රාවය

වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා මේ වාරේ පැණිත් අඩුයි.”

බස් රථය ලාහුගල පහුකරලා පොතුවිල් පැත්තට වේගයෙන් ධාවනය වෙනවා. ඇසිල්ලකින් නතර වෙනවා. කොටවෙහෙර පන්සලට හැරෙන තැන අලියෙක් පාර අයිනෙම. ඕක එච්චර දරුණු නැහැ – තාම පැටියා. අලි විශේෂඥයෝ රැුසක්ම බස් එක ඇතුළෙ ඉඳලා කතා කරනවා. අලියා මඩවතුරේ දාහය නිවාගන්නවා. පාරේ යන එන අය ගැන එයාට හාන්කවිසියක් නැහැ වගේ. ලාහුගල කියල කියන්නේ අලිමංකඩක්. නැගෙනහිර පැත්තේ උඩැහින් එන අලි පෙරහැර කන්ඩිකුඩිච්චිආරු කැලේ පැනලා මෙතනින් තමයි කුමනට-යාලට යන්නේ. කාලයක් කොටි මංකඩකුත් වුණානේ. ලාහුගල වැවේ තියෙන බෙරු කියන ගස් වර්ගය කන්න අලි ගොඩක් කැමතියි.

මේ හේතුව හින්දම ලාහුගල වැවේ අලියෙක් දෙන්නෙක් නැති වෙලාවක් සොයා ගන්න අමාරු නැහැ. බස් රථය වේගයෙන් නැගෙනහිර වෙරළ දිහාවට ඇදෙනවා. ලාහුගල සිංහල ජනපදය පහුකළාම ඉසදීන් නගරය. ඒක මුස්ලිම් ජනාවාසයක්. ඉන්දියානු සුදු හරක් රංචු දහස් ගාණක් තැන්නේ තණ උලා කනවා. දැන් අපි පොතුවිල්. පොතුවිල්වලින් බැහැල පානමට තවත් බස් රථයක් ගන්න ඕනි. පානම තමයි නැගෙනහිර දකුණු සීමාවේ අවසන් නගරය වගේම ගම. ඊට එහායින් කුමන මහ කැලය. කතරගම දේව අඩවිය.

මහ කැලයට මෙහා පානම

පානම ගම ජනාවාසවීම පටන ගන්නේ 1815 කැරැුල්ලෙන් පැනලා ආව බිබිල-මොනරාගල වගේ වෙල්ලස්ස පැත්තේ මිනිස්සුන්ගෙන්. පානමට මෙහෙම ආපු එයාලා කරකාරේට ගත්තේ දමිළ යුවතියන්. ඒ නිසා එදා ඉඳලා පානම සිංහල-දෙමළ මිශ‍්‍රවුණු ගමක්. යටත්විජිත කාලේ මඩකළපුවෙන් තමයි පාලනය වුණේ. පානම මිනිසුන්ගේ නම් ගම් අවාහ-විවාහ කෑම බීම ආදී හැම සිරිතක්ම සිංහල-දමිළ මිශ‍්‍ර ක‍්‍රමයට හැඩ ගැසිලා. ඒක ගොඩාක් ලස්සනයි. මෙච්චරටම සිංහල දෙමළ මිශ‍්‍ර වෙච්චි ගමක් ලංකාවේ තවත් නැහැ. කැලෑවට-කළපුවට යාවුණ මේ ගමට එදා ඉඳලම කැලෙන්, කළපුවෙන් වෙන්වුණු ජීවිතයක් නැහැ. ඒ නිසාම කැලයට ගිහින් මී පැණි එකතු කරලා කීයක් හරි හම්බ කරගැනීම පානම මිනිස්සුන්ගේ සිරිත. රැුකියාව. ඒ පැණි කැඩිල්ලටත් ලොකු ඉතිහාසයක් වගේම වර්ණයක් තියෙනවා.

