රා හොඳයි කතා ගොඩයි


ra

කේ. සංජීව

මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා.
“මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා.
පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත් නැතුව මාළුත් රංචු රංචු පාරේ. අලුත් වතුරේ සෙල්ලම. මේ සෙල්ලම හැලියෙන් ඉවරවෙන සෙල්ලමක් නෙවෙයි කියලා තමයි උන් වරල් ගහමින් උඩපනිමින් කියන්නේ. මම හැරිලා වෙන මගක් හොයනවා. කොහොම හරි හිනිදුමට ආවා. මීදුම යන්න ගිහිං. මම හොයාගෙන ආ මිනිහාත් හාංකවිසියක් නැහැ. බොරපාට ගිං ගඟ හරි හදිස්සියෙන් මුහුද සොයනවා. මම පාලම උඩ. මේ අහු අස්සේ තමයි සුමුදු (සුමුදු ගුරුගේ) හොයාගෙන යන්න හිතුවේ. කොහොම හරි හිනිදුම උඩුගම පාස්කරලා ගාල්ලේ කරාපිටියටම ගියා. සුමුදු ඉන්නේ ගාල්ලේ ගාලු සිරිඋයනේ ලොකු මන්දිරේක. ලෝබ හිතෙන තැනක්. සර්වා කියලා සංගීතය උගන්වන ආයතනයක් දැන් මේක.
“මචං ටිකක් හිටහං මම දත්ටික මැදගෙන එනකම්. ඊළඟට අපි රා බොන්න යනවා.” මම නවතිනවා සැටිය උඩ. ජනෙල් කවුළු මුහුදු සුළඟින් මුහුණට ගහනවා.

රා සල ළඟ මුහුද
අපි අක්මීමන පැත්තට එනවා. ඊළඟට තොටගොඩට හැරෙනවා. දැන් ඉතිං යන්නේ කොහොමෙයි. රා සල පැත්තට නාය ගිය පාර තැනින් තැනින් ගංවතුර. සමහර ගෙවල් දූපත් කරලා. බයික් එක පාරේ අයිනක හිටවලා අපි ගංවතුරට බැස්සා. දණිස්සක් වතුර. ගංවතුරේ පොල් අල්ලපු අපිට මේක කජ්ජක්ද කියලා ඔන්න ඔහේ ගියා. බජව්වක සංගීත මිහිර රා සල ළඟයි කියලා කියනවා. රා සල දැන් දූපතක්. වටේට මුහුද. මාරයි. කලින් දවසේ වැහැලා තියෙන්නේම අපිට මුහුද මැදට වෙලා පොඩි දූපතක කයියක් එක්ක බොන්න. මම එහෙම හිතනවා. මෙතැන තියෙන්නේ කිතුල් රා. ලයිසන් අරගෙන තමයි වැඬේ යන්නේ. මතට තිත තියන්න අරක්කු ගණන් වැඩිකරන කොට මේ දූපතේ සෙනඟ පිරෙනවා. කසිප්පු බීලා විනාශ වෙනවාට වැඩිය ඒක මරු. හැබැයි ඉතිං මේ අරක්කු මිල වැඩි කෙරිල්ලෙන් වැඩි වාසිය කසිප්පුකාරයන්ට. ඒ මොකද මේ වැඩිවෙන ඉල්ලුමට රා දෙන්න මේ රා කර්මාන්තේ දියුණු නැහැ. ඇත්තටම රාවලට තියෙන්නේ බියර්වලට වගේ 7%ක 8%ක ප්‍රමාණයක මදු ප්‍රතිශතයක් තමයි. බෞද්ධ දර්ශනය ගත්තත් අපිට රා බීපු ඇතෙක් ගැන කතාවක් තියෙනවා. අනික ඉන්දියාවේ සුර අසුර යුද්ධය.
“මචං සෝම පානය කියලා ඉන්දියාවේ කියන්නෙත් මේක. සමහරු සෝම පානය කංසා පානයක් කියලාත් කියනවා.”
