මට මගේ කෙල්ල දීපං

සුළඟ සිවුරුහන් දුන්නා. වඩා කන් යොමද්දී හුළෙඟ් සුපැහැදිලි, උඩුබුරුලෑමට කන් කෙළින් වුණා. ඔහු ගැන ලිවිය යුතුයි හිත හෙමින් කිව්වා.
කලින් දා අරක්කුවල නරක මතකයන් එක්ක ලිවීමේ පිරිය හකුළලා මත් කරලයි තිබුණේ. ඒත් මම ඔහු ගැන ලියන්නට හිත හදා ගත්තා. ඔහු පිළිබඳ පිළිසිඳ ගත්ත මතකය අපහසුවෙන් වුව වදන්නට වලිකෑවා. පුදුමයි.
ඔහු මගේ මේසය ළඟ මා ඉදිරිපිටම මා මුව දෙසම බලා සිටින අයුරු මට මැවී පෙනුණා.
‘‘මට මගේ කෙල්ල හොයලා දීපං.’’
ඔහු සුපුරුදු වදනින් මට දමලා ගැහැව්වා.
‘‘මගේ අන්තිම හුස්ම ඩිංග මේ පපු කැනැත්තෙන් එළියට පනින්න ඉස්සර මට එක පාරක් මගේ කෙල්ලව බලන්න ඕනෑ. මට මගේ කෙල්ල හොයලා දීපං.’’
දිරායන ශරීරයේ බොල් හඬ එළියට වැටුණා. ඒ තුළ ශෝකී බර කෙඳිරියක් හඬලෑවා. සුළඟට වඩා බියකරු උඩුබුරුලෑමකින් මගේ හදවත මිරිකුණා. මම ඔහුට කන් දුන්නා.

හැත්තෑපස් වියැති ඔහු දරාගත නොහැකි බරක් හදවතෙහි පුරවාගෙන එය සැහැල්ලූවට බිම තිබ්බේ නාට්ටාමියකුට වඩා වෙහෙසකිනි. ඔහු හතිහලනු මට ඇසිණ.
‘‘මයේ කාලේ ඉවර වීගෙන එන්නේ. මේ හැත්තෑපහ. තව කොච්චර කල්ද කියලා නිච්චියක් නැහැ. හෙට නැගිටියිද කියලා කවුද දන්නේ. ඊට ඉස්සර මගේ කෙලිපොඞ්ඩ දකින්න ඕනෑ. ඒකිව හොරු අරන් ගිහින්.’’
පනින්නට කඳුළු නැති තරම්ය. ඒවා නෙත් අගම ගල් ගැහී ඇති සැටිය.
‘‘මේක මහ කරුමයක්. මේවා අපි අත්ත මුත්ත කාලේවත් අහපු නැති අසමජ්ජාති වැඩ.’’
ගෙවෙනුයේ කාලයයි. දිව යනුයේ කල්පනාවයි. හාරා ඇවිස්සෙනුයේ මතකයන්ය.
‘‘මට දරුවන්ගේ දරුවනුත් ඉන්නවා. ඒ අතින් මම පින් කරලා. ඒත් මොකක්දෝ පවකට මට මේ කෙල්ල දැකගන්න විදිහක් නැහැ. ඒකිට කාත් කවුරුත් නැහැ. ඉන්නේ මම විතරයි. අනේ ඒකිව එක පාරක් හරි දකින්න සලස්වපං.’’
ඔහුට හමුවන්නේ කවුද? ඒ කාට වුව ඔහුට දිය හැකි ප‍්‍රශ්නය එකය. එනම් ඔහු සොයන මැණිකය. අම්මාට නැති එහෙත් මුත්තාට ඇති කැක්කුමය.
ඔහු වෙසෙනුයේ බකමූණ දියබෙදුම ගමේය. තම මිනිපිරියක් සොයා හැත්තෑ පහට යා නොහැකි ගමන් ඔහුු යයි. පොලිසියේ, කාර්යාලවල සෑම තැන පීරයි. කන්දෙන නොදෙන සැමට තම දුක කියයි. එහෙත් තවමත් විසඳුමක මඟ ඔහුට හමුවී නැත.
ඔහු බකමූණ ගමේ දියබෙදුම ට‍්‍රැක් 34 පදිංචි ඞී.එච්.එම්. හීන්බණ්ඩා. හීන්බණ්ඩාගේ කතාව හැම අතින්ම දුකය. බකමූණේ වෙසෙන ඔහු දකින බොහෝවුන් අද බකමූණන් මෙනි. ඔහු ඉදිරියේ මේ සැමට ඔළුව වනනු ‘හ්ම්’ කියනු හැර විසඳුම් නැතිය.
