අලූත් අබිං සහ අබිංකාරයන්

‘‘…ජනතාවගේ මෝඩකම සහ ජනතාවගේ යහපත් අභිලාෂයන්, ආර්ථික අරගලයේ අවශ්‍යතා තරමටම, සිද්ධීන් කෙරෙහි බලපායි.’’
-සෙස්ලාව් මිලෝස් (ද කැප්ටිව් මයින්ඞ්)

ආබාධිත සෙබළුන්ගේ වැටුප් ගෙවීම ආරක්ෂක බලධාරීන් අත්හිටුවා ඇත.

මේ සෙබළුන් ආබාධිත වුණේ සහ ඒ හේතුවෙන් රැුකියාවක නිරත විය නොහැකි වුණේ, ඊලාම් යුද්ධවල දී ඔවුන් සටන් වැදුණු බැවිනි. රාජපක්ෂ තර්කයට අනුව, මොවුන් ‘යුද විරුවන්’ සහ ‘දේශපේ‍්‍රමීන්’ ය. එසේ තිබියදී ඔවුන්ගෙන් බොහොමයක් සහ ඔවුන්ගේ පවුල් ද යැපෙන ඔවුන්ගේ මාසික වේතනයන්ගෙන් දැන් ඔවුන්ව අස්වාමී කොට තිබේ.
එසේ වැටුප් අත්හිටුවීමට තරම් ආන්දෝලනාත්මක තීරණයක්, ආරක්ෂක ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියකින් තොරව යම් හමුදා නිලධාරියෙකු විසින් ගනු ඇතැ’යි සිතිය නොහේ.

නිදහස් රටක නම් මෙය විශාල පුවත් සිරස්තලයක් වනු ඇත. අදහස් උදහස් දැක්වීමේ මහා නිමිත්තක් වනු ඇත. යුද විරුවන් සහ දේශපේ‍්‍රමය ගැන ඉහළින් කතා කරන රටක මේ සිද්ධිය මහත් අපුලෙන් යුතුව හෙළාදැකීමකට තුඩුදෙනු ඇත.

රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ ඒ කිසිවක් සිදුවුණේ නැත. එය ප‍්‍රවෘත්තියක් වුණේත් නැත. ඒ ගැන අපුලක්, අප‍්‍රසාදයක් පළවුණේත් නැත.

ඉතිං, 6000ක් වන ආබාධිත සෙබළුන් පිරිසක් වෙනුවෙන් ආබාධිත සෙබළුන් 292කුට උසාවි යන්නට සිදුවිය. තමන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ඔවුහු අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරූහ. හමුදා රෙගුලාසිවලට අනුව, තමන්ගේ විශ‍්‍රාමික වයස දක්වා එම වැටුප් තමන්ට හිමිවිය යුතු බවට ඔවුහු තර්ක කරති.

හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට කල් ඉල්ලා තිබේ. මේ ආරංචිය දැන් එළියට ඇවිත් ඇති හෙයින් සමහර විට ජනාධිපතිවරයා ඊට ‘මැදිහත් වේවි’. එහි දී සිය ‘මෝඩ වික‍්‍රම පාමින්’ එකී ‘විපතට පත් සෙබළුන්ව’ ගලවා ගැනීමට ඉදිරියට ඒවි. එවිට නඩුව ඉල්ලා අස්කර ගැනීමට සෙබළුන්ට පිළිවන. ජනාධිපතිවරයාට ප‍්‍රශංසා කොට ලිපියක් යැවීමට ද පිළිවන. එම ලිපියට, ඉහළම ප‍්‍රසිද්ධිය ලැබෙනු ඇත. අර්බුදය එසේ දියාරු කර හැරීමෙන් කලක් ගත වූ තැන, ජනාධිපතිවරයාගේ එම නියෝගයත්, ඔහුගේ වෙනත් පොරොන්දු සහ කොමිෂන් වාර්තා ලගින මුල්ලටම වැටෙනු ඇත.

