..එවිට ඇතිවන්නේ නිදහස් දේශපාලන අවකාශයක්

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍ර වාදී පාලන ව්‍යුහයක් අලූතෙන් නිර්මාණය කරගැනීම පිළිබඳ සාකච්ඡුාව දැන් ඉතා ඉහළට ඇවිත් තිබෙනවා. අප දන්නා විදියට ඔබත් සාමාජිකයකු වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ කාරණා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් වැඩකළ කණ්ඩායමක්. ඔබේ ප‍්‍රයත්නයට කොපමණ කාලයක් ගතවෙලාද? මොනවද මූලික අරමුණු?

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවලා දැන් අවුරුදු තුනක් විතර කාලයක්. මූලික වශයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාතාවරණයක් ඇතිකිරීම සහ ඊට අදාළ කරුණු ගැන තමයි අපි අවධානය යොමුකළේ. මාදුළුවාවේ සෝභිත හිමියන් තමයි එහි මූලිකත්වය දරන්නේ. වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරීන්, විවිධ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ හා සම්බන්ධ නැති අය අප අතර ඉන්නවා. පුද්ගලික වශයෙන් මම කැමතියි සම්පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් හදන්න පුළුවන් නම්. 2000දී උත්සාහ කළා වාගේ. නමුත් මටත් පේනවා අද ඒ වාගේ පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකට යන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඒ නිසා අකමැත්තෙන් වුණත් අපිට පියවරෙන් පියවර තමයි යන්න වෙන්නේ.

අතීතයේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට යන්න උත්සාහ කළ අවස්ථාවලදී ලැබුණු අත්දැකීම් දිහාත් බලලා මූලික කාරණාවලට සීමාවූ ව්‍යවස්ථා වෙනසකට එකඟවෙන්න පුළුවන්ද කියලායි අපි බලන්නේ. එවිට එකඟවිය හැකි පරාසය වැඩියි.

මොනවාද ඔබ යෝජනා කරන මූලික දේවල්?

පළමුව විධායක ජනාධිපති ක‍්‍රමය නැතිකරලා බලතල පාර්ලිමේන්තුවට භාරදීම. පාර්ලිමේන්තුවේ බහුතරය මත රඳාපවතින, හැම මොහොතේම පාර්ලි මේන්තුවට වගකියන, පාර්ලිමේන්තුවේ කැමැත්ත නැත්නම් ගෙදර යන්න සිදුවෙන අගමැතිවරයෙක් පත්කරගැනීම. ඒ වාගේම 17 වැනි සංශෝධනයේ දුර්වලකම් අතහැරලා ක‍්‍රියාත්මක කිරීම.

මේ ප‍්‍රතිසංස්කරණ සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ඔබේ ව්‍යාපාරයට තිබෙනවාද? ඒ කියන්නේ මාර්ග සැලැස්මක්?

ඒ ගැන පැහැදිලි යෝජනා දැනටමත් කෙටුම්පතක් කරලා තියෙනවා. ඒත් අනිත් අයත් එක්ක කතාකරලා අවශ්‍ය වෙනස්කම් තවදුරටත් කරන්න පුළුවන්.
අපි යෝජනා කරන්නේ මාස හයක් ඇතුළත මේ ක‍්‍රියාවලිය ඉවරකරන්න ඕනෑ කියලා. මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ප‍්‍රකාශයට අඩංගු වෙන්න ඕනෑ. අපි නිකමට හිතමු 2015 ජනවාරි 2 වැනිදා ජනාධිපතිවරණය තිබිලා පොදු අපේක්‍ෂකයා දිනනවා කියලා. එවිට, ජනවාරි 4වැනිදා පමණ අලූත් ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා. එතැන් සිට මාසයක් තුළ නිශ්චිත දිනයක ඒ කියන්නේ 2015 පෙබරවාරි 5වැනිදා මේ සංශෝධන පනත් කෙටුම්පත පවතින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය කියලා මැතිවරණ ප‍්‍රකාශයේ තියෙන්න ඕනෑ.

ඒත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන්න ඕනෑ කියලා ශ්‍රේෂ්ඨාධි කරණය කිව්වොත්?

අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයකට යන්න ඕනෑ කියන එකක් නැහැ කියලා. තිබෙන ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලායි අපි හිතන්නේ. ඒ ගැන නඩු තීන්දුත් තියෙනවා. නමුත් බැරිවෙලාවත් කිව්වොත් ජනමත විචාරණයක් ඕනෑය කියලා තියන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න පුළුවන් නම් ජනමත විචාරණයකින් සම්මත කරගන්න එක ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒකටත් කාලයක් දීලා, සංක‍්‍රමණයටත් කෙටි කාලයක් අවශ්‍ය නිසා මාස හයකින් පස්සේ, ඒ කියන්නේ 2015 ජූලි මාසේ 4 වෙනිදා අලූත් ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක වෙනවා කියලා ඒ පනත් කෙටුම්පතේම තියෙන්න ඕනෑ. කෙටුම්පත සම්මත කළාට පස්සේ ස්වයංක‍්‍රියව ජුලි මාසේ 4වැනිදා අලූත් ජනාධිපතිවරයා ධුරයෙන් යනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව රැුස්වෙලා නාමික ජනාධිපතිවරයෙක් පත්කරගෙන, ඒ කියන්නේ 72 ව්‍යවස්ථාවේ විලියම් ගොපල්ලව මැතිතුමා වගේ කෙනෙක් පත්කරගෙන ඉදිරියට යායුතුයි. කෙටුම්පතේ සඳහන් විය යුතුමයි ඊළඟට එන්නේ නාමික ජනාධිපතිවරයෙක් කියලා. නාමික ජනාධිපති වරයා අගමැතිවරයා පත්කිරීමේ කාර්යයේදී හැර අනෙකුත් සයලූම කාරණාවලදී අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.

මීට පෙරත් ලද අත්දැකීම් අනුව මතයක් තියෙනවා පොරොන්දු වෙන කවුරුත් බලයට ඇවිත් වැඬේ කරන්නේ නැහැ කියලා…

විධායක ජනාධිපති ක‍්‍රමය නැතිකිරීම, පාර්ලිමේන්තුවට බලය පැවරීම වැනි මූලික කාරණයකට ලඝු කළොත්, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේත් ඒ ව්‍යවස්ථා කෙටුම්පත අමුණලා තියෙද්දී, ඒ කාරණය මතම බලය අරගෙන, ඔහුට පුළුවන්ද, ‘නෑ විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරන්නේ නැහැ, ඇද්ද ඕගොල්ලෝ මට රැුවටුණා’ කියලා සමච්චල් කරලා ඉන්න? එකක් ලංකාවේ දේශ පාලනඥයෝ ඒ තරම්ම නරක අය කියලා හිතන්න බෑ.. එවැනි දෙයකට මිනිස්සු ඉඩදෙන්නේත් නැහැ. මම හිතන්නේ මේවා ජනාධිපති ක‍්‍රමය දිගටම තියාගන්න උත්සහ කරන අය ප‍්‍රචාරය කරන දේවල්. ඒ එක එක තර්ක ගැන හිතහිතා මේක කෙරෙන්නේ නෑ කියලා හිතුවොත් මොකද වෙන්නේ? විධායක ජනාධිපති ක‍්‍රමය සදා කාලිකවම තියෙන එකයි. අපිට අපි ගැන, මහජනයාට මහජනයා ගැන විශ්වාසයක් නැතිනම් කොහොමද වැඩ කරන්නේ?

ඔබ කීවා පාර්ලි මේන්තුවේ තුනෙන් දෙකක් ගන්න පුළුවන් බව. ඒ කොහොමද?

