රාවය

දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය සතියෙහි තරමක කළු ජූලියක් මෙරට කි‍්‍රයාත්මක විය.

විසිදෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ නවාතැන් ගත්තේ පොළොන්නරුව ගිරිතලේ ඩියර් පාර්ක් නම් හෝටලයේ ය. ඒ පසුගිය අපේ‍්‍රල් මාසයේ 22දා ය. වැඩමුළුව සංවිධානය කරන ලද්දේද එසේ මෙසේ සංවිධානයක් විසින් නොව ලොව මහත් පිළිගැනීමක් සහිත ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් දූෂණ විරෝධි අන්තර්ජාතික සංවිධානය විසිනි. වැඩමුළුවේ අරමුණ වූයේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ යහපාලනය සම්බන්ධයෙන් වූ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය වැඩි දියුණු කිරීම ය. එහි පුහුණුකරුවන් වූයේ ජේ්‍යෂ්ඨ ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකි.

කරුණු කාරණා එසේ තිබියදීත් පැය 24ක් යෑමට මත්තෙන් හෝටල් හිමියාට එම දෙමළ ජනමාධ්‍යවේදීන් වහාම පළවා හරින සේ තර්ජන කෙරුණි. හෝටල හිමියා වෙන කිසිවකු නොව අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සොයුරු ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාය. තම හෝටලයට මෙම තර්ජන පැමිණයේ නැගෙනහිර යුද හමුදා ආඥාපති ලාල් පෙරේරාගෙන් බව ඔහු ලංකා හෙරල්ඞ් වෙබ් අඩවියට පැහැදිලිව ම කියා සිට තිබේ. ඔහු තවදුරටත් කියා සිට ඇත්තේ සිය කළමනාකාරවරයාට ආරක්ෂක අංශ වෙතින් මහත් බලපෑමක් ඇති වූ බවයි.

ආඥාපති ලාල් පෙරේරාගේ තර්ජනයන් සමග බළලා මල්ලෙන් එළියට පැන තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ගම්ලත් මහතාට අනුව ආඥාපති ලාල් පෙරේරා කියා ඇත්තේ වැඩමුළුව පැවැත්වුවහොත් බෞද්ධ භික්ෂුන් විසින් හෝටලය වටළනු ඇති බවයි. මෙම ඊනියා බෞද්ධ භික්ෂුන් යනු චීවරධාරී අන්තවාදී කල්ලි බව නොදන්නා අයෙක් නැත. ආඥාපතිගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලිව පෙනී යන්නේ පසුගිය කාලය පුරා නීතිය අතට ගනිමින් සාමකාමී මහජනයාට බලහත්කාරකම් කරමින් සිටින අන්තවාදී භික්ෂූන් සහ යුද හමුදා ප‍්‍රධානීන් අතර ඇති කි‍්‍රයාකාරී දේශපාලන සම්බන්ධතාව යි.

මාර්තු 27වන දින පොළොන්නරුව දිසාවෙහි වෙනත් හෝටලයක පැවැත්වෙමින් තිබූ නැගෙනහිර පළාතේ දෙමළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුවක් ද එහි කඩා වැදුණූ විසි දෙනෙකුගෙන් සමන්විත භික්ෂු පිරිසක් විසින් කඩාකප්පල් කරන ලද බව සන්ඬේ ටයිම්ස් පුවත්පත මාර්තු 29 දින වාර්තා කළේ ය. ආඥාපති ලාල් පෙරේරා මෙවර සඳහන් කළේ ද එම භික්ෂු කණ්ඩායම ම ගැන විය හැකි ය.

එම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ සර්ච් පෝ කොමන් ග‍්‍රවුන්ඞ්ස් නම් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය විසිනි. එම සංවිධානය තමන්ට එල්ල වූ තර්ජනය ගැන හෝ සිය වැඩමුළුවට පැමිණ තර්ජනයට ලක් වූ දෙමළ මාධ්‍යවේදීන් ගැන හෝ කටක් හැර වචනයක්වත් කීවේ නැත. ඒ වනාහි අද මෙරට හැටි ය. තර්ජනය කර බා ගෙන ඉවසීම දිවි රැුක ගැනීමේ හොඳම ක‍්‍රමය බව නොදන්නේ කවුද?