වැලිවේරියේ සහ ‘සුදු කොඩි සිද්ධියේ’ අපකීර්තිමත් ඉතිහාසයට හිමිකම් කියන බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට තානාපති සේවයේ තනතුරක් පිළිගැන්වූ බව ගිය සතියේ බලධාරීහු සනාථ කළහ. සමාවක් දිය නොහැකි මෙම පත්වීම සාධාරණීකරණය සඳහා හමුදා ප‍්‍රකාශකවරයා අවසරයක් විදිහට සඳහන් කොට සිටියේ, දෙන ලද තානාපති සේවයේ පත්වීම, ඔහුගේ යුද කාලීන සේවාවන් සඳහා දෙන ලද්දක් මිස, වැලිවේරියේ රාජකාරිය සඳහා දුන් උසස්වීමක් නොවන බවයි.

යුද කාලීන සේවාවන් සඳහා බි‍්‍රගේඩියර්වරයාට තානාපති උසස්වීම් ලැබෙන විට එවැනිම යුද කාලීන සේවාවන්හි නියැලූණු සාමාන්‍ය සෙබලාගේ ආබාධිත වැටුපත් අත්හිටවනු ලැබේ.

‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඇමරිකානු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ද්වි-පාර්ශ්වික යෝජනාවක් ඇමරිකානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ යෝජනාව මගින් බරක් ඔබාමාගේ ආණ්ඩුවෙන් මෙසේ ඉල්ලා සිටිනු ලැබේ: ‘‘යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතුයැ’යි හඳුනාගත් ඕනෑම කෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීම සම්බන්ධයෙන් සීමා පැනවිය යුතුය.’’ ලංකාවේ ‘සුදු කොඩි සිද්ධිය’ සැබෑවක් නම් එය නිසැකවම අයත් වනු ඇත්තේ යුද අපරාධ ගණයටයි. ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය වාර්තා කරන තොරතුරු සැබෑවක් නම්, එම ‘සුදු කොඩි සිද්ධිය’ තුළ රාජපක්ෂ සහෝදරවරු තුන්දෙනාගේම ඇඟිලි සලකුණු තිබේ.
බැසිල් සහ ගෝඨාභය ශ‍්‍රී ලංකා-ඇමරිකානු ද්විත්ව පුරවැසියන්ය. ස්වේච්ඡුාවෙන් තෝරාගත් එම නිජබිමට ඔවුහු නිතර යති එති. ඉහත කී යෝජනාව ක‍්‍රියාත්මක වුණොත්, ඔවුන් දෙන්නාටම එය නරක විදිහට බලපානු ඇත. මේ නිසා බි‍්‍රගේඩියර් ගුණවර්ධනගේ හොඳ හිත තියා ගැනීම පාලක සහෝදරයන්ගේ ඇඟට ගුණ ය.

යුද ජයග‍්‍රාහී හමුදාපති සරත් ෆොන්සේකා ද අධිකරණයට ගොස් සිටී. ඔහුගේ ඉඩමක් නීති විරෝධීව අත්පත් කරගෙන තිබීම ගැන නගර සංවර්ධන අධිකාරියට එරෙහිව ඔහු අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කොට ඇත. මේ ඉඩම් කෑල්ල ඔහුට දෙන ලද්දේ, යුද්ධය ජයග‍්‍රහණය කළ හමුදාපතිවරුන් තිදෙනාට 2009 දී ඉඩමක් ප‍්‍රදානය කිරීමට ආණ්ඩුව ගත් තීරණයක් ප‍්‍රකාරවයි. ආණ්ඩුව සමග ජෙනරාල් ෆොන්සේකාට ප‍්‍රශ්න ඇති වූ විට ඔහුට දුන් ඉඩම නගර සංවර්ධන අධිකාරිය මගින් නැවත පවරා ගැනුණි.
මේ සිදුවීම් තුන ආශ‍්‍රයෙන් රාජපක්ෂ දේශපේ‍්‍රමයේ සැබෑ ස්වභාවය සහ සැබෑ අරමුණු අවබෝධ කර ගැනීමට සිංහලයන්- විශේෂයෙන් සිංහල-බෞද්ධයන් -අසමත් වෙත් නම්, වෙන කිසිවකින් එය අවබෝධ කරගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත.