එක පැත්තකින් අපට තියෙන සලකුණු අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතුයි කියලා බොහොම තදින් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල පිරිසක් ඉන්නවා. පොදු අපේක්‍ෂකයකු සමග ඒ පිරිස එකතුවෙන ලකුණු තමයි තියෙන්නේ. නමුත් අද නෙවෙයි ජනාධිපති වරණයක් ප‍්‍රකාශයට පත්වුණාම.
පොදු අපේක්‍ෂකයකු දිනුවොත්, විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරන්න අකමැති වුණු ශ‍්‍රීලනිපයේ පිරිස තමයි පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ ඉතිරිවෙන්නේ. පළමු මාසය ඇතුළත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඔවුන් වඩාත් ඉඩ තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ තව අවුරුදු හයක් ඉන්නවාට වඩා පාර්ලිමේන්තු ක‍්‍රමයට ගිහින් ඊළඟ මැතිවරණයකදී බලය අල්ලගන්න උත්සාහ කරන්නයි. ඒ වාගේම විධායක ජනාධිපති ක‍්‍රමය දිගටම තිබුණොත් පෞද්ගලිකවත් ඔවුන්ට විශාල දේශපාලන හානියක් සිදුවිය හැකියි. එනිසා තුනෙන් දෙකක් ලබාගැනීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි කියලා හිතන්න පුළුවන්.

ඒත් තුනෙන් දෙක ගන්න බැරිවුණොත්…

එතකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න සිදුවෙනවා. ජනාධිපති වරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න වුවමනාය කියන අදහසට ජනමතයක් ලැබෙනවා නම්, මහ මැතිවරණයකදී ඒක ලොකු වෙනසක් වෙන්න බෑනේ.

යෝජිත අගමැතිගේ ස්වභාවය මොකක්ද? මුළුමනින්ම 1972 ව්‍යවස්ථාවේ හිටි ආකාරයේ අගමැති කෙනෙක්ද?

අපි යෝජනා කරන්නේ ලෝකයේ පිළිගත් සාමාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමයට යායුතුයි කියලා. ඔහු පාර්ලිමේන්තු එනවා. මන්ත‍්‍රීවරු ප‍්‍රශ්න අහනවා. ඒවාට පිළිතුරු දිය යුතුයි. ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ඔහුගේ උපදෙස් මත. ඇත්ත වශයෙන්ම ප‍්‍රායෝගිකව විධායකයේ නායකයා ඔහුයි. හමුදාවලට අණදෙන්නේ ජනාධි පතිවරයා වුණාට ඒකට උපදෙස් දෙන්නේ අගමැතිවරයා. ඔහුට බැහැ පාර්ලිමේන්තුවට තමන්ට ඕනෑ විදියට දේශපාලන ජිල්මාට් දාන්න.

විධායක ජනාධිපතිගේ බලය සීමාකරන්න ගෙනා 17වැනි සංශෝධනය එවැනි ජනාධිපතිවරයෙක් නැති වෙලාවට ඕනෑවෙන්නේ නැහැ නේද? නමුත් ඔබේ යෝජනාවල 17ක් ගැනත් කියැවෙනවා.

ඊට ඉස්සෙල්ලා මම කියන්න ඕනෑ, 1997 සහ 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත්වල විධායක ජනාධිපතිධුරය නැතිකිරීමට යෝජනා කරලා තිබුණා. ඒත්, එදාත් යෝජනා වුණා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් හදන්න. 17වැනි සංශෝධනයේ මුල් තියෙන්නේ එතැන. එවකට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවා එකඟ වුණා, පාර්ලිමේන්තු ක‍්‍රමයකට ගියත් රටේ ඉහළ පත්වීම් කරන්න ඕනෑ ස්වාධීන ආයතනයකින් කියලා. එතැනදී ඉහළ පත්වීම් කිව්වේ කොමිෂන් සභා සහ අනෙක් ඉහළ නිලයන් ගැනයි. ඒත් 17වැනි සංශෝධනයේදී ඊටත් ඉදිරියට ගිහින් අභියාචනාධි කරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුනුත් ඒකට ඇතුළු කලා. පාර්ලිමේන්තු ක‍්‍රමයකට ගියත් මෙවැනි පත්කිරීම් අගමැතිගේ අභිමතයට පමණක් සිදුවෙන්න බැහැ. ඒ සඳහා ජාතික එකඟත්වයක් පවත්වාගත යුතුයි. ඒකට 17 අවශ්‍යයි.

එහෙත් 17වැනි සංශෝධනය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන්නට ඒ තුළම තිබුණු දුර්වලතාත් හේතුවුණා නේද?

