චිත‍්‍රය සමග ප‍්‍රතිපත්ති වැළඳ ගැනීම සීවලී සහ සුජාතාගේ ලෝකය

 

ඔහු ඇරැව්වල මංසන්ධිය පසුකර ගමන් කරමින් සිටියි. මුහුණ පුරා ඝනව වැඩුණු රැුවුලකි. අතක පන් මල්ලකි. ගමන සෙමින්ය. කිසිවකුගේ හෝ විශේෂ අවධානයට හෙතෙම ලක් නොවෙයි. ඔහු කා සමගත් සුහදත්වයේ සාත්වික අභිනය පායි.

හේ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහය. සීවලී තනියම ගමන් බිමන් යන එක නැවතුණේ ඔහු හදිසියේම ගිලන්වීමත් සමගය. ඒ මීට වසර දෙකකට පමණ පෙරදීය. දැන් යළිත් ඔහු අඳින්ට පටන් ගෙන තිබේ. එහෙත් ඉස්සර වගේ ඇරැුව්වල මංසන්ධිය පසුකර සුන්දර වතින් යුතුව ගමන් බිමන් යන්නේ නැත.

‘‘මට චිත‍්‍ර අඳින්නෙ නැතුව ඉන්න බැහැ.’’ සීවලී බොහෝ සෙමින් චිත‍්‍රයක වැඩ නිම කරමින් කියයි. සීවලීගේ බිරිඳ සුජාතා වනමලීත් චිත‍්‍ර ශිල්පිනියකි. ඇය කීවේත් සීවලී කී කතාවමය.

‘‘මටත් චිත‍්‍රයක් අඳින් නැතුව ඉන්න බැහැ.’

ඔවුන්ගේ නිවහන හරි අපූරු එකකි. හැම තැනම චිත‍්‍රය. ඒවා පිළිවෙළට තබා තිබේ. නිවසේ කාමරවලට යන පටු මං තීරුවල දෙපැත්තේ රාමු කරන ලද චිත‍්‍ර එල්ලා තිබේ. නිවසේ ඇතැම් ස්ථානවල තබා තිබුණු චිත‍්‍ර සිහින් උසැති ඒවාය. විශාල කැන්වස්වල අඳින ලද චිත‍්‍රවලට වඩා ඒවායේ අපූර්වත්වයක් තිබුණි.

සීවලීගේත් සුජාතාගේත් දැවැන්ත වැඩබිම හමුවූයේ පටු කොරිඩෝවකින් ගොස් චිත‍්‍රවලින් සැරසූ කාමරයකට වැටී එහි සිට තවත් චිත‍්‍ර කාමරයක් පසුකර ගියවිට දක්නට ලැබෙන මඳක් විවෘත ස්ථානයකදීය. දැවැන්ත වැඩබිමක් කිව්වාට එම ස්ථානය ඒසා ලොකු නැත. එහෙත් ඔවුන් දෙදෙනා කර තිබෙන වැඩ ටික ලොකු බව දක්නට ලැබුණි. ‘‘ඊයෙ රෑත් මෙතන ඇන්දා.’’ එහෙම කීවේ සුජාතාය. සීවලීගේ අසනීප තත්ත්වයත් සමග ඔහුට ඉස්සර වගේ රෑට වැඩ කිරීම අපහසුය. එබැවින් ඔහු සියලූ ඇඳීමේ කටයුතු දවාලේ කරයි.

අඳින්නේ ජීවිතයද? ඒ ප‍්‍රශ්නය මම යොමු කළේ සීවලී සහ සුජාතා දෙදෙනාටමයි.