සුමුදු තමයි මෙහෙම කියන්නේ. අපි දැන් රා සලේ. වටේටම මුහුද වගේ ගංවතුර බලං ඉන්නවා. බලු තඩියෝ දෙන්නෙකුත් නිතරම ළඟට එනවා. අපි රා ඉල්ලනවා. වළලු දාපු අතකින් බිතේ කවුළුවකින් රා ජෝගු ජෝගු එළියට එනවා. ඊළගට මුරුක්කු. ඕනෑ නම් බැඳපු මාළු.
1963 අවුරුද්ද වෙනකොට ලංකාවේ කිතුල් ගස් 21623ක් තිබිලා තියෙනවා. මේ ගස් වැඩිපුරම තිබිලා තියෙන්නේ සපරගමුවේ, මධ්‍යම වගේ පළාත්වල. දිස්ත්‍රික්ක විදියට මහනුවර, මාතර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල, ගාල්ල, මාතලේ, නුවරඑළිය. අදට සාපේක්ෂව එදා කර්මාන්තය ලොකුයි. කිතුල් රා, කිතුල් පැණි, හකුරු එදා ලංකාවේ ගැමියන්ගේ බඩවියත රැක්කා. සමස්තයක් විදියට ලංකාවේ දිස්ත්‍රික්ක 18ක මුළු කිතුල් ගස් ගණන 682657ක් අතර මල් මැදීමට ගන්නා කිතුල් ගස් 13798ක් විතර වාර්තා වෙනවා. මේ ගස්වලින් පැණි හකුරු හදන්න ගන්න කිතුල් ගස් ගණන 10837ක්. මේ ගණන් මිනුම් පොඞ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මේ විදිහට එළියට එන සංඛ්‍යා දත්ත කිතුල් මල් මදින්නෝ 29607ක් දිවයින පුරා ඉන්නවා කියලාත් කියනවා. මේ විදිහට කල්පනා කරනකොට මදින මැදිල්ල හිතාගන්න පුළුවන්නේ. අනික් පැත්තෙන් මේ මදින මැදිල්ලෙන් 20%ක් විතර තමයි රා. ඉතිරි 80% ක්ම පැණි හකුරු. අතීතයේ මේ කර්මාන්තයේ හිටියේ වහුම්පුර කියන කුලයේ මිනිස්සු. හකුරු කුලය කියලාත් කිව්වා. මේ කුල කොන්කෙරිල්ල නිසා අද වෙනකොට අලුත් පරම්පරාව මේ රස්සාවට සමුදීලා. මේ කතාව රා තරම් සුමියුරු නැහැ. ලොක්කෝ රාවලින් ජීවිතේට සතුට අරගන්නකොට මේ කර්මාන්තේ නියැලිලා හිටිය පොඩි මිනිස්සු නගරයෙන් වහන්වෙලා කඳුකරයේ දුෂ්කර ජීවිතයකට මුහුණ දුන්නා.

ආයෙත් රා කඬේට
අපි ආයෙත් රා කඬේට යනවා. මුලින්ම අපි කතා කරන්නේ මේ රා කඬේ අයිතිකාරයාත් එක්ක. සමන් නන්දලාල්.
“මම මේක පටන් අරගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා. මටම මදින ගස් හතරක් විතර තියෙනවා. අමතරව මම පිටින් මිනිස්සු මැදලා ගෙනත් දෙන තෙලිජ්ජත් ගන්නවා. හැබැයි ඒ ගන්නේ ඒ ගෙනෙන මිනිස්සුන්ට ඒ වෙලාවේම ටිකක් බොන්න දීලා තමයි. හොඳම රා තමයි මම ගන්නේ. ගෙනැල්ලා දෙනකොට මම තෙලිජ්ජ බෝතලේ 100ට ගන්නවා. මම ගිහිං ගත්තොත් 80ට තමයි මම ගන්නේ. මම විකුණන්නේ රුපියල් 150ට. දවසට බෝතල් 45ක් 50ක් යනවා. ඒත් මදි. මොනවා කරන්නද. නිතරම ඇවිත් චෙක් කරනවා. කලින් නම් කරදර ගොඩක් තිබුණා. මුලින්ම නඩුත් වැටුණා. මම ඒවායින් දිනුම්. රස පරීක්ෂක වාර්තා එහෙම හොඳයි. මොකද ඒ නියමිත ප්‍රතිශතය ඕනෑ.”
