පොලිස් වෘත්තියේ දැලි ගාන පොලිස්පති

 

කුරුණෑගලදී පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුද ආයුධ පෙන්වන්නට ගොස්, ‘ග්‍රෙනේඞ් බෝම්බයක් පොලිසිය දෙසට ගසන්නට තැත්කළ විට පොලිසිය තැබූ වෙඩිපහරින් පසුගිය සතියේදී මියගියේය.’ ඒ සිදුවීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තොල කට නොගෑවී මාධ්‍යවලටද කීවේය. ඒ ඝාතනය ‘ලංකාදීප’ වෙඞ් අඩවිය වාර්තා කළ විට එහි පාඨකයන් එදින ඊට එකතු කළ ප‍්‍රතිචාර (කමෙන්ට්ස්) කිහිපයක් මෙසේය.

1. ඕක ඉතින් කවුරුත් දන්නා දෙයනේ. 2. අවි පෙන්වීමට ගෙන යෑම මරු පෙන්වීමට ගෙන යෑම ලෙස නිවැරදි විය යුතුයි මාගේ අදහසේ හැටියට. 3. මේ ක‍්‍රමය හොඳයි. නඩු ගියොත් අපරාධකාරයෝ ඇප පිට නිදහස් වෙනවා. 4. අපිට විස්වාස කරන්නම කියලානේ මේ ප‍්‍රකාශ නිකුත් වෙන්නේ. සැම අපරාධකරුවෙක්ම සඟවා ඇති ආයුධ පෙන්විය යුතුයි කියලා අනිවාර්ය නියෝගයක් පැනවූවා නම් රටේ කෙරෙන අපරාධ අඩු කරගන්න පුළුවන්. 5. අපි නොදන්න අවි පෙන්වීම. 6. පොලිසිය පෞද්ගලික තරහ පිරිමැසීමට මෙම ක‍්‍රමය යොදාගතහොත් කුමක් සිදුවේද? උගත් විනිසුරුවන් වෙනුවට පොලිසියට මෙවැනි තීන්දු ගතහැකිද? බරපතළ ඛේදවාචකයක් බව ඔබ සැමට වැටහේවා. 7. මේක පුදුම වැඩක්නේ. මොකද මේ ඔක්කොම වෙඩි කන්නේ ආයුධ පෙන්නන්න ගිහින්. 8. මේ ක‍්‍රමයම තංගල්ල සභාපතිටත් ආදේශ කරන්න පුළුවන්නේ. අර ඇනපු බෝතල් කටුව හොයන්න ගිහින් බෝතලේකින් අනින්න ආවා කියලා එයාත් ඉවර කළා නම් ඔක්කොම සුද්දයි. 9. අවිගත්තෝ අවි පෙන්නන්න යාමෙන් නැසෙති. 10. අපරාධකරුවෙකු අත්අඩංගුවට පත්වූ පසු නීතිය කටයුතු කළයුතු ආරක්ෂාකාරී ක‍්‍රමයක් හඳුන්වා නොදීම අධිකරණයේ බලවත් අඩුපාඩුවකි. 11. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මොනවා කිව්වත්, මේ රටේ මොළේ තියෙන ජනතාව දන්නවා හැමදාම අපරාධකරුවන් ආයුධ පෙන්වන්න කියලා රැුගෙන යාමයි, ඉන්පසුව සිදුවන වෙඩි තැබීමට තැත් කිරීමයි කියන ප‍්‍රකාශයයි දෙකම එකම නාට්‍යයක ජවනිකා දෙකක් කියලා. මේ සිද්ධිය වෙන්නත් කලින් ගොඩක් අය අදහස් දක්වලා තිබුණා හංගලා තියෙන ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න කියලා. ඒකෙන්ම තේරෙනවා ජනතාව මේකේ යථාර්ථය හොඳින් දන්නා බව. 12. කට්ටියම කලින් යෝජනා කළේ හංගපු ආයුධ හොයන්න එක්ක යන්න කියලානේ, ඔන්න පොලිසියෙන් ඒ යෝජනාව ක‍්‍රියාත්මක කරලා. 13. මිනී මරලා රිමාන්ඞ් එකේ ඉන්න පොලිස් ලොක්කෙක් හංගපු ආයුධ හොයන්න එක්කරගෙන යන්නේ නැද්ද?

