ඊලාමය ගැන ජනමත විචාරණයක් තියන්නැ’යි කියන්න ජෙයලලිතා මෝදිගෙන් ඉල්ලයි

 

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන ජන සංහාරයට වගකිවයුත්තන්ට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන මෙන් තමිල්නාඩුවේ මහ ඇමතිනි ජෙයරාම් ජෙයලලිතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ. මහ ඇමතිවරිය එම ඉල්ලීම කළේ ජුනි 3වැනි අඟහරුවාදා දිල්ලි අගනුවරදී ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේදීය.

මැයි 26වැනිදා පැවැති ඉන්දීය නව අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය තමිල්නාඩු මහඇමතිනිය වර්ජනය කළේ, ඊට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ආරාධනා කිරීමට විරෝධය පානු සඳහාය. පසුගිය ඉන්දීය මහමැතිවරණයේදී ලෝක් සභාවේ තමිල්නාඩු ආසන 39න් 37ක් දිනාගැනීමට ජෙයලලිතා මහත්මියගේ පක්‍ෂය සමත්වූ නමුත්, ලෝක් සභාවේ ආසනවලින් අතිබහුතරයක් තනිව දිනාගැනීමට බීජේපීය සමත්වීමත් සමග මධ්‍යම ආණ්ඩුව කෙරෙහි තමිල්නාඩුවේ බලපෑම් හැකියාව දුර්වලවී යනු ඇතැ’යි සමහරු කීහ. එහෙත්, දිවුරුම් දී සතියක් ගතවන්නටත් පෙර අගමැති මෝදි තමිල්නාඩු මහඇමතිනියට සාකච්ඡුාවක් ලබාදීමෙන් පෙනීයන්නේ, ජෙයලලිතා නැති ඉන්දීය මධ්‍යම ආණ්ඩුවක් ගැන සිහින මැවූවන්ගේ සිහින බොඳවන බවය.

3වැනිදා අගමැති හමුවූ විට මහඇමතිනි ජෙයලලිතා තවදුරටත් කීවේ, එක්සත් ජාතීන්ට ඉදිරිපත් කරන එම යෝජනාවෙහි, දෙමළ ඊලාම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිණිස ශ‍්‍රී ලංකාවේ සහ විදේශගතව වෙසෙන දෙමළ ජාතිකයන්ගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වගන්තියක්ද ඇතුළත් කරන ලෙසය.

එම හමුවේදී යෝජනා 25කින් සමන්විත පිටු 64කින් යුත් සංදේශයක් අගමැතිට භාර දුන් ජෙයලලිතා කච්චතිවු දූපත යළිත් ඉන්දියාවට පවරාගෙන ඉන්දීය ධීවරයන්ගේ පාරම්පරික අයිතිය ආරක්ෂා කරන මෙන්ද ඉල්ලූවාය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 76ක් හා එම ධීවරයන්ට පහරදීමේ සිදුවීම් 67ක් ගැන පසුගිය ඉන්දීය ආණ්ඩු සමයේදී 41 වතාවක් මධ්‍යම ආණ්ඩුවට දැනුම් දුන් බවද ජෙයලලිතා මහත්මිය සිය සංදේශයෙහි සඳහන්කර තිබෙන බව වාර්තාවෙයි. ‘මේ සිදුවීම් තමිල්නාඩු ධීවරයන් අතර අසහනයක් නිර්මාණය කොට තිබෙනවා. මෙය ජාතික ප‍්‍රශ්නයක්. එක් අහිංසක ධීවරයකුට වුවද කරන පහරදීමක් ඉන්දියාවට කරන පහරදීමක් ලෙස සැලකිය යුතුයි.’ ඇය එහිදී කියයි.

මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුවේ බලපෑම ගැන බීබීසී සංදේශයට පැහැදිලි කළ පීටීඅයි පුවත් සේවයේ විධායක කර්තෘ වීඑස් චන්ද්‍රසේකර් කීවේ, භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවේදී කිසිවකුගේත් සහායක් නැතිව ආණ්ඩුවක් පිහිටුවා ඇති නමුත්් ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේදී බීජේපීයට බහුතර බලයක් නැති බවය. ‘පොඩි නීති කෙටුම්පතක් හරි සම්මත කරන්න රාජ්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා ජෙයලලිතාගේ පක්ෂයේ සහාය අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රාන්ත ආණ්ඩුවල පදයට මධ්‍යම ආණ්ඩුව නටයිද කියන එක නම් මේ මොහොතේ කියන්න බැරි දෙයක්.’ ඔහු කියයි.

