ඩෙංගු මාරාන්තිකයි ඒත් ආණ්ඩුවට ලාභයි

 

මේ දිනවල අධික වැස්සය. වැස් සෙන් සේදුණු ජීවිතවලට දෙවනුව එන උවදුර ඩෙංගුය. ඩෙංගු වසංගතයක්ව ඇති මෙකල ඩෙංගු පිළිබඳ කතා බහ යෙදුණේ අධික වර්ෂාව නිසාය. වර්ෂාවෙන් මියැදුණු ජීවිත ගණන මාධ්‍ය හරහා සලකුණු වෙද්දී ඩෙංගු මරණ වැළලී ගොස්ය. කොටින්ම සිදුව ඇත්තේ තාවකාලිකව ඩෙංගු වසංගතය වැස්සට සේදීම පමණය. වැස්ස අවසානයේ මෙය ගිණිය නොහැකිය. මාරකයක් සේ හිස ඔසවනු ඇත. ඩෙංගු කොතෙක් හිස එසෙව්වද ඊට නිසි පිළියම් ආණ්ඩුව සතුව නැති නිසා මෙහි භයංකාරත්වයද දෙගුණ තෙගුණ වී මතුවනු නියතය.

ඇත්තටම ඩෙංගුවලට පිළියම් නැද්ද? ඩෙංගු රෝගීන් රෝහල්වල උතුරා යන තත්ත්වයට පත්වූයේ කාගේ වරදින්ද? මේවාට විසඳුම් සෙවීමේ කල් ද ඉකුත් වී හමාරය. මේ සියල්ලෙන් අත්වූ අවසාන ප‍්‍රතිඵලය කුමක්ද? අප කතාබහට ලක් කළ යුත්තේ එයය. එනම් ඩෙංගු නිසා ජනතාව මාරයාට ළංවී ඇතිමුත් ඩෙංගු නිසා මේ ආණ්ඩුව නම් ගොඩ ගොස් ඇති බවය. එනම් ඩෙංගු මාරකය ආණ්ඩුවට ආශිර්වාදයක් වී ඇති බවය. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, ඩෙංගු මරණ සංඛ්‍යාව, ඩෙංගුවලට පිළියම් නැතිකම සෙවීම මේ ලිපියේ අරමුණ නොවේ. ඉතා අකමැත්තෙන් වුව කිව යුත්තේ ‘ඩෙංගු’ උවදුර මේ ආණ්ඩුව ඉල්ලමක් කරගෙන ඇති බවය. කොටින්ම ‘ඩෙංගු’ උවදුර ලාභ ලබන ව්‍යාපාරයක් කරගෙන ඇති බවය.

බොරුව

ආණ්ඩුව ඩෙංගු මර්දනයට කප්පරක් විසඳුම් සොයන බව මාධ්‍ය සංදර්ශන හරහා රටට හෙළි කරන මුත් ඒ සියල්ල බොරු බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ අදහස්වලින් පෙනේ. ඔවුහු නොබෝදා පැවසුවේ දිස්ති‍්‍රක් මට්ටමින් පවත්නා තම නිලධාරීන්ගේ හි`ගය නිසා ඩෙංගු මර්දනයට අදාළ බිම් මට්ටමේ පරීක්ෂණ විධිමත්ව සිදුනොවන බවය. එපමණක් ද නොව ඒ නිසාම නිසි කලට නිවැරදි තොරතුරු නොලැබීම හේතුවෙන් ඩෙංගු මර්දනය වෙනුවෙන් සකස් කරන ජාතික සැලසුම්වල විද්‍යාත්මක පදනමක් නැති බව ද ඔවුහු අවධාරණය කළහ.

ඩෙංගු හා මැලේරියා මර්දන කටයුතු ඇතුළු සේවා රැුසක් සඳහා කීට විද්‍යා සහකාර නිලධාරීන් 500ක් පමණ අවශ්‍ය වුවත් ඒ සඳහා දැනට සිටිනුයේ අනූහත් දෙනකු (97* බව එම සංගමය පෙන්වා දෙයි. එපමණක් ද නොව ඩෙංගු වසංගත තත්ත්වයක් රටපුරා වර්ධනය වීමේ අවදානමක් තිබියදීත් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් යටතේ පවා මේ වනවිටත් සේවය කරනුයේ කීට විද්‍යා සහකාර නිලධාරීන් දෙදෙනකු පමණක් බව සංගමය අවධාරණය කරයි. ඩෙංගු රෝගීන් අතරින් සියයට 58ක් වාර්තා වන බස්නාහිර පළාතේ කොළඹ දිස්ති‍්‍රක්කයේ පවා දැනට සේවයේ නිරත වනුයේ කීට විද්‍යා සහකාර නිලධාරින් දෙපළක් පමණක් බව සංගමයේ අදහසය. එසේනම් ආණ්ඩුව ඩෙංගු මර්දනය කිරීමේ සැබෑ වුවමනාවෙන් කටයුතු කරයිද? ඩෙංගු මර්දනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවුවද මේ දක්වාම එම බලකාය රැුස්වී හෝ නොමැතිකමින් මේ ප්‍රෝඩාවේ තරම නොපෙනේද?

