ජීවිතය හා මරණය අතර ගයානි සවුන්ඞ්ස්

 

මගේ මයික්වලින් කතා කරලා නැත්තේ ජේආර් මහත්තයයි, පේ‍්‍රමදාස මහත්තයයි විතරයි. මට යූඑන්පියේ සම්බන්ධයක් තිබුණේම නැහැ. කොහොමටත් අපි ශ‍්‍රී ලංකාකාරයො. මේක බිස්නස් එකක් වුණාට ශ‍්‍රී ලංකා, ජේවීපී, වික‍්‍රමබාහු මහත්තයා වගේ අයට මිසක් යූඑන්පී කට්ටියට සවුන්ඞ්ස් දෙන්න මම උත්සාහ කළෙත් නැහැ.’’ ඇස්වාට්ටුවේ පරාක‍්‍රම රේඩියෝ ඔබට මතකද? නැතහොත් වැල්ලම්පිටියේ පැරකුම් සවුන්ඞ්ස් ඔබට මතකද? මොවුන් අතර තුන්වැන්නා වනාතමුල්ල ගයානි සවුන්ඞ්ස්ය.
වනාතමුල්ල පාරේ ගොස් ඕවල් පිටිය ළඟින් වමට හැරී මීටර් තුන්සීයක් පමණ දුර ගෙවා ගිය විට සිහින් කඩ කාමරයක එක් දොර පියනක් ඇරගෙන ඔහු බලා සිටියේය. උඩවෙල රාජපක්ෂගේ ගුණරත්න හෙවත් කවුරුත් පොදුවේ ව්‍යවහාර කරන ‘ගයානි සවුන්ඞ්ස්’ මිත‍්‍රශීලී මිනිසෙකි.

‘ගයානි කියන්නේ මගේ ලොකු දුවගේ නම. ඔහු කතාවට හරිබරි ගැසෙමින් කීවේය. මම උපන්නේ 1944. ගම හක්මණ. අවුරුදු දහයෙදි මම ඉංග‍්‍රීසි මාස්ටර්ට බනිස් ගෙඩියකින් ගහලා කොළඹට පැන්නා. ඉස්සෙල්ලාම වැල්ලවත්තේ රෝයල් බේකරියේ තැටි පිස දැම්මා. සල්ලි වුවමනා වුණේ නැහැ. කන්න මොනවා හරියි සරොම් කොටේකුයි තිබුණාම ඇති කියලයි හිතුවේ. ඊට පස්සේ අරකාවිල පැත්තේ වඩුබාස් කෙනෙක් ළඟ වැඩ කළා. ඔය කාලේ මං හැම වැඩක්ම වගේ තනියම ඉගෙන ගත්තා. බයිසිකල් හැදුවා, බාල්දි හැදුවා, පෙට‍්‍රල් ලාම්පු රෙපෙයාර් කළා. මම වැඩ කළාට බාස් උන්නැහේ සතයක්වත් දුන්නේ නැහැ. ඒ පාර මං විකුණන්න හදපු ඇඳක් රුපියල් 40කට විකුණලා එතැනිනුත් ආවා. මං ඒ දවස්වල ටිකක් දඩබ්බරයා. බාස් උන්නැහේ මට මොනවා නමුත් කිව්වා නම් මිටි පාරක් දෙනවා කියලා මිටිය අතේ තියාගෙන හිටියේ. ඊට පස්සේ කාලයක් බොරැුල්ලේ බජාර් එකට වැටිලා හිටියා. ටෙන්ට් එක ගහලා පෙන්වන චිත‍්‍රපටිවල ප්‍රොජෙක්ටර් ඔපරේටර් ජොබ් එකත් මං කාලයක් කළා. ඊඒපී එකට අයිති ඉම්පාලා, ටවර් වගේ තැන්වලත් එක කාලෙක ප්‍රොජෙක්ටර් ඔපරේටර් මම.’ ගුණරත්නගේ හිතට සවුන්ඞ්ස් ගැන අදහස එන්නේ චිත‍්‍රපටිවල වැඩ කිරීමත් සමගය. මුලින්ම මේ සඳහා ඔහු මිලදී ගත්තේ ටේප් රෙකෝඩරයක් සහ බෆල් දෙකකි. ඒකෙන් වෙසක් එකට දඟර නැටුම් නැටෙව්වේය. විවෘත වේදිකා නාට්‍යවලට සවුන්ඞ්ස් දුන්නේය. 70 ආණ්ඩුව කාලේ ට‍්‍රාන්සිස්ටර් ඇම්ප්ලිපයර් ඇතුළු කිසිවක් ආනයනය නොකෙරිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රයෝජනය සඳහා පමණක් ටෝවා ඈම්ප් සහ මයික් එක බැගින් ගෙන්වා දී තිබිණි. ගුණරත්න වෑල් ඈම්ප් දෙකක් සහ ස්පීකර් දෙකක් මිලට ගත්තේය. රොබට් ඒජන්සීස්ලා අහුුජා ඇම්ප්ලිෆයර් ගෙන්වා තිබුණේ මේ අවධියේදීය.