ඔව්. කෙටියෙන් කිව්වොත්. පත්වීම් සියල්ල කරන තාක් කල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. අනෙක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව යෝජනා කරන අය පවා ජනාධිපති වරයායි පත්කරන්නේ. ඔහු පත්වීම් නොකළොත් ක‍්‍රියාවලිය ඇනහිටිනවා. ඩියු ගුණසේකර මහතාගේ පාර්ලිමේන්තු කමිටුව ඒ සියලූ ප‍්‍රශ්න ගැන කතාකළා. සියලූම පක්‍ෂ ඒ අවසන් නිර්දේශවලට එකඟවුණා. ඒ නිසා ඒක ක‍්‍රියාත්මක කිරීමට කිසිම අපහසුවක් නැහැ. නමුත් එය පාර්ලිමේන්තු ක‍්‍රමයකට ගැළපෙන පරිදි හැඩගස්වාගත යුතුයි. උදාහරණයක් හැටියට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ හිටියා ජනාධිපති වරයාගේ නියෝජිතයෙක්. අද එහෙම කෙනෙක් වුවමනා වෙන්නේ නැහැ. අවශ්‍ය නම් ප‍්‍රධාන ජනකොට්ඨාස හතර වෙනුවෙන් නියෝජිතයන් හතර දෙනෙක් පත්කරගන්න පුළුවන්.

කෙසේ නමුත් මේ ක‍්‍රියාවලිය තුළ සමස්තයක් ලෙස ක‍්‍රමයේ වෙනසක් පෙනෙන්නේ නැහැ. සමස්ත ක‍්‍රමයේම වෙනසක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා.

අප මතක තබාගත යුත්තේ, මේ මූලික අදියර අවසන් වීමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවකාශයක් රටේ ඇතිවන්නට නියමිත බවයි. එය මේ වාගේ අධිකාරිවාදී අවකාශයක් නෙවෙයි. එදාට දේශපාලන පක්‍ෂවලට, ක‍්‍රියාකාරීන්ට මීට වඩා නිදහසේ හුස්ම ගන්න පුළුවන්. මේ ක‍්‍රියාවලියට සියලූ දේශපාලන පක්‍ෂ හා දේශපාලන කොටස් එකතුවීම ම නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමක්. එතැනදී මේ හුඟක් ප‍්‍රශ්න විසඳාගන්න පුළුවන් වේවි.

මාස හයක් පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයා වැඩකරන්නේ පවතින පාර්ලිමේන්තුවත් සමගයි. ඒ කාලය තුළ රටේ පාලනය නිසි ආකාරයෙන් පවත්වාගත යුතුයි..

ඒ ගැනත් අපි හිතලා තියෙනවා. ඒවා ගැන දේශපාලන පක්‍ෂත් එක්කත් කතාකරන්න තවදුරටත් විවෘතයි. එක් යෝජනාවක් ඇවිත් තියෙනවා, පොදු අපේක්‍ෂකයා දිනුවොත් එතැන් සිට මාස හයක පාලනය පවත්වාගෙන යන්නට සියලූම පක්‍ෂවලට ආරාධනා කළ යුතුයි කියලා. ඒ වාගේ දේවලින් පවතින දේශපාලන වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට කටයුතු කරන්නත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්ද?

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හදන්න ව්‍යවස්ථාව ඉඩදෙන්නේ නැහැ. හැම වෙලාවේම එවැන්නක් හදන්නේ ව්‍යවස්ථාවට පිටින්. එවැනි මණ්ඩලයක් හැම පාර්ලිමේන්තු මැතිවරණ යකටම පස්සේ හදන්නත් බෑ. එහෙම වුණොත් හැම මැතිවරණයකටම පස්සේ අලූත් ව්‍යවස්ථාවක් ඒවි. සාමාන්‍යයෙන් රටක එක පාරයි එවැන්නක් කරන්නට පුළුවන්. ඉතාම නරක තත්ත්වයන් යටතේ දෙතුන් පාරක් කරන්න පුළුවන් වෙයි. ඒ වාගේම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට ගිය පමණින් සියල්ල යහපත් වෙන්නේ නැහැ. 70දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට ගියාට එහිදී සරල බහුතරයෙන් තීන්දු ගත්තා විතරක් නෙවෙයි, අන්තිමට ව්‍යවස්ථාව මොකක්ද කියලා තීන්දු කළේත් සමගි පෙරමුණයි. ඒ නිසාමයි ඒක දිගට පැවතුණේ නැත්තේ.

