දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

 

පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්…

පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට සීත-උෂ්ණ කියලා. නැත්නම් පිත අඩු-වැඩි ආහාර කියලා. ලංකාව වගේ රටක් නම් තුන්-දොස් මත පදනම් වෙලා තමයි ආහාර වර්ග කළේ. එහෙත් මිනිසාගේ වර්ධනය විද්‍යාත්මකව අධ්‍යයනය කළායින් පසුව මේක වෙනස් වුණා.

බැරිබැරියාව කියන රෝගී තත්ත්වය බොහෝ වෙලාවට හැදෙන්නේ නාවිකයන්ට. ඒ කාලේ ඕලන්ද වෛද්‍යවරයෙක් නිවුඩු සහල් දුන්නාම මේ රෝගය මර්දනය කරන්න පුළුවන් කියලා සොයාගත්තා. ඒක තමයි විටමිනවල උපත. මේ හින්දා මිනිසාගේ වර්ධනයට පෝෂණය ඉතාමත් වැදගත්. මිනිසාගේ ඒ ඒ වර්ධක අවශ්‍යතාවන්ට අනුකූලව පෝෂණය කෙලෙසක විය යුතුද කියලා පෝෂණ විද්‍යාව කියනවා.

මිනිසෙක් මුලින්ම ශීඝ‍්‍ර ලෙස වර්ධනය වෙන්නේ මවගේ කුස ඇතුළතදී. ඊළ`ගට පළමු වසර 5 තුළදී. ඊළ`ගට යොවුන් වියේදී. පළමු වසර 5 ඇතුළේ දරුවෙක් එයාගේ බර උපතේ බර වගේ තුන් ගුණයක් වැඩිකර ගන්නවා. දොළහත් දාසයත් අතර දී දෙගුණයකින් වැඩි කර ගන්නවා. මේ කාලවලට හොඳ පෝෂණයක් අත්‍යවශ්‍යයි. මේ සඳහා අත්‍යවශ්‍ය ආහාර මොනවාද? පෝෂක මොනවාද? වර්ධක ආහාර ඕනෑ, ඒ කියන්නේ ප්‍රෝටීන. ශක්ති ජනක ආහාර ඕනෑ. කාබෝහයිඩ්‍රේට්, තෙල් සහ මේදය, ඊළ`ගට ශුද්‍ර පෝෂක ඒ කියන්නේ විටමින, ඛනිජ ලවණ අවශ්‍යයි. මේ ආහාරවලින් ප්‍රෝටීන සහිත ආහාර ඉතාමත් වැදගත්. ඒක අත්‍යවශ්‍යයි. මොකද අපේ ශරීරය, අපේ ඉන්ද්‍රියන් වර්ධනය කරන වර්ධක ද්‍රව්‍යය වන්නේ ප්‍රෝටීන. අපේ මාංශ පේශිවල බොහොමයක් තියෙන්නේත් ප්‍රෝටීන. අපේ රුධිරයේ ප්ලස්මාවේ තියෙන්නේත් ප්‍රෝටීන. ප්‍රෝටීන ශාක සහ සත්ව කියලා කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. මේ වර්ග දෙක අතරිනුත් ඉස්තරම්ම වර්ගයේ නැත්නම් ප‍්‍රධාන ප්‍රෝටීන වර්ගය වෙන්නේ සත්ව ප්‍රෝටීන. ඒ අතරිනුත් බිත්තර සහ කිරි සුවිශේෂයි.

මිනිසාගේ මොළය වර්ධනය සහ මාංශ ආහාර අතර සම්බන්ධය මොකක්ද?

අපිට දැනුම සඳහා වගේම හැම දෙයක්ම සඳහාම හොඳ කි‍්‍රයාශිලි නිරෝගී මොළයක් අත්‍යවශ්‍යයි. මොළයේ වැඩි කොටසක් සෑදිලා තියෙන්නේ කොලෙස්ට රෝල්වලින්. කොලෙස්ට රෝල් කියන්නේ සත්ව තෙල් වර්ගයක්. මේ තෙල් නිෂ්පාදනයටත් මාංශ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. දරුවෙක් හැමදාම වර්ධනය වෙනවා. ඒ ඒ දවසට අවශ්‍ය පෝෂණය එයාට ඒ දිනයේදීම අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. නැත්නම් එතන මන්දපෝෂණ තත්ත්වයක් ඇති වෙන එක වළක්වන්න බැහැ. කායික වර්ධනයට වගේම මානසික වර්ධනයටත් ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. මේ නිසා මොළයේ වර්ධනය සහ මාංශ ආහාර අතර සෘජු බැඳීමක් තිබෙනවා.

සත්ව ප්‍රෝටීනවලට ආදේශකයක් විදිහට ශාක ප්‍රෝටීන භාවිත කරන්න බැරිද?