ඩෙංගු වාසියට හරවා ගැනීම

දිනෙන් දින සිදුවන ඩෙංගු මරණ ප‍්‍රතිශතය ඉහළ යෑම නිසා ඩෙංගු මරණ සාමාන්‍ය වී ඇත. එය සාමාන්‍යකරණය වූ විට විශේෂය කර ගනු ලැබුවේ ‘ඩෙංගු’ බෝකරන ස්ථානය, ඒ නිසාම ඩෙංගු මර්දනය අමුතුම මෙහෙයුමක් විය. කොටින්ම මේ ආණ්ඩුව ඩෙංගු මර්දනය කරනු වෙනුවට ඩෙංගු යනු තමා විසින්ම වගා කොට නෙළා ගනු ලබන අස්වැන්නක් යන මතයේ පිහිටා ඩෙංගු වැළඳෙන අයටම දඩගහන තැනට පත්විය.

මේ නිසාම ඩෙංගු මරණ තරමටම ඩෙංගු මර්දන කටයුතුවල නියුතු පුද්ගලයන්ට වන අකරතැබ්බවලද නිමක් නොවීය. පහරදීම්, බැනවැදීම් මෙම මර්දන ව්‍යාපෘතිය ඇරඹී මුල් කල හුරුපුරුදු සාමාන්‍ය කතා බවට පත් වූ අතර එහි අවසානය තඹලගමුව සාලියපුර ප‍්‍රදේශයෙන් වාර්තා වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පරීක්ෂාවට ගිය අවස්ථාවේදී මෝල්ගස් ප‍්‍රහාරයකින් මියැදීමත් සමගය. මෙය සමාජය දෙස මෙන්ම පාලකයන් දෙස ද වෙනම මානයකින් බලන්නට දොරගුළු විවර කළේය. මේ හරහා ඩෙංගු කීටයන් හමුවන සෑම තැනම ඩෙංගු රෝගය බෝකරන්නන් බවට ලේබල ඇලවීමට මහජන පරීක්ෂක වරුන් පුරුදු වූවා සේම එයට ඕනෑවටත් වඩා වටිනාකමක් දීමට මාධ්‍යද අමතක නොකළේය. මේවා සරල වචන වුවත් ඉතාම බරපතළය. ඩෙංගු යනු රෝගයකි. එයින් මෙරට ජීවිත ගණනාවක්ම විනාශ වී ඇත. ඉන් අතිබහුතරය දුවාදරුවන්ය. මාපියන්ට දරුවකු නැතිවනවා තරම් දුකක් තවත් ඇත්ද? එවන් කලක සිහිබුද්ධියක් ඇතිවුන්ට කවුරුන් හෝ හිතාමතා ඕනෑකමින් ඩෙංගු මදුරුවන් බෝකරනවා යන්න කිව හැකිද? කිසිවෙක් හිතාමතා ඩෙංගු කීටයන් බෝ නොකරති. ඇත්ත එයය. මේ බව ආණ්ඩුව නොදන්නවා නොවේ. සෞඛ්‍ය ඇමති සෞඛ්‍ය අමාත්‍යාංශය නොදන්නවා නොවේ. එසේ නම් නොදන්නවා සේ මෙවන් බරපතළ ප‍්‍රකාශයක් නිර්මාණය කළේ ඇයි? ‘ඩෙංගු කීටයන් බෝ කිරීමේ ස්ථාන.’ මේ අපූරු යෙදුමකි.

ජනතාව ඩෙංගු උවදුරෙන් බේරාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පසෙක තබා එය ආදායමක් කර ගැනීමට ගත් උත්සාහය සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මියයෑම දක්වා දුරදිග ගිය අතර එය වඩා ශක්තිමත් කරනු වස් එතැන් සිට සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ට ගිනි අවි සහිත හමුදා සෙබලූන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ලබාදීමට ආණ්ඩුව කි‍්‍රයා කළ අතර එතැන් සිට යුද්ධයකට ත‍්‍රස්තවාදියකු අල්ලන මෙහෙයුමක් ලෙස නිවෙස්වලට කඩාවදින සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු රිසි සේ දඩ ගහන තත්ත්වයට පත්වූහ. එයට එරෙහිව කටක් ඇරිය නොහැක්කේ වෙඩි කා නැසීමට වුව සිදුවිය හැකි බැවිනි. ආයුධ පෙන්වන්නට ගොස් මෙන් ඩෙංගු කීටයන් පෙන්වන්නට ගොස් මියයෑමද අපූරුවට සාධාරණය වනු ඇතිය. එබැවින් මේ වැටලීම් හමුවේ ජනතාව අසරණ විය.

