රාවය

ව්‍යවස්ථා සම්පාදන කතිකාවට තවත් මානයක්

ව්‍යවස්ථා සම්පාදන කතිකාවට තවත් මානයක්

 

දීර්ඝ ලිපිපෙළක් ලියමින් වික්ටර් අයිවන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන පමණක් නොව, ඒවා බිහි වූ ආකාරයත් ඒවායේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා යහපාලනය පිළිබඳ සංකල්පයන් අඩංගු වූ ඉතිහාසයේ විකාශනයත් විස්තර ඇතිව සටහන් තබා තිබිණ. වික්ටර්ගේ මේ උත්සාහය බලය ලබා දුනහොත් තෙමසකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පොරොන්දුවලට උත්තර සැපයීමකි. ඔහු දකුණු අපි‍්‍රකානු අත්දැකීම පිළිබඳව විශේෂයෙන් ලියන්නට හේතු වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පුළුල් සමාජ අත්දැකීමක් සමගින් විය යුතුයැ’යි අවධාරණය කිරීමට විය යුතු ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී සමාජ සහභාගිත්වය අත්‍යවශ්‍ය වන්නේ එය සමාජයේ සියලූ පාර්ශ්වයන්ගේ හවුලක් ලෙස ලියා අවසන් කිරීමට පමණක් නොව, අවසන් කෙටුම්පත සඳහා සියල්ලන්ගේ හිමිකාරිත්වය ද තහවුරු කර ගැනීමට ය. වික්ටර් මේ පුළුල් සමාජ කි‍්‍රයාදාමය අවධාරණය කරනුයේ, මේ රටේ නව ජාතික රාජ්‍යයක් ගොඩනැගීමේ දී ලබා ගත යුතු වාර්ගික හා ආගමික සම්මුතිය, මෙතෙක් අවුරුදු 66ක කාලයක් පුරා අප අතරමං කර දමා ඇති බැවිනැ’යි මම අනුමාන කරමි. එය එසේ පිළිගනිමින්, මේ ලියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී සමාජ සහභාගිත්වයෙන් ඔබ්බට යන තවත් මානයක් පිළිබඳව අවධානය යොමුකිරීමට ය.

සම්මතයන් සම්ප‍්‍රදායයන් සමගින් බි‍්‍රතාන්‍යයේ නොලියැවුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තහවුරු වන්නේ පෞද්ගලික ප‍්‍රාග්ධන අයිතිය මත එරට වෙළෙඳපළ ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් ආණ්ඩු පාලනය හැඩගස්සවා ගැනීමට ය. යුරෝපීය හා උතුරු ඇමෙරිකානු බලවත් රටවල් සියල්ලෙහිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සැකසෙන්නේ ඔවුන්ගේ ආර්ථික කි‍්‍රයාවලිය නඩත්තු කළ හැකි ආණ්ඩු පාලන වෙනුවෙනි. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආර්ථික බලය සමග ඔවුන්ගේ ජාතික ආර්ථික පවත්වා ගනු ලැබූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් සහිත සමාජයන්හි පුරවැසියන්ගේ සහභාගිත්වය සමගින් ය. ඒවා නිකම්ම එලෙස වැඩුණේ ද නැත. ඒ ද ලේ වැකි ඉතිහාසයකි. කෙසේ හෝ අවසානයේ දී ධනය හා වත්කම් සඳහා පෞද්ගලික අයිතිය ගොනුකෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නොමැතිව ඔවුන්ට අවශ්‍ය ආර්ථික වර්ධනය ලබා ගත නොහැකි විය. එනිසා පුද්ගලයාගේ අයිතිය අද අප කතා කරන මානව හිමිකම් දක්වා දියුණු වී ඇත.

