එංගලන්තය අපිට ගැහැව්වා

 

ජය පරාජය යනු ක‍්‍රීඩාවේ අන්‍ය ලක්ෂණයක් වුවත් එය සමව විඳ දරාගත යුතුය යන්න යල්පැනගිය හණමිටි අදහසක් බව කිවයුතුමය. ජයග‍්‍රහණයකදී ලබන හැඟීම් ඒ ආකාරයටම පරාජයකදී විඳ දරාගත නොහැකිය. එසේ කළ හැකිනම් එය ක‍්‍රීඩාවක් නොවනවා සේ ම ක‍්‍රීඩකයන් මනුෂ්‍යයෝද නොවිය යුතුය. අපට ජයග‍්‍රහණයේදී සතුටු විය හැකිය. පරාජයේදී දුක්විය හැකිය. විටෙක සිනාසිය හැකිය. විටෙක හැඬිය හැකිය. මේ දෙකම එකවර කළ නොහැකිය. එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 99කට දවාගනිමින් ශ‍්‍රී ලංකා පිල ලද ජයග‍්‍රහණය ගැන ඇති පදම් උදම් ඇණුවෙමු. සතුටු වුණෙමු. එහෙත් එංගලන්තය තෙවන තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු හැට හතකට දවාලමින් එකුදු කඩුල්ලක් හෝ නොදැවී ඒ ලකුණු ප‍්‍රමාණය අබිබවා ජයග‍්‍රහණය කළේය. අපි දිනන විට අති දක්ෂයන් වීමත් පරදින විට විය නොහැකිය යන්නට තර්ක නැගීම විකාරසහගතය. සෑම දේම විය හැකිය. මන්ද සිදුවන සැම සිදුවිය හැක්කකි. අප මෙන්ම ඔවුන්ද ක‍්‍රීඩකයෝය. අප දිනූ කල අපි රිසි සේ සතුටු වුණෙමු. ඉදින් දැන් අපි පරාදය. ඉතින් රිසි සේ හඬනු විනා බොරු බේගල් ඇද නොබා සිටිමු. අපි දිනූ විට අප හොඳය. එංගලන්තය දිනූවිට එංගලන්තය හොඳය. සැමවිටම දක්ෂයෝ දිනති. ක‍්‍රීඩාව ජාත්‍යන්තර වුවද ජයග‍්‍රහණ ජාතිකය. ඇත්ත එයය. දිනූවිට සතුටුවන්නේ ජයගන්නේ සුදු අධිරාජ්‍යයම ජයගත් බව සිතාවන අතර සුද්දාට පාඩමක් ඉගැන්වූ බව සිතාය. පරාජය පිළිගන්නේද ජාත්‍යන්තරයට පැරදුණු බව සිතාය. සැබැවින්ම ක‍්‍රීඩාව දේශපාලනිකය. පිට්ටනිය තුළ සෙල්ලම ක‍්‍රීඩකයන්ගේ වෘත්තිය වුණත් ඉන් එපිට ජය-පරාජය දේශපාලනිකය. අප හඬන්නේද සිනහසෙන්නේද දේශපාලනික අරුතිණි.