අපි රා බොනවා. රා ගැන කතා කරනවා. පොල් කෑල්ලක් ලුණු කැටයක් තමයි මේකට නියමෙට මැච් වෙන්නේ කියුවාට මට නම් මුරුක්කුවක් තමයි වැඬේට සෙට් වෙන්නේ. ඇත්තටම අරක්කු ටිකක් බොන්න සල්ලි නැති දුප්පත් මිනිස්සු තමයි මෙතැනට එන්නේ. ඒ නිසා මේ කර්මාන්තෙ ආරක්ෂා කරගන්න එක හරි වැදගත්. මොකද මේක නැතිවුණොත් මේ මිනිස්සු වැටෙන්නේ කසිප්පු පැකට් එකට.
‘කසිප්පු හුරුවුණොත් ඒ මනුස්සයට මේක හරියන්නේ නැහැ.’ මේ නන්දලාල් කියන කතාව.
මේ දුප්පතුන්ට අමතරව මේ රා කඬේට එන්නේ චේන්ජ් එකට රා රසේ තොලේ කටේ තවරගන්න කැමති මිනිස්සු. තරුණයෝ. මේ රා කඬේට ගියාම හරි අපූරු චාරිත්‍රයක් වගේ දෙයක් ගැන අහන්න ලැබුණා. ඒක මරු.
“අපි සුරාවට අධිපති දෙවියෝ ගැනත් පොඞ්ඩක් කතාකරමු.”
මේ රා කඬේ හුරු සුමුදු ඉස්සර වුණා..
මේ මෙහෙමයි මහත්තයෝ, ඒක කියන එක හරි මදි නේද? නැහැ නැහැ ඒක ෂෝක් නේ. කියන්න.. සුමුදු කියනවා කොහොම හරි අපි මිනිහගේ කටට අතදාලා මේ ටික ගත්තා.
‘මේ කර්මාන්තෙට අධිපති තමයි කඩවර දෙවියෝ. ඉතින් අපි හැමදාම උදේට රස්සාව පටන් ගන්න කලින් රා වීදුරුවකුයි බයිට් ටිකකුයි දෙයියන්ට දීලා තමයි වැඬේ පටන් ගන්නේ. එහෙම පටන් අරගෙන කරන පළවැනි බිස්නස් එකේ මුදල අපි ඉතුරු කරගෙන අවුරුද්ද අන්තිමට කතරගම ගිහිං කඩවර දෙයියන්ට පූජාවක් තියනවා.’ මෙහෙම තමයි සුරාවට අධිපතියාට නන්දලාල් සලකන්නේ. ඒ සැලකිල්ල හින්දා මේ කඩවරයා හරි අපූරු වැඩක් කරලා තියෙනවා. ඒ තමයි තමන් අදහන්නේ නැතුව හිටිය රා තැබෑරුම් සේරම වහලා දාලා තියෙනවා. මේ වගේ රස කතා අහුරක් බයිට් එකට ගන්න ගමන් පෙණ බුබුලු රා බොනවා. මාර රසයි. කොණකින් පොඩි මියුසික් එකක් හීනියට එනවා.

එ‍ෙඬ්රාගේ කතාව
එක හුස්මට රා කෝප්ප දෙකතුනක් අහවර කරන, ගංවතුර දිහා ඔහේ බලාගෙන ඉන්න, මුරුක්කුවක් වික වික ඔහේ බලාගත් අත බලාන ඉන්න හරි අපූරු මිනිසෙක් මගේ ඉස්සරහ. මම ඔහුත් එක්ක කතාවට වැටුණා. රා රසට පැඟිරි වෙන කට කෙළ බිඳක් තුක් ගාලා විසිකරලා හරි ගස්සගන්න ගමන් මේ මාමා කතාවට බැස්සා. මේක නියම පදමට පැහිච්ච කතා අහුරක්. මේ කතාවේ හිමිකාරයා එfඬ්රෙක් නැත්තං හරක් බලන්නෙක්. මීහරක් එක්ක ඔට්ටුවෙන එක තමයි මිනිහාගේ ජීවිතේ. නම ලියනගමගේ විජේසිරි. දැන් මේ රා බොන්න කොච්චර දුරක් ආවාද? මගේ මුල්ම ප්‍රශ්නේ..
