නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? එය හදාගත යුත්තේ කෙසේද?

 

අපට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය සලකා බලන්නට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කෙටියෙන් සලකා බැලීම වැදගත්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයේ සංවිධාන ව්‍යුහයේ පදනම ලෙස සැලකිය හැකිය. නීතිය හා යහපැවැත්ම සඳහා අවශ්‍ය කරන දේශපාලන පරිපාලන හා අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන යාන්ත‍්‍රණය ලෙස ක‍්‍රියාකරන්නේ රාජ්‍යයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයේ ව්‍යුහය, කාර්යයන්, බලතල හා යුතුකම්ද, පුරවැසි අයිතිවාසිකම්, යුතුකම් හා ඒවාට තිබෙන සීමාද විස්තර කරන නෛතික ලේඛනය වනවා පමණක් නොව එම රාජ්‍යයේ සියලූ නීතීන්ට ඉහළින් තිබෙන මූලික නීතිය ලෙසද සැලකිය හැකිය. රාජ්‍යයට අවශ්‍ය දේශපාලන බලය ලැබෙන්නේ මහජනයාගෙනි. ඒ අර්ථයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පුරවැසියන් තමන් පාලනය වියයුතු ආකාරය ගැන ඇති කරගන්නා ගිවිසුමක් ලෙසද සැලකිය හැකිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබෙන අවස්ථාවකදී එම ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට දරන උත්සාහයක් රාජ්‍යය නැවත ප‍්‍රතිනිර්මාණය කරගැනීම සඳහා දරන උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

නව ව්‍යවස්ථාවක් ඇයි?

අපට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන ප‍්‍රශ්නයට දිය හැකිව තිබෙන සරල පිළිතුර මෙසේය.
තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ 1978දී නැවත අලූතෙන් සකස් කෙරුණු රාජ්‍යය යහපත් ඉදිරි දර්ශනයක් ඇතිව විධිමත් ලෙස හා මනා ගැළපීමක් ඇතිව සකස් කරන ලද රාජ්‍යයක් නොවීය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එය නීතියේ පාලනයක් නැති, අකාර්යක්ෂම, දූෂිත හා කොල්ලකාරී, හා සිය පුරවැසියන්ගේ මනුෂ්‍ය ගෞරවය කෙලෙසන හා ඔවුන් නින්දාවට හා පීඩාවට පත් කරන චෞර හා අශීලාචාර රාජ්‍යයක තත්ත්වයකට පත්ව තිබෙන්නේය.

එම රාජ්‍යයේ නීතිය ක‍්‍රියාත්මක කරන හා නීතිය පසිඳලන ආයතනවල සිට අන් සියලූ ආයතන ඔජර ගලන තරමට කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙනුයේ දුගඳ හමන තරමටම කුණුවී තිබෙන පැරණි රාජ්‍යය භූමිදානය කොට එම වපසරිය තුළ නීතියේ ආධිපත්‍යය, යුක්තිය හා සාධාරණත්වය රජයන දූෂණය හා අක‍්‍රමිකතාවන්ගෙන් තොර කාර්යක්ෂම, සිය පුරවැසියන්ට මනුෂ්‍ය ගෞරවය හිමිකර දෙන, සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව ශ‍්‍රී ලංකා රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීම අවශ්‍ය වී තිබෙන නිසාය.

මගේ මතය අනුව නම් නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යායුතුව තිබුණේ ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කිරීමත් සමගය. එහෙත් එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමේ හැකියාව ආණ්ඩුවට නොතිබුණා සේ ම විරුද්ධ පක්ෂවලටද නොතිබුණේය.

නිරුවත් රාජ්‍යය

බිහිසුණු අභ්‍යන්තර යුද්ධයක් තිබෙන අවස්ථාවක රාජ්‍යය නැවත ප‍්‍රතිනිර්මාණය කරන වැඩසටහනකට ඉඩ තිබිය නොහැකිය. අවසාන යුද්ධය කෙරෙන අවස්ථාව වනවිට ප‍්‍රභාකරන්ගේ තත්වාකාර රාජ්‍යය සේ ම ශ‍්‍රී ලංකා රාජ්‍යයද කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණේය. එසේ තිබියදීත් ප‍්‍රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යය පරාජය කිරීමට ශ‍්‍රී ලංකා රාජ්‍යය සමත් විය. එහෙත් එම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකා රාජ්‍යය නිරුවත් රාජ්‍යයක තත්ත්වයට පත්විය.