ඇරිස්ටෝටල් වරක් මෙවැනි අනතුරු ඇඟවීමක් කෙළේය: ‘‘ආගම කෙරෙහි වන අසාමාන්‍ය භක්තියක මුහුණුවරක් දමා ගැනීම, ප‍්‍රජා පීඩකයෙකුට අත්‍යවශ්‍ය කෙරේ. දෙවියන් කෙරෙහි බය සැක ඇති, භක්තිමත් සේ පෙනෙන ප‍්‍රජා පීඩකයෙකුගෙන් එල්ල වන කෙනහිලිකම් ගැන යටත්වැසියන් සැලකිලිමත් වන්නේ අඩුවෙනි.’’ ආගමික සළුවකින් සැරසෙන දේශපේ‍්‍රමය සම්බන්ධයෙන් ද මෙය සැබෑවකි.

‘රුධිරය සහ භක්තියේ’ දේශපේ‍්‍රමය, රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ දේශපාලනික ආගමයි. තරුණයන් වරක්, දෙවරක්, තෙවරක්ම, මාතෘ භූමියට බැතිමත් විය යුතු බවට ජනාධිපතිවරයා බොහෝ විට අනුශාසනා කරයි. මේ දේශපාලනික ආගමේ ශාස්තෘවරුන් සහ පාප් වහන්සේලා වන්නේ රාජපක්ෂ සහෝදරයන් ය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, 2014 අවසානයේ හෝ 2015 ආරම්භයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබේ. ඒ රාජපක්ෂ මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන අංගයක් වනු ඇත්තේ ‘රුධිරය සහ භක්තියේ’ දේශපේ‍්‍රමයයි. එම දේශපේ‍්‍රමය අරටුවේම ඇති බොරුව හෙළිදරව් නොකොට ඔවුන්ගේ එම වේදිකාව කඩා දැමිය නොහැක.

බොරු බල සේනාව

බොදුබල සේනාව නැවතත් කරළියට විත් ඇත. බදුල්ලේ පැවති වැඩි සෙනඟක් නැති ඔවුන්ගේ එක් කුපිතකාරී උද්ඝෝෂණයකදී බොදුබල සේනාවේ යම් පිරිසක් විසින් ‘මුස්ලිම්යැයි චෝදනා කොට’ තරුණයෙකුට පහර දී තිබේ. බොදුබල සේනාව සහ ජාතික හෙළ උරුමය වැනි ව්‍යාපාර ඇත්තෙන්ම දේශපේ‍්‍රමී නම් කළ යුතුව ඇත්තේ, ආරක්ෂක බලධාරීන් විසින් පඩිපත උදුරාගෙන ඇති ආබාධිත සෙබළුන් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමයි. එහෙත් ඔවුන්ට පැවරී ඇති රාජකාරි ඒවා නොවේ. බොදුබල සේනාව කැසකවන්නේ මුස්ලිම්-විරෝධී උන්මාදයක් වැපිරීමටයි: නරේන්ද්‍ර මෝඩිගේ හිත දිනාගත හැක්කේ මුස්ලිම්-විරෝධී දේශපාලනයක් හරහායැ’යි සමහරවිට රාජපක්ෂලා හිතනවා ඇති. බලාපොරොත්තු වියයුතු පරිද්දෙන්ම, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිිව මොරදීමට පටන්ගෙන තිබේ. ‘13 වැනි සංශෝධනය යනු වෙන්වීමයි’ කියන උමතුවේ මේ ව්‍යාපාර ගිලෙනු ඇත. එවිට, ‘මං තමයි මධ්‍යස්ථ කෙනා. මං කරන්නේ මේ අන්තවාදීන්ව පාලනය කරගෙන ඉන්න එකයැ’යි නැවතත් කීමට ජනාධිපති රාජපක්ෂට හැකිවනු ඇත.

යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පාර විවර වුණේ, මානවවාදී චින්තනයෙනි. දේවත්වයෙන් මිනිසාව නිදහස් කරගැනීම, මිනිසාගේ දේශපාලන නිදහසට පාර කැපීය. පුනරුද යුගය සහ බුද්ධි යුගය නොවුණි නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ද නොතිබෙනු ඇත. රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ අද අප දකින්නේ එහි ප‍්‍රතිපක්ෂ ක‍්‍රියාවලියකි. ‘රුධිරය සහ භක්තියත්’, ‘පළමුව, දෙවනුව සහ තෙවනුව මාතෘභූමියත්’ සහිත දේශපාලනික ආගම, සෞදි අරාබියේ ඉස්ලාම් ආගම තරමටම දැන් ලංකාවේ අනිවාර්ය කෙරෙමින් තිබේ. එහි අඩංගු අභූත පදනම් පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරන හෝ එහි කුහක ක‍්‍රියාකාරකම් ප‍්‍රශ්න කරන අයවළුන්, මිථ්‍යාදෘෂ්ටික ද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීමේ අවදානමට ලක්කරනු ලැබේ.
රාජපක්ෂලා කෙරෙහි වන පක්ෂපාතීත්වය, මේ ආගමේ ප‍්‍රධාන ශික්ෂාවයි.

ආබාධිත සෙබළුන්ගේ වැටුප් පැහැර ගැනීම, එකී ආගමික දේශපේ‍්‍රමයට බාධකයක් නොවේ: එහෙත්, එම සහගහන අසාධාරණය ගැන ජනාධිපතිවරයාව සහ ඔහුගේ සහෝදරයාව විවේචනය කිරීම ඊට බාධකයකි.
උම්බෙර්තෝ ඉකෝ තැනක මෙසේ පෙන්වා දුනි:  

‘‘සදාතන ෆැසිස්ට්වාදය තුළ, පුද්ගලයන්ට පුද්ගලයන් වශයෙන් අයිතිවාසිකම් නැත. ජනතාවක් හඳුනාගනු ලබන්නේ, යම් තත්වයක්/ගුණයක් වශයෙනි. පොදු අභිමතය ප‍්‍රකාශයට පත්කරන, ඒකීය වස්තුවක් වශයෙනි. මනුෂ්‍ය සත්වයන් විශාල ප‍්‍රමාණයකට පොදු අභිමතයක් තිබිය නොහැකි නිසා ඔවුන්ගේ අභිමතය අර්ථකථනය කරන්නා සේ ‘නායකයා’ පෙනී සිටී. නියෝජනයේ බලය දැන් අහිමි කරගෙන ඇති ජනතාව, යමක් කරන්නේ නැත. ඔවුන්ව කැඳවනු ලබන්නේ, ජනතාවගේ භූමිකාව රඟපෑමට පමණි.’’

කොටි සංවිධානයේ සෙවණ යටතේ, ‘දෙමළ ජනයා’ නැතුවම බැරි අංගයක් විය. එහෙත්, ලේ ඇට මස් නහරින් සැදුම්ලත් දෙමළා, ගැහැනුන්, පිරිමින් සහ දරුවන් වශයෙන්, කිසි වැදගැම්මකට නැති කෙනෙකු විය. තමන්ගේම ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය සිය සන්තකයේ තබාගෙන සිටි ඒ ශිෂ්ටාචාරමය භීෂණය-ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම- තරම් සමහරවිට මේ තත්වය සංකේතවත් කරන තවත් දෙයක් නොතිබිය හැකිය.

ඒ ආකාරයෙන්ම, රාජපක්ෂ ලංකාවේ, ‘යුද විරුවන්’ නැතුවම බැරිය. එහෙත්, සැබවින්ම යුද්ධයට සම්බන්ධ වූ ‘යුද විරුවන්’, පුද්ගලයන් වශයෙන්, කිසි වැදගැම්මකට නැත. ‘දේශප්‍රේමී ජනතාවක්’ ගැන පාරම්බෑවත්, පුද්ගලයන් වශයෙන් ගත් විට (සිංහල-බෞද්ධයන් ද ඇතුළුව) ඒ කිසිවෙකු සතේකට වැඩක් නැත.
කේ.පී. වැනි කොටි නායකයෙකු රාජපක්ෂලාට පක්ෂපාතීත්වය දැක්වීම, මේ තත්වය තුළ, පුදුමයක් නොවේ.

මේ යෝධ රාජපක්ෂ උප්පරවැට්ටිය සිංහල-බෞද්ධයා ලවා අවබෝධ කැරැුවීම, ළඟ එන ඕනෑම මැතිවරණයක දී රාජපක්ෂලා පරාජය කැරැුවීමට නැතුවම බැරි දෙයකි.

පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්