කේප්පාපිලවු: නිහඬ නොවුණොත් ඉඩම් නැතිවෙයිද?

රේඛා නිලුක්ෂි හේරත්

කේප්පාපිලවු මුලතිව්හි පිහිටි ගම්මාන යකි. කේප්පාපිලවු ගැන දකුණ දැනගත්තේ හමුදා කඳවුරුවලට යටවී ඇති තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් කේප්පාපිලවු ගම්වාසීන් කළ උද්ඝෝෂණ නිසාය. ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් පසුගිය ජනවාරි පස්වැනිදා උද්ඝෝෂණය කළ අතර ඉන්පසුව ගම්වාසීන් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබුණි. එහෙත් තවමත් කේප්පාපිලවු ගම්වාසීහු තමන්ට අයිති ඉඩම්වලට යන්නට කැමැත්තෙන් එහෙත් යා නොහැකිව සිටිති.
2009 වර්ෂයේදී යුද්ධය සමඟම යුද හමුදාව විසින් කේප්පාපිලවු ගම්මානය අත්පත් කරගන්නා ලදි. එතැන් පටන් යුද හමුදාව විසින් පාලනයට යට වූ ගම්මාන අතරින් කේප්පාපිලවු ගම්මානයද තවත් එකක් පමණක් විය. පිලක්කාඩු, සූරියපුරම් සහ කේප්පාපිලවු යන ග්‍රාම සේවා වසම් තුනකට අයිති පවුල් 300කට අධික ප්‍රමාණයක් වෙනත් ප්‍රදේශයක පදිංචි කරවා ඇත්තේය. කේප්පාපිලවු ගම්මානය අසලින් පදිංචි කරවා ඇති මෙම නව පදිංචි කරවීමේදී පැරණි කේප්පාපිලවු ගමෙන් කොටසක් පමණක් නිදහස් කර ඇත.
කේප්පාපිලාවු ‘ආදර්ශ ගම්මාන’ නිර්මාණ ව්‍යාපෘතිය හරහා යුද්ධයෙන් පසු අවතැන් කඳවුරුවල සිටි එම ගම්වාසීන් පදිංචි කරවූ අතර මුලතිව් නගරයේ සිට කිලෝමීටර් විස්සක් දුරින් පැරණි කේප්පාපිලවු ගම අසලින් පිහිටි නව ගම්මානය නගරයෙන් ඈත පහසුකම් අඩු ගම්මානයක් ලෙසින් වසර ගණනක් තිස්සේ පවතින්නේය.
නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයත් යුද හමුදාවත් විසින් ඉඩම් අක්කර කාල බැගින් සියලු දෙනාට ලබාදී ඒවායේ කුඩා නිවාස ඉදිකර ඇත. නව පදිංචි කිරීම ගැන සතුටින් සිටින්නෝද අසතුටින් සිටින්නෝද සිටිති. සතුටින් සිටින්නන් කලින් කුඩා ඉඩම් කැබැල්ලක්වත් නොතිබුණු අයයි. අක්කර කාලක්වත් ලැබීම ගැන ඔවුන් සතුටිනි. අතිශය බහුතරය ඉඩම් කෑල්ලක් නොතිබුණු අය නොවෙත්. බහුතරය තමන්ට කියා අක්කර ගණන් ඉඩම් තිබුණු නිදහස් ගම්මානයක ජීවත්වුණු මිනිසුන්ය. ඔවුහු අක්කර කාලක කොලණියකට සිරකිරීම ගැන දැඩි වේදනාවකින් සිටින්නෝය. ඒ වේදනාව නිසාම ඔවුහු කිහිප වතාවක්ම ඉඩම් ඉල්ලා අරගල කළෝය. එහෙත් අප කේප්පාපිලවු යද්දී ඒ අරගලකාරී හඬ ඔවුන් තුළ නොවීය. කුමන හෝ දෙයකට බියපත්ව සිටියහ.

ආමි
කෙතරම් වේදනාවකින් සිටියත් එය පිටකරන්නට ඔවුහු බියක් දක්වති. මුලතිව් සිට කේප්පාපිලවු දක්වා අප ගියේ ත්‍රීවීල් රථයකිනි. ගමට යන පාරට ත්‍රීවීල් රිය ඇතුල්වෙද්දීම එහි රියැදුරා කීවේ ඔන්න අපි ගමට එනවා කියලා මුළු කෑම්ප් එකම දැනගනීවි යැයි කියාය. ‘නෝනලා ඇවිල්ලා කියලා දැන් මුලිතිවු ආමි එක දන්නවා. මොනවද කරන්නේ කියලා ඇහැ ගහගෙන ඉඳීවි.’ඔහු කීය.