ඒ වනවිට පමණක් නොව ඊට පෙරද රාජ්‍යය අඩු වැඩි වශයෙන් කුණුවෙමින් තිබුණේය. එහෙත් ඉන් හමන දුගඳ යුද්ධයෙන් හමන වෙඩි බෙහෙත් ගඳ නිසා අපට නොදැනුණේය. එකල රාජ්‍යය කුණුවීමෙන් හැමූ දුගඳ යුද්ධයේ වෙඩි බෙහෙත් ගඳින් යටපත් වී තිබුණේයැ’යි කිව හැකිය. යුද්ධය අවසන්වීමත් සමග ඉන් හමන වෙඩි බෙහෙත් ගඳ නැතිවීමත් සමග රාජ්‍යය කුණුවීමෙන් හැමූ දුගඳ අපට දැනෙන්නට වූ අතර යුද්ධය අවසන්වීමෙන් පසු රාජ්‍යයේ කුණුවීමේ ක‍්‍රියාවලිය වේගවත් වී ඉන් හමන දුගඳ ද ඉවසාගෙන සිටිය නොහැකි තත්ත්වයකට වර්ධනය වීයැ’යි කිව හැකිය. යුද්ධයේ අවසානයත් සමග රාජ්‍ය නිරුවත්වීම නිසා රාජ්‍යයේ කුණුවී මජර ගලන සිරුර පමණක් නොව එම මජර මත දඟලන පණුවන්ද පෙනෙන තත්ත්වයක් ඇතිවිය.

මෙසේ උපරිම මට්ටමකට කුණුවී තිබෙන රාජ්‍යයේ පැවැත්ම අවසන් කොට ඒ වෙනුවට නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීමෙන් තොරව හුදෙක් පාලකයා පමණක් වෙනස් කරන ප‍්‍රතිපත්තියකින් මේ අර්බුදය ජයගත නොහැකිය. එහෙත් ගැඹුරු ව්‍යවස්ථාමය වෙනසක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඊට ගැළපෙන තරම් ගැඹුරකින් මේ අර්බුදය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

සංකීර්ණ ප‍්‍රශ්නයක් සරල ලෙස ගැනීම

පසුගිය සතියේ මරදානේ පැවති දේශපාලන සම්මන්ත‍්‍රණයකදී එම සම්මන්ත‍්‍රණය අමතා කතා කළ එක් කථිකයකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දේශපාලන පක්ෂ කැමති වුවත් නැතත් සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව කියා සිටියේය. එම සම්මන්ත‍්‍රණය අමතා කතා කළ තවත් කථිකයකු වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළයුතු පුද්ගලයා හඳුනාගෙන සිිටී නම් ප‍්‍රමාද නොකොට ඒ බව ප‍්‍රකාශ කිරීම සුදුසු බව හා එවිට එම පොදු අපේක්ෂකයාට මහජනයාට අතරට ගොස් වැඩ කිරීමට අවස්ථාවක් ලැබෙන බවද කියා සිටියේය. ඉන්පසු එම සභාවේ අසුන් ගෙන සිටි ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න නැගීසිට සෝභිත හිමිගේ නම දැන්ම ප‍්‍රකාශ කිරීම සුදුසු නොවේයැ’යි කියා සෝභිත හිමියන්ගේ මතය වී තිබෙන නිසා ඒ බව ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාද කිරීමට සිදුවී ඇතත් ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් සකස් කර ඇති බවත් එය කෙටි හා සරල සංශෝධනයක් බවත් මාස හයකටත් අඩු කාලයක් තුළ පොදු අපේක්ෂකයා වෙත පැවරෙන කාර්යභාරය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් කියා සිටියේය.

සෝභිත හිමියන් වෙනුවෙන් පෙනීසිටි නිර්මාල් රංජිත් දේවසිරි හා ජයම්පති වික‍්‍රමරත්න යන අය පළ කළ අදහස්වලින් පෙනීයනුයේ ඔවුන් අපේක්ෂා කරනුයේ ඉතා ඉක්මන් හා සරල වෙනසක් පමණක් බවය. සරල කෙටි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. හොඳටම කුණුවී තිබෙන ආයතන ක‍්‍රමයේ වෙනසක් එම න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව තිබෙන බවක් පෙනෙන්නට නැත. ජාතිය ගොඩනැගීමේ ප‍්‍රශ්නයද ඊට ඇතුළත් නැත.

ප‍්‍රකාශ වී තිබෙන අදහස් අනුව හෙළ උරුමය අපේක්ෂා කරන්නේද සරල වෙනසකි. ඔවුන් ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනවාට එකඟ නැත. ජනාධිපතිට එම ධුරය හැර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් භාරගත නොහැකි තත්ත්වයක් සමග ජනාධිපති නීතියට යටත් තත්ත්වයකට ගැනීම එම පක්ෂයේ අපේක්ෂාව වී තිබේ.

