විධායක ජනාධිපතිධුරය අවසන් කළ යුතුය

ජනාධිපතිවරණයක උණුසුම දැනීමත් සමග පොදු අපේක්‍ෂකයා සහ විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම ගැන සිත්ගන්නාසුලූ විවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙයි. එය යහපත්ය. ඵලදායීය. බලාපොරොත්තු විය හැකි පරිදිම ආණ්ඩුවේ අපේක්‍ෂකයා නිරුපද්‍රිතව සිටින අතර, විසංවාදය ඇතිවී තිබෙන්නේ විරුද්ධ කඳවුරෙහිය. ඒ තත්ත්වයේ තර්කානුකූල ප‍්‍රතිඵලයක් ලෙස ‘පොදු අපේක්‍ෂකයා’ යන්න ආණ්ඩුවද, ආණ්ඩුවේ හා ආණ්ඩු හිතැ’ති මාධ්‍යද, ඒවායේ කාටුන් ශිල්පීන්ද එක්තරා ප‍්‍රමාණයක විහිළුවක් බවට පත්කරගෙන තිබෙන බවද පෙනෙයි.
එහෙත් පොදු අපේක්‍ෂකයා යන්න විහිළුවක් නොවේ. එය රටේ දේශපාලනය පිළිබඳ බැරෑරුම් ප‍්‍රශ්නයකි.

පොදු අපේක්‍ෂකයකු ඇයි?

මීළඟ ජනාධිපතිවරණයකදී පොදු අපේක්‍ෂකයකුගේ භූමිකාව ගැන අදහස එන්නේ දේශපාලන පක්‍ෂ තුළින් නොවේ. අදටද එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ සියලූ දේශපාලන පක්‍ෂ අඩුවැඩි වශයෙන් කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ගේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවය. එහි අමුත්තක්ද වරදක්ද කලබල වීමට දෙයක්ද නැත. දැන් සිටම පොදු අපේක්‍ෂකයකු ඉදිරියට ගන්නවායැ’යි කියන්නට කිසිම සංවිධානගත දේශපාලන පක්‍ෂයකට හැකියාවක් නැති නිසාය. එහෙත්, පක්‍ෂවල ඒ ප‍්‍රතිචාරය දිගින් දිගටම පවත්වාගනු ඇතිද යන්න තීරණය කරන්නේ ඉදිරියේ වර්ධනය වන දේශපාලන ප‍්‍රවණතා විසිනි.

පොදු අපේක්‍ෂකයා ගැන අදහස එන්නේ දේශපාලන පක්‍ෂවලට පිටතින් උනන්දුමත් පුරවැසි සමාජයෙනි. ඊට අදාළ තර්ක සරල කළහොත් මෙසේය:
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් ඇතිකරන ලද විධායක ජනාධිපතිධුරය රටට විනයකි. එය එම තනතුරට පත්වන පුද්ගලයා දූෂිතයකු බවට පත්කරන අතර, ඉන් නොනැවතී සමස්ත රාජ්‍ය තන්ත‍්‍රයද, සමාජයද දූෂණය කරයි. ආචාර්ය එන්එම් පෙරේරා ජීවත්ව සිටියදී ඉංග‍්‍රීසි ලිපි පෙළක් ලෙස පළමුව පළවී පසුව පොතක් බවට පත්වී, සිංහල අනුවාදයක් ලෙස 1981දී එළිදැක්වූ, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ‘විවේචනාත්මක විශ්ලේෂණයක්’ යන කෘතියේ සිට අද දක්වා විධායක ජනාධිපතිධුරය ලංකාවට කවර තරමේ සාපයක් වී ඇත්දැ’යි විමර්ශනය කරමින් සිංහලෙන් පමණක් වුවත් අදහස් පළකොට ඇති ලේඛකයන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, පුරවැසියන් ආදි දැනුවත් සමාජයේ සංඛ්‍යාව අතිවිශාලය. ‘78 ව්‍යවස්ථාවෙන් අපට දී ඇත්තේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි’යි කියන එන්එම් පෙරේරාගේ තර්කයේ සිට ඉහත කී පිරිස විසින් විධායක ජනාධිපතිධුරයට එරෙහිව ගොඩනගා ඇති ශක්තිමත් තර්ක ප‍්‍රමාණයද අතිවිශාලය. ඒ තර්කවලින් මූලිකව කියැවෙන්නේ එක් පුද්ගලයකු වෙත කේන්ද්‍රගතවූ මේ බලතල රටේ විනාශයේද කේන්ද්‍රය බවයි. එනිසා පසුගිය කාලය මුළුල්ලේම වරින් වර ආණ්ඩු විසිනුත්, සර්ව පාක්‍ෂික දේශපාලන කමිටු විසිනුත්, විවිධ පක්‍ෂ, සිවිල් සංවිධාන හා පුරවැසියන් විසිනුත් අඩු වැඩි වශයෙන් කෙටුම්පත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල, ආණ්ඩුක‍්‍රම යෝජනාවල, රට හැදීමේ වැඩපිළිවෙලවල අංක එක යෝජනාව ලෙස තිබුණේද විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කිරීමයි.