බයිසිකලයෙන් මහ කැලයට

”අපි මේ ගමන යන්නෙ කාණ්ඩ විදිහට. පස්දෙනෙක්, හයදෙනෙක්, හතක්, නවයක් වගේ එකතු වෙනවා. මහ කැලේ මායිමට බයිසිකල්වලින් තමයි යන්නේ. පස්සේ අපි බයිසිකල් ගස් උඩ දාලා තමයි කැලයට රිංගන්නේ. කැලයට ඇතුළු වෙනකොට අනිවාර්යයෙන්ම දෙවියෝ සිහිකරනවා – කොළ අත්තක් කඩලා එල්ලනව. අලූත් දෙවියෝ, කැලේ බණ්ඩාර දෙවියෝ-පත්තිනි දෙවියෝ තමයි අපි සිහිකරන්නේ. බාර-හාර වෙන්නේ. එයාලා අපිව කැලේදී ආරක්ෂා කරනවා. සතුන් මගහරෝනවා. පේ‍්‍රමදාස මාමා මී කැඞීම ආරම්භ කරලා. කාණ්ඬේ 9ක් අඩුම කෙඩුම අරගෙන කැලයට ඇතුළටම. එක පෙළට ඈතින් ඈතින් තමයි පය ඉස්සර කරන්නේ. දෙන්නෙක් අතරේ බඹයක දෙකක පරතරයක් තියාගන්න ඕනි. වෙසක්, පොසොන් ඇසළ කාලට කැලේ තරමක් වියළියි. මහ ගස් අතර පුංචි පුංචි කැලය පඬුවන් පැහැයට හැරිලා. පොළවට සමතලා වෙලා. අලියා, කොටියා, වලහා හොඳට පේනවා.

ඉස්සරහින්ම යන්නා හේයි කියලා ශබ්දයක් නැගුවහම ඒ ශබ්දය නව ගුණ වෙලා පෙරිලා පෙරිලා කෙළවරේම කෙනාගේ කටහඬ ළඟට ඇවිත් මොහොතකට නතර වෙනවා. ‘හේයි’ ශබ්දයට අමතරව පය පොළොවේ ගැටෙන ශබ්දය විතරයි. සුළෙඟ් පෙරිලා එන සතා සතුන්ගේ ගඳ සුවඳ කැලෑ වදින මේ උදවියට හොඳට හුරුයි. අලි උෂ්ණය දැනුණහම ටිකකට ගමන සුනංගු වෙනවා. දෑස් විපරම් වෙනවා. ආයිත් ගමන පටන් ගන්නවා. මී කෙටිල්ලට කුමන මහ කැලයට ඇතුළු වෙන පානම මේ අය ගමන කෙළවර කරන්නේ කුඹුක්කන් ඔය සීමාවෙන්. ඊට එහාට යන වෙලාවලූත් තියෙනවා. මෙහෙම මී කඩන්න නැත්නම් මී කෙටිල්ලට කැලෑ වැදුණහම මේ මිනිස්සු සිංහල භාෂාව කතා කරන්නේ නැහැ. කැලෑ ගතවුණහම මෙයාලගේ භාෂාව වෙන්නේ කැලෑ බස.

කැලෑ බස

ඉස්සරහින්ම යන කෙනා ආයුබෝන් කියලා කෑගහනවා. දැන් කට්ටියටම සතුටුයි. ඊට පස්සේ බදන්න බදන්න කියනවා. එතකොට කට්ටියම මී මැසි පොදියට එකතු වෙනවා. මී කැඩිල්ලට මීයක් දැක්ක නම් මෙයාලා ආන් මීයක් කියලා කියන්නේ නැහැ, ආයුබෝන් කියලා තමයි කිව්වේ. ගෙයක් ගෙයක් කියලත් කියනවා.

ඉස්සර නම් ගබඩාවක් ගබඩාවක් කියල කිව්වලූ. පස්සේ බඳන්න බඳන්න කියලා කියන්නේ කට්ටියට එක ළඟට එන්න කියලා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා ආචාරියා ගන්න කියලා. ආචාරියා කියලා කියන්නේ පොරවට. මාන් කරනවා කියන්නේ කපනවා කියන එකට. මාන් කරන්න කිව්වහම එක්කෙනෙක් ආචාරියා ළඟට අරගෙන මී වද පිරිලා තියෙන ගෙදර ඒ කියන්නේ ගස් දෙබල ලොකු මහත් කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක් ගස් දෙබලට ළං වෙලා හුළං තියෙනවා. හුළං තියෙනවා කියලා කියන්නේ මී වදයට කටින් පිඹින එකට. එතකොට මී මැස්සෝ දෙපැත්තට යනවා. මීය ගරනවා කියලා කියන්නේ මී පැණි වද කඩලා ගන්න එකට. මිටි තියෙනවා කියලා කියන්නේ කඩලා නැත්නම් ගරලා අහවර කරන මීවද පැණි බූලියකට (බැරලයකට) මිරිකලා දාන එකට.