පුළුවන්. එහෙත් ප‍්‍රශ්නයක් තියෙනවා. සත්ව ප්‍රෝටීන භාවිත කරන කෙනකු ප‍්‍රමාණයට ශාක ප්‍රෝටීන භාවිත කරන කෙනකු වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. එතනදි යම් මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවිය හැකියි. ආහාරමය සංස්කෘතිය ඇතුළේ මස්මාංශ විවිධත්වය වැඩිවුණාම පෝෂණය හොඳින් සිද්ධවෙනවා. ශාකමය ආහාර තුළින්ම පමණක් අපිට වැඩිය හැකියි. නමුත් ප‍්‍රවේණිකව අපිට උරුම තැනට අපිට ළ`ගාවෙන්න බැහැ. මෙතනදි අපිට විටමින් බී 12 වගේ දේවල්, සමහර ඇමයිනෝ අම්ල පිටතින් දෙන්න වෙනවා. රටක් ජාතියක් විදියට දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් අපි මාංශ අනුභව කළ යුතුයි. මොකද අපි සර්වභක්ෂක සත්ව කොට්ඨාසයක්. අපේ දත් ඇන්දේ උල් දත් මොකටද පිිහිටලා තියෙන්නේ. මාංශ ඉරාගෙන කෑම සඳහා. ඒ නිසා මාංශ ඉතාමත් වැදගත්.

මාංශ ආහාර අතර හරක් මස් ප‍්‍රමුඛ වෙන්නේ කොහොමද?

හරක් මස් ලේ වඩනවා කියන පිළිගැනීම අපේ සමාජයේ එදා ඉඳලාම තිබුණානේ. ලේ අඩුකමට පීකුදු ඉතාමත් ගුණයිි කියලා කියනවා. සිංහල ග‍්‍රාමීය කෘෂිකාර්මික සමාජය දිහා බලන්න, අතීත ගම්වල හැම ගෙදරකම වාගේ හරක් ඇති කළා. උන්ගෙන් කිරි ටික ගොම ටික ගත්තා. වයස්ගත වුණාම මොකද කළේ, ගමට එන මුස්ලිම් වෙළෙන්දන්ට විකුණලා දැම්මා. පස්සේ මස් පීකුදු කඩෙන් ගෙනල්ලා කෑවා. අතීතයේ දරුවෙක් කොටහළු වුණාම, ම`ගුලකදී, මළගෙදරකදි සල්ලි අවශ්‍යතාවක් ආවාම ගෙදර ගොනා විකුණලා සල්ලි ගත්තා. ගවඝාතක පනතක් තියෙනවා. ඒ පනතට අදාළව ටෙන්ඩර් ක‍්‍රමයකට ඒ කඩ පවත්වාගෙන යනවා. මම නම් හිතන්නේ මේ පවත්වාගෙන යන ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම රටක පෝෂණය ගැන සිතන කාට වුණත් වැදගත්. ගව ඝාතනයෙන් වැළකෙමු වගේ සටන් පාඨවලට වඩා අපේ දරුවන් මීට වඩා පෝෂණය කළ හැකි ක‍්‍රමයක් ගැන සිතීම වැදගත්.

අද දවසේ මාධ්‍ය ඉස්සරහට එන විශේෂඥ වෛද්‍යවරු කියනවා හරක් මස් අනුභවය මගින් බඩවැල් ආශි‍්‍රත පිළිකා තත්ත්ව ඇතිවෙනවාය කියලා. මේ මතය පිළිගත් නිවැරදි මතයක්ද?

නැහැ. කොහෙත්ම නැහැ. අද වෛද්‍යවරු එයාලාගේ ආගම, සංස්කෘතිය හැදුණ වැඩුණ පරිසරය වගේ දේවල් පදනම් කර ගෙන යම් යම් ප‍්‍රකාශ කරන බව පේනවා. ඒක ලංකාවේ සුලබ තත්ත්වයක්. මේ කියන කිසි දෙයක් පර්යේෂණාත්මකවත් සායනිකවත් ඔප්පු කළ දේවල් නොවෙයි. එනිසා එවැනි මත ප‍්‍රචාරය වීම සමාජයට හොඳ නැහැ. දැන් සමහර පිළිකා වර්ග තියෙනවා ඒවා දුම්පානය කරන පුද්ගලයෝ අතර එතරම් සුලබ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන්ද දුම්පානය හොඳයි. එමගින් පිළිකා මර්දනය වෙනවාය කියලා. එනිසා වැරදි මත සමාජය මත මුදාහැරීම රටකට හොඳ නැහැ.

අද සමාජයේ තිබෙන හරක් මස් විරෝධය තුළ තිබෙන්නේ බෞද්ධ බලපෑමට වැඩිය හින්දු බලපෑම නේද?