අපේ රටේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය ආර්ථික ආකෘති සමග බද්ධවූවකි. සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අපේ නිර්මාණයක් නොවුණත් එය පෞද්ගලික අයිතිය සමගින් රටේ ආර්ථිකය ගෙනයෑමට අවශ්‍ය ලෙස බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ගුරු කොට සැදුණකි. එය 1970 බලයට පැමිණි වාමාංශික බලය හා සම්මුති ගැසූ සභාග ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට එතරම් නොගැළපුණකි. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1970 ආණ්ඩුවට හවුල් වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමග වූ සන්ධානය හැදෙන විට ද සභාග ආණ්ඩුවේ මුදල් ඇමතිධුරය සමසමාජ පක්ෂයේ ඇන්ඇම්ට සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමති ධුරය කොල්වින්ට ලැබෙන බවට ගිවිසගෙන තිබුණකි. එබැවින් සමසමාජ පක්ෂය සහ දාර්ශනිකව ඔවුන්ට බෙහෙවින් සමාන වූ කොමියුනිස්ට් පක්ෂය දුටු ආර්ථික කි‍්‍රයාවලිය වෙනුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වීම නියතයකි. 1972 ස්ථාපිත කෙරුණු පළමු ජනරජ ව්‍යවස්ථාව බිහිවන්නේ හුදෙක් බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස් හා ස්වාධීන වූ දේශපාලනයක් සමග ස්වෛරී ජනරජයක් සඳහා පමණක්ම නොවේ. එය බිහි වන්නේ වමේ නායකයන් රටේ සංවර්ධනය වෙනුවෙන් සැලසුම් කළ රාජ්‍යවාදී ආර්ථිකය සඳහා අවශ්‍ය වූ දේශපාලන අධිකාරය හදාගැනීම සඳහාත් ය.

ආණ්ඩුක‍්‍රම සම්පාදනයෙහි වික්ටර් අවධාරණය කරන සමාජ කි‍්‍රයාවලිය, ‘70 සභාග ආණ්ඩුව යම් පමණකින් පිළිගත්තකි. ඔවුන් එය පිහිටුවා ගත්තේ ජනවරමක් ලැබූ ආණ්ඩුවක් ජනතා නියෝජිතයන්ගේ හවුලකින් ව්‍යවස්ථා සම්පාදනය කිරීම යන ව්‍යක්ත අදහස මත ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියලූ දෙන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස රැුස්වූහ. මේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය දෙමළ මන්තී‍්‍රවරුන් ඉදිරිපත් කළ මූලික කරුණු සතරම ප‍්‍රතික්ෂේප කළේ ය. එනිසා දෙමළ මන්තී‍්‍රවරු ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලියෙන් ඉවත් වූහ. එහෙත් මේ රටේ ජාතික ගැටලූව වෙනුවෙන් කාලයක් තිස්සේ ඉතා ප‍්‍රගතිශීලි ස්ථාවරයක පිහිටා සිටි සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ඔවුන් අවශ්‍යයැ’යි තීන්දු කළ ඒකීය රාජ්‍යයක් සඳහා වන ව්‍යවස්ථාව සමග සම්මුති ගැසීමට කිසිම සූදානමක් නොපෙන්වූහ. දෙමළ ජනතාවගේ යෝජනා විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය අත තබා ගෙන සිටි සමසමාජ පක්ෂය අර්ථවත් කරගත් ආර්ථික සැලැස්මට අවශ්‍ය වූ ශක්තිමත් රාජ්‍යයට පටහැනි වූ යෝජනා ලෙස ඔවුහු අර්ථකථනය කළහ. ඒවා තරමක් දුරට බලය පරිධියට තුනී කෙරෙන යෝජනා වූයෙනි.

සමසමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් මේ රටේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය අර්ථගන්වා ගත්තේ රාජ්‍ය බලය කේන්ද්‍රගත කෙරුණු සැලසුම් මත ය. ඔවුන්ගේ ඒ පොදු ආර්ථිකය සෝවියට් පන්නයේ රාජ්‍යවාදී ආර්ථික ආකෘතියක් විය. ඒ සඳහා ශක්තිමත් මධ්‍යගත රාජ්‍යයක් අවශ්‍ය විය. ඒ මධ්‍යගත රාජ්‍යය ඔවුන්ගේ දේශපාලනයට අවනත රාජ්‍යයක් ද විය යුතුව තිබිණ. එනිසා බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ ආකෘතියකැ’යි සෙනේට් සභාව ලෙස නම් වූ දෙවන මන්ත‍්‍රණ සභාව අහෝසි කර ව්‍යවස්ථාදායක බලය තනි පාර්ලිමේන්තුවට නතු කරගත්හ. ස්වාධීන රාජ්‍ය හා අධිකරණ සේවා කොමිසම් කැබිනට් මණ්ඩලය යටතට ගැනිණ. වෙළෙඳපළ තීන්දු කෙරෙන්නේ රාජ්‍යගත ආර්ථිකයේ ශක්තියෙන් වන හෙයින් ජන ජීවිතය තීන්දු වූයේ අණ්ඩුවේ දේශපාලන දර්ශනයට අනුව ය. එනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගතය තීන්දු කෙරුණේ ඒ රාජ්‍ය කේන්ද්‍රීය දෘෂ්ඨියට ගැළපෙන ලෙසින් ය.
ජයවර්ධන ආණ්ඩුව බලයට එන්නේ ද 1977 මහ මැතිවරණයට කලින්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජේ.ආර්. ජයවර්ධන විසින් තීන්දු කර තිබූ විවෘත ආර්ථිකය වෙනුවෙන් හදාගත් විධායක ජනාධිපති සමගින් වන දෙවන ජනරජ ව්‍යවස්ථාවත් ඒ වෙනුවෙන් සමානුපාතික ඡුන්ද ක‍්‍රමයත් එකම වට්ටෝරුවකට ලියාගෙන ය. නිදහස් කෙරුණු ආනයන-අපනයන කි‍්‍රයාවලියත් ඒ සමග විවෘත කෙරුණු වෙළෙඳපළ කි‍්‍රයාකාරිත්වයත් වෙනුවෙන් ආණ්ඩු පාලනය සීමා කිරීමේ වගකීම ජයවර්ධන සහතික කර ගත්තේ, විධායක බලය තමන් අතට ගැනීමෙනි. සාමාන්‍ය ජනතා නියෝජනයක් වෙනුවට සල්ලි වියදම් කළ හැකි ව්‍යාපාරික බලය ඇති අයට පමණක් මැතිවරණ තරග සීමා කෙරෙන ලෙස මැතිවරණ ආසනය දිස්ති‍්‍රක්කයක් දක්වා විශාල කෙරුණි. එය නව ලිබරල්වාදී ආර්ථිකයට අවශ්‍ය ලෙස ව්‍යවස්ථාවත් ඊට අනුරූප මැතිවරණ ක‍්‍රමයකුත් එලෙස සහතික කෙරුණි.

අතිශය විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරන්නට නොහැකි කිසිවකුට අද ප‍්‍රධාන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා නොලැබෙන්නේ එබැවින් ය. නව ලිබරල් ආර්ථිකයක් සමග රටේ සමස්ත පැවැත්ම තීන්දු කිරීමට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විපක්ෂයෙන් ද පාර්ලිමේන්තුවට ගෙන්වාගත යුත්තේ ව්‍යාපාරික පැලැන්තිය හා ගනුදෙනු කළ හැකි සල්ලිකාර නියෝජිතයන් ය. මෙය මෙවර ඉන්දීය ලොක් සභා මැතිවරණයෙන් තේරී පත්ව ඇති මන්තී‍්‍රවරුන්ගේ වත්කම් හා බැරකම් ප‍්‍රකාශ බැලූ විට ඉතා කදිමට දැකිය හැකි ලක්ෂණයකි.

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ නම්, එය කවර ආකාරයේ ආර්ථික කි‍්‍රයාවලියක් වෙනුවෙන් සැකසිය යුතු ද යන්නත් ඒ වෙනුවෙන් අවශ්‍ය වන මැතිවරණ ක‍්‍රමය කුමන ආකාරයේ මැතිවරණ ක‍්‍රමයක් ද යන්නත් ඉතා වැදගත් කාරණාය. සංවර්ධනය වෙනුවෙන්යැ’යි පවතින ආර්ථික කි‍්‍රයාවලියෙහි දූෂණ වංචා ඉවත් කිරීමට කතාකිරීම පල රහිතය. ඒ සඳහා එහි කළමනාකාරිත්වය පමණක් කවමදාවත් ශුද්ධ කළ නොහැකිය. 