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ද පොළොන්නරුවෙහි දී තමන්ට සහ තමන් විසින් කැඳවන ලද දෙමළ ජනමාධ්‍යවේදීන්ට ඇති වූ මර්දනය නොසලකා හැරිය යුතු දෙයක් ලෙස සලකා දෝ ඒ ගැන කටක් හැර වචනයක් හෝ කීවේ නැත. එය පුවත වාර්තා කරන ලද්දේ එක් වෙබ් අඩවියක් විසින් පමණි.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය යළිත් වතාවක් කඩකප්පල් වූ වැඩමුළුව පැවැත්වීම පිණිස එම දෙමළ ජනමාධ්‍යවේදීහු පිරිසම පසුගිය 06දා මීගමුවේ ගෝල්ඞ් සෑන්ඞ්ස් හෝටලයට කැඳවන ලදහ. වන්නාට ය! පසු දා සවස් යාමයෙහි බස්රථවලින් බැහැර සිට ප‍්‍රවාහනය කළ පිරිසක් වැඩමුළුව පැවති හෝටලයට කඩා වැදුණි. වැඩමුළුවට පැමිණ සිටින්නේ ‘කොටියැ’යි ද එය සංවිධානයකර ඇත්තේ ඩොලර් ලබා ගැනීමටයැ’යි ද මෙගපෝනයකින් කෑ ගැසූ මෙම කළහකාරී පිරිස වහාම වැඩමුළුව නතර කරන ලෙස තර්ජනය කළහ.

වැඩමුළුවට පැමිණි දෙමළ ජනමාධ්‍යවේදීහු මහත් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටියහ. පොලීසිය කි‍්‍රයා කළේ කළහකාරීන්ගේ උපදෙස් අනුවය. වහාම පිටව යන සේ පොලිසිය ද ජනමාධ්‍යවේදීන්ට අනතුරු හැඟවීය. පිටව යන්නේ නම් පමණක් ආරක්ෂාව ලබා දිය හැකි බව කී පොලිස් නිලධාරීහු තර්ජනය කළේ පිටව නොයන්නේ නම් තමන්ට කිසිදු වගකීමක් ගත නොහැකි බවයි. අපූරු පොලීසියකි.

එම පොලිස් තර්ජනයෙහි අර්ථය වූයේ මීගමුවෙන් පිටව නොයන්නේ නම් දෙමළ ජනමාධ්‍යවේදීන්ට කළහකාරීන්ගෙන් කුමන ඉරණමක් අත්වන්නට තිබූ බව ද? කළු ජූලියේ දී මෙන් මහමඟ මරා දැමීමේ ඉරණමක් ද? නැත්නම් පෝද්දල ජයන්තගේ මෙන් දෙපා බිඳ දමා වධහිංසා පැමිණ වීමේ ඉරණමක් ද?

මෙම භයානක සිදුවීමෙන් පැය 72කට පසු ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ නිවේදනයකින් කියැවෙන්නේ මෙම කලහකාරී විරෝධතාකරුවන් අතර ආරක්ෂක අංශයන්හි පිරිස් සිටි බව නිරීක්ෂණය වී ඇති බවයි. ඉන් කියැවෙන්නේ ආඥාපති ලාල් පෙරේරාගේ තර්ජනය මීගමුවේ දී කි‍්‍රයාත්මක කිරීම පිණිස යුද හමුදා පිරිස් යෙද වූ බව ද?

මීගමුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ පිටත් වූ දෙමළ ජනමාධ්‍යවේදීන් පිරිස කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක් වන ගාලූ මුවදොර පිහිටි ගලධාරී හෝටලයේ නතර කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ. අඳෝමැයි! පරසිදු කොළඹ ගලධාරී හෝටලයට ද තර්ජන ගලා ආවේ ය. ඒ දෙමළ ජනමාධ්‍යවේදීන් නවාතැන් ගෙන පැයක් ගතවීමටත් පෙරය. වහාම දෙමළ ජනමාධ්‍යවේදීන් පාරට දැමිය යුතු බව ඒ මහ රැුයෙහි තර්ජනවලින් කියැවුණි. එලෙසම එම තර්ජනය කි‍්‍රයාවට නැඟුණි. කල් පසු වී නිකුත් වූ ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ නිවේදනය කියන්නේ යෑමට තැනක් නැතිව, අහෝ! එම දෙමළ ජනමාධ්‍යවේදීන් රැුය පුරා අනාරක්ෂිතව නිදිවර්ජිතව ගත කර පසුදා උදෑසන යාපනය බලා ගිය බවයි!
ගලධාරී වැනි සංචාරකයන් ලැගුම් පිණිස එන තරු පන්තියේ හෝටලයකට මහරැුයෙහි ජනමාධ්‍යවේදීන් පාරට ඇද දමන සේ නියෝග දිය හැකි රාජපක්ෂවරු හැර අන් බලවත්තු මෙරට වෙත් ද?

