රාජ්‍ය පාලනයේ මෝරන අර්බුදය සහ රටේ අනාගතය


sarath

මහාචාර්ය සරත් විජේසූරිය

රාවය සිය විසි පස්වෙනි සංවත් සරය වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වන ලද්දේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවිය ඉසිලූ අවධියේ දීය. ඒ සම්මන්ත්‍රණයේදී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකම වේදිකාවක් මතට කැඳවමින් ජාතිය ගොඩ නැඟීමේ කාර්යභාරයට සාමූහිකව ලබා දෙන ප්‍රතිඥාවක් රාවය අපේක්ෂා කළ බව මගේ පිළිගැනීමයි. නමුත් එවැන්නක් එදා සිදු වුණේ නැත.
රාවය සිය තිස් වෙනි සංවත්සරය සැලසුම් කර තිබුණේ ද යථෝක්ත සංදර්භයම ඉවහල් කරගෙන බව පෙනිණි. එහෙත් තිස් වෙනි සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සම්මන්ත්‍රණය නිමාවට පත් වූයේ ද ජාතිය ගොඩ නැඟීමේ කාර්යභාරයට සාමූහිකව ලබා දෙන ප්‍රතිඥාවක් රට අබිමුව නොතබමිනි.
මේ සම්මන්ත්‍රණ දෙකේදීම විද්‍යාමාන වූයේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පැහැදිලි න්‍යාය පත්‍රයක් එදා නායකයන්ට මෙන්ම අද නායකයන්ටත් නැති බවය. එපමණක් නොව, ඒ සඳහා සූදානම්වීමට හෝ උනන්දුවක් නැති බව ද පෙන්නුම් කළේය.
රාවය විසි පස් වෙනි සංවත්සරය පවත්වන අවධියේ ඒකාධිපති පාලනයක් උදෙසා අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබුණේය. රාවය තිස් වෙනි සංවත්සරය පවත්වන්නේ ඒකාධිපති පාලනයක් උදෙසා ගොඩ නඟා තිබුණ පදනම රටේ නීති ගරුක පුරවැසියන් විසින් බිඳ දමනු ලැබීමෙන් වසර එක හමාරකටත් වඩා ගතවී තිබෙන අවස්ථාවකය. රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂා දල්වා ගත් වකවානුවකය. “ආදරණීය රටක් ඇති කර ගන්නේ කෙසේ ද?” යන පොදු ජනතාවගේ පැනයට රටේ නායකයන් ලබා දෙන පිළිතුරු දැන ගැනීමට රැස්වුණ සභාව; ඉතා වැදගත් සභාව සම්පූර්ණයෙන්ම අපේක්ෂාභංගත්වයට පත්වුණ බව කනගාටුවෙන් වුව පැවසිය යුතුය. ආදරණීය රටක් ඇති කර ගැනීම සඳහා ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් නැත යන හැඟීමය කා තුළත් පාහේ ඇති වුණේ. ජවිපෙ නායක අනුරකුමාර දිසානායකගේ කතාවෙන් විශද කළේ, ආණ්ඩුවේ අභ්‍යන්තර ඛේදයයි. අදාළ තේමාව ගැන ආර් සම්බන්ධන් සහ රවුෆ් හකීම් යන නායකයන් දෙදෙනා සංවේදී වූ නමුත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැවැත්වූ කතා දෙකෙන් රාජ්‍ය පාලනයේ මෝරන අර්බුදය විදහා දැක්විණ.