ම්… හරි.. ආයේ ගමන පටන් අරගෙන. නව දෙනෙක් කියන්නේ සතියක විතර ගමනක්. ආරක් අල්ලලා ?ට නතර වෙනවා. හැම වෙලාවෙම දෙදෙනෙක් මාරුවෙන් මාරුවට නැගිටලා ඇස් ඇරගෙන සතාගේ දිහාව බලා ඉන්නවා. ගිනිමැල දෙක දැල්වෙනවා. ළඟ ගිනි පෙණෙලි තියෙනවා. තව ගල් අඟුරු. සමහරදාක ?ට වළහා ළඟටම එනවා. ගිනි පෙණෙලිවලින් තමයි එයාලව අහකට එලවන්නේ.

සීදේවි කෙම

මණ්ඩාගල, බක්මීදෙනවැව, අලූත්ගම වැව, එරමිනියාකැලේ වැව, මුදුන උස්ගල වාඩිය මේ තැන්වල තමයි මහත්තයෝ මී පැණි ගෙවල් හොඳට තියෙන්නේ. උසගල මුදුන වාඩියේ ඉඳලා හැතැක්ම එක හමාරක් විතර කුඹුක්කන ඔය පැත්තට යනකොට තමයි සීදේවි කෙම හමුවෙන්නේ. මොන නියන් කාලෙකට වුණත් මේ දිය කෙමන හිඳෙන්නේ නෑ නේ මහත්තයෝ. මෙහෙම කතා කරන්නේ පේ‍්‍රමදාස මාමා. එයාගේ මේ මී කඩන නැත්නම් මී කොටන රස්සාවට දැන් අවුරුදු තිහක් විතර වෙනවා.

මහත්තයෝ මී පැණි කියලා කියන්නේ වළස් ගෙඩියගේ ආසම කෑම ජාතිය – ගස් දෙබලක මීයක් තියෙනවා දැක්කහම මේකා එතැනින් හෙළවෙන්නේ නෑ – කොහොමහරි කඩාගෙන කාල තමයි යන්නේ. කුමන මහ කැලේ කියන්නේ වළස් විමානේ. මට දැනට අවුරුදු 3කට විතර ඉස්සර වළහා ගැහැව්වා මේ බලන්න – පේ‍්‍රමදාස මාමා එයාගේ කකුලේ දණහිසට ඉහළ පෙන්වනවා. විශාල කැළැලක්. අපි කැලේ ගියා. මගේ මාමණ්ඩියා තමයි ඉස්සර කොරන් ගියේ. මම දැක්කා මාමා ළඟින්ම වළහා. ඕන් මාමා වළස් ගෙරියා කියලා මම කෑගැහැව්වා – මගේ සද්දෙට තමයි වළහා මට පැන්නේ. බල්ලා වගේ ආවට මිනිහා ළඟට ආ ගමන්ම මිනිහ වගේ නැගිටලා පස්සේ ගාත දෙකෙන් හිටගන්නවා. මූණටම තමයි ගහන්නේ. ගුලිය වගේ අඩි 5ක් 6ක් දුරට විසිවෙනවා. වළහා මූණට මුණ ගැහුණම ඌ ගහනවාම තමයි. කලාතුරකින් තමයි මගඇරලා යන්නේ. මට ගැහැව්ව පාර වැටුණා. පස්සේ ගුලියක් වගේ පැනලා කකුල ඇල්ලූවා. මාමා උගේ ඔළුවට පොරොවෙන් කෙටුවා. නැත්නම් එදා මම ඉවරයි. සරමේ බාවල කද බැඳගෙන හතර දෙනෙක් කරපිට තමයි මම එදා ආපහු ගමට ආවේ.’’

