රාවය

ආණ්ඩුවේ අනුමැතිය ලබන අන්තවාදියෝ

ආණ්ඩුවේ අනුමැතිය ලබන අන්තවාදියෝ

අලූත්ගම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනාත්මක ව බලන සියලූ දෙනා එකඟවන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, රටේ නීතිය හා සාමය රැුකීමට සිටින රජයේ ආයතන මේ සිදුවිමේ දී -හැමදාමත් කළාක් මෙන්- සිය වගකීම ඉටු නොකළ බව ය. පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා හමුදාවේ සාමාජිකයන් දහස් ගණනක් ආරක්‍ෂාව සඳහා යොදා තිබෙද්දීත් පහර දීම්, දේපළ විනාශ කිරීම්, ගිනි තැබීම් හා මනුෂ්‍ය ඝාතන යහමින් සිදුවීම විසින් ඒ අදහස තහවුරු කරයි. දෙවැන්න, අලූත්ගම විනාශයේ කර්තෘ වූ බොදු බල සේනාව ඇතුළු පසුගිය කාලයේ නැගී ආ අන්තවාදී බෞද්ධ සංවිධානවලට ආණ්ඩුවේ අනුමැතිය හා අනුග‍්‍රහය ලැබෙන බවයි. බොදු බල සේනාව බලහත්කාරයෙන් අත්පත් කරගත් ගාල්ල, පිලානේ ඉඩමක, ජර්මන් ජාතිකයකුගේ අනුග‍්‍රහයෙන් එම සේනාව ගොඩනැගූ, බෞද්ධ නායකයන් පුහුණු කරන අධ්‍යාපන මධ්‍යස්ථානයකැ’යි හැඳින්වූවක් උත්සවාකාරයෙන් විවෘත කිරීමට ප‍්‍රධාන අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහභාගිවීම විසින් ඒ අදහස ද තහවුරු කරයි. ඊට අමතර ව පසුගිය කාලයේ බොදු බල සේනාව හා අනෙක් අන්තවාදී බෞද්ධ සංවිධාන වීදි බසිමින්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට නීති විරෝධී ව රිසි සේ කඩා වදිමින්, රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ කරමින් සිදු කළ අපරාධ කිසිවක දී නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකරන ලද බව ඉතා පැහැදිලි කාරණාවකි. එවැන්නක් සිදුවන්නේ ඉහළ බලධාරීන් නීතිය ක‍්‍රියාත්මක නොකරන ලෙස පහළ නිලධාරීන්ට නියෝග කිරීමෙන් මිස අන් ලෙසකින් නොවන බව ද පැහැදිලි ය. මේ ඇතැම් අන්තවාදී භික්‍ෂූන්ගේ පාදඩ ක‍්‍රියාවලට එරෙහි ව සමහර නීතිගරුක පොලිස් නිලධාරීන් කටයුතු කළත් එම විරෝධය දුරදිග ගෙනයන්නට ශක්තියක් ඔවුන්ට නොලැබුණු බව ද විවිධ අවස්ථාවල දී පෙනෙන්නට තිබුණි.
අලූත්ගම විනාශය ඇවිළුවේ බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ද්වේෂ සහගත, වෛරී භාෂාව විසින් බව තේරුම් ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. මුස්ලිම් කඩසාප්පුවලට විනාශය කැඳවිය යුතු බව එහිමියෝ අලූත්ගම රැුස්වීමේ දී පැහැදිලිව ම, වචනවලින් ද ශරීරයෙන් ද කියා සිටියහ. ඒ රැුස්වීමෙන් පසු සියල්ලන් සාමකාමීව විසිර ගිය බව ඔවුන් කියතත්, ඒ වෛරයේ ගිනිපුපුරු අවුළුවාගෙන බව කිව යුතු නැත. පසුව ඇවිළ ගියේ ඒ ගින්නය.