1909 තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව ඩෙංගු පරීක්ෂාවට පෙර කි‍්‍රයාත්මක වූයේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ප‍්‍රාදේශීය මට්ටමේ සිට ඉහළ තත්ත්වයක තබා ගැනීම සඳහාය. ඒ සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක කර ජනතාව ඒ සඳහා යොමු කළ කිසිදු පරීක්ෂකවරයකු බැණුමක් වුව ඇසූ පුවතක් මීට පෙර ඇසී නොතිබුණි. එමෙන්ම ග‍්‍රාමීය වශයෙන් සේම ජාතික වශයෙන් වරින්වර පැමිණ වසංගත සහ ජනතාවට අහිතකර ආකාරයේ පැවති රෝග පාලනය කර ගැනීමට ඔවුන් දැක්වූ දායකත්වය ඉහළය. එයට මහජන සහයද නිසි ලෙස ලැබුණි. එහෙත් ඒ සියල්ලට වඩා මාරාන්තික ඩෙංගු වැනි වසංගත තත්ත්වයකදී සෞඛ්‍ය පරීක්ෂකවරයාද ඩෙංගු මදුරුවා තරම් විනාශකාරයකු ලෙස ජනතාව ඒත්තු ගැන්වූයේ කවුද? අද සෞඛ්‍ය පරීක්ෂක නිලනොලත් පොලිස්කාරයකු බවට පත්වී ඇත. හමුදාව පොලීසිය වටකරගෙන නිවෙස්වලට කඩාවදින ඔහු නඩුකාරයකු බවට පත්වී ඇත. රිසි සේ දඩ ගසා ආණ්ඩුවට මුදල් මවන ව්‍යාපාරිකයකු වී ඇත. මෙසේ වූයේ ඇයි?

ඕනෑම කෙංගෙඩියකට ආණ්ඩුව පළිද, හැමදේටම ආණ්ඩුවට දෙස් දීම හරිද යන්න ඇසිය හැකිමුත් ඇත්ත නම් එකී චෝදනා ආණ්ඩුව භාරගත යුතු බවය. ඩෙංගු උවදුර පාලනය කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කොට එය ජාතික වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට රජය මැදිහත් වී මහජන පරීක්ෂකවරුන්ගේ සේවාව නිරතුරුවම ලබා ගනු වෙනුවට ආණ්ඩුව කළේ කුමක්ද? ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පිරිස් පීරමින් ඔවුන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමය. අභාග්‍යයට සෞඛ්‍ය පරීක්ෂකවරයාට සිදුවූයේ මහජනතාව දැනුවත් කිරීම වෙනුවට පොලිස්කාරයන් මෙන් දඩ ගැසීමේ සෙල්ලම පටන් ගැනීමටය. පොලීසිය මෙන්ම කාකි සූට් ඇඳ එන සෞඛ්‍ය පරීක්ෂකවරයාද ජනතා හතුරකු බවට පත්වූයේ මේ දඩකොළ බෙදීමේ කටයුත්ත නිසාය. පොලිස් නිලධාරීන් පාරේ ගසකට මුවාවී සිට පාරට පැන වැරදි අල්ලා ගත්තා සේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද කීටයන් හමුවීම ඉල්ලමක් විය. එය ආණ්ඩුවේ ඉල්ලමක් වුවත් පරීක්ෂකවරුන්ද එය විනෝදයක් බවට පෙරළා ගත්තේ ඒ හරහා තමන්ටද වරප‍්‍රසාද දීමනාවක් ලැබෙන නිසාය. දඩ ගහන තරමට ආණ්ඩුවේ පොකැට්ටු පිරෙන නිසා මොවුන්ද අද කීටයන් වෙනුවට මදුරුවන් බෝවිය හැකියැ’යි අනුමාන කොට දඩ ගසන තැනට පත්ව ඇත. ඒ සඳහා පූර්ණ බලය ඔවුන් සතු බව එම සංගමය පවසයි. කීටයන් සිටීම වැදගත් නැති බවත් යම් තැනක් මදුරු බෝවීමේ අවදානමක් පවතී නම් එය අනුමානයට යටත්ව වුව දඩ ගැසීමේ බලය තමන් සතු බවත් එම සංගමයේ ලේකම්වරයා අප සමග පැවසීය. සැබැවින්ම දැන් සිදුවන්නේ එයමය. බාර් ඉදිරිපිට සැ`ගව සිට එයින් එළියට එනවුන් අල්ලන්නා සේ වැසිකිළි වළේ සිදුරක් සොයා හෝ දඩ ගහන තැනට මෙම පරීක්ෂකවරුන් පැමිණ ඇත. ළිඳ වැඩිපුර භාවිත නොකෙරෙයි නම් දඩ ගසති. වැස්සක් වහින තුරු සිට පහුවදා පරීක්ෂණ සඳහා යන මොවුහු එකදිගට වතුර රැුඳුණු තැන් පෙන්වා දඩ ගසති. හමුදාව පොලීසිය රැුගෙන යන නිසා කිසිවකුට කටක් හැර ප‍්‍රශ්න කළ නොහැකි තත්ත්වයක් උදාකර ඇත. මෙම ක‍්‍රමය ආරම්භ කළ සැණින් 2012 සති දෙකක කාලය තුළ එවැනි ස්ථාන 1264 වටලා ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට රුපියල් හාර කෝටි තුන් ලක්ෂ අනූ හතර දහසක් (රු.4,3,94,000.00) ඉපැයූ බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා ආඩම්බරයෙන් ප‍්‍රකාශ කොට තිබුණි. එම මුදල එම වසරේ මැද වන විට මාස හයක් තුළ රුපියල් පහළොස් කෝටි එක් ලක්ෂ හතළිස් දහසකි. (රු.15,1,40,000.00) 2012 අවුරුද්ද අවසානයේ එය රුපියල් කෝටි විසිපහට කිට්ටු වූ බව පැවසේ. මෙය ඉල්ලමක් කර ගත් ආණ්ඩුව ඩෙංගු මර්දනය කරනු වෙනුවට වර්ධනය වන්නට දී කි‍්‍රයා කළ බව කිව යුතුමය.