අප කේප්පාපිලවු ගමට ඇතුළුවී මුලින්ම ගියේ ගමේ වයෝවෘද්ධ මහතෙකු හමුවීමටයි. ඔහුගේ ලිපිනය දී ඔහු හමුවන්නැයි කීවේ දෙමළ මාධ්‍යවේදී මිතුරෙකි. අප ඔහුගේ නිවසට ගිය විගස නිවස ඉදිරිපිට පාපැදි දෙකකින් පැමිණි දෙදෙනෙකු පාපැදි නවත්වා නිවස දෙස බලා සිටියෝය.
‘මහත්තුරු ගමේ ඇවිදින්න. ලැබෙන්න ඕනෑ තොරතුරු ලැබේවි. මිනිස්සු එක්ක කතාකරන්න’ නිවසේ සිටි මහතා එක්වරම තමන්ගේ කරුණාවන්ත සැලකීම වෙනුවට රළු මුහුණක් ආරූඪ කරගනිමින් කීය. අප සමඟ කතාකරන්නට අකැමති බව ඔහු ඇඟවීය. ඔහුගෙන් උදව්වක් නොවන නිසා අපි නිවසෙන් එළියට ගියෙමු.
කේප්පාපිලවු ගම ඇතුළට අප යන්නට සැරසෙද්දී අර පාපැදිකරුවෝ දෙදෙනා අප ළඟට ළංවූහ. ‘නංගිලා මොරටුවේද?’ ඔවුන් ඇසීය. ඔයාලා කවුදැයි අපි ඔවුන්ගෙන් විමසූ පසු ‘නැහැ අපි කතාකළේ නිකන්. විස්තර දැනගන්න.’ යැයි ඔවුහු කීහ. දෙමළ මිනිසුන් සිටින ගම්මානයක සිට සිවිල් ඇඳුමෙන් ප්‍රශ්න කරන්නේ හමුදාවෙන් බව තේරුම් ගන්නට අපහසු නොවීය.
‘ඔයාලාට මොකද අපි කවුද කියන එක. මේ ගමට ඇවිත් කතාකරන්න තහනම්ද? අපි රාවය පත්තරෙන්. අපි ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ.’ එසේ කියා අපි ගම ඇතුළට ගියෙමු.

බිය
එතැනින් පසු කේප්පාපිලවු ගමේ මිනිසුන් සමඟ කතාකරන්නට ගිය අප දුටුවේ බියයි. මුලින්ම එක් නිවසකට අප ඇතුල්වූ විගස ඒ නිවස ඉදිරියෙන් අර තර්ජනාත්මක පාපැදිකරුවෝ ගියෝය. ඉන්පසුව නිවසේ සිටියවුන් අප සමඟ කතානොකර ඉක්මනින් අප පිටත් කළෝය.
ඇතැමෙකු අප සමඟ කතාකළ නමුත් අසාමාන්‍ය ලෙස හමුදාවේ යහපත ගැනම විස්තර කළේය. කිසිම හැඟීමක් නැති මුහුණකින් තමන් බොහෝ සතුටින් සිටින බවම කීය.
‘කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හරි සතුටින් ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.’ සමහරුන් වැඩිපුර කිසිම ප්‍රශ්නයක් නැහැයැයි කී නිසාම අපට තිබුණේ සැකයකි.
‘ගොඩක් අය බයෙන් ඉන්නේ. සිංහල අයට ප්‍රශ්න කතාකරන්න කැමති නැහැ. මොකද සමහරවිට අපි කියන දේවල් ආමි එක දැනගත්තොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ අය කටපාඩම් කළ දේවල් කියනවා.’ අපේ සැකය නිරවුල් කළේ තරුණයෙකි. ඔහු කතාකළේත් බියෙනි.
‘ෆොටෝස් එහෙම දාන්න එපා.’ ඔහු එසේ කීවේ දැඩි අවධාරණයෙනි.
‘කෙළින් කතාකළ අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවාද?’ අපි ඇසුවෙමු.
‘නැහැ එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. ඒත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේවි කියලා අපි බයයි. අපි කළින් මාධ්‍යවලට කතාකළා. ඉඩම් නිදහස් කරගන්න සටනක් කළා. ඒත් දැන් අපි එළිපිට කතාකරන්නේ නැහැ.’