‘මහරජා කිරිපිටි පැකට් එකටත් කෙළියායැ’යි පෝස්ටර් අලවමින් සිටි තරුණයන් පිරිසක් වරෙක අත්අඩංගුවට ගත් පොලිසිය, ලංකාවේ මහරජකු නැතත්, යල් පැන ගිය නීතියක් පෙන්වමින් රජයට අපහාස කළේයැ’යි ඔවුන් උසාවියට ගෙන ගියේ ය. එවැනි අවශේෂ කාරණා ගැන පවා සැලකිල්ලක් දක්වන ලංකාවේ පොලිසියට අද වන තුරුත් අලූත්ගම ප‍්‍රසිද්ධ රැුස්වීමක දී මුස්ලිම් ජනතාවට මේ සා විශාල විනාශයක් කරන්නට සිංහල ජනතාව නිසැක ව ම මෙහෙය වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නට, අඩු තරමේ එහිමියන්ගෙන් ප‍්‍රශ්න කරන්නට වත් නොහැකි විය. මෙසේ සිදු වන්නේ හුදු පොලිසියේ වුවමනාවට නොවේ. අඩුගණනේ තමන්ට දිගින් දිගටම එල්ලවන අපවාදයන්ගෙන් හා අවමානයන්ගෙන් මිදීමට වත්, මෙවැනි බරපතළ සිදුවීම්වලදී වත්, නීතිය ක‍්‍රියාත්මක කරන්නට පොලිසියේ අවංක නිලධාරීන්ට වුවමනාවක් තිබුණත් ඔවුන්ට ඉහළින් සිටින ආණ්ඩුවේ ඉහළ ම නිලධාරීන් විසින් එය වළකන බව පිටතට පෙනෙයි. ඉතින්, කිව යුත්තේ බොදු බල සේනාව යනු ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ තවත් දෙපාර්තමේන්තුවක් බඳු බව යි. එය භාර ඇමැතිවරයා ජනාධිපති ය.

බොදු බල සේනාවටත්, එහි අනෙකුත් සමගාමී අන්තවාදී සංවිධානවලටත් දෘෂ්ටිවාදී අනුබලය මුළුමනින් ම සැපැයෙන්නේ ද ආණ්ඩුවෙනි. 2005න් ඇරඹි පසුගිය ධුරකාලය මුළුල්ලේම මේ ආණ්ඩුවත් එහි නායකයනුත් විසින් රට තුළ වුවමනාවෙන් ම උත්කර්ෂයට නංවන ලද්දේත්, පතුරුවා හරින ලද්දේත්, තහවුරු කරන ලද්දේත් සිංහල බෞද්ධවාදී, සුළු ජනවර්ග විරෝධී දෘෂ්ටිවාදයක් බව පැහැදිලි කරන්නට ඕනෑතරම් උදාහරණ දිය හැකි ය. උතුරු නැගෙනහිර අවසන් ගැටුමට පෙරත්, ගැටුම් අවධියේදීත්, ගැටුමෙන් පසු මේ කාලයේත් ආණ්ඩුව හැසිරෙන්නේ ඒ දෘෂ්ටිවාදය අනුයමිනි. බොදු බල සේනාව වැනි අන්තවාදීන් බිහිවන්නේ ඒ දෘෂ්ටිවාදය ම බාහුබලයෙන් ඉදිරියට ගෙනයෑමට ය.
විනාශකාරී බලවේග නම් කවන්ධයන් නිර්මාණය කිරීමත්, ඒවාට අනුබල සැපයීමත් පහසු ය. ප‍්‍රාථමික අවස්ථාවේ දී ඒවාට කිසියම් සමාජ අනුමැතියක් ද හිමි වනු ඇත්තේ ය. එහෙත්, විනාශය ගමන් ඇරඹුවාට පසු තමන්ට ම ආවේණික, හිතුවක්කාර, එය නිර්මාණය කළවුන්ට පවා විනාශකාරී වන ගමනක යෙදෙනවා මිස කිසි ම බලවේගයකින් එය ආපස්සට හරවන්නට නොහැකි වනු ඇති බවත්, පාලනය කරන්නට නොහැකි වනු ඇති බවත් තේරුම්ගත යුතු ය. ඒ කවන්ධයන්ට හිස්, මොළ නැති නිසාය. බොදු බල සේනාව දැනටමත් ඒ සත්‍යය පෙන්වා දී තිබේ.

යහපත් සමාජයක් පතන මිනිසුන් බුද්ධිමත් විය යුත්තේ මේ විනාශකාරී බලවේග දුරදිග යන්නට නොදී ආරම්භයේ දී ම දුර්වල කිරීම සඳහා ය. ඒ වෙනුවෙන් වැඩිම වගකීම ඇත්තේ ආණ්ඩුවට ය.