මල් වැස්ස
ජනවාරි 08 වෙනිදායින් පසුව නීති ගරුක පුරවැසියන් “මොර සූරන වැස්සක්” අපේක්ෂා කළ නමුත් පොද වැස්සක් පමණක් වැටුණ බව වික්ටර් අයිවන් මහතා තිස් වෙනි සංවත්සර සභාව අමතමින් පැවසීය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමන් පවසා සිටියේ ‘මල් වැස්සක්’ වැටුණ බව සිතන ලෙසටයි. මොර සූරන වැස්සක් උදෙසා සොබා දහමේ ආශීර්වාදය උරුම කර ගත් පුරවැසියන්ට එය අහිමිවීම අභාග්‍යයක් නොවන්නේ ද? වැටුණේ මල් වැස්සක් යයි සිතන්නේ කෙසේ ද? මල් වැස්සකින් මහ පොළොව නොතෙමේ. මල් වැස්ස මොහොතක සතුට සඳහාය. උත්ප්‍රාසය නම් පොදු අපේක්ෂකයා පරාද කිරීමට කැපවුණ පුද්ගලයන් උදෙසා නොනවත්වාම මොර සූරන වැසි හිතේ හැටියට වසින තත්වයක් උදාවී තිබීමය.
පොදු අපේක්ෂකයා ජන වරමක් හිමි කර ගන්නේ රටේ පුරවැසියන් සමඟ විශ්වසනීය වූ හා ගෞරවනීය අන්දමින් ගිවිසුමක් ඇති කර ගනිමිනි. ඒ ගිවිසුම යම් තැනක අත්සන් කළ ලියවිල්ලක් නොවන්නේය. ඒ අදෘශ්‍යමාන ගිවිසුම තුළ පවත්නා වටිනාම ප්‍රතිඥාව විශ්වාසයයි. ඒ ගිවිසුම සුවහසක් පුරවැසියන්ගේ හදවත් තුළ මනැසින් නිර්මිත මහානර්ඝ ගල් පිළිමයකි. නීති ගරුක පුරවැසියන් ගල් පිළිමයකට විනා බොල් පිළිමයකට වන්දනා කිරීමට සතුටු නැත.
“ජනාධිපතිවරයාගේ මල්ලේ සියඹලා ඇත්තේම නැද්ද?”යි ජනාධිපතිතුමා ප්‍රශ්න කළේ චෝදනා මුඛයෙන්ය. රාවය කියවන විට තමන් පොදු සතුරා ද යන පැනය විමසීමට සිතුණ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චෝදනා මුඛයෙන්ය. මෙහිදී හොඳින් පැහැදිලි වූයේ ජනාධිපතිවරයාගේ කටයුතු විවේචනය වන තත්වයක් රටේ පවතින බව එතුමා හොඳින් තේරුම් ගෙන තිබෙන බවයි. ප්‍රශ්නය වන්නේ ඒ විවේචන, අසාධාරණය යන ආස්ථානයක ජනාධිපති වරයා පසුවීමයි. එපමණක් නොව ඒ විවේචනවලට ජනාධිපතිවරයා දිනපතා පිළිතුරු දෙන තත්වයකට ද පත්ව ඇත. ඉන් බොහෝ විට සිදුවන්නේ තව තවත් අනර්ථයන්මය. රටේ ජනතාවගෙන් බහුතරයක් අලුත් පාලකයෙකු රාජ්‍ය පාලනයට තෝරා ගත්තේ පැරණි පාලකයාගේ රාජ්‍ය පාලනය අයහපත් නිසාය. ඒ පාලකයාගේ මල්ලේ ද සියඹලා තිබුණේම නැතැයි අප පවසන්නේ නැත.

