රාවය

දෙපා යුද්ධය ඇරඹේ

දෙපා යුද්ධය ඇරඹේ

 

ක්‍රීඩාවේ චමත්කාරය, දෙපාවල ආශ්චර්යය, තරගකාරීත්වයේ උපරිමය. එළිපත්තට පැමිණ එබිකම් කරමින් සිටී. තව දින කිහිපයකි. බ‍්‍රසීලයේ විසල් පිටි මැද මැවෙන පාද චමත්කාර ගෙයි ආලින්ද මත මැවෙනු ඇත.

මේ පාපන්දු අසිරියයි. පාපන්දු වසන්තයයි. ජුනි මස 12 වැනිදා බ‍්‍රසීලය සහ ක්‍රෝඒෂියාව අතර තරගයෙන් දෙපා යුද්ධය ඇරඹෙනු ඇත. ඒ බ‍්‍රසීලයේදීමය. සත්කාරකයාම කුසලානයට උරුමකම් කියතැ’යි බ‍්‍රසීලය සේ ම පාපන්දු උනන්දු තබා ගත් අයගේ එක් බලාපොරොත්තුවකි. එයට අවැසි සුදුසුකම් මේ වනවිටත් බ‍්‍රසීලය සපුරා තිබීම ඊට හේතුවකි.
කණ්ඩායම් 32ක්. තරග හැට හතරක්. පුරා මසක්. දෙපාවලට මැදිකොට ගත් පන්දුවක්. ඔලිම්පික් පවා දෙවැනි වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එලෙස හැඳින්වුවද මෙය සැබැවින්ම සුදුස්සන් අතර සුදුස්සා තේරීමේ අවසන් වටයයි.

දෙසීයකට අධික පාපන්දු ක‍්‍රීඩා කරන රටවල් තිස් දෙකේ කණ්ඩායමට අවසන් වටයට එන්නට වසර ගාණක සිට එකිනෙකා අබිබවමින් සුදුසුකම් සපුරා ගත්හ. මේ එහි අවසන් වටයයි. අවසන් ප‍්‍රතිඵලය කියාපාන ගැටුමය.

පාපන්දු අවසාන වටයට එනුයේ සුදුසුකම් තේරීමේ විධිමත් ක‍්‍රමවේදයක් අනුවය. එනම් කලාපීය වශයෙන් මූලික වටයේ තරග පවත්වාය.
එහිදී මහද්වීප අනුව කණ්ඩායම් සංඛ්‍යාවක් වෙන්කර තිබුණද පාපන්දුවේ ගුණාත්මකභාවය මත ඒ ඒ මහද්වීපයට වෙන් කෙරෙන කණ්ඩායම් සංඛ්‍යාව තීරණය වන්නේය. එහිදී වඩා සුදුස්සෝ සුදුසුකම් ලද්දෝමය.

ලොව විශාලතම මහාද්වීපය වන ආසියානු මහාද්වීපය හා ඕස්ටේ‍්‍රලියානු මහාද්වීපය යන දෙකටම හිමිව ඇත්තේ ස්ථාන හතරකි. යුරෝපා මහද්වීපයට ස්ථාන 13ක් හිමිය. අප‍්‍රිකානු මහද්විපයට ස්ථාන 5ක්ද මධ්‍යම සහ දකුණු ඇමරිකානු මහද්වීපය සඳහා ස්ථාන 10ක්ද හිමිය. ඒ සුදුසුකම් මත ලද දෑය. විධිමත් ක‍්‍රමවේදයක අවසාන ඵලයය.
ටෙලිවිෂනය තුළ පාපන්දුව ටෙලි සිත්තමක් ලෙස ලෝක කුසලාන තරගාවලියක් රඟදැක්වූයේ විද්‍යමාන වූයේ 1954 වසරේදීය. එතැන් පටන් පාපන්දු තරග නරඹනු වස් ටෙලිවිෂන් යන්ත‍්‍ර මිලදී ගත්තවුන් බිලියන ගණනක් බව පැවසේ. සිනමාවට අකමැති අය නර්තනයට, සංගීතයට අකමැති අය පාපන්දුවට ළැදි වූහ. නර්තනය තුළ සිනමාව තුළ නොදුටු සිනමාත්මක භාවයක් ඔවුුහු ඒ හරහා දුටුවෝය. 2006දී කළ සමීක්ෂණයකට අනුව තහවුරු වූයේ බිලියන 26.29කට වැඩි පිරිසකගේ ඇස් රූපවාහිනිය තුළ පාපන්දු තරග සොරා ගත් බවය. එය ඔලිම්පික් නරඹන පිරිසට වඩා ඉහළ අගයකි.