‘ඒ දවස්වල මම නිවාස දෙපාර්තමේන්තුවෙ වඩුවැඩ කළා. දවසෙ කුලිය රුපියල් 6.50යි. හැත්තෑවේදි ඒක ලොකු ගාණක්. හැම සතයක්ම එකතු කරලා සවුන්ඞ්ස්වලට අවශ්‍ය බඩු ටික ටික ගන්න එකයි මම කළේ. 76දී මම කසාද බැන්දා. ඒ දවස්වල වනාතමුල්ලෙ පර්චස් දෙකේ මේ ඉඩම ගත්තේ රුපියල් 700ට. ඒ දවස්වල මේ සේරම පොල්අතු ගෙවල්. ඒ කාලේ කැසට් ප්ලේයර් එකක් දකින්නවත් නැහැ. අපේ නෝනා රට ගිහින් තමයි මට සවුන්ඞ් වැඩවලට අවශ්‍ය කැසට් එකක් එව්වේ. මුලින් මුලින් නාට්‍යවලට සවුන්ඞ්ස් දෙන්න රුපියල් 100-200ක් අය කළා. එල්ලේ මැච් එකකට සවුන්ඞ්ස් දෙන්න රුපියල් 10යි. පස්සෙ කාලෙක නම් රුපියල් 100ක් විතර මැච් එකකට ගත්තා. දුව හම්බවුණාට පස්සේ එයාට දාපු නම මම මේකටත් දාගත්තා.’

ගුණරත්නගේ ගයානි සවුන්ඞ්ස් ආයතනයට ලොකු වැඩ එන්නට මග විවර කරදී තිබෙන්නේ රාජිත සේනාරත්න මහතාය. ඔහු බොරැුල්ල ආසනය සඳහා මහජන පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්වීමෙන් පසු ගුණරත්න මුණගැසීමෙන් ගයානි සවුන්ඞ්ස් ලොකු පිම්මක් පැන්නේය. පොඩි පොඩි වැඩ අත්හැර දැමූ ගුණරත්න දේශපාලන රැුස්වීම්වලට සවුන්ඞ්ස් දෙන ප‍්‍රධාන නම් අතරට එක්විය.

‘බොරැුල්ල ලිඩෝ එක ළඟ හිස් ඉඩම් කෑල්ලක් තිබුණා මතකද? එතන රැුස්වීමට තමයි රාජිත මහත්තයා මුලින්ම මාව සම්බන්ධ කරගත්තේ. එයා හෝන්ස් 10ක් ඉල්ලූවා. මං ළඟ ඒ වෙනකොට තිබුණේ හෝන්ස් 6යි. මං තව කෙනෙක්ගෙන් 4ක් ඉල්ලගෙන වැඬේ කළා. මං ගාව තිබුණා පිස්තෝල මොඞ්ල් එකේ මයික් එකක්. ඒක තමයි මං කතා කරන්න පෝඩියම්එකට දැම්මේ. රාජිත මහත්තයා මගේ වැඬේ ගැන පැහැදුණා. මං ඒ වැඬේට ගත්තෙත් රුපියල් 400යි. ඒ වෙනකොට විජය මහත්තයා නෑ. මං විජයගේත් පොඩි රැුස්වීම් දෙක තුනකට මුල්ම කාලෙ සවුන්ඞ්ස් දීලා තියෙනවා.’

එපමණක් නොවේ. අසූව දශකයේ මැද හා 88-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ඍජුවත් අනියම් ලෙසත් සංවිධානය කළ රැුස්වීම් සියල්ලෙහිම පාහේ ශබ්දවාහිනී යන්ත‍්‍ර ගුණරත්නගෙනි. 93න් පසු යළි ජවිපෙ වැඩ ගයානි භාරගන්නා අතර එවර සම්බන්ධය හදා දෙන්නේ ආරිය බුලේගොඩ මහතාය.

