කරන්නන් වාලේ ආණ්ඩු මාරු කිරීමේ අනතුර

 

ඊළග ජනාධිපතිවරණය, ලබන වසරේ පළමු කාර්තුවෙහි පැවතිය හැකි යැයි තිබූ කතාව දැන් ‘‘මේ වසර අවසාන වන්නට පෙර පැවතිය හැකිය’’ යනුවෙන් මඳක් වෙනස් වී ඇත. ඒ සමග විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා යළි පොදු අපේක්ෂකයෙකු කරන්නට උත්සාහයන් කිහිපයක් ඇත. ඉන් එක් උත්සාහයක් වමේ සහ වමට හිමිකම් කියන උගත් දැනුවත් පිරිසක් විසින් ගන්නා උත්සාහයකි. ඔවුන්ට අනුව මාදුළුවාවේ සෝභිත හිමි මිස පොදු අපේක්ෂකයකු වන්නට වෙනකකු නැත. ඒ පොදු අපේක්ෂකයා වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක්ද ලියා අවසන් කර ඇතැ’යි සාකච්ඡුාවක දී පැවසිණ.

සෝභිත හිමි විසින් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ රවි ජයවර්ධන ද මාදුළුවාවේ සෝභිත හිමි හැර වෙනත් පොදු අපේක්ෂකයෙකු නැතැ’යි ඊයේ පෙරේදා මාධ්‍යයට පවසා තිබිණ. ඔහු පවසා තිබූ ආකාරයට සෝභිත හිමි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට මිස, සිංහල ජනතාවට අහිතකර කිසිවක් කිරීමට ඉදිරිපත් වන්නේ නැත. එහෙත් සිංහල ජනතාවට අහිතකර මොනවාදැ’යි විස්තරයක් ද නැත. මේ එකතුව සජිත් පේ‍්‍රමදාසට හිතවත් සිංහලවාදී එකතුවක් බව නොරහසකි. ඔවුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලියුවහොත් එය නියත වශයෙන්ම මේ ආණ්ඩුව හා ගැටගැසී ඉන්නා අලූත් සල්ලිකාර පැළැන්තියට ද අහිතකර නොවන්නක් වන බැව් සහතික ය. එබැවින් වමෙන් තෝරන සෝභිත හිමි සහ මොවුන් තෝරන සෝභිත හිමි අතර පරස්පරය ලිහා ගැනෙන්නේ කෙසේදැ’යි තේරුම් කළ නොහැක්කකි. එනිසාම ලියා අවසන් කර ඇතැ’යි කියන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෝභිත හිමි බාරගන්නේද යන්නත් නොදන්නකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී එහි ප‍්‍රධාන කර්තෘවරුන්ගේ දේශපාලනයට අනුව සැකසෙන රටේ ආර්ථිකයට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත කෙරෙන බව, වික්ටර් අයිවන් ව්‍යවස්ථා සම්පාදනය ගැන ලියන ලිපිපෙළට එකතුවක් කරමින් මම ගියවර ‘ව්‍යවස්ථා සම්පාදන කතිකාවට තවත් මානයක්’ මැයෙන් ලියූවෙමි. ඇතැම් විට ඒ ගැන වික්ටර් අයිවන් ඔහුගේ මෙවර පළවෙන අවසන් ලිපියෙන් යම් ප‍්‍රතිචාරයක් දක්වන්නට ඉඩ ඇත. එහෙත් එහි සෝභිත හිමි ඉදිරිපත් කරන දේශපාලනයේ ආර්ථික ආකෘතිය ගැන සඳහන් වනු ඇතිදැ’යි නොදනිමි. මුස්ලිම් ආගමට මෙන් බුදු දහමට ආර්ථික හා මූල්‍ය කළමනාකාරිත්වය ගැන පැහැදිලි ධර්ම රාමුවක් ද නැති හෙයිනි.