ඊට වෙනස්ව මා හිතන්නේ රටක් වශයෙන් අප ඉන්නේ රාජ්‍යයේ ව්‍යුහමය වෙනසක් ඇති කිරීමෙන් තොරව ඉන් මෙපිට ඇති කරන සරල වෙනස්කම්වලින් පමණක් ඉදිරියට යා නොහැකි තැනක බවය. සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ සරල ප‍්‍රතිසංස්කරණවලින් ගොඩගත නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. පාලකයා වෙනස් කිරීමෙන් පමණක් හෝ පාලන ක‍්‍රමයේ ඇති කරන සරල වෙනසක් මගින් කුණුවී තිබෙන එම ආයතන ක‍්‍රමය යථා තත්ත්වයට පත් කළ නොහැකිය. එවැනි සරල වෙනසක් නැවත පුපුරනසුලූ ප‍්‍රශ්නයක් බවට වර්ධනය වෙමින් තිබෙන ජනවර්ග ප‍්‍රශ්නයටද විසඳුමක් වන්නේ නැත.

පැරණි ව්‍යවස්ථාවල උරුමය

ආණ්ඩුක‍්‍රමයේ තිබෙන අවුල්සහගතභාවය 1978 ව්‍යවස්ථාවෙන් පසුව පමණක් ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකීම වැරදිය. ඊට පෙර පැවති ආණ්ඩුක‍්‍රම දෙකේද අවුල්සහගත තත්ත්වයක් තිබුණි. අයිවර් ජෙනින්ස් සකස් කළ කෙටුම්පත පදනම් වී සෝල්බරි ව්‍යවස්ථාව ගොඩනගා ගත් ආකාරය මීට පෙර සලකා බලන ලදි. එම ව්‍යවස්ථාවට මානව හිමිකම් ප‍්‍රඥප්තියක් ඇතුළත්ව නොතිබුණා සේ ම එය පාලකයාට හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන්නට තිබෙන ඉඩ විධිමත් ලෙස අසුරා තිබූ ව්‍යවස්ථාවක්ද නොවීය. අනෙක් අතට ජාතිය ගොඩනැගීම එම ව්‍යවස්ථාවට ඇතුළත් වැදගත් අරමුණක් නොවීය.

මීට කලින්ද සලකා බලන ලද ආකාරයට සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව දෙමළ වතු කම්කරුවන්ගෙන් පළිගැනීම හා තමන්ට හිසරදයක්ව තිබූ සමසමාජ ව්‍යාපාරයේ පදනම දුර්වල කිරීම සඳහා ඞීඇස් සේනානායක වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන්පසු එය පූර්වාදර්ශයට ගනිමින් 1956දී බණ්ඩාරනායක දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කෙරෙන ආකාරයකට සිංහල රාජ්‍ය භාෂා පනත නීතිගත කළේය.

එම නීති සම්පාදන දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවද ප‍්‍රශ්නය අධිකරණය ඉදිරියට ආ විට අධිකරණය කළේද එම අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන නීති යුක්තිසහගත කිරීමය. ඉන් පෙනෙන්නේ බලතල බෙදීමේ සිද්ධාන්තය මැනැවින් ක‍්‍රියාත්මක වන තත්ත්වයක් පවා එම ආණ්ඩුක‍්‍රමය තුළ ස්ථාපිත කර නොතිබූ බවය. ඉන්පසු 1972දී ඇතිකර ගන්නා ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ශ‍්‍රී ලංකා රාජ්‍යය බහුතර වර්ගයට එම බහුතර වර්ගයේ ආගමට හා භාෂාවට බර තබා ක‍්‍රියාකරන රාජ්‍යයක් බවට පත් කළේය.
ව්‍යවස්ථාමය විෂයයේදී ඊළඟ මහා විනාශය සිදුවන්නේ 1978දීය. එම ව්‍යවස්ථාව මගින් මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය ඔළුවෙන් සිටවූවේය. ජනාධිපති නීතියට යටත් නොවන තත්ත්වයකට පත්කරමින් හා ජනාධිපති රාජ්‍යයේ සකලවිධ බලය හිමි පුද්ගලයා බවට පත්කිරීමෙන් නොනැවතී ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බලමණ්ඩල දෙකම ජනාධිපතිට යටහත්ව පහත්ව ක‍්‍රියාකළ යුතු තත්ත්වයකට පත් කළේය.

එම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ප‍්‍රමුඛ ඔහුගේ දේශපාලන කණ්ඩායමට රට පාලනය කිරීමේ බලයට අතිරේකව රටේ වස්තුව කොල්ලකෑමේ අයිතියද ලබා දුන්නේය. විවිධ ස්වරූපවලින් තිබෙන රාජ්‍යයට අයත් සියලූ වස්තූන්හි නිල භාරකාරයා ජනාධිපතිය. ඔහුට ඉන් කැමති දෙයක් තමන් වෙත, තමන් කැමති කෙනකු වෙත, ප‍්‍රදානය කිරීමට, විකිණීමට හෝ බදුදීමට බලය තිබෙන්නේය. ඒ විෂයයෙහි ජනාධිපති කරනු ලබන කිසිදු ගනුදෙනුවක් සොයාබැලීමේ හෝ ප‍්‍රශ්න කිරීමේ බලයක් ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට නැත. ජනාධිපතිට ලැබී තිබෙන මුක්තියේ ආවරණය තමන් සඳහා පමණක් නොව ඔහු කැමති අනුන් සඳහාද යොදාගත හැකිය. ඒ නිසා ජනාධිපති ආරක්ෂා කළයුතුයැ’යි කල්පනා කරන කිසිම පුද්ගලයකුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් කළ නොහැකි අතර නඩු පැවරීමට හෝ දඬුවම් කිරීමටද නොහැකිය. ඒ මගින් මෙම ව්‍යවස්ථාව රාජ්‍ය පාලනය වස්තු කොල්ලයක් බවට පත්කර තිබෙන්නේයැ’යි කිව හැකිය.