පාපන්දුව ලොව ඉහළම වටිනාකමක් ඇති වෙළෙඳ නාමයකි. එය මිලදී ගන්නට පොර බදිනුයේ ලොව ඉහළම ධනවත් සමාගම්ය. කොකාකෝලා, මැක්ඩොනල්ඞ්, අඩිඩාස් ඒ අතර ප‍්‍රමුඛ නම්ය. පාපන්දුව හරහා ඔවුන් උපයන මුදල අතිවිශාලය. ඒ තරමට පාපන්දුවට ඇත්තේ ඉහළ ඉල්ලූමකි. එය එසේ නොවේදැ’යි සැකහැර දැනගැනීමට පාපන්දු තරග නැරඹිය හැකිය. ජුනි 12 වැනිදා සිට සැකහැර ගත හැකිය. දෙපාවලට මෙවන් වික‍්‍රමයක් පෑ හැකිදැ’යි අවබෝධ කරගත හැකිය. ඇවිද්ද පය නොව පන්දුවට ගහන පය කෝටි ගණන් වටිනා බව පසක් කරගත හැකිය.

අවසන් කණ්ඩායම් 32ක් අතරින් කණ්ඩායම් 16කට මෙරට මුදලින් කෝටි 104 බැගින් වෙන් කෙරේ. එතැන් සිට ඒ කණ්ඩායම්වල දස්කම් මත මිල ඉහළ නගී. කණ්ඩායම් 32 අතරින් ප‍්‍රථමයා පාපන්දු ලෝක කුසලානයට උරුමකම් කියනවා පමණක් නොව මුදලින් ඇමරිකානු ඩොලර් 36,000,00 කටද උරුමකම් කියනු ඇත. එය මෙරට මුදලින් රු. 4,550,000,000කි. එදිනම තීන්දු වන අනුශූරයන්ට ඇ.ඩො. 25,000,000ක් හිමිවන අතර එය මෙරට මුදලින් රු. 3,250,000කි. කොටින්ම මෙය පිට්ටනියේ මුදල් ආකාරය දෙපයින් පාදා ගැනීමකි. සල්ලිවලට පයින් ගහන්න එපායැ’යි මෙරට කියමනකි. එය ප‍්‍රලාඵයක් වන්නේ පාපන්දු පිටිය තුළය. මන්ද පාපන්දු ක‍්‍රීඩකයන් පයින් ගසනුයේ සල්ලිවලටම වන බැවිනි.

1930දී පළමුවරට උරුගුවේ රාජ්‍යයේදී පැවති පාපන්දු ලෝක කුසලානය තමන් සතු කරගත්තේද උරුගුවේමය. එතෙක් මෙතෙක් උරුගුවේ ලද එකම ජය ආරම්භක සිහිවටනය පමණමය. එතැන් සිට දහනව වතාවක් පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී පස් වතාවක්ම ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට බ‍්‍රසීලය සමත් විය. බ‍්‍රසීලය යනු පාපන්දුවේ නිල නොලත් රජවරුය. අවසන්වරට 2010දී ලෝක කුසලානයට හිමිකම් කීවේ ස්පාඤ්ඤයය. ඔවුන් මෙවරද තීරණාත්මක අඩියක සිටී. අවසානය කුමක්වේදැ’යි කල්තබා අනාවැකි කිව නොහැකිය. එහෙත් අනාවැකිකරුවන්ටද වැඩ නැතිවාම නොවේ. ගියවර ලෝක කුසලානයේදී බූවල්ලකුට තිබූ ඉල්ලූමෙන්ම එය තහවුරු විය.
මෙවර බ‍්‍රසීලය පාපන්දු කුසලාන තරගාවලිය සිය රටේ පවත්වන්නට යෙදුණේ කුසලානයද තමන් සතු කරගැනීමේ දුරදිග බලාය. එහෙත් ඒ වෙනුවෙන් වියදම් කරන අධික ධනස්කන්ධය බ‍්‍රසීල ජනයා හිඟමන් යදින තත්ත්වයට පත්කරනු ඇතැ’යි එරටින් නැගෙන අඳෝනාවය. ඊට එරෙහිව නැගෙන විරෝධතා, උද්ඝෝෂණ එමටය. ඒ අතර බ‍්‍රසීලය බිහිකළ ලොවටම පාපන්දු පුරාවෘත්තයක් වූ පේලේ පාපන්දු සත්කාරකත්වයේ බර කරට ගෙන කටයුතු කරයි. ඔහුගේ පුතකුද මේ අතර කළු සල්ලිවලට හසුවී හිරේ ලැග සිටී. මේ සියල්ල අතරේ බ‍්‍රසීලයේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වේ. බ‍්‍රසීලයේ තිරය පිටුපස කතා වලංගුවන්නේ බ‍්‍රසීලයට පමණි. රටවල් 32ක් අවසානයට සහභාගි වුවද රටවල් 200කට අධික සංඛ්‍යාවක් පාපන්දුව නරඹති. ඒ කිසිවකුට පාපන්දු පිටියේ චමත්කාරය තරම් වෙන දෙයක් ඇස නොගැටෙනු ඇතිය. මේ පාපන්දු සමයයි. දෙපාවල රිද්මයට හදවත ගැහෙන කාලයයි.