‘මම සවුන්ඞ්ස් කරපු පුදුම රැුස්වීම තමයි ජේවීපීය මර්දනයට කලින් නුගේගොඩ ඒගොල්ලො කරපු අන්තිම රැුස්වීම. පුදුම සෙනඟක් හිටියේ. රැුවුල් වවාගෙන කතා කරන කථිකයා ස්ටේජ් එක පිටිපස්සේ රෙද්දකට මුවාවෙලා රැුවුල ගලෝලා පැත්තකට දාලා බැහැලා යනවා. බොරු රැුවුල් දාගෙනයි ඒ සමහරු කතා කරලා තියෙන්නේ. ඇත්තටම රැුවුල තිබුණු අය රැුවුල කපාගෙන බැහැලා යනවා. විජේවීර මහත්තයත් ඔය රැුස්වීමේ වෙස් වලාගෙන කතා කළයි කියලා රාවයක් ගියා. කොහේ අඳුරන්නද ඉතිං.’

දෝෂාභියෝගයෙන් පසුව ලලිත් ගාමිණී පේ‍්‍රමචන්ද්‍ර කණ්ඩායමේ රැුස්වීම්වලට කර ගැසුවේත් ගුණරත්නය. එම රැුස්වීම්වලට ශබ්ද විකාශන සැපයීමට තරගයක් තිබුණි. රැුස්වීම් විසි ගණනක් කළාට පසු ඒ තරගයෙන් වෙනත් අයෙක් දිනුවේය. ගාමිණී, පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු පිරිස බෝම්බ ප‍්‍රහාරයට ලක්ව මියගිය තොටළඟ රැුස්වීම ලැබුණේ ඒ තරගකරුවකුටය. ඒ නිසාම එදා ගුණරත්නගේ ජීවිතය බේරුණි. වසර තිස් ගණනක වෘත්තීය ජීවිතය තුළ අමතක නොවන අත්දැකීම කුමක්දැ’යි විමසූ විට ගුණරත්න කීවේ තවත් දේශපාලන රැුස්වීමක් ගැනය. ඒ දේවබණ්ඩාර සේනාරත්න මහතා වෙඩි වැදී මියගිය කඩවත පැවති රැස්වීමයි.

‘මේගොල්ලන්ගේ කලින් රැුස්වීම තිබුණේ කොස්ගස් හන්දියේ. ඒකටත් බෝම්බ ගැහැව්වා. ස්ටේජ් එකට උඩින් එවපු බෝම්බෙ වේදිකා වහලේ බාර් එකක වැදිලා බිම වැටිලා පිපිරුවා. මට මතක හැටියට එක්කෙනෙක් මළා. තව කීපදෙනෙකුට තුවාලයි. දෙවැනි බෝම්බෙ උඩින් ඇවිත් වැටුණේ මං ළඟ. මගේ වෙලාව හොඳයි පිපිරුවේ නැහැ. ඊට පස්සේ පට පට ගාලා වෙඩි තිබ්බා. මම වැටිච්ච තැනම බුදියගෙන හිටියා. මේ අත්දැකීම නිසා කඩවත රැුස්වීමට කලින් මම ලොකු අතුල මහත්තයාට කිව්වා තත්ත්වෙ හොඳ නැහැ මහත්තයො කඩවතදීත් ගහන්න පුළුවන් කියලා.’

අදාළ දිනයේ කඩවත රැුස්වීම ඇරඹිණි. රාත‍්‍රී අටට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකවීමට නියමිතය. ගුණරත්න හිිටියේ හොඳින් වටපිට නිරීක්ෂණය කරමිනි. ඔසී අබේගුණසේකරගේ කතාව අවසන් වූ සැණින් වේදිකාවට නැඟුණේ දේවබණ්ඩාර මහතාය. දේවාට කතා කරන්නට ඉඩ ලැබී තිබුණේ විනාඩි පහක් වැනි සුළු කාලයකි.

‘ස්ටේජ් එක ඉස්සරහින් රෝසා බස් එකක් හෙමින් හෙමින් ගියා. ඒකෙ කවුළුවෙන් එක දිගටම ස්ටේජ් එක පැත්තට ගින්දර පිටවුණා. ටී පනස්හයකින් වෙන්න ඕනෑ. උණ්ඩය පිටවෙන එක විතරයි මට පෙනුණේ ගින්දර වගේ. ඒත් එක්කම රැුස්වීමේ හිටපු කෙනෙක් බෝම්බත් ගැහුවා. මගේ ගෝලයො තුවාල කරගෙන පැනලා දිව්වා. මං හිතන්නේ වෙඩි තිබ්බෙ ඔසීට. ඒත් දේවබණ්ඩාර මහත්තයායි ඒ වෙලාවෙ කතා කළේ. බස් එක වෙඩි තියාගෙන ගියාට පස්සේ කවුරුත් විලාප තියන්න ගත්තා. එතන හිටිපු කට්ටිය දේව බණ්ඩාර මහත්තයාව උස්සලා ගත්තා. එයාගේ කකුල් දෙක අස්සෙන් ලේපාරක් ආවා. වෙඩි වැදිලා තිබුණේ ඉකිළිය හරියට. මයික් එක එතන පෙරළිලා තිබුණා. ඔහුගේ කතාවේ ටේප් එක ගලවගෙන මං එතන හිටපු කාට හරි දුන්නා මතකයි.’

