හමුදා පාලනය උතුරෙන් දකුණට

සිවිල් නීතියේ පාලනයට රට යටත් කළයුතු බවට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ප‍්‍රමුඛ විද්වත් හා සිවිල් සංවිධාන හඬ නගන්නට පටන් ගෙන ඇත. උතුරේ යුද්ධය අවසන් වී වසර පහක කාලයක් ගතවීත් සිවිල් නීතියේ පාලනයට රට යටත් කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩු පාලනය අසමත්වීම ඊට හේතුවය.

රටේ උතුරු ප‍්‍රදේශය තවමත් ඇත්තේ නිල හමුදා පාලනයක් යටතේය. එයට නිල නොවන හමුදා පාලනයක් යන්න යෙදීම සාවද්‍යය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද ජයග‍්‍රහණයේ පස්වැන්න රටේ දකුණු ප‍්‍රදේශයේදී සමරද්දී, යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යුද්ධයේදී මියගිය හෝ අතුරුදන්වූ සිය සහෝදර ජනතාව සමරතැ’යි බියෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැයි 14 වැනිදා සිට 20 වැනිදා දක්වා විශ්වවිද්‍යාලය වසා දමනු ලැබූයේ ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සඳහාය.

හමුදා ආරක්ෂක අංශ පාලනයකට හෝ පොලිස් පාලනයකට හෝ කිසිසේත්ම යටත් කළයුතු නැති නිදහස් පරිසරයක් විය යුතු යාපනය විශ්වවිද්‍යාලය තුළද නිල ඇඳුමෙන් සැරසුණු හමුදා සාමාජිකයන් ගැවසීම මෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම ඊට හේතුවය. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ද පිළිගෙන තිබුණේ පළාතේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීම හා රාජකාරිය වන නිසා බුද්ධි අංශ නිලධාරීන් විශ්වවිද්‍යාලය ඇතුළු ස්ථානවලට යොදවා ඇති බවය.

අප දන්නා පරිදි උතුර තුළදී සිවිල් හෝ රාජ්‍ය නොවන කිසිදු ක‍්‍රියාකාරකමක් නිදහසේ හා බියෙන් සැකයෙන් තොරව සිදුකළ නොහැකිය. සෑම රැුස්වීමකටම, සාකච්ඡුාවකටම, වැඩමුළුවකටම නිල ඇඳුමෙන් හා සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා සාමාජිකයන් අනාරාධිතවම පැමිණීම සාමාන්‍යකරණය බවට පත්වී ඇත.

එම තත්ත්වය රටේ අනෙකුත් ප‍්‍රදේශවලටත් ක‍්‍රමයෙන් සංක‍්‍රමණය වන අයුරක් පසුගිය කාලය පුරාවටම දැකගන්නට ලැබුණු අතර සිවිල් නීතිය අබිබවා හමුදා නීතිය ක‍්‍රියාත්මක වන අයුරක්ද දැකගන්නට ලැබුණි.

ඒ සඳහා වූ එක් ප‍්‍රබල උදාහරණයක් පසුගිය සතියේදී පොළොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේදී අත්දකින්නට හැකිවිය. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබූ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව ආරක්ෂක අමාත්‍යාංශය හා එක්ව යුද හමුදා බුද්ධි අංශය විසින් නැවැත්වීම එම සිදුවීමය.

වැඩමුළුව මැයි 22 බ‍්‍රහස්පතින්දා සවස ආරම්භ වී තිබුණු අතර ඒ සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ ජනමාධ්‍ය ආයතනවල කර්තෘ මණ්ඩලයන්හි සේවය කරන දමිළ මාධ්‍යයෙන් ජනමාධ්‍යකරණයේ යෙදෙන දෙමළ හා මුස්ලිම් ජනමාධ්‍යවේදීන් සහභාගි වී ඇත. පළමු දින සවස වැඩමුළුවේ කටයුතුවලින් පසුව වැඩමුළුව පැවැත්වූ ගිරිතලේ ‘ඩියර් පාක්’ හෝටලයේ කළමනාකාරීත්වය වැඩමුළුවේ එහි සිටි සංවිධායකයන්ට දන්වා ඇත්තේ වැඩමුළුව නැවැත්වීම සඳහා හමුදා බුද්ධි අංශයෙන් නියෝග ලැබී ඇති බව හා වැඩමුළුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා හමුදා බුද්ධි අංශ අවසරය ලබාගන්නා ලෙසත්ය.

එමෙන්ම එදින රාත‍්‍රියේම එම වැඩමුළුව භාරව කටයුතු කරන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශාන් විජේතුංග මහතාගේ ජංගම දුරකතනයට 0721836056 දරන දුරකතන අංකයෙන් ඇමතුමක් ලබාගත් පුද්ගලයකු තර්ජනාත්මකව අවධාරණය කර ඇත්තේ වැඩමුළුව නැවැත්විය යුතු බව හා එම වැඩමුළුව අඛණ්ඩව පැවැත්වුවහොත් ඊට විපාක විඳීමට සූදානමින් සිටින ලෙසය.

තවද එදින රාත‍්‍රියේම හෝටලයට පැමිණ ඇති එම හෝටලයේ හිමිකරු වන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද සංවිධායකයන්ට ප‍්‍රකාශ කර ඇත්තේ වැඩමුළුව පැවැත්වීම පිළිබඳව ඔහුගේ විරුද්ධත්වයක් නැති බව හා දැනුම්දී ඇති පරිදි හමුදා බුද්ධි අංශයේ අවසරය සහිතව වැඩමුළුව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසය.