අද මී පැණි බෝතලය රුපියල් දාහක් විතර වෙනවා. සතියකට බෝතල දොළහක් විතර සොයාගන්න පුළුවන්. හොඳ ආදායමක්. ඒත් අවදානම ගොඩාක් වැඩියි. මී ගෙවල්වල පැණි ඕනිම කාලෙක තියෙනවා මහත්තයෝ. ඒකට අපි මේ මාස තුන විතරයි කැලයට යන්නේ. එකක් තමයි නියන් කාලේ නිසා කැලේ හොඳට පේනවා. සත්තු ඉන්නවද කියලා ඈතට බලා ගන්න පුළුවන්. අනික පොසොන් මහ වෙනකොට පැටව් ගලවලා ඒවටත් පැණි පුරවලයි තියෙන්නේ. අනික මහත්තයෝ අපි මී වදයක් කඩනකොට ගහේ කඳට ළඟින්ම තියෙන වදය කඩන්නේ නැහැ. ඒකට කියන්නේ පොරව වදය කියලා. ඒක අපි ඉතුරු කරන්නේ රංචුවට දිගටම රැුකෙන්න. අපි වදය කඩනකොට අයින් වෙච්ච රංචුව පස්සෙන් පහු මේ වදයට එකතු වෙනවා. අපි අපේ නැති බැරිකමට මේ වැඬේ කළාට අපි මේ කරන්නේ තව මිනිහෙක්ගේ ගෙයක් කඩලා බිඳලා එයාගේ වස්තුව හොරකම් කරගෙන යනවා වගේ වැඩක්.

තම්බිරාසා ගිරිසිංහ කුමන ගමේ ඉපදුණු කෙනෙක්. කුමන ගම දැන් නැති නිසා දැන් ගිරිසිංහ මාමාගේ නිවහනත් තියෙන්නෙම පානම ගමේ. ගිරිසිංහ මාමා නම් පුංචි කාලෙම තමයි මී කඩන්න, දිවුල් ඇහිඳින්න ගිහින් තියෙන්නේ. තීක්ෂණ දෑසකුත්, කළුවන් මිටි ශරීරයකුත් හිමි මේ මිනිසා ඒ රසබර අතීතය මෙනෙහි කරන්නේ දුකක් සිත ඇතුළේ ගුලි කරගෙන.

පාට පාට මී පැණි

පානම ඇත්තෝ මී කඩලා මී මැස්සොත් එක්ක එකටම ජීවත්වෙලා මී පැණි ගැන විශාදරයෝ වෙලා. මී පැණිවල පාට වෙනස් වෙන අයුරුව අපූරුවට අපිට කිව්වේ පානම සින්නතම්බි හිටිහාමි මාමා. මාමගේ වයස දැන් හැට හතරක්. එයත් බොහෝ කලක ඉඳලා මහ කැලයට රිංගන්නේ මී කඩන්න.

”කෝන් මලේ පළු මලේ පැණි වෙනස් මහත්තයෝ. ඒක කළුවට හුරුයි. හොඳට පැණිපාට තියෙනවා. හිඟුරු මලේ පැණි සුදුපාටයි. කළමලේ පැණිත් එහෙමයි. බඹර පැණි වගේ. කෝන් මලේ පළු මලේ පැණි තමයි උකුම. දැන් මහත්තයෝ කළ මල උඩට වැල්වල පිපෙන්නේ. හිඟුරු මලත් එහෙමයි. බොකළ මලත් එහෙමයි. මී මැසසෝ ඒ මල්වලින් තනිකරම පැණි විතරයි ගන්නේ. ඒ මල්වල රොන් නැත්නම් රේණු නැහැ. ඒකට කෝන් මල්වල පළු මල්වල හොඳට රොන් නැත්නම් රේණු තියෙනවා. එතකොට එයාලා ගෙනත් පුරවන්නේ රේණු නැත්නම් රොන්. මෙහෙම පුරවලා එයාලා මේ රොන් උණු කරනවා. එතකොට තමයි පැණි වෙන්නේ. හඳට බඳිනවා මුල් කරුවලට උණු කරනවා කියලයි අපි කියන්නේ. එහෙම පළු මලින් කෝන් මලින් හදන වදවලට අපි කියන්නේ කළු හන්දි කියලා. ඒක අපිට අඳුර ගන්න පුළුවන්. ඒවා අපි කලවන් නොකර වෙනම මිරිකනවා. ඒක හරිම උකුයි. ඒ වගේම රසයෙත් පුංචි වෙනසක් තියෙනවා. හැබැයි මහත්තයෝ පාට අඩු වුණාට හැම පැණියක්ම මී පැණි නම් ඒක ගුණයි.

හිටිහාමි මාමා මෙහෙම කියන කොට වෙනත් රටක මී මැස්සො යොදාගෙන එක එක වර්ණයේ සහ ගුණයේ පැණි නිපදවන ආකාරය ගැන කළ පර්යේෂණයක් මතක් වුණා. ඒකට එයාලා එක එක වර්ණයේ මල් යොදා ගත්තා. ඒත් මේ මිනිස්සුන්ට මේ දැනුම අත්දැකීම විසින් අරගෙන ඇවිල්ලා. අපි අතරේ මතයක් තියෙනවානේ යම් යම් කාලවලට විතරයි පැණි තියෙන්නේ කියලා. ඒත් ඒ මතය බොරුවක් කියලා තමයි පානම රැුකියාවට මී කඩන මේ අය කියන්නේ.

කැලෑ නීතිය

පානම, කුමන වගේ ගම්වල ජීවිතය ගැටගැහිලා තිබුණේ කැලයත් එක්කමයි. මෝඩ පාලකයෝ ඒක දන්නේ නැහැ. එයාලා කැලයට ගිහින් ඇහින්දේ බිම වැටුණු දිවුල්. මී මැස්සන්ට එයාලගේ ජනපදය රැුකගන්න තවත් වදයක් ඉතුරු කරලා තමයි එයාලා මී පැණි කැඩුවේ. කැලෑව විනාශ කළේ නැහැ. සත්තු දඩයම් කළෙත් බිස්නස් එකටම නෙවෙයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් සොයාගන්න. හැබැයි දැන් කැලෑ මහත්තුරු මායිම් ගල්දාලා කැලය මායිම් කරලා අයිති කරගෙන. දැන් මිනිහෙක් කැලයට රිංගලා දර අත්තක් කඩන එක මී වදයක් කඩාගන්න එක දැඩි දඬුවම් දෙන වැඩක්. හතරවටින්ම කැලයට මුරකාවල් දාලා. මෙහෙම මුරකාවල් දාලා මේ මිනිස්සු කැලය රකිනවද? මේ ප‍්‍රශ්නයට පිළිතුරක් පානම වැසියෙක්ම මට කිව්වා.

මහත්තයෝ යුද්ධ කාලේ තිබුණ නම් අපිට හොඳයි. යුද්දේ තියෙන කොට අපි අතේ සල්ලි තිබුණා. අපි කැලේට රිංගලා දිවුල් ගෙඩියක් ඇහිඳ ගත්තා, මීයක් කඩා ගත්තා. දැන් කැලය ඇතුළෙ හැම හමුදාවක්ම ඉන්නවා. ඉස්සර කොටි හිටිය කාලේ ඕක ඇතුළට ගියේ අපි විතරයි. එහෙම යනකොට අපි ඕකේ නිදන් තියෙන තැන් ප‍්‍රතිමා, ගල්ගුහා, ගල්කණු, චෛත්‍යය කොච්චර නම් දැකල තියෙනවාද? දැන් ගිහින් බලන්න මහත්තයෝ අපිට හරිම දුකයි මෙයාලා මේ හතර වටින්ම මුරකාවල් දාගෙන කැලය ඇතුළෙ කරලා තියෙන දේවල්. බුදුපිළිම, විහාර කොච්චර විනාශවෙලාද? මේ මිනිස්සු කරපු අපරාධවලට අද අපිට දඬුවම් විඳින්න වෙලා. දැන් අවුරුද්දක ඉඳල නියෙඟ්. වැස්ස නැහැ.

වැස්ස නැතුව කුඹුරු කරන්න බැහැ- වැස්ස නැතුව මල් පිපෙන්නේ නැහැ. මල් පිපුණු දාට තමයි මී මැස්සන්ට හොඳ. එදාට එයාලා මල්පැණි පුරවලා රසම රස, මී පැණි හදනවා. පානම දුප්පතුන්ට ජීවිතය ගෙනත් දෙන්න. කලට වෙලාවට වැස්ස වැටිලා පළු, කෝන් මල් පිපිලා මී මැසි රොද බැඳලා මියැසි ගී කියන කොට පානම ඇත්තන්ගේ මුහුණේ සිනාමල් පූදිනවා.