ඒ කෙසේ වෙතත්, ඔහුගේ ගියවර ලිපියෙහි වික්ටර් පොදු ජනාධිපති අපේක්ෂකයෙකු තේරීමේ සාධකයත් ව්‍යවස්ථා සම්පාදනයට එකතු කර ගෙන තිබිණ. ඒ ගැන ආරම්භයේදීම කිවයුත්තක් ඇත. සිංහල-බෞද්ධ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ කොළඹ වමේ දේශපාලනඥයන්ගේ සහ විද්වතුන්ගේ උත්සාහය සහ අප කතා කරන කාරණාව අතර පැහැදිලි දේශපාලන වෙනසක් ඇත. ඔවුන් කතා කරන්නේ ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම සඳහා දකුණේ පොදු හවුලක් හදා ගැනීම වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කොන්දේසියක් කර ගැනීමට ය. අප කතා කරන්නේ අවුරුදු 66ක් පුරා ප‍්‍රතිකාර නොකරනු ලැබ ඔඩු දිවූ ව්‍යාධියක් වන වාර්ගික ආරවුල විසඳමින් නව ජාතික රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට ය. එනිසාම මේ පැහැදිලි ව්‍යාපෘති දෙකකි.

ඒ පිළිබඳව වික්ටර් අයිවන් මතු කර ඇති කාරණාවලට අමතරව, ව්‍යවස්ථා සම්පාදනයේදී මට අදාළව තවත් වැදගත් කාරණා දෙකක් ඇත. ඉන් පළමුවැන්න ගැන මීට ඉහතින් ලියුවේ උතුරු පළාත් මහ ඇමති විග්නේස්වරන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කරමිනි. ඔහුගේ නම යෝජනා කෙරුවේ, සිංහල බෞද්ධ පොදු ජනාධිපති අපේක්ෂකයකුට සීමා කරමින් මේ රටේ සියලූ ව්‍යාධි ව්‍යසන සඳහා කෝකටත් තෛලයක් ලෙස යෝජනා කරන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව හිස් යෝජනාවක් බැව් පැහැදිලි කිරීමට ය. මේ රටේ ඉතාම බරපතළ ගැටලූව වන නව ජාතික රාජ්‍යයක් තහවුරු කර ගැනීමේ ගැටලූවට ඉන් වැදගත් උත්තරයක් නොලැබෙන බව අවධාරණය කිරීමට ය. දකුණේ කතා කෙරෙන පොදු සිංහල ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවට විග්නේස්වරන් ජාතික පොදු අපේක්ෂකයකු ලෙස නම් කළ යුතු යැයි යෝජනා කෙරුවේද එබැවින් ය.
දෙවන අනෙක් කාරණාවට යොමු වන්නට පෙර මේ ගැනද කෙටියෙන් සඳහන් කළ යුතුයැ’යි සිතමි. එ.ජා.ප ආණ්ඩුව 1978 දී විධායක ජනාධිපති ධුරය ඉදිරිපත් කරන්නේ එතෙක් පැවති පාර්ලිමේන්තු පාලන ක‍්‍රම දෙකම අසාර්ථක වූ බවට හේතු ඉදිරිපත් කිරීමත් සමග ය. එය සත්‍යයකි. නිදහස ලැබූ 1948 සිට 1972 වන තෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මේ රටේ වූ යහපත් ආණ්ඩු පාලනයක් නැත. දකුණේ දේශපාලන නායකයන් සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩු පාලනය පටන් ගන්නේ වැවිලිකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසි හා ඡුන්ද අයිතීන් සහමුලින් අහෝසි කරමින් ය. එය දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය දෙකඩ කිරීමටත් උතුරුකරයට ෆෙඩරල් පාලනයක ඇති අවශ්‍යතාව මතු කරන්නටත් හේතු විය. 1956 සිංහල භාෂාව තනි රාජ්‍ය භාෂාව බවට පත් කෙරෙන්නේ ද මේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යොදා ගැනීමෙනි. 1962 වන විට යාපනයට හමුදා බල ඇණි යවන්නට ඉඩ ලබා ගන්නේ ද ඒ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙනි.

එලෙසින්ම, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු බලය යොදා ගැනුණේ ද දෙමළ ජාතික ගැටලූව තව දුරටත් උග‍්‍ර කිරීමට ය. ඒ වන විට කිසිවකු යෝජනා නොකළ බෞද්ධාගම සඳහා ව්‍යවස්ථාමය රැුකවරණයක් ලබා දීම ව්‍යවස්ථාවට ඇතුළු කෙරුණි. අද රාජපක්ෂ ජනාධිපති කතා කරන සේ, සියල්ලන් ශී‍්‍ර ලාංකික පුරවැසියන් කරමින් සුළුතර අයිතීන් සඳහා ව්‍යවස්ථාවෙහි ඉඩක් නොතැබී ය. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය වෙනුවෙන් ඇතුළත් කෙරුණු භූගෝලීය විෂමතා ද දෙමළ දේශපාලනයට එකතු වීමෙන් 1974 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහි වී, වඩුක්කොඩෙයිහි දී පළමු වරට වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් යෝජනා සම්මත වූයේ ද ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කළ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ය.

