කාටුන් චිත‍්‍රපට බිහිනොවන්නේ තාක්ෂණය නොදන්නා නිසයි – ප‍්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද්

ශිවන්ත අර්ථසාද් ලංකාවේ ප‍්‍රමුඛතම කාටුන් චිත‍්‍රපටකරුවාය. අන්දරේ (1971) දුටුගැමුණු (1979) යන නිර්මාණ ඔහුගේ සිනමා කලාවේ මං සලකුණුය.

චිත‍්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, විශේෂ ප‍්‍රයෝග හා කාටුන් සිනමාව යන විෂයයන් සයටම බලපත‍්‍රධාරියකු වන හෙතෙම ග‍්‍රැෆික් නිර්මාණ කලාව හා සජීවීකරණය විෂය පිළිබඳ ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වෙයි.

ජීවිකරණය නම් වූ විෂය පිළිබඳ ඔබේ අර්ථ දැක්වීම මොකක්ද?

මේ වචනය නිර්මාණය වුණේ එඞ්වින් ආරියදාස මහත්මයා අතින්. ප‍්‍රාණා රෝපණය කියලා කියන්නත් පුළුවන්. පණ නැති දේකට පණ ඇති කර පෙන්වීම. එනම් ඉරි කෑලි රූප ආදී ඕනෑම දෙයකට පණදීම. ඇනිමේට් කිරීම ලෙස හැඳින්විය හැකියි. පණ නැති දේට පණ දීමේදී විවිධ උපක‍්‍රම තිබෙනවා. මට තිබුණු මූලාරම්භය බලමු. මම ඉගෙන ගත්තේ වෙස්ලි විද්‍යාලයේ. වයස අවුරුදු 8දී අපිට කාටුන් චිත‍්‍රපටයක් පෙන්වනවා මි.මී. 16න්. ඩොනල්ඞ් ඩක්ගෙ කාර්ටූන්, ස්පෝර්ට්ස් නිව්ස් රීල් වගේ දේවල් අපි බලනවා. මගේ හිත ගියා කාටූන්වලට. අපේ පන්තිභාර ගුරුතුමිය හරිම තරුණ කෙනෙක්. ඇය චිත‍්‍ර ශිල්පිනියක්. මං දවසක් ඇගෙන් ඇහුවා කොහොමද කාටුන් හදන්නේ කියලා. සුමාන දෙකකට විතර පස්සේ දවසක් ටීචර් අපි කිහිපදෙනකුට කාටුන් හදන හැටි ගැන පාඩමක් කළා. මේ 1961දී. බැලින්නම් ටීචර් බි‍්‍රටිෂ් කවුන්සිල් ගිහින් ඇනිමේෂන් ගැන පොත් කියවලා, මගේ ප‍්‍රශ්නෙ නිසාම. බස් ටිකට් රෝලක් සොයාගෙන එකේක දේවල් ලියලා ඇඳලා චිත‍්‍රපටි පෙන්වනවා කියලා. අපි ඒ දවස්වල සෙල්ලමක් කළා. රෝලින්, ටයිටල් එක කියන්නෙ ඒකමනේ. 1981දී දයානන්ද ගුණවර්ධන අයිටීඑන් එකට කළා ‘රන්ඔන්චිල්ලා’ වැඩසටහන. මං කිව්වා වලාකුළු අස්සෙන් මේකෙ ටයිටල් එක යවමු කියලා. දිග කඩදාසියක සිතුවම් ඇඳලා අවශ්‍ය දේවල් ලියලා වලාකුළු යටින් ටයිටල් එක යන විදියට අතින් මම ඒක රෝල් කරමින් ඇද්දෙ. ඒ ගමන් කැමරා කළා. ඒ දවස්වල මැෂින් මොකුත් නැහැ. ඊළඟ සුමානෙ ටීවී උපදේශක මණ්ඩලයේදී සරත් අමුණුගම කිව්වා දයානන්ද අර වැඬේ හරි ෂෝක්නෙ ඔයාලා අයිටීඑන් එකට රෝලින් ටයිටල් මැෂින් එකකුත් ගත්තද කියලා. දයානන්ද කිව්වා නෑ නෑ ඕක අර්ථසාද් අතින් ඇදලා කරපු වැඩක් කියලා. ඒක අපි ඉගෙන ගත්තේ කොහෙන්ද? එදා බස් ටිකට් රෝලෙන් කරපු වැඬේම තමයි ඒ. සුද්දිලාගේ කතාවටත් රෝලින් ටයිටල් එක ගැහුවෙ අපේ ගෙදර ඉඳගෙන. සජීවීකරණයේදී මේ වගේ සරල උපක‍්‍රමවල සිට ඉතාම සංකීර්ණ දේවල් දක්වා යන්න වෙනවා.