සීවලී: ජීවිතයත් එක්කම තමයි කලාකරුවා සිය මාර්ගය තෝරාගන්නේ. ඔහුගේ අත්දැකීම් කලාව වෙනුවෙන් පෙරා ගන්නවා. ලෝකයේ ඕනෑම කවියෙක් චිත‍්‍ර ශිල්පියෙක් එහෙමයි. වැන්ගෝලා, ගොගැන්ලා එහෙමයි. ආත්ම ප‍්‍රකාශනය වෙන්නේ තමන් විඳින අත්දැකීම්. මටත් ඒ තත්ත්වය පොදුයි. සුජාතා: සීවලී කියන එක හරි. මම ගැහැනියක්. මවක් ගෘහණියක් හැටියට අත්විඳපු දේවල් යම් කාලෙකදි චිත‍්‍රයට නැගුවා. මං ඒ කාලෙ වැඩ කළේ අමාරුවෙන්. ගෙදර වැඩත් එක්ක ඇන්දෙ යුද්ධයක් කරනවා වගේ. දැන් නම් ළමයි ලොකුයි. ඇත්තටම අපි දැන් ආච්චිලා සීයලා. අඳින්න වෙලාවත් ඕන තරම් තියනවා. සීවලී: මෙයා ඉතිං ගෙදර වැඩත් කරනවා. මගේ වැඩත් කරනවා. පින්තූරත් අඳිනවා. එහෙම බලනකොට තාමත් මෙයාට වැඩ වැඩියි. සීවලීත් සුජාතාත් වැඩිපුරම චිත‍්‍රයට නගා තිබුණේ ස්වභාව සෞන්දර්යයි. සුජාතාගේ චිත‍්‍රවල ගස්වැල් බොහොමයක් දක්නට ලැබුණු අතර ඒ නිසාම කොළ වර්ණය වැඩියෙනුත් දුඹුරු අඩුවෙනුත් භාවිත වී තිබුණි. සීවලී මහා වෘක්ෂ හා ලිය ගොමු අතරේ මිනිස් රූප ඇඳ තිබුණි. ඒවායේ එක්තරා විශේෂත්වයක් වූයේ සීවලීගේ තෙලි තුඩින් නිමැවුණු මිනිසුන් ඔහු ඇඳ තිබුණු වෘක්ෂලතාදියටම බද්ධ වූ පිරිසක් ලෙස දිස්වීමය. ඇතැම්විට ගස් හා මිනිසා වෙන්කර සොයා ගැනීමට තරමක් වේලා චිත‍්‍රය දෙස බලා සිටිය යුතුය. සුජාතා: මම ඇන්දෙත් ස්වභාව ධර්මය සමග සම්බන්ධ චිත‍්‍ර තමයි. මිනිස් රූප අඳින්නත් මම කැමතියි. ඔය දෙක තමයි රසිකයො වැඩිපුර මිලදී ගන්න කැමති. වර්ණ ගත්තත් තද පාටට කැමති නැහැ, සිසිලසක් දනවන වර්ණ වලටයි චිත‍්‍රවලටයි රසිකයො කැමතියි.

සීවලීගේ උපන් ගම චිත‍්‍රවලට බලපෑවද?

සීවලී: ඔව්. මම උපන්නේ අනුරාධපුර සිවලාකුලම කියන ගමේ. ඒ 1945දී. මං පුංචි කාලේ ඉඳලම අඳිනවා. කැලයට හරි ආසයි. අපි කාලය ගත කළෙත් කැලේ. මුලින්ම ඉස්කෝලේ ගියේ සිවලාකුලමට. කැකිරාවෙ සෙන්ට‍්‍රල් එකට අන්තිමට ගියා. උසස් පෙළ වනතුරු ඉගෙන ගත්තා. යුනිවර්සිටි යන්න බැරිවුණා. යන්න බැරිවෙච්ච එක හොඳයි කියලයි මං හිතන්නේ. විශ්වවිද්‍යාලයට නොගිය නිසා මම පූර්ණකාලීනව ඇන්දා.

විධිමත්ව අඳින්න ගත්තේ කොයි කාලෙද?

සීවලී: කොළඹ ආවට පස්සෙ. ඕනෑම දෙයක් දියුණු කරගන්න නම් කොළඹ එන්න ඕනෑයි කියලයි මමත් කල්පනා කළේ. ඒ නිසා දෙවරක් නොසිතා ආවා. සෙරන්ඩිබ් චිත‍්‍රාගාරයේ නැවතුණා. ශේෂා පලිහක්කාර තමයි මගේ මුල් ගුරුවරයා. සුජාතා: මගේ ගම කුරුණෑගල. හැබැයි ඉතිං උපන්දා පටන් හිටියේ කොළඹ. ඒ නිසා මට ගම ගැන අත්දැකීම් අඩුයි. මට ඉස්කෝලෙ යන කාලේ ඉඳන් අඳින්න පුළුවන්. ඒ වුණාට මම කළේ ඩාන්සින්. සුනෙත් ගෝකුල මහත්තයා ළඟ ඉගෙන ගත්තේ. සීවලියි මමයි හම්බවෙන්නෙත් එතනදි. මෙයා අඳින නිසා තමයි ඉතිං මාත් අඳින්න ගත්තේ.

චිත‍්‍ර අලෙවි කිරීම කරන්නේ කොහොමද?