“මට දැන් 60යි. අවුරුදු 17න් තමයි එfඬ්ර රස්සාව පටන් ගත්තේ. ඒ කාලේ තාත්තාට මී දෙන්නු 37ක් හිටියා. මගේ පවුලේ අපි ළමයි හතක්. අපේ තාත්තා අපිව හැදුවේ මේ හරක්ගෙන් තමයි. ඒ කාලේ අපි එක උදේකට කිරි කළ නවයක් වගේ දොවනවා. දැන් නම් හරක් ඉන්නේ 17යි. කරගන්න අමාරුයි. මම මගේ දරුවන්ගේ කරදඬු උස් කළේත් මේ හරකුන්ට පිංසිද්ද වෙන්න තමයි.”
හරි මේ රා බීම ගැන කියන්න. මම මී දෙන්නු පස්සේ දෙණිවල දුවන කතාව රා කඬේට ගන්න උත්සාහ කරනවා.
“මම මෙතැනට එන්නේ පහළ කීඹිය කියන ගමේ ඉඳලා. හරියටම මෙතැන ඉඳලා කිලෝමීටර් 3ක් ඇති. බයිසිකලේ පැදගෙන තමයි එන්නේ. දවසක් හවස මම සත්තු ලිහාගෙන එන්න අහලට ගියා. එදා මම ෂර්ට් එකක් ඇඳලා ගියේ. මී දෙන බයවුණා. ලිහනකොටම මාවත් ඇදගෙන දිව්වා. එදා ජීවිතේ නූලෙන් බේරුණේ. දැන් මට එහෙමට ලොකු වැඩ බැහැ. ඊට පස්සේ මී ගොන් අරං කුඹුරට බැස්සෙත් නැහැ. මේ රා ටික බොන්න එන්නේත් බිව්වේ නැත්තං වෙවුලනවා. ඒකයි. දොස්තර මහත්තයා කියලා තියෙන්නෙත් පොඞ්ඩක් බොන්න කියලා. අනික මේක ශරීරෙට අගුණ නැහැ. අපිට ඇඟපතට ටිකක් හයිය ගාය නැතිවුණාම අපි කිතුල් පිටි කැඳ බොනවානේ. එතකොට මාර ශක්තියක් එන්නේ. අනික මේ මිල. අපිට අද අරක්කු බොන්න වත්කමක් නැහැ. ඉතිං මම හැමදාම මේ දුර පදිනවා.”
රා තරම්ම මේ කතාවත් රසයි. දුකයි. ඉතිං මට හිතුණා මේ රා අස්සේම කිරිවලටත් පොඩි ඉඩක් දෙන්න. මාමා ඇයි මෙහේ කිරි ඇඹුල්…
‘අපි කිරි වක්කරනකොට ඊයේ වක්කළ භාජනේ උඩින්ම වක්කරනවා. එතකොට ඇඹුල්. නැත්තං සමහර කිරි හදන අය කිරිවලට ඇසිඞ් දානවා. එතකොටත් ඇඹුල්. අනික කල් තියාගන්නත් පුළුවන් එතකොට. අපි හදන කිරි දවස් තුනට වැඩිය බැහැ.’
මාමා එතකොට ගොපොල්ලා නැත්තන් ගොපලු යකා දැකලා නැද්ද? දැන් ටිකක් පදමට ඇවිත්. මම අහනවා.