මෙම විෂයේදී නිර්මා ණාත්මක පැත්ත සමග තාක්ෂණික පැත්ත බද්ධ කරන විදිය මොකක්ද?

අපි නොයෙක් කාටූන් චිත‍්‍රපට දකිනවා. එහෙත් ලංකාවේ බිහිවෙන්නේ නැහැ. හේතුව තමයි තාක්ෂණික පැත්ත හරියට නොදන්නාකම. මේක මුලින් ආවේ චිත‍්‍රපට මාධ්‍යයට. රූපවාහිනි මාධ්‍යයෙදි මේක තරමක් වෙනස්. අද ඕනෑතරම් මෘදුකාංග තියනවා. එහෙත් එදා දැනගෙන හිටියේ එකම දෙයයි. ඒ තමයි තත්පරයට රූපරාමු 24ක් ගමන් කරන බව. ඒ නිසා මේ වැඬේදි රූපරාමු 24ක්ම ඇඳිය යුතුද කියන ප‍්‍රශ්නය ආවා. අපි චිත‍්‍රපටයක රීල් අරගෙන පරීක්ෂා කරන්න පටන් ගත්තා. සාමාන්‍ය රූපගත කිරීමකදී මේ හැම රූප රාමුවකින් රූප රාමුවක් වෙනස් වෙනවා. අපි ඩිස්නි චිත‍්‍රපට බලනවිට දුටු දෙයක් තමයි රූපරාමු දෙකකට එකක් මාරුවෙන්නෙ. ජපන් චිත‍්‍රපටි තිබුණා රූප රාමු තුන තිබුණු ඒවා. ඒ නිසා රූපරාමු තුන සාධාරණ ගණනක් වෙනවා. එතකොට තත්පරයට ඇඳිය යුතු රූප අටයි. එක රූපයක් රාමු තුනකට ගත්විට රූප 24ක් කියන්නෙ රූප අටයි. බර්ලිනයේදී මම ඇනිමේෂන් කලාව ඉගෙන ගන්න ගියාමත් ඔය ප‍්‍රශ්නෙ ආවා. ඒගොල්ලො කිව්වේ රූප දෙකකට වඩා එක රාමුවකට ගන්න එපා කියලයි. එහෙම වුණොත් රූපරාමුව ගැස්සෙන බව ඔවුන් කිව්වා. ඒත් මම රූප තුනක් එක රූප රාමුවක් ලෙස ගෙන කටවුට් ඇනිමේෂන් එකක් කළා. පසුව ඔවුන් මගේ අදහස නිවැරදි බව පිළිගත්තා. අඳින රූප අතර දුර වැඩි වුණොත් තමයි ගැස්සෙන්න බලන්නෙ. මූව්මන්ට් එකේ දුර අඩු නම් ෆේ‍්‍රම් තුනක් ෂූට් කිරීමෙන් ප‍්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක දැනගෙන කළයුතු ක‍්‍රියාවක්. මම කරපු දුටුගැමුණු චිත‍්‍රපටයේ රූපරාමු ගණන 1,29,000යි. ඒ විනාඩි 90ට. ඒත් අපි රූප 65000කට වඩා ඇඳලා නැහැ. එතනයි පොයින්ට් එක තියෙන්නේ. අනික් එක දෙබසක් යන වෙලාවට දෙදෙනාගේ එකම පින්තූරයනෙ කිහිප සැරයක් ෂූට් කරන්නේ.