සුජාතා: මිලදී ගන්න වුවමනා අය ගෙදරට එනවා. සමහර අය කලින් මිලදී ගත්තු අයගේ හිතවතුන්. සීවලීගේ චිත‍්‍ර නම් ටිකක් ලොකු මිලකට විකිණෙනවා. මගේ ඒවායේ මිල ගණන් තරමක් අඩුයි. සීවලී: හුඟක් පිට අය තමයි එන්නේ. සමහර වෙලාවට ෆොරිනර්ස්ලත් එන වෙලාවල් තියනවා. ගමේ අය නම් කවුරුත් චිත‍්‍ර ගන්න එන්නේ නැහැ. ගමේ අය චිත‍්‍ර ගන්නවා තියා මාව අඳුරන්නෙත් නැති අය ඉන්නේ. අපිත් ඉතිං ටිකක් ෂෝ එක දාගෙන හිටියා නම් ගමේ අය මේ කවුද කියලවත් බලයි. අපි ඒවට නැහැ. අපේ පාඩුවෙ චිත‍්‍රයක් ඇඳගෙන ජීවත්වෙනවා.

ජොර්ජ් කීට්

ඉතා කුඩා සහෘද පර්ෂදයක් මධ්‍යයේ සිදුකරනු ලැබූ උත්තම ගණයේ චිත‍්‍ර ශිල්පියකුගේ අවමංගල්‍යයක් දැකගැනීමේ අවස්ථාව මීට ටික කලකට පෙර අප ලදිමු. මේ අවමංගල්‍යය සම්බන්ධයෙන් වැදගත් වන කාරණා දෙකක් ඇත. පළමුවැන්න මියගිය කලාකරුවා මින් පෙර අප රට කිසිවකු ලබා නොගත් අන්දමේ ජාත්‍යන්තර කීර්තියක් ලබා සිටි අග‍්‍රගණ්‍ය සිත්තරකුවීමයි. දෙවැන්න අවමංගල්‍යයට පැමිණ සිටි පිරිස ඉතාමත්ම අල්පවීමයි…

ගව් ගණන් ගෙවා අගනුවර එන සම්මන්ත‍්‍රණ, චිත‍්‍රපට, නාටක අවසන අර්ථ සූරමින් තැනතැන හබ කරන පෙට්ටි කඩයේ තේ කහටින් උගුර තෙමන පූජනීය වූ අප සහෘද පරපුර මේ අවමංගල්‍යයෙන් ඉවත් කර තැබූ සාධකය කුමක්ද? ජෝර්ජ් කීට් වෙත ඒ මහා සහෘද පර්ෂදය විසින් අවසන් බුහුමන් නොදැක්වීම මගින් සනාථ කළේ ඔවුන් එකිනෙකා විසින් ලලිත කලාව නමැති රණබිම වර්දනය කර ඇති බව නොවේද? (එරික් ඉලයප්ආරච්චි-චිත‍්‍ර කලාව හා විචාරය)

සැබැවින්ම කලාභවනේ හෝ වෙනත් කලාගාරයක චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් රසවිඳින්නට එන්නේ ගණන් කළ හැකි මට්ටමේ ස්වල්ප දෙනෙකි. ඒ මන්ද?

සීවලී: ලංකාවේ මිනිස්සු කලාව ගැන දන්නවා අඩුයි. චිත‍්‍ර කලාව ගැන දැනුම අන්තිම අඩුයි. මේ රටේ ලලිත කලාව ගැන උගත් පිරිස වුණත් චිත‍්‍ර බලනවා අඩුයි. හැබැයි ප‍්‍රංශයට එංගලන්තයට ගිහිල්ලා චිත‍්‍ර රසවිඳින සංස්කෘතියට ඇතුළත් වූ ලංකාවේ අය අපේ ප‍්‍රදර්ශන බලන්න එනවා. චිත‍්‍ර රසවිඳින්න දැනුම ඕනේ. එතනයි ප‍්‍රශ්නෙ තියෙන්නේ. කලාව රස විඳින එක වෙනත් අවශ්‍යතාවක්. ඒවා ලංකාවේ පුරුදු කරවන්නේ නැහැ. වෙන රටවල්වල කලා රස විඳීම උගන්වනවා. මේ රටේ උගන්වන්නේ හොරකමනේ. දේශපාලනයේ ඉඳලම ඒක එහෙමනේ.