යන්තමින් ඇසෙන හඬ
තරුණ කාන්තාවක් අප සමඟ කතාකළාය. ඇගේ සැමියා විදේශගතව රැකියාවක් කරයි.
‘මට අක්කරයක් විතර තිබුණා. දැන් තියෙන්නේ අක්කර කාලයි. මේ ගෙවල් අපිට ආමි එකෙන් හදලා දුන්නේ. අපි ඒවායේ ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි. කෝවිලේ උත්සව කාලේ අපට ගෙවල් බලන්න දුන්නා. හමුදාවෙන් සමහර වෙලාවට අරගෙන යනවා ගෙවල් බලන්න. හැබැයි කණ්ඩායම් විදියට අරගෙන යන්නේ.
යුද්ධය ඉවර වෙලා අවතැන් කඳවුරුවල අපි අවුරුදු දෙකක් හිටියා. ආමි එකේ ආරක්ෂාව මැද තමයි අපි හිටියේ. ඒක හිරගෙයක් වගේ. අපි වැරැද්දක් නොකර හිරගෙදර හිටියා. අපි කලිනුත් යුද්ධයකට මුහුණ දීලා දුක් විඳපු අය. අපි කැමති නැහැ කාටවත් ප්‍රශ්න ඇති කරන්න. ඒ නිසා අපි ආමි එකත් එක්ක නොගැටී ඉන්නවා. අපි පාඩුවේ ඉන්න නිසා මේ වෙනකන් ආමි එකෙන් ප්‍රශ්නයක් ඇවිත් නැහැ.
ආමි එකද එල්ටීටීඊ එකද හොඳ කියලා අපට කියන්න බැහැ. එල්ටීටීඊ එක කාලේ නීති තදයි. අපට ලියුමක් ආවත් කඩලා කියෙව්වා. ආමි එකෙන් ලියුම් කියෙව්වේ නැතත් අපි ගැන ඇහැගහගෙන ඉන්නේ. ඒ කාලේ අපට වව්නියාවට යන්නත් සති ගණන් මහන්සි වෙන්න ඕනෑ. පාස්පෝට් හදන්න ඕනෑ. හැබැයි දැන් ඕනෑ වෙලාවක ඕනෑ තැනක යනවා.
හැබැයි අපි ඉස්සර හිටියේ ගමේ. ගොවිතැන් කරගෙන නිදහසේ. දැන් අපි ජීවත්වෙන්නේ හරි අමාරුවෙන්. අපි කලින් ගොවිතැන් කළත් දැන් කුඹුරු නැහැ. සමහරු කුලියට කුඹුරු අරගෙන ගොවිතැන් කරනවා. ඒත් ඒකෙන් ආදායමක් නැහැ. ඉතින් අපි කුලී වැඩ කරනවා. ගැහැනු පිරිමි භේදයක් නැතිව හැමෝම කුලී වැඩ කරනවා. ගොඩක් පිරිමි අය ගමෙන් පිට ගිහින් රස්සාවල් කරන්නේ. ගොඩක් වෙලාවට මාසයකට හරි සතියකට සැරයක් වගේ තමයි ගමට එන්නේ.
අපේ ඉඩම්වල ආමි එක ඉන්නේ ආරක්ෂාව ගැන හිතලාලු. ආමි එකේ අය කියනවා අපේ ගමේ තමයි එල්.ටී.ටී.ඊ එක හිටියේ කියලා. ඒත් මෙහේට වඩා වෙන වෙන තැන්වල තමයි එල්.ටී.ටී.ඊ එක හිටියේ. ඒ තැන් නිදහස් කරලා අපේ ගම තමයි අල්ලගෙන ඉන්නේ. එල්ටීටීඊ දැන් නැහැ. අපේ ඉඩම් නිදහස් කරන්න.’
කේප්පාපිලවු වෙතින් පිටවෙන්නට පෙර අප මුලින් කී මහත්මයා හමුවන්නට ඔහුගේ නිවසට ගියෙමු. නිවසේ සිටියේ බිරිය පමණි. ‘මහත්තයා නැහැ කඬේට ගිහින්.’ එසේ කී ඇය අපගේ මුහුණටම දොර වැසුවාය. ගමෙන් එළියට පිටවෙන තැනම ඇති සරුවත් කඩයේ ඔහු සිටියේය.