මේ ක‍්‍රියාවලිය ඇතුළෙ සිනාමාත්මක ලක්ෂණ රැකගන්නේ කොහොමද?

ඒක අත්‍යවශ්‍යයි. අපි උදාහරණයකට කිව්වොත් හැම වෙලාවෙම පසුබිමක චිත‍්‍රය අත්‍යවශ්‍ය නැහැ. සිනමා මාධ්‍යයේදී පසුබිම් චිත‍්‍රය ඕනෙ නැහැ. කළු සුදු චිත‍්‍රපටයක් ගැන හිතන්න. මිනිහෙක් ඇවිදින උඩුකය පේනවා. කකුල් දෙක අඳින්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. මේ මනුස්සයා ඇවිදින්නේ මඩගොඩකද, ලෑලි පාලමක් මතද කියන එක ශබ්දයෙන් මතුකරන්නේ. ඒක පේ‍්‍රක්ෂකයාට දැනෙනවා. අඳින උපක‍්‍රම අපි කල්පනා කර ගත්විට රූප අඩු වැඩි කිරීම කරගත හැකියි. මේවායේදී හැම පුංචි තොරතුරක්ම ඇතුළත් කරනවයි කියන එකත් සමහරවිට ප‍්‍රශ්නයක්. එහෙම ඕනෙමත් නැහැ. එකේක රටවල චිත‍්‍ර සම්ප‍්‍රදායන්ට අනුව එය සංවිධානය කරගත හැකියි. මම ඉන්දියාවේදී එක කෙටි චිත‍්‍රපටියක් දැක්කා. ඒකෙදි අපේ රටේ උඩරට පැදුරු රටා කලාව තිබුණා. මෝස්තර කලාවෙන් තමයි ඒ ඩ්‍රෝවින්ස් හදලා තිබුණේ. චරිත ගමන් කරන ඒවා වැඩ කරන ඒවා සියල්ල මෝස්තරවලින් පෙනෙන්න ගත්තා. රෙද්දෙ වියමනේ පාට රටාවලින් මොස්තරේ වියලා. මේක තමයි ඇනිමේට් කර තිබෙන්නේ. අපිටත් ඒ වගේ අපේ රටේ තිබෙන සාම්ප‍්‍රදායන් අලූත් විදියකට සජීවීකරණයේදී භාවිත කළ හැකියි.

මේවායේ කතා වස්තු ගොඩනැගීමේදී කවර තත්ත්ව යන් ගැනද සැලකිලිමත් විය යුත්තේ?

jungle book වගේ කාටුන් චිත‍්‍රපට පසුකලෙක සත්‍ය නළු නිළියො දාලා කෙරුණා. සත්‍ය ජීවිතයේ කළහැකි දේවල් කාටුන්වලිනුත් කරන්න තරම් අද මෘදුකාංග නිර්මාණය වෙලා තියෙනවා. ඉස්සර විශේෂ ප‍්‍රයෝග කළා. ලෝක සිනමාව පටන් අරන් තියෙන්නේම කාටුන්වලින් කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ ලූමියේටන් එඩිසන්ටත් කලින්. ප‍්‍රංශ ජාතික ලෙස්ලායි කියන පුද්ගලයා තමයි මේ වැඬේ මුලින්ම කරන්නේ. ඔහු ෆිල්ම් අතින් ඇඳලා තියෙන්නෙ වර්ණයෙන්මයි. ඒ කියන්නේ සිනමාව ආරම්භ වෙලා තියෙන්නේ වර්ණයෙන්. යන්ත‍්‍රයක් හදලා ඔහු ඒවා ප‍්‍රදර්ශනය කරලත් තියෙනවා. ඇත්තටම ගත්තොත් සාමාන්‍ය සිනමාවේ පවා සජීවීකරණයක් තමයි දක්නට ලැබෙන්නේ.

චිත‍්‍රයට ජීවය කැවීමේදී වඩාත් සැලකිල්ල දැක්විය යුතු කාරණය කුමක්ද?

