රාවය

ජාත්‍යන්තර විමර්ශනය ප‍්‍රතික්‍ෂෙප කරනවාද?

ජාත්‍යන්තර විමර්ශනය ප‍්‍රතික්‍ෂෙප කරනවාද?

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසි පස් වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද යෝජනාව අනුව, 2002 සිට 2009 දක්වා ගැටුමට අදාළ පාර්ශ්ව දෙකෙන් ම සිදු වී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් හා අන්තර්ජාතික මානුෂික නීති උල්ලංඝනයන් ගැන පරීක්‍ෂා කිරීමට පැවැත්වෙන විමර්ශනය ජුලි මස ආරම්භ කොට නොවැම්බර් දක්වා පවත්වන බව දැන් ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබේ. දැනුම් දීම අනුව, එම විමර්ශනයට සහයෝගය දෙනවා ද යන්න ගැන පාර්ලිමේන්තුව මගින් තීරණයක් ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. එහෙත් ආණ්ඩු පක්‍ෂයට බහුතරයක් හිමි පාර්ලිමේන්තුවෙන් ලැබීමට නියමිත තීරණය දැන් ම උපකල්පනය කළ හැකි ය. ‘ජාත්‍යන්තර විමර්ශනයක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළි නොගන්නා අතර, ඊට කිසිදු ලෙසකින් සහාය නොවිය යුතුයැ’යිද වැඩි ඡුන්දයෙන් තීරණය කරන ලදි.’

එලෙස පාර්ලිමේන්තුවෙන් ලැබීමට නියමිත තීරණය දැන් ආණ්ඩුව එම විමර්ශනය සම්බන්ධයෙන් දරන ස්ථාවරය ම වනු ඇත. එහෙත් දැන් ආණ්ඩුව දරන ස්ථාවරය පදනම් කොට ගෙන එම විමර්ශනය පිළි නොගෙන කටයුතු කළහොත් අනාගතයේ ජාත්‍යන්තර තලයේ දී ලංකාවට රටක් වශයෙන් මුහුණ දීමට සිදුවිය හැකි හානි සහ අවදානම් සහගත තත්ත්වයන් ගැන දැනටමත් විවිධ මානයන්ගෙන් පැහැදිලි කීරීම් අඩුවක් නැති ව සිදු ව තිබේ. ඒ අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවන කාලය වන විට වර්තමාන පාලකයන් රටේ පාලකයන් හැටියට නොසිිටින්නට ද ඉඩ තිබේ. එහෙත් ලංකාව තවදුරටත් රටක් ලෙස පවතිනු ඇත. ඒ අනුව බලන කල ලංකාවේ භාරකාරයන්යැ’යි කියාගන්නා වත්මන් පාලකයන් සිය ඥානයේ ප‍්‍රමාණයට තෝරා බේරාගෙන අද දවසේ කටයුතු කරන අන්දම නිසා හෙට ඇතිවන සියලූ කරදරවලට මුහුණ පෑමට සිදු වනු ඇත්තේ පෞද්ගලික ව ඔවුන්ට නොව රටක් හැටියට ලංකාවට ය.

ලෝකයේ කිසිම ශිෂ්ට වේදිකාවක පෙර කාලයේ සුඩානය හා දැන් දකුණු සුඩානය මානව හිමිකම් රකින රටවල් හැටියට පිළි ගන්නේ නැත. ඒ නිසා ඇතිවන සියලූ ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත්තේ එහි වැසියන්ට ය. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහගේ ම අදහස්් උපුටා දැක්වුවහොත්, දකුණු සුඩානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කළේ එරට ආණ්ඩුව විසිනැ’යි නිරීක්‍ෂණය කළ නිසා, එරට මානව හිමිකම් කඩ වීම් ගැන සොයා බැලීමට පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුව දකුණු සුඩාන ආණ්ඩුව විසින් පිටුවහල් කැරිණි. ලංකාව අනාගතයේ තෝරා ගන්නට යන්නේ ද මීට ආසන්න භූමිකාවකි. එය තමන් ගැන පරීක්‍ෂණ කරන්නට එන්නට වත් දෙන්නේ නැති ස්ථාවරයක සිටියි.

එහෙත්, ලංකාවේ ස්ථාවරය ලංකාවේ බලධාරීන් නිතර වර්ණනා කරන තමන්ගේ ප‍්‍රතිපත්තිවලට ම විරුද්ධ ය. ජනාධිපති රාජපක්‍ෂ නිරතුරු ව මතුරන්නේ ‘එව, බලව’ යන බුදුවදන යි. ඒ ප‍්‍රතිපත්තිය සැබෑවට ම ගරු කරන්නේ නම්, එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමට ද එන්නට, බලන්නට ඉඩ දිය යුතු ය. අනෙක් අතට ලංකාවේ යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනයන් හෝ කිසිවක් නොසිදුවූ බව ආණ්ඩුවේ අදහසයි. එසේ නම් එව, බලව යන්න ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්නට බැරි ඇයි? එසේ එන්නට ඉඩ දුනහොත් ලංකාව දැනටමත් කර ඇති සංවර්ධන කාර්යභාරය ද සැලකිල්ලට ගැනීමට ඔවුන්ට සිදු වනු ඇත.

අනෙක් අතට, ලංකාව කියන්නේ සියලූ මානව හිමිකම් උල්ලංඝනය කළේත්, මිනිස් ඝාතන ආදී අපරාධ කළේත් එල්ටීටීඊ සංවිධානය විසින් බව යි. එය එසේ නම්, ඒ බව ලෝකයට කියා පාන්නට දැන් ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ ස්වාධීන හා විශේෂඥ විමර්ශන මණ්ඩලය ඉදිරියට එල්ටීටීඊයට එරෙහි සියලූ සාධක ගෙන ඒමෙන් හා ඒ ගැන වැඩිදුර පරීක්‍ෂණ කරන්නට ඔවුන්ට සහාය දීමෙනි.

මානව හිමිකම් කවුන්සිල 25/1 යෝජනාව අනුව, මහකොමසාරිස්වරියගේ විමර්ශන කණ්ඩායම සොයා බලන්නේ ආණ්ඩුවෙන් සිදු වී ඇතැ’යි කියන වැරදි ගැන පමණක් නොවේ. එල්ටීටීඊය කළ අපරාධ ද ගැනය. ඉතින්, තමන් වරදක් නොකළ බව ආණ්ඩුව කියනවා නම්, තමන්ගේ නිර්දෝෂීභාවය ද, එල්ටීටීඊය පමණක් වැරදි කළ බව ආණ්ඩුව කියනවා නම් එහි වරදකාර ස්වභාවය ද කිසිදු අඩුවක් නැති ව ජාත්‍යන්තරයට පෙන්වන්නට දැන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අවස්ථාව ලැබී තිබේ.

එවැනි පැහැදිලි අවස්ථාවක් තිබියදී, ස්වෛරීභාවය පිළිබඳ, එක්සත් ජාතීන්ගේ මූලධර්ම පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් එම විමර්ශනයට විරෝධය පෑම වූ කලි අබ කෑ එකාගේ නාහේ දන්නා වැනි දෙයක් බව සරල ව කිව යුතුය.