විවිධ දෘෂ්ටි කෝණයෙන් යුත් මේ ප‍්‍රතිචාර කියවන විට, මේ රටේ මහජනතාව මේ තරමට පොලිස් වෘත්තිය බාල්දුකරමින් සිනාසෙන්නේ තමන්ගේම ක‍්‍රියාකලාපය නිසා බව කල්පනා වී, හිරිකිතයක් තිබේ නම් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට මතු නොව පොලිස්පතිටද පොළොව පලාගෙන යෑමට සිතිය යුතුය. එහෙත් එවැන්නක් ඔවුන්ට නොසිතෙයි.
ආයුධ පෙන්වන්නට ගොස් සැකකරුවන් ඝාතනය වීමේ නාටකය පොලිසිය මහ දවාලේ කරන මිනීමැරුම් උඩින් තවරා ඇති අයිසින් තට්ටුවක් බව දැන් හැමෝම දනිති. මේ අයිසින් දියවීම ඇරඹී බොහෝ කල්ය. දැන්, බලවත් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් සැණෙන්, ඔහු කොයියම් මොහොතක හෝ ආයුධ පෙන්වන්නට ගෙනිහින් ඝාතනය කරන බව ලංකාවේ සාමාන්‍ය ජනයා සිනාසෙමින් අනාවැකි කියති.

මෙවැනි ඝාතන ගැන පොලිසිය ලියා ඇති තිරරචනා බොහෝ දුර්වල බව ඒ ඒක එක සිදුවීමක් වෙන වෙනම ගෙන පැහැදිලි කළ හැකිය. එමගින් පොලිසිය තවදුරටත් සිනාවට ලක්කරන්නටද හැකිය. එහෙත් ප‍්‍රශ්නය එය නොවේ. මහජනතාව ඉදිරියේ මේ තරම් හාස්‍යයට, බාල්දුවට ලක්වන බව දැනදැනත් දිගින් දිගටම ඒ දේ ම කිරීමෙන් පොලිසිය පෙන්වන හිතුවක්කාරකමයි. එය වචනවලට පෙරළුවොත්, ‘උඹලා පුළුවන් දෙයක් කරපල්ලා. අපි මරනවා තමයි.’ වැන්නකි. මේ නම්, මේ යුගයේ ලංකාවේ පරිපාලන දේහය වසාගෙන සිටින සමස්ත හිතුවක්කාරකමේ ම කොටසකි. ‘ලෝකය ඕනෑ දෙයක් කියපල්ලා, අපි යුද්ධය කරන්නේ මෙහෙම තමයි., පුළුවන් දෙයක් කරපල්ලා, අපි අගවිනිසුරුවරිය ගෙදර යවනවා තමයි., අපේ හෙංචයියෙක් අගවිනිසුරුකමට ගේනවා තමයි, අපේ පවුලේ අය හැම තැනටම පත්කරනවා තමයි, කොළඹ ගෙවල්වලින් මිනිස්සු දොට්ට දානවා තමයි, කොළඹ පාරවල් වහලා කාර් රේස් තියනවා තමයි.’ යනාදී ලෙස මේ හිතුවක්කාරකම පසුගිය කාලයේ යොදාගැනුණු අවස්ථා රාශිය අතුරෙන් කිහිපයක් පමණක් දැක්විය හැකිය. ඒ උදාහරණවලින් පෙනෙන්නේ මුළු රටම අවනීතිය රජකරන හිතුවක්කාරකමකට යහමින් යටවී ඇති බවය. එය පොලිසිය හාස්‍යයට ලක්කරනවාට වඩා සමාජයක් ලෙස අප බියවිය යුතු භයානක තත්ත්වයකි. මීට කාලයකට පෙරතිබූ ආණ්ඩු මහජන උදහසට බිය විය. වැරදි කළේ සැඟවී හෝ අඩුවෙනි. තනි තනියෙනි. එහෙත්, මේ කාලයේ යථාර්ථය නම්, වැරදි එළිපිටම කිරීමය. බිය නැතිව කිරීමය. සාමූහිකව කිරීමය. ‘පුළුවන් දෙයක් කරපල්ලා.’

පොලිසිය තිබෙන්නේ දඬුවම් දෙන්නට නොව නීතිය ක‍්‍රියාත්්මක කරන්නටය. තමන් අත්අඩංගුවට ගත් කවර තරාතිරමක වුවද සැකකරුවකු නීතිය ඉදිරියට පැමිණවීම පොලිසියේ කාර්යයයි. එතෙක්, සැකකරු සුරක්‍ෂිතව තබාගැනීම ඔවුන්ගේ වගකීමයි. දරුණු හෝ සුළු හෝ අපරාධ කළ ඕනෑම තරාතිරමක සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතියක් තිබේ. එය අපේ රටේ නීතියෙන් මෙන්ම ඉහළ අධිකරණවල නඩු තීන්දුවලින්ද සහතික කර ඇති බිඳිය නොහැකි අයිතියකි. අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීමෙන් පොලිසිය පුද්ගලයකු සතු මේ ‘සාධාරණ නඩුවකට මුහුණදීමේ අයිතිය’ බලහත්කාරයෙන් පැහැරගන්නේය. එපමණක් නොව, එම සැකකරුගේ අනෙක් අපරාධ සම්බන්ධතා යනාදිය ගැන සෙවීමට බැලීමට ඇති අවස්ථාවද නැති කරන්නේය.