පොලිස් බලතල දෙන්නේ නැහැ කිව්වාලූ

පසුගියදා මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 27වැනිදා ඔහු සමග ද්විපාර්ශ්වික සාකච්ඡුාවක් පැවැත්වීය. එහිදී අගමැති මෝදි ලංකාවේ 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කළේය. එසේ වුවත් මෙවැනි කරුණු ගැන දෙදෙනා අතර සාකච්ඡුාවක් වූ බවක්වත් ලංකාවේ ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිල වශයෙන් සඳහන් කළේ නැත.

ජුනි 3වැනිදා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මේ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළේය. ‘ඉන්දීය නව අගමැති සහ ජනාධිපති අතර පසුගියදා ද්වීපාර්ශ්වීය සාකච්ඡුාවක් පැවැත්වුණා. සාකච්ඡුාවෙන් අනතුරුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ‍්‍රීමති සුජාතා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් කීවේ 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම ලංකාවේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා වැදගත්වන බවයි. එය ඉන් ඔබ්බට ද ගමන් කිරීම වැදගත් බව ඉන්දීය පාර්ශ්වයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ඇය මෙහිදී කියා සිටියා.

ලංකාවේ සංහිඳියාව ඇතිකිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් ඉන්දියාව සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව 2011 මැයි මස 17 වන දින රජයන් දෙක ඒකාබද්ධ පුවත්පත් ප‍්‍රකාශනයක් ද මීට පෙර නිකුත් කර තිබුණා. එමගින් දැක්වුණේ 13 වන සංශෝධනය මත ගොඩනැගෙන්නා වූ බලය බෙදා හැරීමේ යෝජනාවලියක් එබඳු ප‍්‍රතිසන්ධානයක් සඳහා අවශ්‍ය තත්ත්වයන් ඇති කිරීමෙහිලා දායක වනු ඇති බවයි. ඒ අනුව, මා ප‍්‍රශ්න කර සිටින්නේ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ඉස්මතු කරන ලද මෙම කරුණ පිළිබඳව රජයේ ප‍්‍රතිචාරය කුමක්ද යන්නයි.’

පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන් ඇමති ජීඑල් පීරිස් කීවේ, පොලිස් බලතල පළාත් සභාවලට නොදෙන බව ජනාධිපති රාජපක්‍ෂ අගමැති මෝදිට කී බවයි. ‘උතුර – නැගෙනහිර පමණක් නොව සෙසු පළාත් සභාවලටත් පොලිස් බලතල අවශ්‍ය නොමැති බවයි රජයේ අදහස. ජාතික සංහිඳියාව ඇතිකිරීම සඳහා රජය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡුාවේදී දැනුම්දුන්නා. මීට සෑම පාර්ශ්වයක්ම සම්බන්ධ වී දිගුකාලීන ස්ථිර විසඳුමක් ලබාගත යුතුයි. ඒ තුළින් පමණක් ජාතික සංහිඳියාව ඇතිකළ හැකි බව ජනාධිපතිවරයා ඉන්දීය අගමැති වෙත ප‍්‍රකාශකළ බව මම විපක්ෂ නායකවරයාට කියන්න ඕනෑ.’

ඉඩම් බලතල දෙනවාද?

පොලිස් බලතල පළාත් සභාවලට නොදෙන බව ආණ්ඩුව පැහැදිලි ලෙසම කී අවස්ථාවක් ලෙස මෙය පිළිගත හැකිය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඉඩම් බලතල පළාත් සභාවලට දෙනවාද යන්නයි. පීරිස් ඇමතිවරයා එය නොදෙන බව නොකීමෙන් ඉඩම් බලතල පළාත් සභාවලට දෙන්නට ආණ්ඩුවේ එකඟතාවක් ඇති බව හැෙඟයි. පසුගිය කාලයේ ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ පක්‍ෂ හා විවිධ සංවිධාන පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට නොදිය යුතු බවට බලවත් හඬක් නැගූහ. මේ අලූත් තත්ත්වය යටතේ ඔවුන් කුමන පියවරක් ගනු ඇත්දැ’යි තවම කිව නොහැකිය.