මනුෂ්‍ය රූපයක් ගතහොත් මිනිසකුගේ ඉරියව්වල විදියක් තියෙනවා. දකුණු අත ඉස්සරහට දානකොට වම් කකුළයි ඉස්සරහට යන්නේ. සතුන්ගේ සමහරවිට මේක වෙනස්. ඒ මෙතර්ඞ් අධ්‍යයනය කරන්න වෙනවා. දැන් ජංගල් බුක් චිත‍්‍රපටිය ගතහොත් සතුන්ගේ ඉතාම නිවැරදි ඉරියව් නිරූපණය වෙනවා. කොහොමද ඒ වැඬේ කරන්නෙ. ඒකෙ වලස්සු නටනවා. මේකෙ තියනවා රෝටෝස් කෝප් කියලා සිස්ටම් එකක්. නැටුම මුලින් චිත‍්‍රපට ගත කරනවා නළුවො දාලා. ඒ අදාළ සතාගෙ චරිතය වෙනුවෙන් නළුවෙක් රඟපානවා. ඒක රාමුවෙන් රාමුවට ප්‍රොජෙක්ට් කරනවා. අඟල් 10×12 කඩදාසියක. ආටිස්ට් කෙනෙක් ඒකෙ අවුට් ලයින් එක ස්ක්‍රෙච් කරගන්නවා. ඒක තව කෙනෙක් අතට ගියාම ආදේශ කරගන්නවා වළහා. කතන්දරේ ගොඩ නැගෙන්නේ එහෙමයි. අපි ඔය වැඬේ කරන්න ගියොත් ලොකු වියදමක් යාවි. ඩිස්නි වගේ ප‍්‍රධාන සමාගම් කරන සියල්ල ඒ ආකාරයෙනුයි කරන්නේ. දැන් ඔය සිරසෙ යන ගිරිපුර ඇත්තෝ කියන එක කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ හැනාබාබරා සමාගමෙන්. ඒගොල්ලො මූලික ඉරියව් ඇඳගත්තට පස්සෙ ඇවිදිනවා වගේ දේවල් ගැන ලොකු ප‍්‍රශ්න නැහැ. අමුතු විදියටනෙ ඒ අය යන්නේ. වෝල්ටර් ඩිස්නි චිත‍්‍රපටවල ජීවරූප තත්ත්වයෙන්ම කාටුන් දකින්නට ලැබෙනවනේ. කාටුන්වල දියුණු තත්ත්වය තමයි Real එක කරා යෑම. අද මෘදුකාංග හරහා තව ගොඩක් දේවල් හදලා තියනවා. මිනිහෙක්ට රඟපාන්න දෙනවා ඇෙඟ් යම් යම් ස්ථානවල සංවේදී උපකරණ සවිකරලා. එතකොට ඕනෙ කරන ඉරියව් සියල්ල පරිගණකයේ සටහන් වෙනවා. ඊට පස්සේ රූපයක් ඇඳලා පරිගණක චිත‍්‍රයට ආදේශ කළ විට රූපය අර සංවේදී උපකරණ සවිකළ මිනිසා වගේම නටනවා. අපිට ඔය පහසුකම් මෙහේ නැහැ. ඒත් අපහසුකම් මැද්දේ අපිත් කාටුන් චිත‍්‍රපටි හැදුවා.

ඔබ 71දී අන්දරේ නමින් කාටුන් චිත‍්‍රපටියක් කළා. ඒ පසුබිම මොකක්ද?

දිසානායක චිත‍්‍රපටි සමාගමෙන් ඇරිෆෙලෙක්ස් කැමරාව ඉල්ලා ගත්තා. ඒක බොත්තම එබුවාම තත්පරයට රූප රාමු 24ක් එනවනේ. ඒ නිසා මම රූපයක් දොරේ අලවලා පොඞ්ඩක් බොත්තම ඔබනවා. එතකොට රූප 7-8කින් කැමරාව නවතිනවා. ඊට පස්සේ නෙගටිව් එක රාමු තුන තුන කපලා ඇලෙව්වා. එහෙමයි අන්දරේ කෙරුවේ.
අනතුරුව ඔබ කාටුන් චිත‍්‍රපට සඳහාම කැමරාවක් හදනවා. එහි උපයෝගීතාව කොහොමද?