ආයතන ක‍්‍රමයේ කුණුවීම

ඊට පෙරත් රාජ්‍යය තුළ ක‍්‍රියාත්මක ආයතන ක‍්‍රම ක‍්‍රියාත්මක වූයේ ඒවා වෙත පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳ මනා අවබෝධයකින් තොරව කිසියම් ප‍්‍රමාණයකට දූෂිත හා අකාර්යක්ෂම ආකාරයකටය. ආයතන ක‍්‍රමයේ ඇතිව තිබූ එම පිරිහීම 1978 ව්‍යවස්ථාව යටතේ උච්චතම තත්ත්වයකට පත්වීයැ’යි කිව හැකිය. අද රාජ්‍යයේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ දූෂිත අකාර්යක්ෂම හා හොඳටම කුණුවූ තත්ත්වයකය. දූෂණයෙන් තොර අකාර්යක්ෂම නොවන, මහජනයාගේ විශ්වාසය හා ගෞරවය හිමි කරගත් එකුදු ආයතනයක්වත් රටේ නැති තරම්ය.

දැන් රාජ්‍යය නමැති මහා ප‍්‍රාකාරයේ ඉතිරි වී තිබෙන්නේ එහි මුදුනේ ඇති ලෝකඩ ලාංඡුනය පමණය. සමස්ත ගොඩනැගිල්ල නැවත පිළිසකර කොට ප‍්‍රයෝජනයට ගත නොහැකි තරමට ජරාජීර්ණ වූ තත්ත්වයකට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. සමාජය ප‍්‍රඥාවන්ත නම් සිදුවිය යුතුව තිබෙන්නේ ප‍්‍රමාද නොවී සමස්ත ප‍්‍රාකාරයම කඩාබිඳ දමා ඒ භූමියේ වඩා ශක්තිමත් අත්තිවාරමක් මත නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමය. සමාජය එසේ නොකරන්නේ නම් කොයි මොහොතක හෝ සිදුවිය හැකි කඩා බිඳවැටීමක් නිසා මහා විනාශයක් සිදුවිය හැකිය.

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වී තිබෙනුයේ ඉහත විස්තර කරන ලද ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහාය. හොඳටම දිරාපත්ව ජරාජීර්ණ වී තිබෙන රාජ්‍යයේ නිල භාරකරුවා වෙනස් කිරීමෙන් පමණක් හෝ භාරකාර ක‍්‍රමය වෙනස් කිරීමෙන් පමණක් හෝ එම ප‍්‍රශ්නය විසඳාගත නොහැකිය. දැන් සිටින භාරකාරයා සේ ම ඊට පෙර සිටි භාරකාරයන්ද ඇතිවී තිබෙන මෙම ඛේදජනක තත්ත්වයට වගකිවයුතු බවට සැකයක් තිබිය නොහැකිය. 1978ට පෙර සිටි භාරකරුවන්ගේ ප‍්‍රඥාවේ අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත් ඔවුුහු කොල්ලකරුවෝ නොවූහ. එසේ වූයේ ඔවුන්ගේ විශේෂ හොඳකමක් නිසා නොව ඒ තිබුණු ආණ්ඩුක‍්‍රම යටතේ කොල්ලකෑමේ අයිතියක් හෝ බලයක් ඔවුන්ට නොතිබුණු නිසාය. භාරකාරයන්ගේ පාලනය, වස්තු කොල්ලයක් බවට පත්වීම ආරම්භවන්නේ 1978න් පසුවය. ඉන්පසු භාරකරුවන් බවට පත්වූ සියලූදෙනාම පාහේ දිරාපත්වෙමින් තිබූ රාජ්‍යය නමැති ප‍්‍රාකාරයේ තිබූ අගනා රන් රිදී මුතු මැණික් කොල්ලකෑහ. එසේ කොල්ලකන ලද දේපළවල වටිනාකම සමහරවිට නව රාජ්‍ය ප‍්‍රාකාරයක් ගොඩනගා ගැනීමට යන වියදමත් වඩා වැඩිවිය හැකිය.

