ඩෙංගුවලින් ආණ්ඩුව යැපෙනවා ද?

 

වර්ෂාව ඇද හැළීමත් සමග ඩෙංගු උණ පැතිර යෑමේ අවදානම නැවතත් ඉහළට නැඟ තිබේ. ශීඝ‍්‍ර ලෙස, පවතින පරිසර තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙන ඩෙංගු රෝග වාහක මදුරුවා ද අලූත් වටයකින් සිය ගහනය වර්ධනය කර ගනියි. රෝගීන් පිළිබඳ සංඛ්‍යා ද වේගයෙන් ඉහළ යයි.

මේ දිනවල ඩෙංගු රෝගයේ මාරාන්තික බව ගැන රජයේ අනුග‍්‍රහයෙන් මෙන්ම විවිධ මාධ්‍යවල අනුග‍්‍රහයෙන් ද දැනුවත් කිරීමේ ව්‍යාපෘති පවත්වාගෙන යනු ලැබේ. එහෙත් අවාසනාව නම්, මෙවැනි ව්‍යාපෘතිවලට අවධානය යොමු කෙරෙන්නේ රෝගය වසංගත තත්ත්වයක් බවට වර්ධනය වූ පසු ව පමණක් වීම ය. ඒ කාලය තුළ පැය විසි හතරේ ම ඩෙංගු ගැන මතුරද්දී, විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙයි. සෞඛ්‍ය පරීක්‍ෂකවරු, පළාත් පාලන ආයතන නිලධාරීහු, ස්වේච්ඡුා සේවකයෝ ආදී මෙකී නොකී බොහෝ දෙනෙක් ඩෙංගු මර්දන මෙහෙයුම් අරඹති. සමහර අවස්ථාවලදී ඇතැමුන් නිවෙස්වලට, ආයතනවලට කඩා වදින්නේ ත‍්‍රස්ත ප‍්‍රහාරක බල ඇණි මෙනි. ජලය රැුඳී ඇති සෑම තැනක්ම, ඒ ගැන කිසිදු පසුබිම් කරුණක් නිවැසියන්ගෙන් නොවිමසා ම ‘ඩෙංගු මදුරුවන් ඇතිකරන’ තැන් ලෙස අපරාධකරණය කොට නීතිය ඉදිරියට පමුණුවනු ලැබේ. අඩු ම ගණනේ එතැන්වල ඉන්නේ ඩෙංගු මදුරුවන් ද යන්න වත් පරීක්‍ෂා නොකෙරේ. කිසිවකු සිතාමතා ඩෙංගු මදුරුවන් ඇති නොකරන නමුත් අධිකරණයේ දී විශාල දඩමුදල්වලට යටත් වීමට සමහරුනට සිදුවූ අවස්ථා ඉතා වැඩි ය. දඩයක් නියම කිරීම වැනි අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යන විට, ඩෙංගු මදුරුවන් අදාළ ස්ථානයේ සිටී ද යන්න නිසැක ව දැන ගැනීම අත්‍යවශ්‍ය නෛතික කාරණයක් වන නමුත්, පවතින තත්ත්වයන් යටතේ එවැනි නිශ්චිත භාවයක් කිසිසේත් පවත්වා ගන්නේ නැත. එනිසා සිදු වන්නේ හුදෙක් ජලය රැුඳී තිබීම නිසා හෝ වෙනත් මදුරු විශේෂයක කීට අවස්ථා එවැනි තැනක දක්නට ලැබීම නිසා හෝ ඩෙංගු මර්දනයේ නාමයෙන් දඩ කෑමට මිනිසුනට සිදු වීම ය. එවැනි අවස්ථාවක විශාල අසාධාරණ දඩ මුදලක් වුව ද සැලකෙන්නේ සමාජයේ යහපතට කෙරෙන දෙයක් හැටියට ය. එනිසා විරුද්ධ වන්නට කෙනෙක් ද නැත. ආණ්ඩුව එදා එදා වියදම් සොයාගන්නේ ඩෙංගු දඩ මුදලින්ය යන අදහසක් ඇතිවන තරමට සමහර අවස්ථාවල මේ ක‍්‍රියාවලිය අවිධිමත් ය.

එහෙත්, වැසි සමය අවසන් වීමෙන් ස්වාභාවිකව සිදුවන රෝග අවදානම අඩු වීමත් සමගම විවිධාකාර ඩෙංගු ව්‍යාපෘති ද ඒ මොහොතට අවසන් වෙයි. ඊළඟ වැසි සමය එළැඹෙන තුරු ය.

වැසි සමයන් දෙකක් අතරතුර කාලයේ කල් පවත්නා ඩෙංගු රෝග නිවාරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක නොවන බව නම් හොඳින් පෙනෙයි. අඩුගණනේ ඩෙංගු මදුරුවන් ඇතිකළායැ’යි නියම කරන දඩමුදල් වත් වෙන ම අරමුදලකට එකතු කොට සැලසුමක් ඇති කර ගත්තේ නම්, විශාල විය හැකි එම අරමුදල යොදවා, මිනිසුන් අපරාධකරුවන් පිරිසක් නොව ඩෙංගු මැ`ඞීමට ඇත්ත වශයෙන් ම සහාය වන පිරිසක් බවට පත් කරන අන්දමේ ඩෙංගු නිවාරණ වැඩ සටහනක් පවත්වා ගැනීම අපහසු නොවනු ඇත. අවශ්‍ය උපකරණ හා මිනිස් සම්පත් යොදවා, ඩෙංගු මදුරුවන් ගහනය බෝවීම නැති කිරීමටත්, ගැවසෙන තැන් වෙනස් කිරීමටත්, ඒ කටයුතු අධීක්‍ෂණය කිරීමටත් වැය විය හැකි විශාල මුදලක් වුව ද එම දඩමුදලෙන් උපයාගත හැකි බව බැලූ බැල්මට ම පෙනේ. එහෙත්, ආණ්ඩුව කරන්නේ අසාධාරණ ලෙස නියම කරන දඩය ද සිය එදා වේල වියදම් සඳහා යොදා ගැනීම යි.

ඩෙංගු නිවාරණ ව්‍යාපෘතිවල තිබෙන අනෙක් කැපී පෙනන ලක්‍ෂණය නම් ආණ්ඩුවේ අසමත්කම යි. ඩෙංගු නිවාරණය ගැන සෞඛ්‍ය ඇමැතිවරයාගේ පුරාජේරු කතා රට හොඳින් අසා තිබේ. කියුබාවේ සිට විලෝපික බැක්ටීරියාවන් ගෙන්වීම, ලංකාවේදී එම බැක්ටීරියාවන් බෝකිරීම වැනි සිත්ගන්නාසුලූ ප‍්‍රතිකර්මවල සිට විවිධ පුරාජේරු කතා ඇසෙන මුත්, අද වනතුරු ද, රජයේ මුදල් යොදවා කරන ගොඩනැගීම් ව්‍යාපෘති, මාර්ග ව්‍යාපෘති ආශ‍්‍රිතව තිබෙන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන වෙනස් කිරීමට වත් සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මුලින් දඩ ගැසිය යුත්තේ ආණ්ඩුවටත් එහි ව්‍යාපෘති කොන්ත‍්‍රාත්කරුවන්ටත් ය. එහෙත් සිදු වන්නේ මල් ගසක රැුඳී තිබෙන ජලය සුඟක් වෙනුවෙන් උසාවියට නංවා දහස් ගණනක දඩයකට සාමාන්‍ය මිනිසුන් යටත් කිරීම ය.