කොෆි අනන් හා සිරිල් රැම්ෆෝසා

අනාගතයේදී ලංකාවට එන්නට නියමිතව සිටින අනන් හා රැුම්ෆෝසා නිසා ආණ්ඩුවත්, ආණ්ඩුවේ ඇතුළත පක්‍ෂත් බලවත් අර්බුදයකට යා හැකි බවට තොරතුරු ලැබෙයි.
පසුගිය මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවට අනුව ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් ගැන පරීක්‍ෂා කරන්නට පත්කරන්නට නියමිත ජාත්‍යන්තර පරීක්‍ෂණ මණ්ඩලයේ ප‍්‍රධානත්වය හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් වෙත පැවරෙනු ඇති බවට වාර්තා පළවෙයි. එසේ වුවහොත්, ඔහුට ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන්නේද යන්න බලවත් ගැටලූවක් වනු ඇත. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට කිසිවකුට රටට ඇතුළුවීමට ඉඩනොදෙන ස්ථාවරයක් ගෙන ඇති ආණ්ඩුව නොබෙල් සාම ත්‍යාගලාභියකුද, හිටපු මහලේකම්වරයකුද වන අනන් මහතාට ලංකාවට පැමිණීමට වීසා නොදුනහොත් ඒ හේතුව නිසා ලෝකයේ බලවත් කොන්වීමකට මෙන්ම රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදයකටද ගමන්කරනු ඇත. මේ නිසා ආණ්ඩුව තුළම ඔහුට වීසා නොදිය යුතුද, දිය යුතුද යන්න ගැන මතභේදයක් ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, තවමත් අනන් මහතාගේ පත්කිරීම ගැන තීරණයක් නැත. එම පරීක්‍ෂණ කණ්ඩායම මානව හිමිකම් මහකොමසාරිස්වරිය වෙත වාර්තා කළ යුතු නිසාත්, හිටපු මහලේකම්වරයකු වන අනන් මහතාට ඔහුගේ පැරණි තනතුරට පහළ තනතුරක් වන මහකොමසාරිස්වරියට වාර්තාකිරීමට සිදුවීම ප්‍රොටෝකෝල ගැටලූවක් මතුකරන නිසාත් අනන් මහතා වෙනුවට වෙනත් අයකු මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත්කරන්නට ඉඩ තිබෙන බවද කියැවෙයි.

මහකොමසාරිස්වරිය පත්කරන්නට නියමිත පරීක්‍ෂණ මණ්ඩලයෙන් යුද්ධය අවසන්වීමට වසර 7කට පෙර සිට අවසානය දක්වා කාලය විමර්ශනයට ලක්කරනු ඇතැ’යිද, එය අඩුම ගණනේ සාමාජිකයන් 13දෙනකුගෙන් සමන්විත වනු ඇතැ’යිද, විශේෂඥයන් දෙදෙනකු විසින් සුපරීක්‍ෂණය කැරෙනු ඇතැ’යිද, එහි ප‍්‍රධානියා ලෙස ජාත්‍යන්තර තලයේ විශිෂ්ට පුද්ගලයකු පත්කැරෙනු ඇතැ’යිද පසුගිය කාලයේ වාර්තා විය. අනන් මහතා සලකා බැලූණේ එම ප‍්‍රධානී තනතුරටය. අනන් නොමැති වුවහොත් ප‍්‍රධානී තනතුර සඳහා සලකා බැලෙන්නේ ඕස්ටේ‍්‍රලියානු විනිසුරුවරයකු වන මයිකල් කර්බිය. ඔහු මහකොමසාරිස් කාර්යාලය විසින් උතුරු කොරියාවේ මානව හිමිකම් තත්ත්වය විමර්ශනය කිරීමට මීට පෙර පත්කළ පරීක්‍ෂණ මණ්ඩලයෙහි ප‍්‍රධානියා විය.

රැම්ෆෝසා ආවොත් විමල් අවුට්

අනෙක් මතභේදකාරී චරිතය දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව අතර සාකච්ඡුා සඳහා මැදිහත්කරුවකු ලෙස සහභාගි කරගන්නට නියමිතව සිටින දකුණු අප‍්‍රිකාවේ සිරිල් රැුම්ෆෝසාය. යම් හෙයකින් රැුම්ෆෝසා ලංකාවට ගෙන්වාගන්නට ආණ්ඩුව එකඟවුවහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට ඇතැ’යි දැනගන්නට ලැබේ.

පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ සංවත්සර සමුළුවේදී සම්මත කරන ලදුව ජනාධිපතිවරයාට භාරදුන් කරුණු දොළහකින් යුත් යෝජනා මාලාවෙහි, දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිම සාකච්ඡුාවක් නොකළ යුතු බවත් රැුම්ෆෝසාගේ පැමිණීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බවත් අවධාරණය කර තිබේ. ඔහු පැමිණියහොත් ආණ්ඩුව ගැන දැඩි තීරණයකට එළැඹීය යුතු බව පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡුා වී තිබෙන්නේ ඒ පසුබිම මතය.

සෝභිත හිමි ලෙඩකු කිරීමේ වෑයමක්

පසුගිය සතියේ පුවත්පත්වල මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගාතුරව ප‍්‍රතිකාර ලබන බවට වූ ප‍්‍රවෘත්තියකට විශාල වටිනාකමක් ලැබිණි. ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වේයැ’යි සැකකරන එහිමියන් රෝගාතුරවීම මාධ්‍යයනට ප‍්‍රවෘත්තියක් වුවත් ඒ වැදගත්කමෙන් ඔබ්බට යන අතිශයෝක්තියක් එම ප‍්‍රවෘත්ති මාලාවෙහි දක්නට ලැබිණි. පසුව වාර්තා වන්නේ එය ආණ්ඩුවේ වුවමනාවට ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් ලවා වරින්වර තැනින් තැන ඉදිරියට ගෙනා මාධ්‍ය මෙහෙයුමක් බවය. එහි එක් තැනක ජනාධිපතිවරයා සෝභිත හිමියන් බලන්නට රෝහලට ගිය බවත්, අවශ්‍ය නම් සිංගප්පූරුවට යවන්නට පවා කැමති වූ බවත් වාර්තාකර තිබිණ. මේ හරහා සෝභිත හිමියන් ජනාධිපතිවරණයේදී තරග කරන්නට ශාරීරිකව අසමත් කෙනකු ලෙස සමාජගත කරන්නටත්, තම අනාගත ප‍්‍රතිවාදියකුට පවා ජනාධිපතිවරයාගේ මහා කරුණාව හිමිවන බව පෙන්වන්නටත් වෑයම්කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සෝභිත හිමියන් සිංගප්පූරුවට යවන්නට කතාකරන්නේ සිය පෞද්ගලික බූදලයෙන් නොවේ. ජනාධිපති අරමුදලෙනි. ජනාධිපති අරමුදල වනාහි පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ වුවමනා එපාකම් අනුව කිසිදු වගවිභාගයකින් තොරව මුදල් වෙන්කරන අරමුදලකි. සාමාන්‍ය පුද්ගලයකු සැත්කමකට මුදල් ඉල්ලූ විට රුපියල් ලක්‍ෂයක් එකහමාරක් ලබාදෙන අරමුදල, ආණ්ඩු හිතැ’ති කෝටිපතියන්ට වෘත්තිකයන්ට මිලයන 7-8 ගණන් අරමුදල් පැකිලීමකින් තොරව ලබාදෙයි. මේ ගැන රාවයට අදහස් පළකළ නීතිඥ ජේසී වැලිඅමුණ කියන්නේ, ජනාධිපති අරමුදල රෙගුලාසි මාලාවකට යටත්කොට ඇති බවයි. ‘ඊට පාර්ලිමේන්තුව මුදල් වෙන්කරනවා. මේවා මිනිසුන්ගේ මුදල්. ඒත් ලංකාවේ හොඳට සල්ලි තියෙන අයටත්, මිලියන ගණනින් මේ අරමුදලෙන් ආධාර දුන් බවට තොරතුරු තියෙනවා. මේක ජනාධිපතිගේ පුද්ගලික බූදලයක් නෙවෙයි. ඒත් ඔහුගේ භාරයේ තියෙන නිසා රෙගුලාසිවලට පයින් ගහලා ඔවුන්ගේ දේශපාලන වුවමනාකම් අනුව පාවිච්චි කෙරෙනවා. ඒ නිසා මැතිවරණ කිට්ටුවුණාම පවත්වන අරලියගහ දන්සැලේම තවත් කොටසක් බවට ජනාධිපති අරමුදල පත්වෙලා. මුදල් කීයක් දුන්නාද කාටද දුන්නේ යන දේ ගැන කිසිම තැනක තොරතුරක්වත් දැක්වෙන්නේ නැහැ.’ ඔහු කීවේය.