ආයතනවලට ලැබෙන වැදගත්කම

මීට සති කිහිපයකට ඉහතදී විජයානන්ද ජයවීර විසින් අවශ්‍යයෙන්ම කියවිය යුතුව තිබෙන පොතක් ලෙස හඳුන්වමින් තරමක් ලොකු පොතක් මට දුන්නේය. Why Nation fail යන්න එම පොතේ නමය. එය ඩැරන් ඒස්මොග්ලූ හා ජේම්ස් ඒ රොබින්සන් යන දෙදෙනාගේ සමකර්තෘත්වයෙන් ලියා 2013දී පළ කරන ලද පොතකි. එය විශිෂ්ට ගණයේ කෘතියක් ලෙස සැලකිය හැකි අතර සමස්ත කෘතිය සලකා බලා ඇත්තේ රටක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි ඒ රටේ ක‍්‍රියාත්මක වන ආයතන ක‍්‍රමවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය බලපාන ආකාරය ගැනය.

මේ කෘතිය ආරම්භ කර ඇත්තේ එක් අර්ධයක් මැක්සිකෝවේ සොනාරාමටද අනෙක් අර්ධය ඇමරිකාවේ ඇරිසෝනාවටද අයත් නෝගෙල්ස් නගරයෙනි. රටවල් දෙකට අයත් අර්ධ දෙක වෙන් කොට ඇත්තේ කම්බි දැලකිනි. නගරයේ වෙසෙන ජනයා එකම ඓතිහාසික හා සංස්කෘතික පසුබිමක් ඇති එකම ජනතාවකි. එහෙත් ඇමරිකන් අර්ධය දියුණුය. මැක්සිකන් අර්ධය නොදියුණුය. ඒක පුද්ගල ආදායම අනුව සේ ම වෙනත් දර්ශක අනුව ගත්තද මේ අර්ධ දෙකේ ජනතාව අතර තිබෙන පරතරය අතිවිශාලය. නගරයේ එක් අර්ධයක දක්නට ඇති දියුණුව කෙරෙහිත් අනෙක් අර්ධයේ දකින්නට ඇති නොදියුණුව කෙරෙහිත් බලපා තිබෙන හේතු මොනවාද යන්න ඔවුහු සලකා බලති. ඇමරිකා එක්සත් ජනපදය සතුව දියුණු ආයතන ක‍්‍රමයක් පවතී. ඒ දියුණු ආයතන ක‍්‍රමය ඇමරිකන් අර්ධයේ දියුණුව කෙරෙහි බලපා තිබේ. මැක්සිකෝව සතු ආයතන ක‍්‍රමය නොදියුණුය. මැක්සිකානු අර්ධයේ නොදියුණුව කෙරෙහි බලපා තිබෙන්නේ මැක්සිකානු ආයතන ක‍්‍රමයේ පවතින එම නොදියුණුවය. ඒ නිදර්ශනයෙන් පටන්ගන්නා ඔවුහු ලෝක ඉතිහාසයේ ඈත යුගවල සිට විවිධ කාලවකවානුවල හා ලෝකයේ විවිධ ප‍්‍රදේශවල විශේෂ දියුණුවක් පෙන්නුම් කර ඇති ජාතීන්, එම දියුණුව කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධාන සාධකය ආයතන ක‍්‍රමවල දියුණුව බව තර්කානුකූලව පෙන්වා දෙති.

මේ පොතේ කතුවරුන් දෙදෙනා සැලකෙන්නේ ලෝකයේ පළමු පෙළේ ශාස්ත‍්‍රාලයීය උගතුන් දෙදෙනකු ලෙසය. දෙදෙනාම මහාචාර්යවරුය. ඩැරන් අර්ථ ශාස්ත‍්‍රඥයෙකි. රොබින්සන් අර්ථ ශාස්ත‍්‍රඥයකු හා දේශපාලන විද්‍යාඥයෙක් වේ. මේ දෙදෙනාට අනුව ඕනෑම රටක දියුණුව හෝ නොදියුණුව කෙරෙහි දේශගුණික, භූගෝලීය හෝ සංස්කෘතික සාධක ප‍්‍රධාන සාධක ලෙස බලපාන්නේ නැත. රටක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප‍්‍රධාන කොට තීරණය කරන්නේ එම රටවල ක‍්‍රියාත්මක වන ආයතන ක‍්‍රමයන්ය.
මේ දෙදෙනා ගොඩනගා තිබෙන එම තීසිසය අප රට සඳහා යොදාගත හොත් දියුණුවීමට අවශ්‍ය කරන සියලූ දේ නොඅඩුව තිබියදීත් අප රට අසාර්ථක හෝ අසමත් රටක් බවට පත්ව තිබෙන්නේ රාජ්‍යය හා ඊට අයත් ආයතන ක‍්‍රමයේ අසාර්ථකභාවය නිසා ලෙස සැලකිය හැකිය. රාජ්‍යය මනා නිමාවකින් තොරය. ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයද අවිධිමත් හා මනා නිමාවකින් තොරය. ඒ තත්ත්වය රාජ්‍යය සේ ම ඒ යටතේ තිබෙන සමස්ත ආයතන ක‍්‍රමයද අකාර්යක්ෂම, දූෂිත තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ.