ඇනිමේෂන්වලට මට කලින්ම කැමරාවක් හදාගන්න තිබුණා. ඒත් ඉතිං ඒ වැඬේ කරලා බලන්න මට කැමරාවක් තිබුණේ නැහැනේ. පසුව මම කොස් ලීයෙන් කැමරාවක් හැදුවා. මුලින්ම කොස්වලින් පෙට්ටියක් හදලා අපේ මහප්පා කෙනෙක් ළඟ තිබුණු ලෙන්ස් එකෙන් පාවිච්චි කරලා නියම විදියටම මේ වැඬේ කෙරුවා. කල්පාන්තයක් කියලා විනාඩි 20ක චිත‍්‍රපටියකුත් අඩි 200ක් විතර ෂූට් කළා. ඒක කර කර ඉන්න කොට තමයි චිත‍්‍රපට විචාරකයා ලේඛක සංගමයට කෙටි චිත‍්‍රපටි භාරගන්න දැන්වීමක් පත්තරේ දැක්කේ. 71දී අන්දරේ ඒකට දැම්මාමත් මට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. කල්පාන්තයක් දාන්න බැහැ. මොකද අඩි 2000ක් වත් ෂූට් කරලා තියෙන්නෙ ඕනේ දාන්න නම්. ඒත් මම මේකෙන් කෑල්ලක් ඇඳ යටට ගිහින් ඩිවලොප් කළා. මගේ ඩාක් රූම් එක තමයි ඇඳ යට. පින්තූර ටික ගිහින් ජෙලටින් එක විතරයි ඉතුරු. එදා ?ම මම ‘මුහුද යටට ඉර පායයි’ කියලා තව චිත‍්‍රපටියක් ඇන්දා. කැමරා පැත්තක. විනාඩි 1 1/2යි. ගියා සිලෝන් ස්ටුඩියෝ එකට. ගිහින් ප‍්‍රින්ට් එකක් ගත්තා. ඊළඟට ප්ලැටිනම් අරගෙන පාට කළා. ඉන්දියන් ඉන්ක්වලින් මම චිත‍්‍ර ඇඳලා තිබුණේ. මොරටුව එම්.එස්.එකේ ගිහින් දාලා බැලූවා. සවුන්ඞ් ඉෆෙක්ට් පවා ඇන්දා. දෙන්නෙක් හැප්පෙන තැනකදි චොස් ගාලා සද්දෙත් ඇහෙනවා. ඒක මම අර උළෙලට ඉදිරිපත් කළා. ෂූට් නොකරපු අතින් ඇඳපු විනාඩි 1 1/2 චිත‍්‍රපටයක් ඒක. චිත‍්‍රපටවල ක‍්‍රමවේද ගැන සීමාවක් නැහැනෙ ඉතිං. නිව් ඔලිම්පියා එකේ තමයි උළෙල තිබුණේ. ඒකෙදි මගේ නිර්මාණය ගැන විශේෂ සඳහනක් කෙරුණා. ඒ කියන්නේ honorary mention. ඊළඟ වසරේ දේවදත්ත කියලා ෆිල්ම් එකක් ඇන්දා. ඒකට තමයි සම්මානය හම්බවුණේ. එතකොට මට වයස 20යි. ඉස්කෝලේ අඳින සුදු ඇඳුම ඇඳලයි සම්මාන ගන්න ගියේ. ඒ 73දී. රු. 250/-කුත් හම්බ වුණා. නිහාල්සිංහ මහත්තයා අර කැමරාව හදන්න අවශ්‍ය පොත්පත් කියවන්න දුන්නා. ලීයෙන් රෝදයක් ගාලා, අල්පෙනෙති ඔළුව කපලා සවිකරලා කැමරාව හැදුවා. ඒත් ඒක හෙළවෙනවා. පස්සේ කැමරා තාක්ෂණය ගැන තව කියවලා හතරවැනි කැමරාව තමයි හරියටම හදාගත්තේ. ෂටර් ස්පීඞ් එක හරියටම හදාගත්තේ කොහොමද දන්නවද? ස්ප‍්‍රිං දුර්වල වුණොත් ෂටර් ස්පීඞ් එක බාලවෙනවා. මේවාට වියදම් කරන්න බැරි නිසා ස්වභාව ධර්මය සමග වැඩ කළා. වස්තුවක් බිම අතහැරියොත් එකම වේගයෙන්නෙ වැටෙන්නේ. ස්වභාව ධර්මය අනුව ආලෝකය පාලනය වෙන විදියට ෂටර් එක නිර්මාණය කළා. මේවා අල්ලගත්තේ පාසල් අධ්‍යාපනයෙන්. චිත‍්‍ර, යාන්ත‍්‍රික ඇඳීම, වඩු වැඩ වගේ දේවල්වලින්. ඊළඟට භෞතික විද්‍යාවේ මූලධර්ම.

