කලකිරුණු ඇමතිලාට ජනපතිවරණ තෑගි

 

ඉදිරියේදී පවත්වන්නට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පෙර සූදානමක් ලෙස සහන මල්ලක් සමග දින සියයක දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව සූදානම්වෙමින් පවතින බව රාවයට වාර්තාවේ.

දැනට ජනාධිපතිවරයා කෙරෙහි සිත් රිදීමකින් කටයුතු කරන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල සිට පළාත් පාලන ආයතන දක්වා මුදල් යහමින් ගලා යන සංවර්ධන යෝජනා ක‍්‍රමයක් පිළිබඳව මේ දිනවල ආණ්ඩුව සිතා බලමින් සිටින අතර මෙම දින සියයේ දැවැන්ත වැඩපිළිවෙළ මුළුමනින්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බව පැවසේ.

රුපියල් බිලියන ගණනක ව්‍යාපෘතියක් වන මෙය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සමහර බදු කපා හැරීම වැනි යෝජනාද අන්තර්ගත වන බව වාර්තා වෙයි.
එමෙන්ම එක් එක් අමාත්‍යාංශවලට සහ පළාත් පාලන ආයතනවලට සිත් සේ මුදල් වියදම් කළ හැකි තත්ත්වයක් මෙම ව්‍යාපෘතිය තුළ ගොඩනගන බවද වාර්තා වෙයි.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු සඳහා මේ දිනවල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එක් එක් අමාත්‍යාංශ නිරීක්ෂණය කරමින් මුදල් වෙන් කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනයක නිරත වන බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමේදී පසුව අමතන ලෙස දැනුම් දුන්නද පුවත්පත මුද්‍රණයට යන තෙක් ඔහු දුරකතනයට සම්බන්ධ කරගැනීමට නොහැකි විය.