එනිසා වඩා පුළුල් නිදහසක්, ජනතා පරමාධිපත්‍යය වඩා හොඳින් තහවුරු වන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සමග මේ විවෘත ආර්ථික කි‍්‍රයාවලිය යා දෙන්නේ නැත. දකුණු අපි‍්‍රකාවේ දැකිය හැක්කේ මේ පරස්පරතාවයි. එය මැන්ඩෙලා සිරගතව සිටි රොබෙන් දූපතෙන් නිදහස් කර සාම කතා ආරම්භ කෙරෙන්නට පෙරාතුවම එක`ගත්වයට පැමිණි නව ලිබරල් ආර්ථිකය හා ගැටගැසුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විය. එය නිර්මාණය කිරීමේ ඉතාම පුළුල් ජන සහභාගිත්වයෙහි ආර්ථික කි‍්‍රයාවලියෙහි දේශපාලන බලය පිළිබඳව කතා වූයේ සුදු වර්ගවාදී ආණ්ඩුව සමග වන රාජ්‍යය එතැන් සිට කළු බහුතරයකගේ ආණ්ඩුවක් වෙත බාර දීම පමණය. පරම්පරා ගණනාවක් තමන්ගේ භූමියෙහි තමන්ගේ වත්කම් අහිමි කර ආර්ථිකයෙන්ද පිටුවහල් කර අන්ත දරිද්‍රතාවට පත් කෙරුණු කළු ජාතිකයන්ට අවශ්‍යව තිබූයේ වත්කම් හා ආර්ථික නිදහස ලබා ගැනීම ය. එනිසා පැවති ආර්ථිකය ගැන වෙනත් කතාවක් නොවුණි.

එලෙසින් ලබා ගත් නිදහස සමග ජනාධිපති මැන්ඩෙලා සමයේදීම ආර්ථිකය කළු ධනවතුන් පිරිසක් බිහි කළ ඉතා දූෂිත ආර්ථිකයක් බවට පත් විය. දේශපාලන බලය මත අතිශය දූෂිත ව්‍යාපාරිකයන් බවට පත් වූයේ මැන්ඩෙලා පවුලේ සහ අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ ප‍්‍රධාන නායකත්වය හා ගැටගැසුණු පිරිස් ය. දැන් දකුණු අපි‍්‍රකාව පුදුමාකාර අපරාධ දෛනික ජීවිතයේ සාමාන්‍ය අංග බවට පත් වූ රටකි. අතිශය දැවැන්ත පරිශ‍්‍රමයක් හා ජන සහභාගිත්වයක් ඇතිව සකසාගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අතිබහුතර කළු ජාතිකයන්ට අත් වූ සෙතක් නැත. එයට එක හේතුවක් ලෙස දැක්වෙන්නේ, විශේෂයෙන් නොදියුණු සමාජ සංස්ථාවන් හා සංස්කෘතීන් සහිත බහුතර ජනතාවක් වෙසෙන රටවල නව ලිබරල් ආර්ථිකයක් වෙනුවෙන් තබාගන්නා ව්‍යවස්ථාවන් විසින් තහවුරු කෙරෙන නිදහස මහ පරිමාණ දූෂණයට ද ඉඩ ලබාදෙන නිදහසක් වන බව ය.

කෙසේ නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ රටේ ආර්ථිකය අතර සෘජු සම්බන්ධයක් ඇති බව ඉතිහාසය පුරාම දැකිය හැකි පැහැදිලි කාරණාවකි. උතුරු හා නැගෙනහිර පළාත් සඳහා බලය ඉල්ලීමේ දී ඔවුන්ට ඉඩම් හා සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමේ අයිතිය ඉලන්නේ ද ආර්ථික වර්ධනය තීන්දු කිරීමේ අයිතිය වෙනුවෙනි. එය ඒ පළාත් සඳහා අවශ්‍ය වන සංවර්ධනය පිළිබඳ කතාව ද වන්නේ ය. ඉන්දියාවේද එක් එක් ප‍්‍රාන්ත ඔවුන්ගේ සංවර්ධන සැලසුම් සඳහා විදේශ ආයෝජන ලබා ගන්නා අතර, ඒ සඳහා ඔවුන්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ ලබා දී ඇත.

එසේ හෙයින් වික්ටර් ගොඩනගන තර්කය විසින් දුරදිග යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී අපට අපේ ජාතික රාජ්‍ය නව ව්‍යවස්ථාවකට අනුව අලූතින් සකසා ගැනීමට සිදුවන අතර, ඒ නව ජාතික රාජ්‍යය විසින් අනාගතයේ කි‍්‍රයාවට දැමෙන ජනතාවාදී සමාජ සංවර්ධනයක් තිබිය යුතු ය. ඒ වෙනුවෙන් අපගේ ආර්ථිකයේ මූලික හැඩතල ගැන අප අලූතින් කතා කළ යුතුව ඇත. එසේ වූවත් තවමත් පවතින ආර්ථිකය වෙනුවට සමාජ සාධාරණත්වයක් සහිත ජාතික සංවර්ධනයක් වෙනුවෙන් යෝජනා කෙරෙන විකල්ප ආර්ථික ආකෘතියක් ගැන කතාවක් නැත.