ශේෂා පලිහක්කාර ඔබට ගුරුහරුකම් දුන්නේ කවර විදියේ චිත‍්‍ර කලාවකටද?

සීවලී: මට අනන්‍ය කලාව දියුණු කරගන්න කියලයි ඔහු කිව්වේ. ඔහු මාව අනතුරුව සෝමබන්දු විද්‍යාපති මහත්මා ළඟට යොමු කළා. ඇඳුම් නිර්මාණය තමයි ඔහුගෙන් ඉගෙන ගත්තේ. සෝමබන්දු මහත්මයා මගේ චිත‍්‍ර ගැන කිව්වෙත් සීවලීගේ ක‍්‍රමය දියුණු කරගන්න කියලයි. ඔය කාලේ ශේෂා සමග චිත‍්‍රපටිවලටත් සම්බන්ධ වුණා. මුලින්ම සාරවිට චිත‍්‍රපටයට. මම සහාය කලා අධ්‍යක්ෂ. කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ. දයා කරුණාරත්න. ඔහු කාටූන් චිත‍්‍රපට කළ කෙනෙක්. ඊට පස්සෙ ජීඞීඑල් පෙරේරාගේ ‘රෝමියෝ ජුලියට්’ එකට සම්බන්ධ වුණා.

ඔබ විදෙස් රටවල්වල පවත්වපු චිත‍්‍ර ප‍්‍රදර්ශනවලදී ලද ප‍්‍රතිචාර කොහොමද?

සීවලී: මම පිටරට මුලින්ම ප‍්‍රදර්ශනයක් කළේ ප‍්‍රංශයෙ. ඊට පස්සේ එංගලන්තයේ. ඇමරිකාවෙත් කළා. අලියොන්ස් එකෙන්, ඒ රටවල්වල තානාපති කාර්යාල මගින් මට උදව් කළා. වනය ගැන තමයි මං ඇන්දේ. ඒ මගේ ගමේ අත්දැකීම්නේ. ඒකට පිටරටවල්වල අය හුඟක් කැමති වුණා.

ප‍්‍රකාශන මාධ්‍යයක් හැටියට චිත‍්‍ර කලාවේ ප‍්‍රබලත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කෙසේද?

සීවලී: ඇත්තටම මේක හරිම ප‍්‍රබල මාධ්‍යයක්. හැබැයි තේරුම් ගැනීම තුළ තමයි ප‍්‍රබලත්වය වැඩිවෙන්නේ. තේරුම් ගැනීමට විචාරයකුත් අවශ්‍යයි. චිත‍්‍ර කලාවට විචාරයක් නැති එක ලොකුම පාඩුවක්. එතකොට ඒ විෂය ගැන රසිකයන්ට දැනගන්න විදියකුත් නැතිවෙනවා. චිත‍්‍ර මිනිස්සුන්ට පෙන්වමින් තමයි ඔවුන්ට කතා කරන්න ඕනේ.

43 කණ්ඩායමෙන් ඔබ ලද ආභාසය මොකක්ද?

සීවලී: හැරී පීරිස් තමයි ඒක පටන් ගත්තේ. මංජු ශ‍්‍රී, රිචඞ් ගේබි‍්‍රයල්, ලයනල් වෙන්ඞ්ට්, අයිවන් පීරිස් වගේ අය හිටියේ 43 කණ්ඩායමේ. මේ අය අතරින් රිචඞ් ගේ‍්‍රබියල් මම ඇසුරු කරලා තියනවා. ඔහු කිසි දිනෙක ලංකාවේ ප‍්‍රදර්ශනයක් කරලා නැහැ. රිචඞ් පදිංචි වෙලා හිටියේ දෙපානම. මම ඒ කාගෙනුත් දැනුම උකහාගෙන තිබෙනවා.

චිත‍්‍රය අඳින මොහොතේ තියන මානසික තත්ත්වය නිර්මාණයට බලපානවද?

සුජාතා: මට අඳින්න නිස්කලංක වෙන්න ඕනේ කියලා එකක් නැහැ. කරදර වැඩිපුර තියන වෙලාවකදි තමයි මම වැඩිපුර අඳින්න කැමති. එතකොට සමහරවිට කරදරේ හිතින් අමතක වෙලා යම් සහනයක් දැනෙනවා. හිතෙන ඕනෙම වෙලාවක මම ඇන්දා. ඒ සඳහා වෙනම වෙලාවක් සොයාගන්න ගියේ නැහැ. සමහරවිට ජීවිත ප‍්‍රශ්න චිත‍්‍රයට ආපු වෙලාවල් තිබුණා. සමහර ප‍්‍රශ්න වර්ණයෙන් හරි චිත‍්‍රය ඇතුළට ආපු අවස්ථා තියනවා.