නිර්මාතෘ ජේආර් ජයවර්ධන හැරුණු විට මේ ව්‍යවස්ථාවේ තිබෙන නරක ම ලක්‍ෂණ වඩාත්ම තහවුරු කළ හා තවත් නරක ලක්‍ෂණ ඊට අලූතෙන් එක්කළ අනෙක් පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාය. ඒ බව පැහැදිලි කිරීමට දැක්විය හැකි උදාහරණ ප‍්‍රමාණය සුළුපටු නැත. ඔහු ගමන්කරමින් සිටින්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය නම් මගෙහිමය. එනයින් තවත් අවස්ථාවක් එවැන්නකු බලය තහවුරු කරගැනීම විසින් රට සමාජ දේශපාලන අගාධයකට මිස යහපතකට ගෙන නොයන බව පැහැදිලිය.

අනෙක් අතට එකම පක්‍ෂයක් දීර්ඝ කාලයක් බලයේ සිටීම කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයකට එකඟ නැත. 1978 ව්‍යවස්ථාවට පෙර අවුරුදු පහකට වරක් මාරුවූ ආණ්ඩු බලය ගැන අගයකරමින් කතාකරන මේ දැනුවත් සමාජය, 78න් පසු එවැන්නක් නොසිදුවීම ගැන කතාකරන්නේ කනස්සල්ලෙනි. ඔවුන් එය දකින්නේ රටේ පරිහානියේ සාධකයක් ලෙසය. 17 අවුරුදු එජාප පාලනයටත්, එතැන් සිට 20 අවුරුදු වත්මන් පාලනයටත් එය පොදුගුණාකාරයකි. අවුරුදු 37ක් පක්‍ෂ දෙකක පමණක් පාලනය යටතේ රටක් පැවතීම වූකලි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ප‍්‍රකට කරන සංඥාවකි. මේ දෙපැත්තෙන්ම ගත්කල විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමත්, එකම පාලනයක් දීර්ඝව පවත්වන්නට නොදී ඛණ්ඩනය කිරීමත් පුරවැසි අයිතිවාසිකම් පැත්තෙන් යහපත්ය. දෙකම එක්වර කරන්නට බැරි නම්, එක් දෙයක්වත් කිරීම වුවමනාය.
ඒ සඳහා මඟහැරිය නොහැකි ස්වර්ණමය අවස්ථාවක් ඉදිරියේ වහාම එළැඹෙන ජනාධිපතිවරණයකදී හමුවෙයි.

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂ දේශපාලන පක්‍ෂවලින් වෙන වෙනම ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ට මේ ඉලක්කය ජයගත නොහැකි බව පැහැදිලිය. පුරවැසි සමාජයෙන් පොදු අපේක්‍ෂකයකු පිළිබඳ අදහස එන්නේ මේ සන්දර්භය මතය. එය පුරවැසි දේශපාලන සවිඥානකභාවයේ සංකේතයක් ලෙස ගතහැකිය. එහෙත් ඉන් රටේ දේශපාලන පක්‍ෂ අහෝසිවී ඇතැ’යි යන්නක් කිසිසේත් අදහස් නොවේ. පොදු අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කිරීමේ කාර්යභාරයේදී විපක්‍ෂයේ සියලූ දේශපාලන පක්‍ෂ, සුළු වාර්ගික පක්‍ෂ මෙන්ම හැකි නම් ආණ්ඩු පක්‍ෂයේ සැලකිය යුතු සංඛ්‍යාවකගේ නම්‍යශීලීභාවයද, සහයෝගයද, සමගාමී ක‍්‍රියාකාරිත්වයද අත්‍යවශ්‍යය. ඒ, තමන්ට තනිව ජයගත නොහැකි ඉලක්කයක් සාමූහිකව ජයගැනීම සඳහාය. ඒ ඉලක්කය නම් විධායක ජනාධිපති ක‍්‍රමය අවසන්කිරීමය.