ආයතන ක‍්‍රමයේ යථාර්ථය

මම වෙනත් සමහර ලිපිවලින් අධිකරණය, පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා රජයේ බදු එකතු කරන ආයතන ඇදවැටී තිබෙන අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වය ගැන කතා කර ඇත්තෙමි. ඒ නිසා ඒවායින් මගහැර තෝරාගත් වෙනත් අංශ කිහිපයක පාලනයට හා මහජනයාට අදාළ වෙනත් අංශවල පවත්නා අවලස්සන තත්ත්වය කෙටියෙන් පෙන්වාදීමට කැමැත්තෙමි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසු නැවත යන්නට බලාපොරොත්තුවන්නේ පාර්ලි මේන්තුව මුල් කරගත් පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකටය. රාජ්‍ය බලය වඩා හොඳින් පවත්වාගෙන යා හැකි පාර්ලිමේන්තුවක් මේ වනවිට අපට තිබේද? මාගේ මතය නැත යන්නයි. පාර්ලිමේන්තුව ඉතාමත් අකාර්යක්ෂමය. පාර්ලිමේන්තු කමිටු ක‍්‍රමය ඕනෑම පාර්ලිමේන්තුවක එන්ජිම ලෙස ක‍්‍රියාකරයි. එහෙත් අපේ රටේ දැන් පාර්ලිමේන්තුවේ කමිටු ක‍්‍රමය තිබෙන්නේ ඉතාමත් අකාර්යක්ෂම තත්ත්වයකය. කමිටු රැුස්වීමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව නොපැමිණීම නිසා මොනම විෂයක් සඳහා වුවද ඇති කර තිබෙන කමිටුවක් රැුස්වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැවත පදිංචි කිරීමේ ප‍්‍රශ්නය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දැවෙන ප‍්‍රශ්නයක් වී තිබියදීත් අවසන් වතාවට එම කමිටුව රැුස්වී ඇත්තේ මාස නමයකට පෙරය. කිසියම් ප‍්‍රමාණයක කාර්යක්ෂම තත්ත්වයක තිබෙන්නේ ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක‍්‍රියාත්මක වන කෝප් කමිටුව පමණය. උපදේශන කමිටු ක‍්‍රමය තිබෙන්නේ ඉතාමත් අකාර්යක්ෂම තත්ත්වයකය. ස්ථාවර නියෝග සඳහා වන කමිටුව වසර හතරක් තිස්සේම රැුස්වී නැත. කෝප් කමිටුව හැර වෙන මොනව කමිටුවක්වත් ඵලදායක කාර්යභාරයක් කරන බවක් පෙනෙන්නට නැත. අද පාර්ලිමේන්තුව ගම්භිර බාහිර පෙනුමකින් යුතු හිස් කුහරයක් ලෙස සැලකිය හැකිය.

ආයතන ක‍්‍රමයේ ඇති අසමත්භාවය සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් වනුයේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි. බිලිඳකු මවකගේ බඬේ පිළිසිඳගත් වහාම ඒ මවට හා පියාට උපදින්නට යන දරුවා ඇතුළත් කළයුතු පාසල ගැන සිතන්නට සිදුවේ. සුදුසු පාසලක් ලබාගැනීම සඳහා ඒ මොහොතේ සිට ඊට අවශ්‍ය කරන ව්‍යාජ ලේඛන සකස් කරන්නට සිදුවේ. බිලිිඳා ඉපදීමෙන් පසු පාසලට ඇතුළත් කළයුතු වයසේදී ලොකු පගාවක් දී පාසලක් ලබාගත්තද ඉන්පසු පාසලෙන් තරග විභාගවලින් සමත්වීමට තරම් අධ්‍යාපනයක් නොලැබීම හේතු කොටගෙන දරුවාගේ ටියුෂන් අධ්‍යාපනය සඳහාද විශාල වියදමක් දරන්නට දෙමාපියන්ට සිදුවේ. එසේ ලබාගන්නා අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසුව රජයේ රක්ෂා ලබා දෙන්නේද සුදුසුකම්වලට නොවන නිසා දේශපාලකයන් පසුපස යන්නට සිදුවේ. බොහෝවිට රජයේ රක්ෂා සඳහා මුදල් අය කොට තරග විභාග පවත්වනු ලැබූවත් පුද්ගලයන් තෝරා ගැනෙන්නේ පස්සා දොරෙනි.