කිනම් හේතුවක් නිසා හෝ අත්අඩංගුවේ සිටින සැකකරුවකු ඝාතනය වීම නීති විරෝධී වනවා මෙන්ම ශිෂ්ටසම්පන්න පොලිසියකට නම් නින්දාසහගත කළු පැල්ලමකි. එහෙත්, වත්මන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්ටත් ඔහුගේ පොලිසියටත් එවැනි සදාචාර ගැටලූවක්වත් නැත. ඔහුගේ මෑතකාලීන පූර්වගාමී පොලිස්පතිවරුන්ටද එසේමය. පසුගිය කාලය පුරාම මෙවැනි අත්අඩංගුවේ ඝාතන සිදුවූ විට ඒ ගැන සමාජයේ කතාබහ වූ දෑ සලකාබැලූයේ නම් පොලිසිය තුළ මෙවැනි දේ තවත් සිදුවීම සඳහා, පොලිස් වෘත්තියට නිග‍්‍රහ කිරීමට අකමැති වගකිවයුතු පොලිස්පතිවරයකු ඉඩහරින්නේ නැත. අඩු ගණනේ, ආයුධ පෙන්වන්නට යන විට බෝම්බ විසිකළ නොහැකි වන පරිදි, තුවක්කු ගෙන වෙඩිතැබිය නොහැකිි වන තරමට සැකකරුගේ අත් තදින් අල්ලා ලණුවකින් ගැටගසාගෙන යනුයැ’යි පොලිස් නිලධාරීන්ට චක‍්‍රලේඛයක් මගින් දැනුම් දෙනවා වත් ඇත. එහෙත් පොලිස්පති ඉලංගකෝන්ට එවැන්නක් අවශ්‍ය නොවේ. පසුගිය කාලයේ ඔහුගේ නම තානාපති ධුරයකට යෝජනාවී තිබුණි. විශ‍්‍රාමයෙන් පසු (මීට පෙර පොලිස්පතිවරුන්ට ලැබුණාක් මෙන්) තානාපති ධුරය ඔහුට ලැබෙනවා ඇත.

‘මහජන මිත‍්‍රශීලී, වෘත්තීයමය, අභිමානවත් පොලිස් සේවයක්’ පොලිසියේ ආදර්ශ පාඨයයි. අත්අඩංගුවේදී සැකකරුවන් මරාදැමීමෙන් එහි සඳහන් ‘වෘත්තීයමයභාවය’ පොලිසිය කෙළෙසාගනියි. ඒ ගැන එළිදක්වන කොමඩි ගණයේ නාටක පිටපත් නිසා මහජන පරිභවයට යහමින් බඳුන්වෙමින් සිය ‘අභිමානය’ද කෙළෙසාගනියි. තමන්ගේ ආයතනය මේ සා බාල්දු වෙද්දී ඊට එරෙහිව යමක් කරන්නට පොලිස්පතිවරයාට කොන්දක් නැති බව පැහැදිලිය. නැතිනම් සිදුවන්නේ ඔහුට වුවමනා දේය. පොලිසියේ සිටින ඇත්තටම අභිමානවත්, අවංක ලොකු පොඩි නිලධාරීන් බහුතරය තමන් හරිහම්බකරගෙන කන, තමන්ගේ දරුවන්ට කන්නට දෙන වෘත්තියේ දැලි ගාන, මෙවැනි ප‍්‍රධානීන්ට විරෝධය පා තම වෘත්තියේ ගරුත්වය වෙනුවෙන් ඉදිරියට ආ යුතුය. යහපත් පොලිසියක් මේ රටේ බලාපොරොත්තුවයි.

මෙවැනි භයානක ප‍්‍රවණතාවක් හමුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට හා පොලිසියට හිනාවීමෙන් එපිටට යන වගකීමක් රටේ මහජනයාටද පැවරෙයි. (පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට හිනාවීමෙන් පලක් නොවන්නේ සිය දවස්පතා භෝජනය සඳහා එවැනි තිරරචනා පණ පිහිටුවා කියවීම ඔහුගේ රස්සාව බැවිනි.) මේ අවනීතික ඝාතනයන්ට හැකි සෑම තැනකම ප‍්‍රසිද්ධියේ විරුද්ධ විය යුතුය. එරෙහිව හැකි සෑම පියවරක්ම ගත යුතුය. මෙවැනි ඝාතන ගැන සොයාබලන ස්වාධීන ආයතනයක් ඇතිකිරීම කෙරෙහි වත් බලපෑම් කළ යුතුය. පොලිසිය කියන දේ පමණක් අසා මේ ඝාතනවලට ‘ආත්මාරක්‍ෂාවේ අයිතිය’ නම් මුද්‍රාව අලවන අධිකරණ පද්ධතිය විවේචනය කළ යුතුය. අත්අඩංගුවට ගන්නවුන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය දැක්වෙන මඟපෙන්වීම් සම්පාදනය කරන්නැ’යි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. සමස්තයක් ලෙස අපේ සමාජය වසාගෙන සිටින පාලකයන්ගේ හිතුවක්කාරකමට එරෙහි විය යුතුය.