“අපොයි දැකලා තියෙනවා. ගොපොල්ලා පට්ටියට වැහෙන එක හොඳයි. එතකොට වඳවීමක් නැහැ. හැබැයි ඉතිං එයා කිරි දොයින වෙලාවට ගියොත් අපි ඉවරයි. උදේ තුනට විතරනේ උන්නැහේ එන්නේ. ඉතිං අවුලක් නැහැ. හැබැයි කිරි අඩුවීමක් නැහැ. ගොපොල්ලා ඉන්න හරකා අඳුරගන්න පුළුවන්. උගේ පිට බයිසිකලේ සිට් එක වගේ. ගොපොල්ලා කියන්නේ ගෝඨයිම්බරයානේ.. මතකනේ මහසෝනාට වම්පයින් වම් සුළැඟිල්ලෙන් ගැහැව්වා…” මාමාගේ වෙරි දෑස් සිනාවට තාල අල්ලනවා.

සංගීතකාරයෝ
අපිට මේ රා ස්පොට් එකේදී තව නියම බඩුවක් මුණගැහුණා. මිනිහා උපාධිකාරයා, ධීවරයා. තව ගායකයා. අපි මිනිහාත් එක්ක රා අඩියක් ගහන ගමන් කතාබතා. “මගේ නම නලීන්. මගේ ගම පැරෑලිය. උපාධි කතා වැඩක් නැහැ. අපි උපාධි ගත්තා රස්සා නැහැ. දැන් මම මුහුදු යනවා. මාළු ඉන්න කාලෙට ලක්ෂය හොයනවා මාසෙට. බහුදින ධීවර රස්සාව තමයි කරන්නේ. සුනාමියෙන් අපේ ගමේ විතරක් 473ක් මැරුණා. අපේ පවුලේ අය හිතවත් අය ගොඩක් මුහුදට ගියා. අපේ ගමේ සේරම මුහුදු රස්සාව තමයි කරන්නේ. දන්නවාද, මම 2000 අවුරුද්දේ තුරුණු ශක්ති තුන්වෙනියා ලංකාවෙන්ම. සුබානි දිනුව අවුරුද්ද. මම දැනටත් මෙහේ සිංදු කියන්න යනවා එක ෂෝ එකකට රුපියල් 3000යි. ජීවිතේ විඳින්න ඕනෑ. විඳවලා වැඩක් නැහැ. මගේ තියරිය ඒකයි. අපි මුහුදු ගිහිං ඇවිත් අරක්කු නානවා. හැබැයි මේ රා කට්ටක තියෙන ආතල් එක ඒකේ නැහැ. අරක්කු බිව්වාම ආතල් කුඩු. හැබැයි මේක එහෙම නැහැ. මේක තැපෑලේ එන්නේ මරු. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. පුතා අම්බලංගොඩ ධර්මශෝකේ ක්‍රිකට් ගහනවා. කැම්පස් ගියා රස්සා නැහැ කියලා දුක් වුණා නම් මට මෙච්චර දුරක් එන්න ලැබෙන්නේ නැහැ. කලාව තමයි මගේ ජීවිතේ. කලාව සුපිරි.”
මේක තමයි රා වගේ හීනියට අපේ පපුවටම වදින කතාව. මේ රා කඬේ මේ වගේ මිනිස්සු ඕනෑ තරම්. ඒ කතාත් මෙතැන තියෙන කිතුල් රා වගේම තමයි. මේ කර්මාන්තේ තව තවත් දියුණු වෙන්න ඕනෑ. එතකොට මේ රා මැදිල්ල කරන දුප්පත් මිනිහා ගොඩ යනවා. අනික් පැත්තෙන් අරක්කු අහසට ගිහිං තියෙන මේ වෙලාවේ මේ දුප්පතාට පුංචි හරි සතුටක් දවසේ අන්තිමට අරගෙන එන්නේ මේ රා නිසා. අරක්කු බොන තැන්වල උස් කතා. රණ්ඩු ගොඩයි. මෙතැන ශාන්තයි. නිසංසලයි. ඉතිං දැන් ඇති. පොල් කෑල්ලක් එක්ක රා උගුරක් බොන්න ආයෙත් මෙතැනට යන්න ඕනෑ.■