හෝ වගවීමකින් තොරව නොමේරූ තරුණ ළමයින්ට භාරධුර කටයුතු පවරා මයික්‍රෆෝන භාරදීම නොවේ ද?

සිල්ලර කාසිවලින් ණය ගෙවීම
අමරදේවයන් සංගීතඥයෙකු ලෙස මහ මෙහෙවරක් කළ බව කිව යුතු නැත. එතුමෝ ගායනවේදියෙක්ම නොවෙති. සංගීතඥයෙක්ම නොවෙති. එතුමන් අපේ සංස්කෘතික ස්මාරකයකි. බොහෝ විද්‍යුත් මාධ්‍යවලට අමරදේවයන් තවත් ගායකයෙකු වූ තත්වයකි දශක කීපයක් තිස්සේ විiමාන වූයේ. අමරදේවයන්ගේ අභාවය සමඟින් බොහෝ මාධ්‍ය ආයතන දීර්ඝ නින්දකින් පිබිදුණා සේය. තමන් අතින් යම් වරදක් සිදු වුණ බව ඇතැමුන්ට දැනුණා ද විය හැකිය. කෙසේ හෝ කවර සංසිද්ධියක දී හෝ තරගකාරී ස්වරූපයකින් හැසිරෙන මාධ්‍ය ආයතන තමන් සතු සම්පත්වලින් කළ හැකි උපරිම දෙයක් කිරීමට කල්පනා කළ විය හැකිය. ඔවුන් එහිදී අවධානය යොමු කළේ කරුණු දෙකකට බව මගේ හැඟීමයි. එකක් නම් වැඩියෙන් අමරදේවයන්ගේ ගීත ප්‍රචාරය කිරීමයි. එහිදී සිදුවුණ වරද ලෙස මට පෙනී ගියේ අමරදේවයන්ගේ නිර්මාණ සංචිතයක් නොමැතිවීමයි. අමරදේවයන්ගේ නිර්මාණ හොඳින් රස නොවිඳින ලද, නිතර ප්‍රචාරය වන ගීත අහුරකින් වැඬේ ගොඩ දා ගැනීමටය බොහෝ අය කටයුතු කළේ. අනෙක් කාරණාව වන්නේ දුරකථනයෙන් හැකි තරම් ප්‍රශ්නයට වි`සඳුම් සොයා ගැනීමය. සිහියට නැඟෙන කාව හෝ දුරකථනයෙන් සම්බන්ධ කරගෙන අමරදේවයන් ගැන කරුණු විමසීම එහිදී කැපී පෙනුණේය. මේ තත්වය ගැන මා එක්තරා නාළිකාවක ප්‍රධානියෙකු සමඟ කතා කළෙමි. ඔහු මගෙන් ප්‍රශ්නයක් නැඟුවේ නුරුස්නා ස්වරූපයෙනි. “ඉතින් වෙන මොනව ද කරන්න කියන්නෙ?”
ඒ ප්‍රශ්නයෙන් අනතුරුව මම නිහඬ වීමි. මා වටහා ගත්තේ මෙයයි. කවර සංසිද්ධියක් අරභයා හෝ ඒ ඒ අවස්ථාවට අනුව මාධ්‍ය ආයතන කටයුතු කරන රාමුවක් ඇත. ඒ රාමුව තුළින් පිටතට ගොස් යමක් කිරීමට අවශ්‍ය මෙහෙයවීමක් කිරීමට තරම් පරිචයක් බොහෝ දෙනෙකුට නැත. ඒ රාමුව මොන තරම් ප්‍රබල ද යත් ඉන් පිටතට යාමට හිතන තත්වයක් හෝ නැත.
ජන මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ගුවන් විදුලි නාළිකා සම්බන්ධයෙන් මූලික ගැටලුව විiමාන වන්නේ සංනිවේදන අංශයෙනි. ඉතා ඉක්මනින් මාධ්‍යවේදියෙකු වීමට හැකි අවකාශයක් අද රටේ ඇත. මාධ්‍ය ආයතන තමන් ළඟ සේවයට බඳවා ගත් කෙනෙකුට හොඳ වැටුපක් ලබා දෙන්නේ ද නැත. හොඳ පුහුණුවක් ලබා දෙන්නේ ද නැත. දුර ගමනක් යන්නට අවශ්‍ය පසුබිමක් උරුම කර දෙන්නේ ද නැත. නිර්මාණශීලී පෞරුෂයක් ඇති කෙනෙකු වුව මාධ්‍ය ආයතනයක සේවයට බැඳුණ පසු ඒ මාධ්‍ය ආයතනයේ න්‍යාය පත්‍රයට හැසිරිය යුතුය. මෙහි අනර්ථය වටහා ගන්නා තත්වයක් රටේ කිසි තැනක නැත.