නමුත් දැන් අපිට ලෝකයෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා. විශේෂයෙන් දකුණු අප‍්‍රිකාවෙන්. දකුණු අප‍්‍රිකාවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තීන්දු ගත්තේ සරල බහුතරයකින් නෙවෙයි. ‘ප‍්‍රමාණවත් එකඟතාවක්’ හෙවත් ‘සෆිෂන්ට් කොන්සෙන්ෂස්’ කියන සංකල්පයට අනුව. ඒ කියන්නේ සරල බහුතරයට වඩා වැඩියි. ඒත් තුනෙන් දෙකකට වඩා අඩුයි. ඔවුන් මේ එකඟතාව මැන බලන්න විදේශ විනිශ්චය කාරවරු දෙදෙනෙක් එකතුකරගත්තා. ඉතින් ක‍්‍රම නම් ඕනෑ තරම් තියෙනවා.

ඒ වාගේම සමහර පාර්ශ්ව මතුකරනවා විධායක ජනාධිපති ක‍්‍රමය අවසන්කරනවා නම් මැතිවරණ ක‍්‍රමය පරණ ආසන ක‍්‍රමයට යායුතුයි කියලා.

මුළුමනින්ම ආසන ක‍්‍රමයට යන එක නිවැරදි නැහැ. ආසන ක‍්‍රමයට වැඩි බරක් දුන්නොත්, සුළු දේශපාලන පක්‍ෂවලට හා සුළු ජාතිකයන්ට තැනක් නැති වෙනවාමයි. ආසනවලට ඕනෑවට වඩා වැඩි බරක් දෙන්නේ නැතිව ඒ ක‍්‍රමයත්, සමානුපාතික ක‍්‍රමයත් මිශ‍්‍රවෙච්ච ක‍්‍රමයකට යනවා නම් හොඳයි.

මේ කාලයත් සමග විධායක ජනාධිපති ක‍්‍රමය නැති කිරීමයි, නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමයි එකම දවසේ එකට කරන්න එකඟත්වයක් ගන්න පුළුවන්ද කියන ගැටලූව මට තියෙනවා. නමුත් දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව දැනටමත් තියෙනවා මැතිවරණ ක‍්‍රමය ගැන. ඉතින් අපට හොඳ සාකච්ඡුාවකට යන්න පුළුවන් ඒ ගැන ඉදිරියේදී. මේවා සාකච්ඡුාකරලා බේරගන්න බැරි ප‍්‍රශ්න හැටියට නම් මම සලකන්නේ නැහැ. ඒත් අරක කරනකම් මේක කරන්නත් බැහැ කියනවා වගේ මාර්ග බාධක දාන්න ගියොත් ප‍්‍රතිඵලය වන්නේ මේ ක‍්‍රමයට දිගටම පවතින එකයි. පළමුව විධායක ජනාධිපතිධුරය වෙනස් කරගෙන ඉන් ඇතිවන නිදහස් හා අලූත් දේශපාලන අවකාශය ප‍්‍රයෝජනයට අරගෙන ඊළඟ අදියරවලදී අනෙක් වෙනස්කම් කරන එකයි හොඳම දේ.

මේ වැඩපිළිවෙල ජනතාව අතර සාකච්ඡුාවට ගෙන යන්න බලා පොරොත්තු වෙනවාද?

මෙච්චර කාලයකුත් හැකි පමණින් ඒක කළා. දැනටමත් අපි දේශපාලන පක්‍ෂ සෑහෙන ප‍්‍රමාණයක් සමග ඒ ගැන කතාකොට තිබෙනවා. ඒවා ඉතාම පලදායකයි. නමුත් දැන් වැඩි තීව‍්‍රතාවකින් ඒක කරන්න ඕනෑ. මේ වැඩපිළිවෙල ජනතාව අතර හොඳින් සාකච්ඡුාවට ලක්කරලා, ඔවුන්ගේත් දේශපාලන පක්‍ෂවලත් අදහස් අරගෙන, පොදු සම්මුතියකින් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමත් ඒ වැඩපිළිවෙල ජයග‍්‍රහණය කිරීමත් දක්වා ගමනක් අප යායුතුයි. එය කළ හැකි දෙයක්.