‘මගේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම හරියට දුක් විඳලා උන්ව ලොකු මහත් කළේ. එක දුවකුගේ නම ගුණරත්න මැණිකේ. එයාට ලැබුණු දරුවාට නම තිබ්බේ ඉනෝකා දමයන්ති කියලා. මගේ මිනිබිරී. හරිම ලස්සනයි. ඒ ලස්සනම තමයි කරුමේ වුණේ. කෙල්ලව බලෙන් අරගෙන ගිහිල්ලා කට්ටියක්ම ¥ෂණය කළා. මේවා හෙණ ගහන අපරාධ. කෙල්ල ඊට පස්සේ හිටියේ පිස්සු වැටිලා වගේ. කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ වලත්තයන්ගෙන් කෙල්ලට දරුවෙක් හිටියා. මොනවා වුණත් මේ මගේ දරුවගේ දරුවා වදන දරුවෙක්. කාගේ වුණත් දරුවෙක්. අපේ එකා බඩින් වදන අපේ දරුවෙක්. මගේ මිණිබිරි දරුවා වදලා රට ගියා. ඒකිත් කෙල්ලක්. අපි කොහොමද මේ කෙල්ලව අහක දාන්නේ. මායි, මායියයි මේ කිරි සප්පයව හැදුවා. ඒකි ලොකු වුණා. පාසල් යැව්වා. පුළුවන් විදිහට ඒකිව උස් මහත් කළා. අවුරුදු 14 වෙනකොට මේකිත් ලස්සනයි. අම්මා වගේමයි. කවුද හිතන්නේ හැමදාම කරුමේ පන්න පන්නා අපිට පව් දෙයි කියලා. පන්සලේ හාමුදුරුවෝ කෙල්ලට අකුරු උගන්වන්න පන්සලට එවන්න කිව්වා. කවුද අවිශ්වාස කරන්නේ හාමුදුරුවන්ව. අපි කෙලීව පන්සලට ඇරියා. පන්සලේදී කෙල්ල අතුරුදන් වුණා.
‘‘කෙලීව හොරු ගත්තා මහත්තයෝ.’’
මේ සිනමාපටයක දිග හැරෙන ගෙත්තමක් නොවේ. සැබෑවටම සිද්ධ වෙච්ච හැබෑවකි.
‘‘පන්සලෙන් අහපුවාම උත්තර නැහැ. මම බකමූණේ පොලිසියට ගියා. පොලිසියට කිව්වාම හාමුදුරුවොයි දුවයි හොයාගත්තා. දෙන්නවම හිඟුරක්ගොඩ උසාවියට ඉදිරිපත් කළා. උසාවියෙන් හාමුදුරුවන්ව රිමාන්ඞ් කළා. මගේ කෙලීව හිඟුරක්ගොඩ බෝසත් කාන්තා හා ළමා නිවාසයට භාර දුන්නා. කාලයක් යනකොට හාමුදුරුවෝ ඇප පිට ආවා. අනේ මහත්තයෝ මගේ කෙල්ල ළමා නිවාසයෙන් අතුරුදන් වෙලා. මගේ කෙල්ල හොරු අරගෙන ගිහිල්ලා.’’
‘‘මම ළමා නිවාසයෙන් ඇහැව්වා. පොලිසියට ගියා. අතන මෙතන හැම තැනටම ගියා. ඒත් මගේ කෙලී ගැන ආරංචියක් නැහැ. පොලිසිය මගහරිනවා. හැමෝම මගහරිනවා.’’
සැවොම මග හරිද්දී මොහුට මග හැරී ඇත්තේ මොහුගේ ජීවිතයය. එය ජීවත් වන ටික කාලයට අවැසි හුස්මය.
‘‘හාමුදුරුවෝ නඩුවට උසාවියට එනවා යනවා. මගේ කෙලී නැහැ. ළමා නිවාසයට හාමුදුරුවෝ කලිසම්, කමිස ඇඳගෙන ආවා කියලා පොතේ තියනවා. මාමා කියලා දෙන්නෙක් ආවාලූ. කෙලී ඒ අයව ප‍්‍රතික්ෂේප කළාලූ. එහෙම පොතේ තියෙනවා. ඒත් කාටවත් දැන් ගාණක් නැහැ. ළමා නිවාසයේ අය කියලා තියෙනවා පොලිසියට ළමයා පාසල් ගිහිල්ලා ආවේ නැහැ කියලා. ඒක පොලිස් පොතේ ලියලා තියෙනවා. ඒක තිබුණාම මට මගේ කෙලී හම්බ වෙනවාද? දැන් අවුරුදු දෙකක් වෙනවා. අනේ මගේ කෙල්ල හොයලා දීපං. ඒකිට කාත් කවුරුවත් නැහැ. මම විතරයි ඉන්නේ.’’