දවසක් මිසිස් පීරිස් කිව්වා කැමරාවක් හැදුවා නම්  Optical Printer (දෘෂ්ටි මුද්‍රණ යන්ත‍්‍ර) එකකුත් හදන්න පුළුවන්නේ කියලා. මිස්ටර් පීරිස් කිව්වා ලංකාවේ ප‍්‍රීස් එකක් ගහගන්න විදියක් නැහැ තාම කියලා. ඊට පස්සේ ඔහු ඔප්ටිකල් ප‍්‍රින්ටර් එකක පින්තූරයක් පෙන්නුවා. ප්‍රොජෙක්ටර් එකයි කැමරාවයි තමයි පදනම. ඒ වෙනකොට මරුවා සමග වාසේ ටේ‍්‍රලරය ගහන්න ලෑස්තියි. ටයි මහත්තයා කිව්වා ගහපන් බලන්න ටේ‍්‍රලරය කියලා. මම ටයි මහත්තයාට දුන්නා තිරේට වෙඩි වදින ෂොට් එකක්. තිරේ ඉරිලා යනවා. පටන් ගත්තේ එහෙම. එතකොට විජය දුවගෙන යන සීන් එක යටින් යනවා. ඊට පස්සේ තිරය හතරට බෙදලා සීන් හතරක් යනවා. ඊට පස්සේ මම මිසිස් පීරිස්ගේ ගැහැනු ළමයි එකේ වියෝ ගී ගැයෙනා සිංදුව දාලා ඒකට ටේ‍්‍රලරයකුත් හැදුවා.

දුටුගැමුණු කාටුන් චිත‍්‍රපටියට ඔබ දුන්නු සංදර්භය කෙබඳුද?

පූසෙක් යනවා තම පවුලත් සමග අනුරාධපුරේ. පූසා තමයි කතාව විස්තර කරන්නේ. ඌ දුටුගැමුණුගේ එකල උපදේශකයෙක්. දුටුගැමුණුට ළමයෙක්ගෙ පින්තූරයක් ගත්තේ. රජ වුණාට පස්සේ හඬ වෙනස් වෙනවා. එළාර සමග සටනට කලින් තිස්ස සමග සටන එනවනේ. තිස්ස නුඹ ගැහැනියක් කියලා තිස්සට නිසඳැසෙන් අභියෝග කරන්නේ දුටුගැමුණුගේ අශ්වයා. අලියා කියනවා පියාඹන පීරිසියක්, හඹායන විලාසෙන්, වෙළඹ මා හිසමතින් පැන්නුවේ වේගයෙන් කියලා. ඒ වෙනකොටත් කණ්ඩුල ඇතා හිටියේ තිස්ස ළඟ. ඊට පස්සේ තිස්ස හොඬෙන් අරන් පැත්තකට දාලා අලියා දුටුගැමුණු ළඟ දණ ගහනවා. දුටුගැමුණු කණ්ඩුලට කියනවා මා පුතුනි කණ්ඩුල, බිඳිනු මැන එකවරම විජිතපුර මහ යදොර කියලා. කණ්ඩුල කියනවා නොවනු බිය මහරජුනි, සිලින්ඩර දහඅටක කැටපිලරයක් සේ බිඳ දමා පවුරු දොර ෆ්ලැට් කරමි බලකොටුව. ඒ විදියට පූසාගෙන් තමයි කතාව යන්නේ. ඌ තමයි මේ විදියට වුණා කියලා අතීත කතාව වර්තමානයට කියන්නේ. වේළුසුමන සතුරන්ට අහුවෙච්ච වෙලාවක අස්සයා ලව්වා ¥විලි අවුස්සා පසුපසින් හඹා එන සතුරු පිරිසට කඩුව අල්ලා බෙලි කපා දාන සිද්ධියක් ඇත්ත කතාවෙ තියනවනේ. මේ චිත‍්‍රපටියේ කඩුව අල්ලන්නේ අශ්වයා. ඊට කලින් ඌ කියනවා මම නැපෝලියන්වත් නොකරපු ජාතියේ වැඩක් කරනවා කියලා. වේළුසුමන නැපෝලියන්ව දන්නේ නැහැනේ. සතුරන් මරලා එන ගමන් වේළුසුමන අහනවා මොකක්ද අර කිව්වේ නැපෝලියන් කෙනෙක් ගැන කියලා. පූසා කියනවා නෑ නෑ තමුසේ ගණන් ගන්න එපා මේක මේ කාටූන් පික්චර් එකක්නෙ ඕයි කියලා. මේකෙ යටිපෙළ කියවීමක් කළා නම් ලොකු කතාවක් ඇතුළෙ තියනවා කියලා බලපු අය පසුව කීවා.