සීවලී: මම අඳින චිත‍්‍ර ගැන කතා කරපු හොඳම විචාරකයා මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු ජීවත්ව සිටි කාලයේ නිතර අපේ ගෙදරට එනවා. මං ගැන එයා ලිපි කිහිපයක්ම ලිව්වා. වෙන උගතුන් කලාකාරයන් වගේ ආණ්ඩුවලට කඬේ යන මිනිස්සු නොවෙයි. හරිම අදීනයි.

සීවලී කිසිම දිනක ආයතන ගතවූයේ නැත. චිත‍්‍ර ඇඳීමෙන් අනාගත ජීවිතය ගොඩනගා ගන්නවායැ’යි සිතීමම ලංකාවේ සමාජය තුළ අතාර්කික සිතුවිල්ලකි. සැබැවින්ම ස්ථිර ආදායමක් නොමැතිව ලංකාව වැනි රටක චිත‍්‍ර ඇඳීමෙන් ජීවත් විය හැකිද?

සුජාතා: සීවලී මේ නිසා කියන්න බැරි තරම් විශාල සංඛ්‍යාවක් චිත‍්‍ර ඇන්දා. අපි බැන්දෙ 71දී. දැන් වසර 43ක්. ඒ මුළු කාලය තුළම අඳින එක මිසක් වෙන වැඩක් කළේ නැහැ ඉතිං. කියන්න බැරිතරම් චිත‍්‍ර සංඛ්‍යාවක් විකුණලත් තියනවා. සීවලී: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මගේ චිත‍්‍රවලට හරි කැමතියි. එයා දවසක් මේ ගෙදරදි මං ඇඳපු චිත‍්‍රයක් දිහා බලාගෙන හිටියේ පපුවට අත තියාගෙන. ඒ තරම් එයාට චිත‍්‍රය හිතට වැදුණා. ඒකත් වනාන්තරය සහ මිනිස් රූප සහිත චිත‍්‍රයක්. මට මතක හැටියට ඔය සිද්ධිය වුණේ අසූ ගණන්වල. ඒ කාලේ ඉතිං මම එක දිගටම චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වූවා. ශීඝ‍්‍රයෙන් චිත‍්‍ර විකිණෙන එකත් එක හේතුවක්. සුජාතා: දැනටත් අපි ජනවාරියේ පැවැත්වෙන කලා පොළට යනවා. සමාන්‍ය ප‍්‍රමාණයක් චිත‍්‍ර විකිණෙනවා. සීවලීගේ චිත‍්‍ර කොහොමටත් වැඩිමිලකට යනවා. ඇත්තටම කලා පොළට එන හුඟක් ඉහළ රසිකයො ඉන්නවා. ඒ බහුතරයකට අපි කියන මිල ගණන්වලට චිත‍්‍ර ගන්න බැහැ. සල්ලි තියන අයට විතරනේ ඉතිං චිත‍්‍රයක් ගෙදර එල්ලගන්න හැකියාව ලැබෙන්නේ. සීවලී: චිත‍්‍ර රසවින්දනයයි කියන එක වැඩි දියුණු කළ හැකි, කළයුතු දෙයක්. ඒකට කවුරුවත් ලොකු උනන්දුවක් නැහැ. නූතන චිත‍්‍ර කලාව, පුරාතන චිත‍්‍ර කලාව යන කවර දේකදි වුණත් නිර්මාණය සාර්ථකවීමයි වැදගත්. දැන් බලන්න චන්ද්‍රගුප්ත තේනුවර වැනි අද යුගයේ චිත‍්‍ර ශිල්පියෙක් බොහොම ඉහළින් දේශපාලන ප‍්‍රකාශනය චිත‍්‍රයෙන් ගේනවා. මම කියන්නේ අපේ ශිල්පීන් චිත‍්‍ර කලාව රැුගෙන අලූත් දිසාවන් කරා ප‍්‍රවේශ වන එක හරිම සාධනීය දෙයක්. චිත‍්‍ර කලාව ප‍්‍රචලිත කිරීමට ජනමාධ්‍ය මීට වඩා දායක වනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ. ඇත්තටම චිත‍්‍ර ගැන ජනමාධ්‍යයට උනන්දුවක් නැති තරම්නේ. සුජාතා: චිත‍්‍ර බලන්න එන පිරිස අල්පයි. ඒ අයත් එකම පිරිසක්. සංගීත සංදර්ශනයක් කිව්වොත් තරුණයො ගේට්ටු කඩාගෙන එනවනේ. හැබැයි ඉතිං ගේට්ටු කඩන මානසිකත්වය තියන අයට මේක රසවිඳින්නත් බැහැ. අපි ප‍්‍රදර්ශනයක් කෙරුවත් ටීවී එකක නිව්ස් එක දාගන්නත් සෑහෙන්න දුක් විඳින්න ඕනේ. සමහරවිට කතා කරලා කරලා එපා වෙලා කිසිම පබ්ලිසිටි එකක් නැතුව චිත‍්‍ර ප‍්‍රදර්ශන කරපු අවස්ථාත් තියෙනවා. සීවලී: මේ වැඬේට ජනමාධ්‍යයේ සහයෝගය අත්‍යවශ්‍යයි. චිත‍්‍රවලට කොච්චර ලොකු මාර්කට් එකක් තිබුණත් ඒවා පළකිරීමෙන් හෝ චිත‍්‍ර ගැන ලිවීමෙන් පත්තර මාර්කට් කරගන්න බැහැ කියලා පත්තර ආයතන හිතනවා. ඒක මුළුමනින්ම නිවැරදි සිතුවිල්ලක් කියලා මම හිතන්නේ නැහැ. පත්තරවල දිගින් දිගට ලිවීමෙන් ඒ පිළිබඳ රසික ප‍්‍රජාව වර්ධනය වුණොත් ඒක පත්තරවලටත් හොඳයි. අපි වගේ ශිල්පීන්ටත් හොඳයි.

