රාවය

පාට පාට සිහින සොයා වැලිකතරට ගිය ඇය

පාට පාට සිහින සොයා වැලිකතරට ගිය ඇය

 

ඩොක්ටර් දරුවට දැන් මාසෙකින් විතර මෙන් සස් වුණේ නැහැ… මෙන්සස් වුණේ නැහැ කියල කියන්නේ දරුවා ගැබ් අරගෙන කියන එක.. එහෙම හිතන්න කියලා වෛද්‍යවරයාට පුරුදු කරලා තිබුණා. ඒ වෛද්‍ය විද්‍යාව. වෛද්‍යවරයා 13 හැවිරිදි දැරිය කාමරය ඇතුළට අරගෙන ස්කෑන් පරීක්ෂාවක් කළා… දැරිවියගේ තාත්තගේ වයස තිස් දෙකයි. ජෙලටින් මත දිව යන ස්කැනර් මැෂිමේ නොබ් උපාංගය දැරිවියගේ කුස ඇතුළත අපැහැදිලි චිත‍්‍රයක් රූපණය කළා… ඒ අපැහැදිලි රූපය කියවා ගන්න වෛද්‍යවරයකුට ටිකක්වත් අපහසු නැහැ. ඒත් මේ දකින දේ හැබෑවක්ද? නැත්නම් මායාවක්ද? මට මේ දරුවාගේ පියාගේ නම ඇඞ්ඩ‍්‍රස් එක දෙන්න. ඇයි ඩොක්ටර් මොකක්ද දරුවට තියෙන ප‍්‍රශ්නය.. මොකුත්ම නැහැ.. ගෙදර තව කවුද ඉන්නේ. නෝනගේ මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එතකොට නෝනා මොකද කරන්නේ… එයා ඩොක්ටර් කුවේට්වල ඉන්නේ… එතකොට දරුව බලාකියා ගන්නේ කවුද? නෝනගේ අම්මා. ඔයා මොකද කරන්නේ… වඩු බාස් කෙනෙක් මම… පියාගේ සියලූ තොරතුරු ලබාගත් පසු වෛද්‍යවරයා ඇත්තම කතාවට බැස්සා. දුවගේ කුසට හරියටම මාස තුනහමාරක් වෙනවා. මේ දේ දරුවට කළේ කවුද කියලා හිතන්න පුළුවන්ද? බැහැ ඩොක්ටර්.

බාලවයස්කාර දරුවෙක් මේ විදිහට අතවරයකට ලක්වුණාම ඒ පෙගන්ෂ් එක නැතිනම් ඒ දරුවාගේ ගැබේ වැඞීම ඒ මොහොතේ සිටම නතර කර දැමිය හැකියි. ඒත් ලංකාව වගේ රටක මම වගේ ඩොක්ටර් කෙනෙක් ඒක කළොත් හිරේ යන්න වෙනවා. නැත්නම් අපිට අපේ හිත කියන්නේ එවැනි ගැබක් නැති කරලා ඒ දරුවා මේ ප‍්‍රශ්නයෙන් ගලවා ගන්න කියලා… රටේ තත්ත්වයත් එක්ක ඒක කරන්න බැහැ. වෛද්‍ය වරයා පවසනවා.

මම මේක පොලිසියට කියන්න තීරණය කළා. ඒත් මට බයයි මේ අපරාධය මේ දරුවට සිද්ධ වෙලා තියෙන්නේ දරුවගේ තාත්තා අතින්ම නම් දරුවා මරණයට පවා පත් කළ හැකියි.
දැන් මේ දරුවා අරගෙන ගෙදර යනවා… ගිහින් හවසට මාව හම්බවෙන්න එනවා.. මම ඕඅයිසී මහත්තයා හොඳට අඳුරනවා. අපි ගිහින් කතා කරමු…
ඩොක්ටර්ගේ මේ කතාවත් සමග පියා දරුවා සමග ගෙදර යනවා. ඒ හවස එන පොරොන්දුව පිට. හවස වෛද්‍යවරයාගේ දුරකතනයට ඇමතුමක් ලබාගන්න දැරිවියගේ පියා පවසන්නේ අමුතුම කතාවක්.