ඒ අනුව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ගිරිතලේ සිටි නියෝජිතයන් මෙන්ම, කොළඹ කාර්යාලයේ සිටි ප‍්‍රධානීන්ද එදින රාත‍්‍රියේ හා පසුවදා යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජෙනරාල් ලාල් පෙරේරා දුරකතනයට සම්බන්ධ කරගෙන මෙම හමුදා නියෝගය පිළිබඳව විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ වැඩමුළුවට එරෙහිව ගම්වැසියන්ගෙන් ලැබුණු පැමිණිලි මත වැඩමුළුව නැවැත්වීමට නියෝගය හෝටලයට ලබා දුන් බවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ සඳහා උපදෙස් ලැබුණු බවත්ය.
එසේම මේ පිළිබඳව යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීරට දැනුම්දීමේදී ද ඔහුගේ පිළිතුර වී ඇත්තේද ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණු උපදෙස් අනුව එම කටයුතු සිදුවී ඇති බවයි.

අවසානයේ හෝටල් කළමනාකාරීත්වය වැඩමුළුව පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔවුන්ට අවසර නැති බැවින් ඊට ඉඩදිය නොහැකි බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඊට පෙර හෝටල් කළමනාකාරීත්වය වැඩමුළුව භාරව සිටි නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ අවට විහාරස්ථානවල හිමිවරුන්ද හෝටලයේ හිමිකරු වන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට කතා කොට වැඩමුළුව සඳහා ඉඩ දුනහොත් හෝටලය වටලන බවට දැනුම් දී ඇති බවය.

වැඩමුළුව පැවැත්වූ දින පෙරවරුවේ සිටම සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු වැඩමුළුව සඳහා පැමිණ සිටි සහභාගිකයන් හා සංවිධායකයන්ගේ කතාබහ පිළිබඳව නිරීක්ෂණය කරමින් එම තොරතුරු ජංගම දුරකතන ඔස්සේ හුවමාරු කරගනිමින් සිට ඇති අතර එම පුද්ගලයන් පිළිබඳව විමසීමේදී හෝටලයේ සේවකයන් ප‍්‍රකාශ කර ඇත්තේද ඔවුන් හමුදා සාමාජිකයන් බවය. තවද හෝටලයේ නවාතැන් ගෙන සිටින සියලූ අමුත්තන්ගේ තොරතුරුද, එම අමුත්තන් විසින් සිදුකරන කටයුතුද සෑම දිනකම හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට ලබාදිය යුතු බව එම සේවකයන් පවසා ඇත.

මේ සිදුවීමෙන් පෙනෙන්නේ කුමක්ද? රටේ උතුරේ පමණක් නොව අනෙකුත් ප‍්‍රදේශවලද සිවිල් නීතියේ පාලනය අබිබවා හමුදා නීතිය හා පාලනය ක‍්‍රියාත්මක වන බවය. රටේ සිවිල් නීතිය හා එහි පාලනය තිබුණේ නම් හමුදා බුද්ධි අංශයට හෝටල් කළමනාකාරීත්වයට කතා කොට මෙම වැඩමුළුව නැවැත්වීමට හැකියාව ලැබෙන්නේ නැත. වැඩමුළුව ගැන හමුදා බුද්ධි අංශයට ගැටලූවක් තිබේ නම් ඔවුන් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දිය යුතුය. පොලිසිය එම කරුණු අධිකරණයට වාර්තා කළ යුතුය. වැඩමුළුව නැවැත්විය හැක්කේ අධිකරණයක් ලබාදෙන නියෝගයක් අනුව පමණය. එමෙන්ම රටේ සිවිල් නීතිය පිළිබඳව යම් හෝ දැනුමක් බලාපොරොත්තුවක් ඇති හෝටල් කළමනාකාරීත්වයක් නම් හමුදා බුද්ධි අංශවලට දැනුම්දිය යුත්තේ ඔවුන්ගේ නියෝග ලිඛිතව ලබාදෙන ලෙසය. එසේ ලිඛිතව නියෝගයක් ලබා දුන්නත් එවැනි නියෝග ලබාදීම සඳහා හමුදාවට ඇති අයිතිය කුමක්දැ’යි ප‍්‍රශ්න කළ යුතුය.

මේ කිසිවක්ම නොවන්නේ කුමක් නිසාද? පැහැදිලිවම රටේ සිවිල් නීතියේ පාලනය උතුරේ පමණක් නොව රටේ අනෙකුත් ප‍්‍රදේශවලද ගිලිහීයමින් පවතින නිසාය. හමුදාවේ නීතිය හා පාලනය එම ඉඩ ලබාගනිමින්ද පවතින නිසාය. එමෙන්ම එම හමුදාවේ නීතියට හා පාලනයට අභියෝග කරන්නන්ට ඒ සඳහා විපාක විඳින්නට සිදුවන නිසාය.
මේ විපාක විඳින්නට සිදුවීම පිළිබඳව ඉඟියක් සපයා ඇත්තේ ඉහත සිදුවීමට අදාළ හෝටලයේ සේවකයෙකුය. ඔහු වැඩමුළුව සඳහා පැමිණ සිටි සම්පත් දායකයන්ගෙන් සුවදුක් විමසමින් පසුවදා විමසා ඇත්තේ කරදරයක් නැතිව කොළඹ ගියාද යන්නය. හෝටල් සේවකයන් හෝටලයට අදාළව සිදුවන හමුදා ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳව බොහෝ දේවල් දන්නවා විය හැකිය. එම සුවදුක් විමසීමේ ඉඟිය එම දන්නා දේවල් ගැන විය හැකිය.