සම සෞඛ්‍ය උපාධිය සඳහා අනුගමනය කර තිබෙන පිළිවෙත රටේ උසස් අධ්‍යාපනය ක‍්‍රියාත්මක වන විකාරරූපී ස්වරූපය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව මුලදී විශේෂඥයන් විසින් සකස් කරන ලද්දේ සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් වශයෙනි. ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එල්ල වූ විරෝධය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේද අනුමැතිය ඇතිව කිසිදු තාර්කික පදනමකින් තොරව එම පාඨමාලාව තුන් අවුරුදු උපාධි පාඨමාලාවක් බවට පත් කළේය. දැන් සම සෞඛ්‍ය උපාධි හදාරන සිසුන් ඉන්නේ විශ්වවිද්‍යාලවල දේශන ශාලාවල නොව මහපාරේය.
ළමා විවාහයන්ට හා ළමා අපයෝජන වැරදිවලට අදාළව නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය ඊට අදාළව තිබෙන ආයතන ක‍්‍රමයේ අමනෝඥ  

හා දුෂ්ට ස්වභාවය පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය. ළමාවිය ඉක්මවූ තරුණයෙකු ළමාවිය නොඉක්මවූ තරුණියක හා එකට දීග කන අවස්ථාවලදී සැමියා රිමාන්ඞ් කොට ළමාවියේ බිරිඳ පරිවාස භාරයට පත්කෙරෙයි. නඩුව අවසන් වනුයේ ඔවුන් දෙදෙනාගේම ජීවිත කාලකණ්ණි කෙරෙන ආකාරයටය. විය යුතුව තිබෙන්නේ සැමියා රිමාන්ඞ් කොට ළමා වයසේ සිටින බිරිඳ පරිවාස භාරයට ගැනීම නොව බිරිඳක බවට පත්ව සිටින තැනැත්තිය ළමා වයසේ සිටින කෙනකු ලෙස සලකා ඇයට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙමින් ඒ සඳහා වන ආයතනයක පරීක්ෂාව යටතේ ඒ දෙදෙනාට එක්ව ජීවත්වන්නට ඉඩ හැරීමය. ඒ වෙනුවට දැන් සිදුවන්නේ ඒ දෙදෙනාගේම ජීවිත කාලකණ්ණිභාවයට පත්කිරීමය. රටේ ළමා අපයෝජන නීති ක‍්‍රියාත්මකවන්නේද වරද කරන ලද පුද්ගලයාට දඬුවම් කරන අතර වරදට ලක්වූ ළමයාගේ ජීවිතයද කාලකණ්ණිභාවයට පත් කෙරෙන ආකාරයටය.

මෙම අවලස්සන තත්ත්වය එක ආයතනයක හෝ ආයතන කිහිපයක තිබෙන තත්ත්වයක් නොව රටේ සමස්ත ආයතන ක‍්‍රමය තුළ පවත්නා පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. සමස්ත ආයතන ක‍්‍රමයම ක‍්‍රියාත්මක වන්නේ මහජනයාගේ සාරය උරාබොමින් මහජනයා පීඩාවට පත්කෙරෙන ආකාරයටය. මෙම අවලස්සන හා දූෂිත ආයතන ක‍්‍රමය වෙනස් නොකොට එලෙස තබාගනිමින් රටට යාහැකි ඉදිරි ගමන කුමක්ද?

අප සිහින දකින්නේ රටේ ඉදිරි ගමන කෙරෙහි ඵලදායී හා අර්ථවත් ආකාරයකින් බලපාන නව ව්‍යවස්ථාවක් ගැන නම් සමස්ත රාජ්‍යයේ හා ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයේ ගැඹුරු හා මූලික වෙනස්කම් ඇති කරන ව්‍යවස්ථාවක් සඳහා හා ඒ සඳහා වන ව්‍යවස්ථා සම්පාදනයක් ගැන සිහින දැකිය යුතුය. අප අපේක්ෂා කරන්නේ ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ඉක්මන් සරල සංශෝධනයක් පමණක් නම් එවැනි වෙනසක් ප‍්‍රයෝජනවත් වනු ඇත්තේ සරල ආණ්ඩු වෙනසක් සඳහා පමණය. එවැනි සරල වෙනසක් රටේ පවතින දූෂිත හා පීඩාකාරී දේශපාලන ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්නේ නැත. රටට අවශ්‍ය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමට පමණක් නම් ඒ සඳහා නව ව්‍යවස්ථාවක් මුවාවක් බවට පත්කරගත යුතු නැත. ව්‍යවස්ථා සම්පාදනයකින් සිදුවන්නේ සරල නීති සම්පාදනයක් නොව රටේ මූලික නීතිය සම්පාදනයකි. ව්‍යවස්ථාවක් ඇතිකර ගනුයේ වර්තමානය සඳහා පමණක් නොව අනාගතයද සඳහාය. වර්තමානයට පමණක් වැදගත් අනාගතයට නොවැදගත් දේශපාලන ප‍්‍රශ්නයක් පදනම් කොටගෙන ව්‍යවස්ථාවක් හදන තැනකට ගියහොත් අප දැන හෝ නොදැන සෙල්ලම් කරන්නට යන්නේ අනාගත පරපුරේ ජීවිත සමගය. රටට අවශ්‍ය වී ඇත්තේ දේශපාලන ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කරන ව්‍යවස්ථා සම්පාදනයක් නම් හා ඊට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාධාවක් ලෙස ක‍්‍රියා කරයි නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම ව්‍යවස්ථා සම්පාදන අරමුණ සමග බද්ධ කරගත්තාට වරදක් නැත. එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව පිටහමක් බවට පත්කර ගැනීම වැරදිය.