එක්සත් ජාතික පක්ෂයේ සිට වමේ හා මාක්ස්වාදීයැ’යි පෙනීසිටින දේශපාලන ගොනුවීම් දක්වාම ආර්ථිකය ගැන කතාව සීමා වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ, වංචා හා විනාශකාරී කාර්යයන් ගැන කතාවට පමණ ය. එජාපය එසේ කතා කිරීම පැහැදිලි ය. තේරුමක් ඇත. අද රාජපක්ෂ ආණ්ඩුව විසින් එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැගීමේ වගකීම ඉටු කරන අතර එහි ඇති අඩුපාඩු, ඇදපලූදු ගැන විවේචනය කිරීම, දොස් නැගීම හෝ විරෝධය පෑම එජාපයේ වගකීම ය. එහෙත් වමේ හෝ මාක්ස්වාදීයැ’යි පෙනීසිටින, කම්කරු පංති දේශපාලනයක් ගැන අදහස් ඇති ගොනුවීම් විසින් එයම කිරීම ඛේදවාචකයකි.

ඒ ඛේදවාචකයට ද හේතු ඇත. 50 – 60 දසකය වන විට ද මේ රටේ පුරෝගාමී වාමාංශික නායකයන් සතු දේශපාලන ආර්ථික විවරණයක් නොවුණි. ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම පාර්ලිමේන්තුවාදී සංවාදවල හමුවන ගැඹුරින් එහාට ගිය බුද්ධිමය සංවාදයක් නොවුණි. අනාගතය දැකිය හැකි අනාගතය විවරණය කරගත හැකි න්‍යායික දායකත්වයක් ඔවුන්ගෙන් සමාජයට එකතු නොවුණිි. දැන් හමුවන වමේ හා මාක්ස්වාදීයැ’යි කියන දේශපාලන කණ්ඩායම් බිහිව ඇත්තේ ඒ පුරෝගාමී වමේ නායකත්වයෙහි පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ තිබූ කඩතොලූ ගැන කෙරුණු විවේචන සමගින් ය. එනිසා ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුව 1978 සිට කි‍්‍රයාවට නැගූ සහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා පසුකර මේ රාජපක්ෂ ආණ්ඩුව දක්වා අවුරුදු 35 ට වැඩි කාලයක් කි‍්‍රයාත්මක වන මේ ආර්ථිකය ගැන මෙතෙක් වමේ හෝ මාක්ස්වාදී විග‍්‍රහයක් නැත. තැන තැන එවැනි උත්සාහයන් අපට හමුවන්නේ ඇතැම් විද්වත් පුද්ගලයන් කරන වියුක්ත දේශන ලෙසින් ය. ඒවා හෝ තම දේශපාලනය සමග සංවාදයට ගැනීමක් ඉතිරිව ඉන්නා වමේ නායකයන් කිහිපදෙනාගෙන් සිදුවන්නේ ද නැත.

වික්ටර් ගොඩනගන ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ දීර්ඝ විවරණයට එනිසා විකල්ප දේශපාලන මතවාදයක එකතුවක් තවමත් සමාජය හමුවේ නැත. එය ද වික්ටර්ටම ලියා තබන්නට සිදු වන්නේ නම් අප මුහුණ දෙන ඇත්ත අර්බුදය, ඉන් තේරුම් යයි. එය රාජපක්ෂ ආණ්ඩුව ඉවත්කර ගැනීම පිළිබඳ අර්බුදයක් නොව, ඊළ`ග ගමන සඳහා අවශ්‍ය වන බුද්ධිමය නායකත්වයක් නොමැතිකමෙහි අර්බුදය බැව් ඔප්පු කරන්නකි. එනිසා මේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සාකච්ඡුාව මෙතැනින් ඔබ්බට ගෙනයෑමේ කාර්යය ඉටුකර ගන්නේ කෙසේද යන්නත් අද අතිශය වැදගත් කාර්යයකි. එය මේ සමග නොවේ නම් වික්ටර්ගේ ලිපිපෙළින් පසුව හෝ අවධානයට ගතයුත්තක්යැ’යි සිතමි.