එදා වේල කෑමට නැති මිනිසාට වත්තෙ ඇති වතුර ටිකක් පෙන්නා රුපියල් 5000 අවම දඩය ගසන තැනට පරීක්ෂකවරු පත්වූහ. බස්නාහිර කලාපය තුළ එකී නීති රාමුව ඇතුළේ දඩය රු.5000 සිට රු.50,000 දක්වා යටත්ය. එය පරීක්ෂකවරුන් තබන සටහන අනුව නිසා මේ බස්නාහිරෙන් පිට මෙම දඩය පමුණුවනුයේ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේය. ඒ අනුව දඩය රු 1000 සිට 10,000 දක්වා යටත් වේ. ඒ අනුව දඩ ගැසීමේ උපරිමය ඇත්තේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතේය. අභාග ඩෙංගු බහුලව ඇත්තේද මේ කලාපයේය. එය සියයට 58%කි. එසේනම් මේ දඩ සෙල්ලම හා ඩෙංගු ව්‍යාප්තිය අතර සහ සම්බන්ධයක් නැතිද? කලාපයක් ලෙස බස්නාහිර ගෙන ඩෙංගු මර්දනය කරන්නට ස්ථීරසාර විසඳුමක් ඇති කළේ නම් 58%ක ඩෙංගු වසංගතයක් නිමවන මුත් එය ම`ගහැර දඩ මත නගින්නේ ඇයි?

2013 වසරේ ඩෙංගු බෝ කිරීමේ චෝදනාව මත 18,451කට නඩු පවරා ඇත. ඒ අනුව එකී ආදායම කෝටි තිහ ඉක්මවා ඇත. 2014 මේ කාලය තුළ ඩෙංගු බෝකිරීම මත ලබා ඇති ආදායම කෝටි 6 1/2ක් බව පැවසේ. එසේනම් ඩෙංගු යනු ආණ්ඩුවට අපූරු ඉල්ලමක් නොවේද?

අද දවසේ ඩෙංගු යනු ආණ්ඩුවේ හොඳ ආදායම් මාර්ගයකි. ඩෙංගු මාරාන්තිකය. එහෙත් ආණ්ඩුවට ලාභදායකය. යුද්ධයෙන් ගොඩගිය ආණ්ඩුව අද ඩෙංගු මදුරුවාගෙන්ද ගොඩයයි. හැම ඛේදවාචකයක්ම හැම උවදුරක්ම ආණ්ඩුවට යහපතක් වී ඇත. මේ ආශ්චර්යය නොවේ නම් වෙන ඉටි ගෙඩියක්ද?