‘මට අක්කර පහක් විතර තිබුණා. දැන් ඒක ආමි කෑම්ප් එකට යටවෙලා. අපි කලින් උපවාස කළා අපේ ඉඩම් ඉල්ලලා. ඒ වෙලාවේ අපිට අපේ ඉඩම් දෙනවා කියලා කිව්වා. ඒත් තවම දුන්නේ නැහැ. අපි කැමති නැහැ වැඩිය කෑගහන්න. පත්තරවලට කතාකරන්න. නිහඬවම ඉන්නයි ඕනෑ. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න ගිය නිසා අපේ ඉඩම් ලැබෙන්නේ නැතිව ඇති. මොකද හමුදාව හිටපු ගොඩක් ඉඩම් නිදහස් කරලා. සටන් කළ අපේ ඉඩම් තමයි නිදහස් වෙලා නැත්තේ.’

කඩවුල්
අප සමඟ සිය අනන්‍යතාව සමඟින් කතාකරන්නට කැමති වූ එකම ගම්වැසියා කඩවුල් පමණි. කඩවුල් යනු දෙමළ බසින් දෙවියන්ය. කේප්පාපිලවුහි කඩවුල් ඒ නමින් හඳුන්වන්නේ ඔහු කෝවිලේ පූජාව කරන නිසාය.
‘ආමි එකෙන් කියන්නෙත් නැහැ කවදා අපේ ගෙවල් ඉඩම් අපිට දෙනවාද කියලා. එයාලා රජය ප්‍රකාශයක් දෙනකම් බලාගෙන ඉන්නවා. කෙප්පාපිලවු වටේම තිබුණේ කැලෑව. ඒ කැලෑව සුද්ද කරලා තමයි අපිට මේ ගෙවල් හදලා තියෙන්නේ. අපේ මුතුන් මිත්තන්ගේ දේපල තමයි ආමි එකෙන් අල්ලාගෙන ඉන්නේ. අපේ කෝවිල්, ගෙවල්, අපේ සොහොන් කොත්. මේවා ආමි එක යටතේ තියෙන්නේ. අපට කොච්චර ගම්මාන හැදුවත් වැඩක් නැහැ. අපේ පොළොවේ සුවඳ අපට දැනෙන්න ඕනෑ. ගමක ජීවත් නොවුණ මිනිහෙක්ට අපට දැනෙන දුක තේරෙන්නේ නැහැ.
හිංදු ආගමේ කවුරු හරි මියගියාම එයාලාව සිහි කරලා සොහොන් කොත් උඩ පහනක් පත්තු කරනවා. ඒත් අපිට ඒ අයිතියවත් නැහැ. අපේ ඥාතීන් සමරන්නවත් අපට බැහැ.
අපේ පවුලට පරම්පරාවෙන් පරම්පරාවට එන කෝවිල් තියෙනවා. ඒවාත් කෑම්ප් එක ඇතුළේ තියෙන්නේ. ඒ කෝවිලේ තමයි පාද යාත්‍රාවෙන් කතරගම යන එන අය නතරවෙන්නේ. අපේ පරම්පරාවේ හැමෝම කෝවිල් පූජකයෝ. මම පූජා පවත්වපු කෝවිල මට නැතිව ගියා. ඒ කාලේ අවුරුද්දකට සැරයක් කෝවිලේ කිරි උතුරවලා ලොකුවට උත්සවයක් අරගෙන ගමේ හැමෝම සතුටු වෙනවා. ඒත් අද සේරම මතකයක් වෙලා තියෙන්නේ. අපේ පරම්පරාවට අයිති සෑහෙන්න ඉඩම් ප්‍රමාණයක් තිබුණා. ඒත් කොටි සාමාජිකයන් ඒ ඉඩම් බලෙන් අපෙන් අරගත්තා. ඉතිරි වුණ ටිකත් ආමි එක අරගෙන අපිට අක්කර කාලයි දැන් තියෙන්නේ. යුද්දෙ කාලෙත් අපි අවතැන් වුණා.’
හමුදා නිලධාරින්ගේ නොරිස්සුම් ඇස් මැද අපි කේප්පාපිලවු ගමෙන් පිටත් වුණෙමු. කේප්පාපිලවුහි මිනිසුන්ට හමුදාවෙන් හෝ ආණ්ඩුවෙන් කිසි ප්‍රශ්නයක් ඇතිකළ බව දැනගන්නට ලැබුණේ නැත. තර්ජනය කළ බවක් කිසිවෙකු කීවේ නැත. එහෙත් ඔවුන් තුළ අප දුටුවේ ඉඩම් ලබාගැනීමේ අරමුණින් කළ සටන මේ ගම්වාසීන්ට අමතක වී ඇති සෙයකි. අනාගතයේ කුමක් වේදැයි අප දන්නේ නැත.■