ව්‍යවස්ථා සම්පාදනය

අප ව්‍යවස්ථා සම්පාදනයක් සැලසුම් කරන්නේ නම් එම ව්‍යවස්ථා සම්පාදනය මහජනයාට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට ඉඩ ලබාදෙන ව්‍යවස්ථා සම්පාදනයක් විය යුතුය. වර්තමානයේ මහජන සහභාගිත්වයෙන් තොරව කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයක් නියම ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස සැලකෙන්නේ නැත. දැන් එය ජාත්‍යන්තර නීතියටද එකතු වී තිබෙන මූලධර්මයක් ලෙස සැලකිය හැකිය. මහජනයාට බර තබන ලද ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා තෝරාගත හැකි හොඳම ආදර්ශය වනුයේ දකුණු අප‍්‍රිකාවය. එහි පසුබිම් කතාව මීට පෙර සලකා බලන ලදි. දකුණු අප‍්‍රිකාව ඔවුන්ගේ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ නව ව්‍යවස්ථාවක් තනන ක‍්‍රියාවලියකට පමණක් සීමා නොකොට එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්ද තනන ව්‍යාපෘතියක් බවට පත්කර ගත්තේය. ඒ දේ අපටද කළ හැකිය. ඒ මගින් නිදහස ලබාගැනීමේදී සම්පූර්ණ කිරීමට අසමත් වූ ප‍්‍රධාන කාර්යයන් දෙකක් සම්පූර්ණ කරගැනීමේ හැකියාව අපට ලැබෙන්නේය. දකුණු අප‍්‍රිකාව ඒ සඳහා ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය තුළ ජනතාවට අධ්‍යාපනය ලබාදෙන දැවැන්ත අධ්‍යාපන වැඩසටහනක් ක‍්‍රියාත්මක කළේය. ඒ දේ අපටද කළ හැකිය. අපට එක්සත් ජාතියක් සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇති කරගත හැකිවනු ඇත්තේ ඒ සඳහා දියත් කෙරෙන දැවැන්ත මතවාදී ව්‍යාපාරයකින් පමණි. බහුත්වවාදී හා ලෝකායතවාදී ආකල්පවලින් පෝෂණය වූ නවීන සමාජයක් ඇතිකර ගැනීමට අප සමත්වනු ඇත්තේ එවිටය.

ව්‍යවස්ථා සම්පාදනය පිළිගත් සම්ප‍්‍රදායයන්ට අනුකූලව විධිමත් ලෙස කරන්නක් විය යුතුය. සම්පාදනය කරන්නට යන්නේ කවර ආකාරයක ව්‍යවස්ථාවක්ද යන්න පැහැදිලි දළ දර්ශනයක් තිබිය යුතු අතර පළමුව මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් එම මූලධර්මවලට අනුකූලව ව්‍යවස්ථාව සම්පාදනය කළ හැකිය. ව්‍යවස්ථා සම්පාදනයට කාලරාමුවක් තිබිය යුතු අතර එය අනවශ්‍ය තරම් කෙටි හෝ දීර්ඝ කාල රාමුවක් නොවිය යුතුය.

ව්‍යවස්ථා සම්පාදනයේ පටිපාටිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුවා සේ ම සමස්ත ක‍්‍රියාවලිය පාරදෘශ්‍ය විය යුතුය. ව්‍යවස්ථා සම්පාදනය මහජනයා ඍජු ලෙස තෝරාපත් කර ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සේ ම ඒ සඳහා තෝරා පත්කර ගන්නා කොමිෂන් සභාවකින් ආරම්භ කොට කොමිෂන් සභාව සකස් කරන කෙටුම්පත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මගින් අවසාන වශයෙන් පරිපූර්ණ කෙරෙන ආකාරයටද සිදුකළ හැකිය.

සම්පාදනය කෙරෙන මුල් කෙටුම්පත දෙවැනි කෙටුම්පත හා අවසාන කෙටුම්පතටද මහජනතාවගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය. කෙටුම්පත් සම්පාදනය අවසන් කිරීමෙන් පසු ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූලභාවය හා එය ප‍්‍රසිද්ධ කළ ව්‍යවස්ථා මූලධර්මවලට අනුකූලව සකස් කර තිබේද යන්න ඒ වෙනුවෙන් ඇතිකර ගන්නා විශේෂ අධිකරණයක් මගින් සලකා බැලිය යුතුය. එසේ ඇතිකර ගන්නා අලූත් ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායකයේ සම්මත කරගැනීමෙන් පසු ජනතාවගේ අනුමැතිය සඳහා ජනමතවිචාරණයකටද ඉදිරිපත් කළ යුතුය. 

(විවේචනයන්ට, විචාරයන්ට හෝ සංවාදයන්ට විවෘතය)