ණය නැති නික්මන
මගේ අවංක කල්පනාව අමරදේවයන්ට මුළු රටම ණය ගැති බවයි. ඒ ණය ගෙවීමට සිල්ලර කාසිවලින් නොහැකිය. සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් කැප කළ යුතුය. අමරදේවයන් වෙනුවෙන් කේන්ද්‍රයක් නිර්මාණය කිරීමෙන් ඵලදායී කිසිවක් සිදු වන්නේ නැත. අමරදේවයන් පිළිබඳ අවංක වූ ද නිර්ව්‍යාජ වූ ද හඳුනා ගැනීමක් හා තක්සේරුවක් ප්‍රථමව අවශ්‍ය වන්නේය. සරච්චන්ද්‍ර, අමරදේව, චිත්‍රසේන, පණීභාරත වැනි චරිත මුල් කරගෙන සංස්කෘතික අධ්‍යයනය ස්ථර කිහිපයකින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විධිමත්ව ගොඩ නැඟිය යුතුය. මේ කටයුත්ත පාසල්වල උපදේශනය උදෙසා ගුරුවරයෙකු පත් කිරීම වැනි සිල්ලර වැඩක් නොවිය යුතුය. මා කල්පනා කරන්නේ රටේ ගුරුභවතුන් දැයේ දරුවන්ට අවශ්‍ය සංස්කෘතික විනය ලබා දීමට අවශ්‍ය අන්දමේ දැක්මකින් අවදි කළ යුතු බවයි.
අපේ මාධ්‍ය ආයතන අමරදේවයන් මුල් කරගෙන තව තුන් මාසයකින් යළි පිබිදෙනු ඇත. වසරකින් ද යළි පිබිදෙනු ඇත. ඒ සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට පැමිණ, ජන විඥානය පෝෂණය කිරීමට උචිත, රසඥතාව වඩා වර්ධනය කිරීමට වඩාත් යෝග්‍ය සංදර්භයකින් විධිමත් න්‍යාය පත්‍රයක් යටතේ මාධ්‍ය හැසිරවීම සිදු කළ යුතුය. එහි එක් පියවරක් ලෙස සියලු මාධ්‍ය ආයතන සාමූහික එකඟතාවකින් යුතුව, අවර ගණයේ ගීත ප්‍රචාරය, ඒවා නිර්මාණය කිරීම අවම කළ යුතුය.
අමරදේවයන් තමන් උපන් භූමියට ණය නැති ජීවිතයකි ගත කළේ. ඔහු නික්ම යන්නේ තමන් ගැන තෘප්තියෙන් යයි මම සිතමි. ඒ ඔහු ප්‍රගුණ කළ කලාවෙන් රටට උරුම කළ දේ ගැන සිතා ලද තෘප්තියකි. ධාතුසේන රජතුමා තිසා වැව ගැන කී දේ මෙන් යමක් අමරදේවයන් තමන්ගේ නිර්මාණ සම්ප්‍රදානය ගැන නිහඬව සිතන්නට ඇත. එබැවින් අමරදේව චරිතයෙන් උගත හැකි පාඩම් බොහෝ ඇත. අමරදේවයන් කළ කී දේ හෝ, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන වල්පල් සොයා බැලීමට වඩා, යමක් වෙනුවෙන් මාධ්‍ය ආයතන සතු වගකීමක් ඇති බව වටහා ගත යුතුය. ඒ වගකීම යනු ගුවන් කාලයක් වෙන් කිරීම පමණක් නොවිය යුතුය.
අමරදේවයන්ගේ අභාවයෙන් පසුව මගේ නිවසට නුදුරින් තිබෙන පාසලක සෑම උදෑසනකම අමරදේවයන්ගේ මධුර ගීත කිහිපයක් දරුවන්ට ශ්‍රවණය කිරීමට සලස්වන අන්දම මගේ අවධානයට නතු විය. දින තුනක්ම මම මේ කටයුත්ත නිරීක්ෂණය කළෙමි. දින තුන තුළ ප්‍රචාරය කළේ එකම ගීත නොවීම ගැන මම සතුටු වුණෙමි. මේ ගැන මම ඒ පාසලේ ගුරුභවතෙකුගෙන් විමසුවෙමි. ඔහු දුන් පිළිතුර මෙයයි.
“අපි අමරදේව සර්ට ණයයි. පුළුවන් තරමට ඒ ණය ගෙවන්න තියෙන විදිහක් තමයි දරුවන්ට එතුමාගේ හොඳ ගීත රස විඳින්න සැලැස්වීම.”
අමරදේවයන්ගේ ගීතවලින් පිබිදුණ සෑම රසිකයෙකුටම කළ හැකි යමක් තිබෙන බව මට සිතේ. එය නම් තමන් මෙන්ම තම දරුවන් ද සුභාවිත ගීත ගෞරවණීය අවබෝධයකින් රස විඳීමට පුරුදු වීමයි.■