පාර්ලිමේන්තු පාලන ක‍්‍රම දෙකෙන්ම මේ රටේ දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් සඳහා කිසිදු ඉඩක් නොලැබුණි. ඒ වෙනුවට, දෙමළ වාර්ගික ගැටුම උත්සන්න කිරිමට හේතු විය. එනිසාම රටේ සමස්ත සංවර්ධන කි‍්‍රයාදාමයත් අතහැරුණි. ඉහළ නැගුණ ජීවන වියදමට අමතරව, 1970 වන විට උසස් අධ්‍යාපනය විශාල අර්බුදයකට හසුව තිබිණ. උපාධිධාරී විරැුකියාව සමාජ අර්බුදයක් බවට පත් වන්නට විය. අධ්‍යාපන ඇමති ලෙස ඊරියගොල්ල අප‍්‍රසාදයට පත් වන්නේත් එය ආණ්ඩු විරෝධයක් බවට පත් වන්නේත් එනිසා ය. උතුරේ දෙමළ සන්නද්ධ කැරැුල්ලට පෙර දකුණේ පළමු තරුණ සන්නද්ධ කැරැුල්ල 1971 දී මතු වන්නේ මේ විධායක ජනාධිපති ක‍්‍රමයට වඩා හොඳයැ’යි කියන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍ර වාදයෙහි සියලූ දෝසවලට විරුද්ධව ය.

අප 1978 වන තෙක් අත්විඳි උත්තරීතර පාර්ලිමේන්තු බලය සමග වූ අවුරුදු 30ක ජීවිතය, හැම අතින්ම අසාර්ථක මෙන්ම ලේ වැකි ඉතිහාසයකි. එනිසා විධායක ජනාධිපති ධුරය අත හැර නැවත පාර්ලිමේන්තුවකට බලය ලබා දීමට කතා කිරීම එපමණින් විසඳුමක් නොවේ. තර්කයක් ලෙස ගතහොත් පැරණි පාර්ලිමේන්තු සතු වූ අඩුපාඩු මකා දමා වඩා යහපත් පාර්ලිමේන්තුවක් හැදීමට යෝජනා කෙරෙන්නේ නම්, ඒ තර්කය විධායක ජනාධිපති ධුරයට ද එලෙසින්ම වලංගු ය. වඩා පරිපූර්ණ 17 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලය කප්පාදු කර රාජ්‍යය නිර්දේශපාලනය කළ හැක. එවගේම පවතින මුක්තිය ඉවත් කර ජනාධිපති ධුරය අධිකරණයට ද වගකිව යුතු ධුරයක් බවට පත් කිරීමෙන් මේ විධායක ජනාධිපති ක‍්‍රමය ද ශුද්ධ කරගත හැක.

එහෙත් වික්ටර් අයිවන් ව්‍යවස්ථා සම්පාදනයේ දී මතු කරන නව ජාතියක් ගොඩනැගීමේ ප‍්‍රශ්නයට ඒ කිසිවකින් උත්තර ලැබෙන්නේ නැත. පාර්ලිමේන්තුවකින් සුව කර ගැනීමට මේ කතා කරන්නේ දකුණේ සිංහල ජනතාවට විශේෂයෙන් අදාළයැ’යි සිතන වංචා දූෂණ, පිරිහුණු සාරධර්ම, සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් නීතිය කි‍්‍රයාවට නැගීම වැනි කාරණාවලට සිමා කෙරුණු දේශපාලන න්‍යාය පත‍්‍රයකි. එනමුත් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සමස්ත රටට අදාළව කෙරෙන දුර දිග යන ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණයකින් මිස ඒ කාරණ කිසිවක් ශුද්ධ කරගත නොහැක. මා එනිසා විග්නේස්වරන් ජාතික පොදු අපේක්ෂකයෙකු ලෙස යෝජනා කෙරුවේ ඉන් එහාට යන, සෝල්බරි ව්‍යවස්ථාවෙන් සහ පළමු හා දෙවන ජනරජ ව්‍යවස්ථා මගින් අවුල් කර, අමනුස්සයන් යුධ වැදි ලේ විලක් බවට පත් කළ මේ රට, අවුරුදු 66 ට පසු හෝ නැවත මනුස්සකම රජයන ශිෂ්ට සමාජයක් බවට පත් කිරීමට අවශ්‍ය ජාතික එක`ගතාව වෙනුවෙනි. එහෙත් ඒ ගැන කතා කිරීමටවත් වමේ ඉතිරිව ඉන්නවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ප‍්‍රගතිශීලින් සූදානම් නොවුණි. ඔවුහු ද අවසන් විග‍්‍රහයේ දී රාජපක්ෂ පැරදවීමේ සිංහල ව්‍යාපෘතියක් වෙනුවෙන් සිංහල බෞද්ධ පොදු අපේක්ෂකයකු සොයා ගොසින් සෝභිත හිමි ළ`ග එකත්පස්ව ඉන්නාහ. 

එවැනි සිංහල පාර්ශ්වීය, දුර්වල ව්‍යාපෘතියකින් ඊළඟ කාරණාවට කිසි ලෙසකින් උත්තර ලැබෙන්නේ නැත. ඒ ගැන ද එනිසා කතා කළ යුතුව ඇත. නව ජාතික රාජ්‍යයක අවශ්‍යතාව දෙවැදෑරුම් ය. එකක්, රටේ සියලූ පුරවැසියනට තම වාර්ගික හා ආගමික අනන්‍යතා රැුක ගනිමින් සමානයන් ලෙස, සාමකාමී ස්ථාවර සමාජයක ජීවත් වන්නට ඇති අයිතිය තහවුරු කර ගැනීමට ය. සමාන අවස්ථා සමගින් වන එවැනි ගුණගරුක සමාජයක මිස සාමය හා ස්ථාවරත්වය පැවතිය නොහැක. ජන සංහාර, යුද්ධ සමගින් සාරධර්ම පිරිහුණු, නීතිය වල් වැදුණු කාලයක් අප පසු කරන්නේ ඒ සමාජ සත්‍යය පිළිගැනීමට සූදානම් නොවුණු නිසා ය. දෙවැන්න, සමාජ සාධාරණත්වයක් සහිත ජන ජීවිතයේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමෙන සංවර්ධනයක් අපට මෙතෙක් අවුරුදු 66 ක කාලයේ නොලැබිණ. මෙතෙක් අප අත් විඳි සංවර්ධනය යනු ඉලක්කම් මත ආර්ථික කි‍්‍රයාවලියේ ජාතික අගයන් කතා කරන, හුවමාරු කළ හැකි වත්කම් වශයෙන් ජනගහනයෙන් සියයට 10ක් සියලූ ආර්ථික වරප‍්‍රසාද භුක්ති විඳින සංවර්ධනයකි. මෙතෙක් සංවර්ධනය වූයේ එවැනි ජනගහනයක් ඉන්නා බස්නාහිර පළාතේ විශේෂයෙන් කොළඹ හා ගම්පහ දිස්ති‍්‍රක්ක දෙක ය. වඩ වඩා බලය කොළඹට කේන්ද්‍රගත කෙරුණු ව්‍යවස්ථාමය බලය සමගින් සංවර්ධනයේ වැදගත් ප‍්‍රතිලාභ ඉන් එහා ග‍්‍රාමීය සමාජයට නොගියේ ය. ඒ සමාජයට ඉතිරි වූයේ යුද ආර්ථිකයේ කාන්දු වීම් ය. හමුදාවන්හි රැුකියා සහ ඒ රැුකියා මගින් ගමේ කෙරුණු වැය කිරීම් ය. ඊට අමතරව මුදල් ගමට ආවේ ග‍්‍රාමීය ආර්ථිකයෙන් යැපුම් මට්ටමක් ලබා ගැනීමට නොහැකි හෙයින් මැද පෙරදිග රැුකියාවලට ගිය තරුණියන්ගේ ඩොලර 150 ක වැටුපෙන් ය.