ඇය උපද්දන්නේම සළෙලූන්ය. ඇය නැවත ගොදුරු වන්නේද සළෙලූන්ටය. එහෙත් හව්හරණක් නැතිය. ළමා නිවාසයක දරුවකු අතුරුදන් වීම නොවටිනා දෙයක්ද? ඇයට ළමයකු සතු නියමිත වටිනාකම නැතිද? පොලිසියට මේ වන විට මෙය පරණ සිද්ධියකි. දෙවසරකට අධික යල්පැන ගිය පිළුණු කතාවකි. ඇය හාමුදුරුවන්ගේ නඩුවට අවැසි සාක්ෂිකාරියකි. එහෙත් ඇය අතුරුදන්ය.
නඩුව දිගටම ඇදේ. හාමුදුරුවෝද නඩු වාරයක් පාසා උසාවියට වඩිති. එහෙත් ඇය අතුරුදන්ය. ඇය සොයමින් ඇගේ මුත්තා හතර දිග්භාගයේ කරක් ගසමින් සිටී. එහෙත් මේ ප‍්‍රශ්න කිසිවකුට ප‍්‍රශ්න නොවන හැඩය. දූෂණයට ලක්වී දූෂණයෙන් ගැබ්වීම ඒ හරහා උපදින දරුවාද දූෂණයට ලක්වීම අවසානයේ එකම රැුකවරණය වූ ළමා නිවාසයේදී ඇයට නැවත සුරැුකුණු ළමාකම අතුරුදන්වීම අවැඩක් නොවේද? ළමුන් ගැන කතා කරන ළමුන්ගේ හෙට දවස ගැන මුමුණන අයට මේ කතාව ළමයකුගේ කතාවක් නොවුණිද? ඇයගේ ළමා කාලය පන්සලෙන් ඉදිරී යන්නේ නම් කවරක් මුමුණමුද?
ශුද්ධ වූ සියල්ල කෙලෙසී ඇතැ’යි යන්න තවදුරටත් හිතළුවක් නොවේ.
මා ඉදිරිපිට සිටි මුත්තා අතුරුදන් වී ඇත. සැබැවින් අතුරුදන් වී ඇත්තේ ඔහුගේ මිණිබිරියය. එහෙත් මේ වයසක උන්දෑ ඇරුණු කල මේ කතාව කොතැනින් කෙළවර වනු ඇත්ද? මුත්තාගේ සෙවීම ඇනහිටිය කල ඇය සදහටම අතුරුදන් නොවනු ඇත්ද? එතැන් සිට ඇය කී දෙනෙක් නම් හොරා ගනු ඇත්ද? දැනටමත් ඇය කී දෙනෙක් සොරාගෙන ඇත්ද? දැන් හෝ සොයා නොගතහොත් සැබැවින්ම හොරාටම මේ දැරිය සින්න වනු නියතය.
‘‘මට මගේ කෙල්ල දීපං. ඒකිව හොරු අරගෙන.’’ ඒ මුත්තා කී වදන්ය. වසර දෙකක් තිස්සේ මුත්තා හොරු පස්සේ පන්නයි. සැවොම සොරුන් වෙමින් මුත්තාගේ මිනිබිරිය පැහැරගෙන ගොස්ය.
‘‘මගේ පපු කැනැත්ත නතර වෙන්න කලින් මට මගේ කෙලී දකින්න ඇත්නම්.’’ ඒ හුස්ම අල්ලනුයේ එකී බලාපොරොත්තුවෙනි. විටෙක හුස්ම නතර වනු ඇත්තේද එකී බලාපොරොත්තුවෙන්මය. එවිට බණට වඩින හාමුදුරුවෝ කුමක් කියනු ඇත්ද? කුමක් කීවද? මුත්තා කී දේ ඉතිරි වනු ඇත.
‘‘මගේ කෙල්ල හොරු අරන් ගිහින්.’’
ඇත්තටම හීන්බණ්ඩාගේ කෙල්ල හොරු අරන් ගිහින්… හාමුදුරුවනේ. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේමයි.