රාවය

රොඞ්නි! නීති දැනගෙන සෙල්ලම් කරමුද?

 

අපි මෝදර ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය ගැන යමක් ලියුවෙමු. එයින් බොහෝ සේ කලබල වූ අය හරි හරියට ගොඩ පිහිනන්නට පටන් ගෙන බව සැලය. මොවුන් සැමදා කළේ ගොඩ පිහිනීමම බැවින් එය අපට අමුත්තක් නොවන බවද අමුතුවෙන්ම කියන්නට සිදුවී ඇත.

එකී ලිපිය ඇස ගැටීමත් සමග අපට කතා කළ අය මෙතරම් වටිනා ක‍්‍රීඩා සමාජයක් බේරාගන්නට අකුරක් හෝ ලිවීම ගැන ස්තුති කළ අතර මෙය මෙරට පැරණිතම පිහිනුම් ක‍්‍රීඩා සමාජය බවද එහි නමගිය පිහිනුම් ක‍්‍රීඩකයන් බිහිකළ යුගයක් තිබූ බවද නමගිය මහත්වරුන් එහි පාලනය ගෙනගිය වටාපිටාවක් තිබූ බවද සිහි කැඳවීය.

මොවුන් බොහෝ දෙනෙක් ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජයට ළැදිව සිට රොඞ්නිලාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් අතරමග අතහැර වෙන වැඩක් බලාගත් අය බව කතාව අතරතුරම ලිහී ගියේය.

ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය වැදගත් නොවන්නට අප නොලියන බවද මුලින්ම කිව යුතුය. අද හතු පිපෙන්නා සේ බොහෝ පිහිනුම් ක‍්‍රීඩා සමාජ බිහිවී ඇතත් මේ බොහෝ ක‍්‍රීඩා සමාජ බිහිවන්නට පෙර පිහිනුම් ක‍්‍රීඩාවට නව අරුතක් සැපයූ ප‍්‍රබලතම ස්ථානය වූයේ ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජයය. පසුකාලීනව පිහිනුම් ක‍්‍රීඩාවේ බිහිවූ ප‍්‍රබල චරිත ගණනාවක් ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ අය වූහ. ධනවත් සමාජ පසුබිමක් පැවති මෝදර ප‍්‍රදේශය කාලයත් සමග වෙනස් වූවා සේ ම මෙම ක‍්‍රීඩා සමාජයටද දඩාවතේ යන්නන් රිංගන්නට විය. එකී රිංගීම හරහා ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය මේ වනවිට ගුබ්බෑයමක් බවට පත්වී ඇත. අප පසුගිය වාරයක හෙළි කළේ ඒ තත්ත්වයය. රෝගාතුර වටාපිටාවය.

එහිදී අපගේ මූලික තර්කය වූයේ මෙවර සභාපති තනතුරට තරග වදින්නට සූදානම් වන රොඞ්නි සිල්වාට තරග කිරීමේ අයිතියක් ඇත්ද යන්නය. රොඞ්නි සිල්වා මෙරට ජාතික පිහිනුම් සංගමයේ වැටුප් ලබන ලිපිකරුවෙකි. ක‍්‍රීඩා නීතිය තුළ නීතියක් ලෙස මව් සංගමයේ වැටුප් ලබන්නකු අනුබද්ධ සංගමයකට තරග කළ නොහැකි බවට වගන්තියක් නැති විය හැකිය. එය වෙනම කරුණකි. එහෙත් නීති මෙන්ම රීතිද ඇති බව රොඞ්නි සිල්වා අවබෝධ කරගත යුතුය. පිහිනීම සඳහා අදාළ ඇඳුමම ඇඳිය යුතුය යන්නට නීතියක් නැත. එසේ කියා නිරුවතින් පිහිනිය හැකිද? රොඞ්නි වෙනම සිතිය යුතුය.

මව් සංගමයක නිලතල රඳා පවතින්නේ සෙසු අනුබද්ධ සංගම්හි ඡුන්දවලිනි. එවන් කලක අද නේතෲ නානායක්කාර යටතේ වැටුපට වැඩ කරන රොඞ්නි සිල්වා හෙට ෆිෂ්ටේල් සංගමයේ සභාපති වූ කල ඡුන්දය පාවිච්චි කරනුයේ කාටද? අප මේ ඡුන්ද ගුණ්ඩුයැ’යි කියනුයේ එබැවිනි. රොඞ්නි සිල්වා ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය තුළ කලක පටන් සිට එය කාබාසිනියා කරමින් සිටින්නේය. ඔහු පුහුණුකරුවකු නිසා තමාට ඡුන්ද පදනම ගතහැකි පසුබිම සකස් කර ගනුයේ තමා මව් සංගමයේ සේවකයෙක් බව මුලට දාගනිමිනි.
මේ තක්කඩි ක‍්‍රමය අහවර කළ යුතුය. ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රීඩාව රැුකගන්නට අනන්ත වෙහෙසක් දරනවායැ’යි ?දෙගොඩ හරියේ ටෙලිවිෂන් නාලිකාවල රිංගා සපථ කරන්නේ නම් මුලින්ම කළයුත්තේ මෙවැනි ජඩ ක‍්‍රමවලින් තනතුරුවලට රිංගීම නැවැත්වීම නොවේද?

රොඞ්නි සිල්වා සිතා සිටිනුයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා නේතෲ නානායක්කාරගේ ගජමිතුරා බවය. එබැවින් නේතෲට මෙන්ම තමාටද ඕනෑම කෙළියක් කළහැකි බවය. මේවා වෙනස් කළ යුතුය. රාජකීය මිතුරුකම් ක‍්‍රීඩාවට ඈඳාගත යුතු නැත. ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය රැුකගැනීමට එහි සිටින සැම එකාවන්ව එක්විය යුත්තේ එහි ප‍්‍රයෝජන ගන්නේ අප නොව ඔවුන්ගේම දරු කැළ වන බැවිනි. රොඞ්නිලා වැනි තක්කඩින් තවදුරටත් එහි රඳවාගෙන කනවෝ කියමින් කෑගසනවාද නැද්ද යන්න ඔවුන්ම සිතිය යුතුවාක් මෙන්ම ක‍්‍රීඩා බලධාරීන් මව් සංගමයන්හි වැටුප් ලබන සේවකයන්ට අනු සංගම්හි තනතුරුවලට එන දොරගුළු බලියක් මෙන් හැර තබනවාද යන්නත් සිතිය යුතුය. ක‍්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන එන්නට නම් ඊට පෙර එයට පත්වන අය නීතිගරුක විය යුතුය. එය එසේ වේවායි පතමු.

සැ.යු. නේතෲ නානායක්කාර සමග අපට පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් ජාතික පිහිනුම් සංගමයේ සභාපති ලෙස නම් ඔහු කරන කසඩ වැඩ අපට අනුමත කළ නොහැකිය. එය නේතෲගේ පියා තේරුම් නොගන්නේ නේතෲ ඔහුගේ පුතා නිසාය. පිය-පුතු සෙනෙහස වෙනම වැඩකි. ක‍්‍රීඩාව වෙනම දෙයකි. අපට වැදගත් ක‍්‍රීඩාවය.

(නේතෲගේ පියා අපට පියකු ලෙස දැනුම්දීමක් කර ඇත. ඒ පුතාගේ අවංක බව කියාපාමින්ය. කිසිම පුතකු හෝ දියණියක කරන ජඩ වැඩ දෙමාපියන්ට කියමින් නොකරන බව පමණක් අවසානයේ දැනුම් දීම වටී.)