ඩොක්ටර් නැන්දම්මා මේ ප‍්‍රශ්නය දිගට ගෙනියනවට කැමති නැහැ. එයා කියනවා මේ ප‍්‍රශ්නය පොලිසියට ගෙනිච්චහම දරුවගේ මූණේ දැලි ගෑවෙනවා කියලා. මට හිතෙන විදියට මල්ලිලා දෙන්නගෙන් තමයි මේක වෙලා තියෙන්නෙ. අපි මේක අත අරිමු ඩොක්ටර්.

මෙම දුරකතන ඇමතුමත් සමග වෛද්‍යවරයා දරුවා ගැන සියලූ තොරතුරු පොලිසියට දෙනවා. පොලිසිය දරුවාගේ නිවසට යනවිට දරුවාගේ පියා අතුරුදන්. දැරිවියගේ අත්තම්මා පොලිසිය හමුවේ කරන ප‍්‍රකාශය අදහාගන්නට බැරිතරම්.

ඩොක්ටර් දුව රට ගියාට පස්සේ මේ දරුවව බලාගන්න මම දුවගේ ගෙදර නතර වුණා. ඒත් මට මේ ගෙදර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මේ ගෙදර අත ඇරලා මගේ ගෙදරට ගියා. ඊට පස්සේ දරුවා තාත්තත් එක්ක තනියෙමයි හිටියේ. ඔය කාලකණ්ණියගෙන් තමයි මේ කරදරය දරුවට වෙන්න ඇත්තේ.

මෙතනින් පසුව දැරිවියගේ පියා සිපිරිගෙදරට යන අතර දැරිවිය බාලවයස්කාර ගැබිණියක් විදිහට පරිවාස ගතවෙනවා. අම්මා තවම කුවෙට්ටවල සිහින දකිනවා.. මෙවැනි ජීවිත ඛේදවාචකවලින් කෙළවර කරගන්න අයට අද අපි ලස්සන නමක් දාලා තියෙනවා. ඒ තමයි රටවිරුවෝ. මේ එවැනි රට විරු දියණියකගේ කතාවක්. මේ තොරතුරු මට ලැබුණේ පර්යේෂණ කේන්ද්‍රයකින්. රට රැුකියා නතර කරන්න කියන උද්ඝෝෂණය නෙවෙයි අපි මේ කරන්නේ. රට රැුකියා සුවිශාල විදේශ විනිමයක් අප රටට ගේනවා. ජීවන වියදම අහස උසට නැගි රටක, රැුකියාවට වටින වේතනයක් නොලැබෙන රටක සමාජ ප‍්‍රශ්න ඉහටත් උඩින් ගිය රටක තරුණියකට මැදපෙරදිග යන්න එපා කියලා කොහොමද කියන්නේ. ඒත් මේ ඛේදවාචකත් අපි කෙළෙසක හෝ පිටු දැකිය යුතුයි.

අයෝමාගේ කතාව

මගේ ගම බඩල්කුඹුර… ගෙදර අගහිඟකම් ගොඩාක් තිබුණා. අල්ලපු ගෙදර අක්කා වැඩ කළේ කුවේට්වල. එයා මට එක සැරයක් ලංකාවට ආවහම ටිකට් එකක් එවන්නම් කියලා ගියා. කිව්වත් වගේම මාස එකහමාරකින් වගේ මට කුවේට්වලට ටිකට් එකක් ආවා. පස්සේ ඒ ටිකට් එකට මම එයාම සෙට් කරල දුන්න මරදානේ තැනකින් රට ගියා. එහෙ ඒජන්සියේ අය මාව ගත්තා. මට හම්බ වුණේ තට්ටු හතරක් තියෙන ගෙදරක රස්සාව. ඒ ගෙදර පවුල් හතරක් හිටියා. ඉස්කෝලේ යන ලොකු පිරිමි ළමයි හිටියා. මට ඒ ගෙදරදී මුළු ඇඟම වැහෙන්න අඳින්න වුණා. මට ඉංග‍්‍රීසිත් බෑ. අරාබිත් බෑ. කරකවලා අතෑරියා වගේ. තව අක්කා කෙනෙක් හිටියා. එයා මාතර පැත්තේ. එයා මට ටිකක් උදව් කළා. කොහොමහරි මම කුවේට්වලට එනකොට මට අවුරුදු දහඅටයි. එක දවසක් දවල් කවුරුවත් ගෙදර නැති වෙලාවක ඒ ගෙදර ලොකු බේබි තවත් කොල්ලෝ හතරදෙනෙක් එක්ක ගෙදරට ආවා. මොනව වෙන්නද? සේරම දේවල් වුණා. සිහිය එනකොට හිටියේ ඉස්පිරිතාලයක. සනීප වුණාට පස්සේ ආයෙත් ඒ ගෙදර අය මාව ඒ ගෙදරටම ගෙනිච්චා. එම්බසියට කිව්වොත් මැරුම් කන්න වෙයි කියලා මාතර අක්කා කියපු නිසා කාගෙනම හිියා. පස්සේ අවුරුද්දක් විතර එතන ඉඳලා ඒ ගෙදරින් පැනලා මාව කුවේට්වලට ගත්ත අක්ක සොයාගෙන ගියා. එයා ඕපන් වීසාතමයි වැඩ කළේ. මමත් එයත් එක්ක එකම තැන නැවතිලා වැඩ කළා. ආයෙත් ලංකාවට එන්නේ නැහැ කියලා මම හිත හදාගෙනයි හිටියේ. ගෙදරට සල්ලි එව්වා. හැමදාම වගේ කතා කළා. මෙහෙම එළියේ වැඩකරන කොට මට බංගලියෙක් සෙට්වුණා. අපි දෙන්නා එකට පවුල් කෑවා. ටික කාලයක් යනකොට මිනිහට වීසා ඉවර වුණා. මිනිහා මට කතා කළා ඩුබායි යමු කියලා. අපි දෙන්නා ඩුබායි ගියා. ඩුබායිවලත් ගෙවල්වලට ගිහින් තියෙන තියෙන වැඩ කරලා සල්ලි සොයා ගත්තා. ඩුබායිවලදි තමයි මම ලේසියටම සල්ලි හොයන්න පුරුදු වුණේ. බංගලියා මාව විකුණ්නා. ඒත් අපි හරි ලස්සනට ජීවත් වුණා. සල්ලි හොඳට හෙව්වා. කොහොමහරි ඩුබායිවලදී මට ලංකාවේ ගොඩාක් අය මුණ ගැසුණා. කතා කළා. ආශ‍්‍රය කළා. මෙහෙම අවුරුදු 5ක් විතර ගියා. මට ලංකාවට එන්න හිතුණා. ඒත් බංගලිකාරයා එන්න දුන්නේ නැහැ. කොහොමහරි වැරැුද්දකට මාට්ටු වෙලා මිනිහා හිරේ වැටුණා. මම ලංකාවට පැන ගත්තා. ලංකාවට ආවත් ගමට ගියත් මාසයක්වත් හිටියේ නැහැ. ඩුබායිවලදි අඳුරගත්ත යාළුවෙක් එක්ක කොළඹ තැනක රස්සාව කළා. නයිට් ක්ලබ් ගියා. සල්ලි හම්බ කළා. ඒ කොහොම වුණත් ආයෙත් ලංකාවෙන් යන්නම තමයි හිත කිව්වේ. යාළුවෙකුගේ මාර්ගයෙන් සයිප‍්‍රස් යන්න පොත භාර දුන්නා. සේරම කරගෙන මෙඩිකල් එකට ගියා.

එතැනින් කතාව මොහොතකට නතර වුණා. බ්‍රේක් නැති කතාවකට එකවරම තිරිංග ලැබිලා. හැම දෙයක්ම වෙනස් කළ දවසක්. ඒක සල්ලි හොයන්න… සිහින පීරන්න… පියාඹන්න.. ඉඩහසර ඕනෑවටත් වැඩිය තිබුණ ජීවිතයකට එකපාරම නිහඬ වෙන්න නවතින්න අණ ලැබිලා කියන්න…මොනවද කියන්නේ ඩොක්ටර් කාමරයට කතා කළා. පර්සනල් කතා කරන්න ඕනිය කිව්වා. එයා මගේ මූණ දිහා එක එල්ලේම බලාගෙන ඉඳලා කිව්වා අලූත් ජීවිතයක් පටන් ගන්න ලෑස්තිවෙන්න කියලා. මොකද්ද ඩොක්ටර් කියන්නේ තේරෙන්නෑ කියල මම කිව්වා. වයස කීයද? විසි හයයි… හරි.. ඔයාගේ රිපෝට් එකේ ඒඞ්ස් පොසිටිව් කියලා කිව්වා. එච්චරයි. තව මොනවද?

අහස කඩන් වැටුණ වගේ දැනෙන්න ඇති. ඒ මට හිතෙන විදිහ. නැත්නම් මොකුත්ම හිතෙන්න නැතුව ඇති. අවුරුදු 18දී කුවෙට්වලින් පියඹා ගිය ජීවිතයට විරාමයක් එච්අයිවී වෛරසය ගෙනත් දීලා තිබුණා. ඊට පස්සේ හිත හදා ගත්තේ කොහොමද?

වෛද්‍ය උපදෙස් බල්ලට විසි කරලා ක්ලබ් ගානේ රස්තියාදු වුණා. රස්සාව වෙනදට වඩා හොඳට වෙනදට වඩා වේගයෙන් කරන්න පටන් ගත්තා. එතකොට ඒඞ්ස් තව කෙනෙකුට හැදෙයි කියල බෝවෙයි කියල හිතුණේ නැද්ද? ලංකාවේ අපි ඇයි එහෙම තවත් කෙනෙක් ගැන හිතන්නේ… මට ලංකාව ලංකාවේ මිනිස්සු සලකපු විදිහට තමයි මමත් සලකන්නේ. මම දැන් මේක කරන්නේ හිතේ තරහක් හංගගෙන. ඒත් එක දවසක් හොඳටම බීලා මාව අරගෙන ගියා කොල්ලො පස්දෙනෙක්. වයස විස්සක්වත් නැතුව ඇති. මම එයාලට කිව්වා මට ඒඞ්ස් තියෙනවා කියලා. උන් ගණන් ගත්තේ නැහැ. අපි කොණ්ඩම් පාවිච්චි කරනවා කියලා හිනාවුණා. ඒක එතනින්ම ඉවරයි. මම බෙහෙත් ගන්නවා. මේ බෙහෙත්වලට සමහර වෙලාවකට තවත් කෙනෙකුට මේක බෝවීමේ හැකියාව අඩුකරනවා ඇති. ඒත් මම කියලා වෙන මොනවා කරන්නද? මම අද බඩල්කුඹුරට ගිහිල්ලා කිව්වොත් මට ඒඞ්ස් තියෙනවා කියලා ගමේ මට ඉන්න දේවිද? ඉතින් මම කොළඹට වෙලා දන්න රස්සාව කරගෙන මැරෙනකම් ජීවත් වෙනවා. කවදාවත් ජීවිතය නැතිකර ගන්නේ නැහැ. මේ කාන්තාවත් රට විරුවෙක්.

පින් කෙත හෙළ රන් දෙරණේ යළි යළිත් උපදින්නට අමරදේව මහත්මයා කල්පනා කළාට මේ රට විරුවෝනම් එහෙම නිකමටවත් හිතන්නේ නැතුව ඇති. සමාජ ගෞරවය වගේම මිනිහෙකුට ගැහැනියකට නිදහසේ ජීවත් වෙන්න තියෙන ඉඩහසර අහිමි කළ අපේ වගේ රටක හෙට දවස ගැන කතා කිරීමත් නිකම් විහිළුවක් වගේ කියලයි මට නම් හිතෙන්නේ. ඒ හින්ද පිංකෙත හෙළ රන් දෙරණේ ඇමතිවරුන්ට එක එක නම් දාලා මේ ඛේදවාචකය දිගටම පවත්වාගෙන ගිය හැකියි. ලංකාව කියන්නේම ඛේදවාචකයන් ගොඩක් මැදියන් යාත‍්‍රා කරන නෞකාවක් වගේ කියලයි මට නම් හිතෙන්නේ. ඒ නෞකාව එක්කෝ ගිලී මුහුදුබත් විය යුතුයි. නැත්නම් සුරක්ෂිත ගමනකට මුල පිරිය යුතුයි.