ඒක ඇත්ත. ලෝකයේ වැඩිම බෞද්ධයන් ප‍්‍රමාණයක් ජීවත්වෙන රට තමයි ටිබෙටය. ටිබෙටයේ මිනිස්සුන්ගේ ප‍්‍රධාන ආහාරය තමයි හරක් මස්. ටිබෙටයේ මිනිස්සු ඇඳුම් මසාගන්නේ හරක් හමෙන්. බුදුමැදුරුවල පහන් පත්තු කරන්න ගන්නෙත් හරකාගෙන්ම ගන්න තෙල්. ටිබෙටයට අමතරව තායිලන්තය, බුරුමය, වියට්නාමය වගේ බෞද්ධ රටවල බෞද්ධ මිනිස්සුත් හරක් මස් කනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ. දානයටත් පිළිගන්වනවා. මම එක ගමනක් තායිලන්තයේ ෂැන්හයි කියන නගරයට ගියාම එහේ නගරාධිපති මගෙන් ඇහැව්වා ඔයාලාට තිබෙන ලොකුම පෝෂණ ගැටලූ මොනවාද කියලා. මම කිව්වා අපිට ප්‍රෝටීන සහ කැලරිවල මන්ද පෝෂණ තත්ත්වයක් තියෙනවා කියලා. එතකොට ඔහු කියනවා මම කීප සැරයක් නුවර මාළිගාවට ගියා, ඒ යන එන අවස්ථාවලදී පාර දෙපැත්තේ විශාල වශයෙන් බල්ලෝ ඉන්නවා දැක්කා, ඇයි බල්ලන්ගෙන් ඔය අවශ්‍යතාව පිරිමසා ගන්නේ නැත්තේ කියලා. තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්. එහෙ බලූ මස් හදන ස්ථාන තිබෙනවා. මේ හින්දා මටත් හිතෙනවා මේ හරක් මස් විරෝධය හින්දු සංස්කෘතියෙන් ඉන්දියාවෙන් ණයට ගත්ත එකක් කියලා. හැබැයි මේකත් අමතක කරන්න එපා, ඉන්දියාව හරක් මස් කෑවේ නැති වුණාට එයාලා ලෝකයට හරක් මස් අපනයනය කරන රටවල් අතරින් ඉහළින්ම ඉන්නවා. හරක් මස් කියන්නේ අද ඉන්දියාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක්.

අද හරක් මස් විරෝධයක් බෞද්ධයන් අතර ගොඩනැගුවත් මේ තුළ තිබෙන්නේ පටු ජාතිවාදී හැ`ගීම් සමුදායක්. හරක් මස් විරෝධය රට තුළ ආගමික සහජීවනය වගේම ජාතික සමගියටත් ප‍්‍රබලව බලපානවා. අනෙක් පැත්තෙන් මේක ජාතියේ පෝෂණයටත් වක‍්‍රව බලපාන තත්ත්වයක්.

ඔව්, ජාතික සමගිය වගේම නිදහස සැලකුවාම මෙතන ලොකු ගැටලූවක් තිබෙනවා. අපි සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ කියලා මුස්ලිම් මිනිසාට කතෝලිකයාට නොකා ඉඳපන් කියන්න බැහැ. අපි මස් වෙළෙඳාම් කරන්නේ නැහැ කියලා එයාලාට වෙළෙඳාම් කරන්න එපා කියන්නත් බැහැ. මේ සේරටම වැඩිය ලොකු ගැටලූවක් මම මෙතන දකිනවා. මමත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධ අපි නිර්මාංශ වෙමු කියූ ගමන් අපි අනික් ජාතීන්ට වඩා පිටුපසට යනවා පෝෂණය පැත්තෙන්. මෙහෙම මේක දිගටම ගියොත් අපේ දරුවන්ගේ බුද්ධි වර්ධනය අනෙක් ජාතීන්ට සාපේක්ෂව පහළට යාවි. මුස්ලිම් දරුවන්, කතෝලික දරුවන් විශ්වවිද්‍යාලවලට වැඩිපුර ඇතුළු වෙනකොට අපිට ආයෙත් පිකට් කරන්න වෙයි මෙතන හොරයක් තියෙනවාය කියලා. මම බෞද්ධ ධර්මය ගැන ලොකු බුද්ධිමතෙක් නොවෙයි, හැබැයි ප‍්‍රාණඝාත අකුසලය ගැන හිතුවොත් අපිට ගහක්වත් කපන්න වෙන්නේ නැහැ. පණු බෙහෙත් පෙත්තක්වත් බොන්න බැහැ. ඒ නිසා හැම දෙයක්ම ගැනම අපි විවෘතව කල්පනා කළ යුතුයි කියලායි මම නම් හිතන්නේ. පටු ජාතිවාදී සීමාවල හිරනොවී.