දුටුගැමුණු ප‍්‍රදර්ශනය අත්හිටෙව්වේ මොකද?

79 ඔක්. 19 රිලීස් වුණා. එදාම 9.30 ෂෝ එකෙන් පසුව නැවැත්තුවා. ජේ.ආර්.ගේ නියෝගයක්. ඇන්ටන් වික‍්‍රමසිංහ කිව්වා හේතුව දන්නෙ නැහැ කියලා. මගේ මුදල් ලැබුණා. ආටිස්ලගේ මුදල් ගෙව්වට පස්සේ මට ඉතුරු වුණා 33,000ක්. ඒකෙන් තමා මං ඉන්න ගේ ගත්තෙත්. සුරනිමල අලියව කරකවලා වීසි කරන එක යූඑන්පී ආණ්ඩුවට ප‍්‍රශ්නයක්, ඒ නිසා චිත‍්‍රපටිය තහනම් කළා කියලා පත්තරයක ගියා. මම ඊට පස්සේ රූපවාහිනියට රස්සාවට ගියානේ. 84දී රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයට ආපු ජේ.ආර්.ගේ ළඟම හිතවතෙක් තමයි මට කිව්වේ ජාතිවාදී ප‍්‍රශ්න එයි කියලා. දුටුගැමුණු චරිතයත් පාසල් පොතෙන් ඉවත් කළ වෙලාවක මෙහෙම චිත‍්‍රපටයකින් ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා තහනම දැම්මා කියලා.

විදෙස් කාටුන් චිත‍්‍රපට සමග සසඳන විට අද අප ගැන කළ හැකි තක්සේරුව මොකක්ද?

ළමයි දියුණුම දේවල්වලට ඇබ්බැහි වෙලා. දියුණු කාටුන් කලාවක් පිළිබඳ මූලික අදහසක් මා තුළත් තිබෙනවා. මූව්මන්ට් එකක් තියනවා නම් කැමරාව නිශ්චලව තියාගන්න ඕනෑ. මූව්මන්ට් එකක් නැති තැන කැමරාව වැඩ කළ යුතුයි. ඔය පදනම තමයි අසාර්ථක වෙච්ච බොහෝ කාටුන් නිර්මාණවලදී බිඳ වැටුණේ. සජීවීකරණය කලාවක් හැටියට අපේ රටේ දියුණු වුණේ නැහැ. වාණිජකරණය වීම තමයි මම දකින අවුල. වාණිජ රැුල්ලත් සමග Digital ඉල්ලූම ආවා. ඒ සමගම කලාත්මකයි කියන දේ බැස්මකට ලක්වුණා. මේ රටේ කාටුන් කලාවට ඒ තත්ත්වය බලපෑවා.