එවැනි මුදල් ගලා ඒම යුද්ධයෙන් පසු අවුරුදු 05ක් ගෙවෙත්ම සහ රුපියලේ වටිනාකම කෙමෙන් ක්ෂය වීමත් සමග අඩු වී ඇත. එබැවින් වැදගත් ස්ථාවර හා ගමටද හිමි ආර්ථික සංවර්ධනයකට යා හැක්කේ සමාජ සාමය, ස්ථාවරත්වය හා යහ පාලනයක් සමගින් ය. අවුල් වියවුල් ඇති සමාජයකට ලබා ගත හැක්කේ මේ පවතින දූෂණ වංචා පිරි ආර්ථික කි‍්‍රයාවලියක් පමණි. තවත් ආකාරයකට කියන්නේ නම් දූෂණ වංචා සමගින් අධික මංකොල්ලකෑමක් සඳහා වන පාලනයකට, නව ජාතික රාජ්‍යයක් හැදීමට නොහැකි ය. එවගේම, එවැනි පාලනයකට වඩාත් ගැළපෙන ආර්ථික කි‍්‍රයාවලියද නව ලිබරල් ආර්ථිකයයි. එබැවින් රාජපක්ෂ පාලනය ඉවත් කිරීමට කතා කරන්නේ නම් විධායක ජනාධිපති ඉවත් කරමින් හදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග මේ ආර්ථික පිළිවෙතට විකල්ප වූ සංවර්ධන වැඩපිළිවෙලක්ද යෝජනා කළ යුතුව ඇත.

එසේ නැතිව අඩාලයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයෙකු වූවත් මැතිවරණය එළැඹෙන විට මතු ව තිබිය හැකි වෙනත් සාධක සමගින් සියයට 50.01 ක හෝ ඊට වැඩි ඡුන්දයක් ලබා ගැනීමට ඉඩ ඇත. එවැනි මැතිවරණ ජයක් සහතික කෙරෙන ආණ්ඩු විරෝධයක් රටේ ප‍්‍රශ්න වෙනුවෙන් උත්තර සොයන්නේ නැත. විරෝධාකල්ප ඩැහැගන්නා අපේක්ෂකයා විසින් උත්තර ලෙස ඉදිරිපත් කරන සියල්ල තර්කයකින් තොරව බාර ගැනීමටද බහුතරයක් සූදානම් ය.

මේ සියල්ලෙන් තේරුම් කෙරෙන ඉතා වැදගත් සත්‍යයක් ඇත. ආණ්ඩු පාලන මාරු කිරීමේ දී කරන්නන් වාලේ මාරු කිරීමෙන් කිසිදු පල ප‍්‍රයෝජනයක් කාටවත් නැත. එනිසා රාජපක්ෂ පාලනය මාරු කිරීමට කතා කළ යුත්තේ ඉන් පසු ඇති වන පාලනයේ ස්වරූපය පමණක් නොව, එහි දේශපාලනය ද තීන්දු කිරීමත් සමග ය. සංවර්ධනයේ දිග පළල තීන්දු වන්නේ දේශපාලන ඉදිරි දැක්ම අනුව නිසා ය. එනිසා රාජපක්ෂ ආණ්ඩුවේ මේ අසාර්ථක, දූෂිත පාලනයට විකල්පව ඉදිරිපත් කළ යුතු වැඩ පිළිවෙල කවරක්දැ’යි තීන්දු කළ යුතුව ඇත. නව ජාතික රාජ්‍යයක් තහවුරු කිරීමේ සිට සමාජ සාධාරණත්වයක් සහිත ජාතික සංවර්ධනයක් දක්වා සැලැස්ම රාමුගත කෙරෙන ඒ වැඩපිළිවෙලට බහුතර කැමැත්තද දිනා ගත යුතු ය. එය තරමක භාරධුර වගකීමක් බව සැබෑ ය. එය කිහිප දෙනෙකු හවුල් කරගෙන අලූතින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලියන තරම් පහසු නැති බවත් සැබෑ ය. එහෙත් සමාජ කතිකාවක් සමගින් තීන්දු කරන සමස්ත පොදු වැඩපිළිවෙලක් නැතිව ගෙනෙන සිංහල පොදු අපේක්ෂකයකු රටේ අනාගතයට වැඩක් නොමැති බව ද සැබෑවකි. 

About the Author

කුසල් පෙරේරා
Journalist and political commentator