සියල්ල වෙනස් නොවේ

ඔව්. විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමෙන් රටේ සියලූ නරක දේවල් හොඳ දේවල් බවට පත්නොවේ. ඒ අදහස ඉහත කී ඕනෑම කෙනෙක් නිසැකවම දරති. විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමෙන් නොනැවතී සමස්තයක් ලෙස රටේ ක‍්‍රමය වෙනස්කිරීම ඒ හැමදෙනාගේම වැදගත් අනෙක් බලාපොරොත්තුව වන්නේය. ඒ සඳහා සම්මුතිගත අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවටද කිසිම විවාදයක් නැත. එහෙත් එය කල් ගතවන දීර්ඝ ක‍්‍රියාවලියක් බවද ඒ තරමටම ඇත්තය.
අපට පැහැදිලි වන අයුරින් ප‍්‍රශ්නය මෙයයි. එළැඹෙන ජනාධිපතිවරණයකදී, විනාශකාරී විධායක ජනාධිපති ක‍්‍රමය යනුවෙන් සියල්ලන්ම එකඟවී ඇති යක්‍ෂයා පළවාහැර ඇතිවන නව නිදහස් සමාජ දේශපාලන අවකාශය යොදාගෙන නිවි හැනහිල්ලේ අලූත් ආණ්ඩුක‍්‍රම හා පාලන ව්‍යුහයක් ගැන සැලසුම්කරනවාද, නැතිනම් විධායක ජනාධිපතිධුරයේ අත්තනෝමතික ආධිපත්‍යය යටතේ තවත් අවුරුදු හයක් හෝ ඊටත් වැඩි ගණනක් ගතකරන්නට හිත හදාගන්නවාද යන්නයි.

අප ක‍්‍රමයේ වෙනසක් ගැන සිහින දකිනවා නම්, ඒ සිහිනය රටේ දේශපාලන පක්‍ෂවලට නැති පුරවැසියන්ට පමණක් තනිව සැබෑ කරගැනීම උගහට බව පෙනෙනවා නම්, ඒ සිහිනයේ කොටසක් පවතින දේශපාලන පක්‍ෂවලටද අයත් බව පිළිගන්නවා නම්, බලවත් ලෙස මතවාදීව බෙදී සිටින ඒ සියලූ පක්‍ෂ කෙටි කාලයක් තුළ සමස්ත ක‍්‍රමයේම වෙනසක් සඳහා එකතු කර ගැනීම සිහිනයක් බවද ඒ හාම තේරුම් ගැනීමට සිදුවෙයි. ඡුන්ද ක‍්‍රමය වැනි දෙයක සිට, ආර්ථික පිළිවෙත, බලය බෙදීම වැනි දේවලට යන විට ඒ ඒ පක්‍ෂ, කණ්ඩායම්වල බෙදීම්ද සංකීර්ණත්වයද පරතරයද ඉතා වැඩිවෙනවා මිස අඩුවන්නේ නැත. එවැනි තත්ත්වයක් යටතේ මේ සියලූ පාර්ශ්ව අතර – අඩු ගණනේ සිවිල් පුරවැසියන් හා දේශපාලන පක්‍ෂ අතර පවා- පුළුල් එකඟතාවක් ඇතිකර ගැනීම බැරි නොවිය හැකිය, එහෙත් සංකීර්ණය. කල්ගතවනසුලූය. ඒ සඳහා වන නැමියාවක්ද, වුවමනාවක්ද මේ දේශපාලන පක්‍ෂවලට තවමත් නැත. එහෙත්, දේශපාලන පක්‍ෂවලට බැනවැදීමෙන්, ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන්, දේශපාලන පක්‍ෂවලට පිටතින් ආණ්ඩු හදන්නට පුරවැසියන් ඒකරාශි වීමෙන් ප‍්‍රශ්නයට පිළිතුරක් නොලැබේ. අනෙක් අතට මේ සිවිල් පුරවැසියෝ කිසිදා රටේ පාලකයන් වීමට සිහිනද නොදකිති. එය ඔවුන්ට කරන්නටද බැරිය. ඔවුන්ගේ පළමු හා අවසන් සිහිනය යහපත් රටක් හැදීමට සිය ජීවිත කාලය තුළදී දායකවීම ගැනය. එනිසා කිසිවකු අකමැති වුවත්, නැතත් රට පාලනය කරන්නට සිදුවන්නේ මේ පවතින දේශපාලන පක්‍ෂවලටමය.