නිකමට සිතා බලන්න, එම රාති‍්‍රයෙහි එම ජනමාධ්‍යවේදීන්ගේ සිත්හි කොතරම් වේදනාවක්, බියක් සහ කේන්තියක් තිබෙන්නට ඇත් ද කියා? රාජපක්ෂවරු යුද්ධය පස් වසරක යුද්ධ ජය කෙහෙළි නංවා තෙසතියක් ගිය තැන යාපනයේ සිට කොළඹ නීත්‍යනුකූල වැඩමුළුවකට පැමිණ, හමුදා තර්ජන මැද හෝටල්වලින් පලවා හරිනු ලදුව ඉන්නට තැනක් නැතිව මහ රැුය පුරා අනාරක්ෂිතව මහ මඟ හෝ අන් තැනෙක ගත කරන්නට සිදු වූ දෙමළ ජනමාධ්‍යවේදී සිතෙහි කුමන සිතිවිලි රඟන්නට ඇත් ද?

මෙම එළව එළවා පහර දීම ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට එරෙහිව දියත් වූ මෙහෙයුමක් නොවේ. මන්දයත් එම සංවිධානයේ වැඩමුළු දකුණු දිග පළාත්හි කරදරයකින් තොරව කෙරීගෙන යන නිසා ය. යාපනයෙහි පවා එහි කාර්යාලයක් තිබේ. එමෙන්ම මෙම මෙහෙයුම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණය ඉහළ නැංවීමේ වැඩමුළුමාලාවට එරෙහි වූවක් ද නොවේ. මන්දයත් එම තේමාව යටතේම සිංහල ජනමාධ්‍යවේදීන් සඳහා පවත්වන ලද වැඩමුළු කවර හෝ ආඥාපතිවරයකුගේ තර්ජනයට ලක් නොවූ නිසා ය.

ඉන් පෙනීයන්නේ මෙහෙයුම තනිකරම දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් වූවක් බවයි. කොතරම් අවාසනාවන්ත තත්ත්වයකට මෙම ජනමාධ්‍යවේදීන් මුහුණ දුන්නේ ද යත් තමන්ට එල්ල වූ තර්ජනයන් ගැන ප‍්‍රථමයෙන්ම ලෝකයාට කියා සිටීමට සිදු වූයේ ද ඔවුන්ට ම ය. ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා නොසිටින්නට මෙම මර්දනය ද කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබුණි. සිය නිවේදනය මගින් යාපන ජනමාධ්‍ය හමුව (ජැෆ්නා ප්‍රෙස් ක්ලබ්* කියා සිටියේ මෙම මර්දනය පැහැදිලිව ම වාර්ගික අගතීන්ගෙන් යුතු බවයි.

1983 කළු ජූලියේ දී අනාථ වූ සහ තර්ජනයට ලක් වූ දෙමළ ජනයාට සිය දිවි දෙවැනි කොට ආරක්ෂාව සැපයූ සිංහලයෝ වූහ. මෙම බියකරු සෙනසුරාදා රාති‍්‍රයෙහි දී එවැනි කිසිවෙක් නොවී ද? එසේ නම් ඉන් දෙමළ ජනයාට කියැවෙන පණිවිඩය කුමක් ද?

එම රාති‍්‍රය පුරා මෙම දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස රාජ්‍ය ඔත්තුකරුවන් සිටින්නට ඇති බවට ද සැකයක් නැත. එපමණක් නොව මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලහත්කාරය පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොවනු ඇති බව ගලේ කෙටූ අකුරින් ලියා තැබිය හැකි ය.

ඉදින්, මෙම සිදුවීම මෙරට දෙමළ ජනයාට කියන පණිවිඩය ඉතා පැහැදිලි නොවේ ද? ඒ වනාහි තමන් හිසට තම අතමය සෙවණැල්ල යනු මිස අන් කවරක් ද?