ගොගැන්, පිකාසෝ, වැන්ගෝ වැනි විශිෂ්ට චිත‍්‍ර ශිල්පීන් ඔබේ චිත‍්‍ර කලාවට යම් විදියකට බලපෑවාද?

සීවලී: ප‍්‍රංශයේදී සමහරු කිව්වා මම ටිකක් ගොගැන්ගෙ ඇතැම් ලක්ෂණ සහිත චිත‍්‍ර අඳිනවා කියලා. මම මේ හැම කෙනෙකුගේම චිත‍්‍ර නරඹනවා. යම් අධ්‍යයනයකුත් කරනවා. ඒ අතරේ මගේ ක‍්‍රමයක් ගොඩනගා ගැනීම තමයි තරුණ කාලේ ඉඳලම අපේක්ෂාව වුණේ. ඇත්තටම යුරෝපයේ මිනිස්සු අපේ රටේ අයට වඩා කලාවටත් ආදරෙයි. කලාකරුවන්ටත් ආදරෙයි. යුරෝපයේ කාටත් වගේ හොඳ කලා රසඥතාවක් තියනවා. අපේ රටේ අයට එහෙම එකක් ගැන අවශ්‍යතාවක් නැහැ. අපි සංස්කෘතික අවශ්‍යතා අඩු රටක්. මේ තත්ත්වය හරිම කනගාටුදායකයි. සීවලී සැලකිය යුතු කාලයකින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වා තිබුණේ නැත. සුජාතා නම් වසර තුනකට පමණ පෙර ඇමරිකානු මධ්‍යස්ථානයේදී ඇගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වූවාය. සුජාතා: අලූතින් එකක් කරනවා නම් සේරම වැඩ අපි සංවිධානය කරගන්න වෙනවනේ. එතකොට වෙන ප‍්‍රශ්නෙ තමයි නිදහසේ දෙයක් හිතලා අඳින්න වෙලාවක් නැතිවෙන එක. එක පැත්තකින් මේක අපේ ජීවන වෘත්තියත් වන නිසා ප‍්‍රදර්ශන පැවැත්වීම වැදගත්. ඒත් මේ මහන්සිය තවදුරටත් අපිට දරාගන්න හරි අමාරුයි. සීවලී: පන්දම් අල්ලන කලාකාරයෙක් වෙන්න මම කැමති නැහැ. ප‍්‍රතිපත්ති පැත්තක දාලා තමන්ගේ වැඩ කොහොමහරි කරගන්න කලාකාරයෝ ඕනතරම් ඉන්නවා. ඒත් මම මගේ ප‍්‍රතිපත්ති රකිනවා. මට වැදගත් නිර්මාණය මිස වෙන කිසිවක් නෙවෙයි.