පාර්ලිමේන්තු ක‍්‍රමය

මේ ප‍්‍රායෝගික තත්ත්වයන් මත එකඟවිය හැකි අවම එකඟතාවකට ගොස් පවතින තත්ත්වය වෙනස්කොට ගතහොත් එතැන් සිට ඉදිරි පියවර තබන්නට නිදහසේ හුස්ම ගන්නටවත් හැකි වනවා ඇත. ඒ අවම එකඟතාව නම් සංශෝධනවලට නොයා විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමයි.
විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමෙන් පසු බලය හිමිවන අගමැතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු නොකරාවිද, විධායකයෙන් ඉවත්කරන මේ බලතල ලබාගන්නට තරම් පාර්ලිමේන්තුව සුදුසු වේද යනාදිය සාධාරණ ප‍්‍රශ්නය. එසේම සාධාරණව එකඟවිය හැකි අනෙක් තත්ත්වය නම්, කවර අඩුපාඩුකම් තිබියේ වුවද පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් මේ ව්‍යවස්ථාපිත ඒකාධිපති විධායක ජනාධිපතිධුරයට වඩා කිහිප ගුණයකින්වත් යහපත් විය හැකි බවය.

කැමති පොදු අපේක්‍ෂක

තවමත් පොදු අපේක්‍ෂකයකු පෙනෙන්නට නැති නිසා උනන්දුමත් හැම අයම තමන්ගේ ගෞරවය දිනාගත් අයකු පොදු අපේක්‍ෂකයා විය යුතුයැ’යි සිහින දකිති. කුමාර් සංගක්කාරගේ සිට විශාල නම් ප‍්‍රමාණයක් කියැවෙන්නේ ඒ අනුවය. සමහර අය පොදු අපේක්‍ෂකත්වයෙන් මේ වන විට ඉල්ලා අස්වී ද තිබේ. නම් පසෙකලා බැලූවහොත්, විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම සඳහා මීළඟ ජනාධිපතිවරණයකදී ඉදිරියට ඒමට කැරිස්මාවක් ඇති පුද්ගලයකු අවශ්‍ය බවට විවාදයක් නැත. ඔහු/ඇය ජයග‍්‍රහණය කළ යුතුය. ඒ සඳහා ඔහු/ඇය බහුතරයක් රටේ ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට හැකිවිය යුත්තකු වීම මෙන්ම ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසකගේ එකඟතාව දිනාගත හැක්කකු වීමද අවශ්‍යය. වැදගත්ම කාරණය නම්, ඔහුගේ/ඇයගේ කාර්යභාරය සීමාසහිත බව තේරුම් ගැනීමය. ඒ සීමිත කාලය තුළ තම කාර්යභාරය නිමවා ඔහු/ඇය නික්ම යා යුතුය. මේවා හුදු සිහින නොවේ. ප‍්‍රායෝගික තත්ත්වයන් මත විනිශ්චයට භාජනය විය යුතු දේය.

පොදු අපේක්‍ෂකයා පක්‍ෂයකට අයිතිත් නැති, බහුතරයකගේ අනුමැතිය ලත් පුරවැසි නියෝජිතයකු හැටියට අප හිතනවා නම්, තවත් අවුරුදු පහක් හෝ හයක් ආණ්ඩුකිරීම ඔහුගෙන්/ඇයගෙන් අප බලාපොරොත්තු නොවිය යුතුය. ඔහුගේ/ඇගේ කාර්යභාරය නිශ්චිතය. වෙනසකට කැපවූ සියලූ දෙනාගේ සහයෝගයෙන්, පවතින අත්තනෝමතිකත්වයෙන් රට වෙන්කොට ගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ඇතිකොට, ඉදිරි සම්මුතිගත, ගැඹුරු හා කල්පවතින වෙනස්කම් ගැන දේශපාලන පක්‍ෂවලටත්, පුරවැසියන්ටත් සිහිකල්පනාවෙන්, බියක් නැතිව කතාබහ සංවාද වාද විවාද කරන්නට, එකඟතා ඇතිකරගන්නට සුදුසු මූලික අවකාශය නිර්මාණය කොට නික්ම යෑමය. ඉන් ඔබ්බට ඒ අවකාශය ප‍්‍රයෝජනයට ගතයුත්තේ දේශපාලන පක්‍ෂ, පුරවැසියන්, යහපත් රටක්-ව්‍යවස්ථාවක් ගැන සිහින දකින්නන් වැනි අයය. ඒ ඔවුන්ගේ කාලයයි. ඒ කාලයේදී, මේ දුගඳ හමන සමාජයේ තුවාල සුවපත් කරන, මිනිස් අයිතිවාසිකම්, බලය බෙදීම, යහපාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය යාන්ත‍්‍රණයේ දූෂණයෙන් භීෂණයෙන් තොර සුපිළිපන්භාවය, නීතියේ පාලනය වැනි උත්තරීතර ගුණාංග සහිත වැඩපිළිවෙලක් ඇතිකර ගැනීම සඳහා ඔවුන්ට එක්ව වැඩ ඇරඹිය හැකිය.

එහෙත්, ඒ කාලය එලැඹෙන්නේ පළමුව විධායක ජනාධිපතිධුරය අවසන්කිරීමෙන් පසුව පමණෙකි.