දවසක් නිකම් ඉන්න වෙලාවක ගුණරත්න රාජිත සේනාරත්නගේ ගෙදර ගියේය. ඒ පේ‍්‍රමදාස ආණ්ඩුවට එරෙහිව විරෝධතා උත්සන්න වෙමින් තිබුණු කාලයයි. ‘මං යනකොට රාජිත මහත්තයලාගේ ගෙදරට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිත් හිටියා. තව දවස් හතරයි තියෙන්නෙ තාම සවුන්ඞ් කරන්න කෙනෙක් නැහැ මොකද කරන්නේ කියලා මහින්ද මහත්තයා රාජිත මහත්තයාට කිව්වා. රාජිත මහත්තයා එකපාරටම මාවපෙන්නලා කිව්වේ මේ ඉන්නේ මෙයා කරයි කියලා. ඒ කිව්වා වගේම පාද යාත‍්‍රාව විහාරමහාදේවි එක ළඟින් පටන් අරන් කතරගම දක්වාම මම වැඬේ කළා. මාතර රැුස්වීමේදි මහින්ද මහත්තයා චන්ද්‍රිකා නෝනත් එක්ක ලොකු ආගිව්මන්ට් එකක් ගිය වෙලාවෙත් මම හිටියෙ ඒ ළඟ. කොහොමහරි අපි කතරගමට ගියා. කතරගම රැුස්වීමේ සවුන්ඞ්ස් නැහැ. එතන වැඬේ භාරගත්තු පුද්ගලයා වැඬේ අවුල් කරගෙන. මං ටක් ගාලා මගේ සප්ලයි එයාගෙ හෝන්ස්වලට දීලා රැුස්වීම කළා. කොළඹ ඉඳලාම පාද යාත‍්‍රාව එනවුන්ස් කළේ මේ ළඟදි සෙල්ලම් පිස්තෝල සිද්ධියක් වෙච්ච එරාජ් ප‍්‍රනාන්දු.

ඇත්තටම මේ රස්සාවෙදි මට කවුරුත් පොලූ තියලා නැහැ. ඒත් භාරත ලක්ෂ්මන් මහත්තයාගෙන් මට සෑහෙන ගාණක් අයවෙන්න තියෙනවා. රේණුක පෙරේරා මහත්තය ගෙනුත් මට මුදල් අයවෙන්න තියෙනවා.’

එජාප ආණ්ඩුවේ අවසාන කාලයේ එක් දිනක ගුණරත්නගේ වනාතමුල්ල නිවස ඉදිරිපිට වාහනයක් නතර කැරිණි. වාහනය එවා තිබුණේ චන්ද්‍රිකා මහත්මියගේ රොස්මිඞ් නිවසිනි. බඩුමිල ඉහළ දැමීමට, දූෂණයට හා මර්දනයට එරෙහිව නව නගර ශාලාවේ මහා ජන හමුවකි.
‘‘ඇස්පිල්ලම් ගහන තරම්වත් වෙලාවක් කරන්ට් එක අරින්න එපා.’’

ගුණරත්නට එහෙම කීවේ චන්ද්‍රිකා මැතිනියයි. එක මොහොතක් කළුවර වුණත් වෙඩි උණ්ඩ පියාඹා එන්නට ඒ මොහොත ප‍්‍රමාණවත් බව ඇය දැන සිටියාය.
මම රැුස්වීම පටන් ගන්නකම් නන්දා මාලිනීගේ පවන දාගෙන හිටියා. අලෙවි මවුලානා මහත්තයා ආපු ගමන් ඈතට ඇහෙන්න දාපු හෝන් දෙක තුනක් ගලවන්න කිව්වා. පවනත් අයින් කරන්න කිව්වා. මැරුම් කන්නද හදන්නේ කියලා මගෙන් ඇහුවා. හැමෝම මරණ බයෙන් කරපු රැුස්වීමක් ඒක. ඒක කොච්චර අනතුරුදායක රැුස්වීමක් වුණත් මම සවුන්ඞ්ස්වලට රුපියල් හයසීයයි ගත්තේ.