පොද වැස්ස
ජනවාරි 08 වෙනිදාට පෙර නීති ගරුක පුරවැසියන් ගත කළේ මර බිය සහිත ජීවිතයකි. මහින්ද රාජපක්ෂ පරාජය වීම සමඟින් ගෝඨාභය රාජපක්ෂගේ මර්දන යාන්ත්‍රණය අක්‍රීය විය. නාමල් රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ කෙළිබිම තුළ මෙන්ම දඩබිම තුළ බල බිඳිණි. බැසිල් රාජපක්ෂගේ උල්පත වැසිණි. සිරිලිය සවිය ආර්යාවගෙන් ඈත් විය. මේ සියල්ල ගැන අපි දනිමු. ඒවා ගැන ඇති තරම් ලියා ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් ආණ්ඩුව රාජපක්ෂ පාලන සමය තුළ සිදු කෙරුණ එකම දූෂණයක් සම්බන්ධව හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට සමත් වී නැත. ඒ අසමත්වීම තුළ යට සඳහන් සෑම කෙනෙකුටම මල් වැසි වසින බවය පෙනෙන්නේ. ඒ තත්වය ගැන අප උදම් ඇනිය යුතු ද?
ගෝඨාභය රාජපක්ෂගේ මර්දනයට මුහුණ දෙමින්, රාජපක්ෂ පාලනය තුළ පැවති ගොර බිරම් පාලනය විවේචනය කළ පුද්ගලයන් පිරිසකුත් කෙසේ හෝ ජීවත් වුණ බව කිව යුතුයි. මාධ්‍ය බලයක් නැතිව, රැස්වීමට අදහස් පළ කිරීමට විවෘත අවකාශයක් නැතිව, රාජපක්ෂ පාලනය විවේචනය කළ පුද්ගලයන් පිරිසකුත් කෙසේ හෝ ජීවත් වුණ බව කිව යුතුයි. පොදු අපේක්ෂකයෙකු කරළියට ගෙන ඒම සඳහා මහ පොළොව මත බීජ වැපිරූ පුද්ගලයන් පිරිසකුත් කෙසේ හෝ ජීවත් වුණ බව කිව යුතුයි. අවධාරණයෙන් පැවසිය යුතු වන්නේ ඔවුන් නිහඬව ජීවත් නොවුණ බවයි. ඔවුන් ශක්ති පමණින් මහින්ද රාජපක්ෂ පමණක් නොව, ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, නාමල් රාජපක්ෂ පමණක් නොව, රාජපක්ෂ පාලනය විවේචනය කළ බව ද කිව යුතුයි. ඒ දුර්දාන්ත පාලනයට විරුද්ධව මත කළ බව ද කිව යුතුය. ඒ කිසිවක් ගැන ජනාධිපතිවරයා සමහර විට නොදන්නවා විය හැකිය. ජනාධිපතිතුමන් ජීවත් වුණේ රාජපක්ෂ පාලනයේ හස්තයට යටවී බැවින් ජනවාරි 08 පෙර සෑහෙන කාලයක් මහ පොළොව තුළ නීති ගරුක පුරවැසියන් විඳි වෙහෙස නොදන්නවා විය හැකිය. ‘රාවය’ පුවත් පත රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ ජනාධිපති වරයාගේ ගුණ ගායනා නොකළ එකම පුවත් පත බව ද සඳහන් කළ යුතුය. ජනවාරි 08 වෙනිදායින් පසුව බිහිවන ආණ්ඩුව හා එහි නායකයන් විවේචනයට බඳුන් වුව, රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ ගජමිතුරන් වෙනුවෙන් රාවය කිසි විටෙක පෙනී සිටියේ ද නැත.
නීති ගරුක පුරවැසියන් එදාට වඩා අද නිදහසක් භුක්ති විඳින බව සැබෑවකි. ඒ නිදහස වෙනුවෙන් ඔවුන් ද විශාල ශ්‍රමයක් වගුරුවා ඇති බව කිව යුතුය. නීති ගරුක පුරවැසියන් භුක්ති විඳින්නේ අදෘශ්‍යමාන බලවේගයක් විසින් ප්‍රදානය කළ නිදහසක් නොව, මරණ වරෙන්තු අතැතිව වැපිරූ කුඹුරක අස්වැන්නකි. ඒ ගැන උදම් ඇනීමට පරම අයිතිය තිබෙන්නේ ඔවුන්ටය.
ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විවේචනය කිරීමෙන් ප්‍රතිඵලයක් රාවයට නොලැබෙන බවත්, එහි වාසිය වෙනත් පාර්ශ්වයකට හිමි වන බවත්, ජනාධිපතිවරයා රාවය තිස් වෙනි සංවත්වරයේ දී පවසා සිටියේය. වෙනත් පාර්ශ්වයකට වාසියක් ලැබෙනවා නම් ඒ ගැන වඩාත් සංවේදී විය යුතු නොවේ ද?
මෙහිදී අවධාරණයෙන් පැවසිය යුතු කරුණු කීපයක් ඇත.
රාවය සමඟ බැඳී සිටින, රාවය සමඟ සමාජ සංවාදයක නිමග්න කිසිවෙකු හෝ රාජපක්ෂවරුන්ගේ පාලන සමයක් වෙනුවෙන් මොනම අන්දමකින්වත් ආපසු හැරෙන්නේ නැත. එබැවින් රාවය ඔස්සේ නැඟෙන හඬ අදාළ වන්නේ නීති ගරුක පුරවැසියන්ගේ අපේක්ෂා භංගත්වය පිටු දැකීමටය. ‘අප තවම සටන අත්හැර නැත, අප සමඟ සිටින්න’ යන පණිවිඩය රාවයේ විවේචනය තුළ ඇත. එපමණක් නොව, සිවිල් සමාජය ශක්තිමත් කිරීම, විචාරශීලීව අවදියෙන් තබා ගැනීම ඒ විවේචනය තුළ ඇත.
ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විවේචනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ හැට දෙලක්ෂයකට අධික පුරවැසියන්ගේ හඬ යම් ආකාරයකට මතු කිරීමටය. ඒ හඬ නිහඬ කොට, පනස් අට ලක්ෂය, හැට දෙලක්ෂය බවට පත් කර ගැනීමට හැකිවේ යයි කවුරුන් හෝ ජනාධිපතිවරයාට උපදෙස් දෙනවා නම්, එසේ නොමැතිව ජනාධිපතිවරයා හිතනවා නම්, එහි වාසිය ලැබෙන්නේ ජනාධිපති වරයාට නොව රාජපක්ෂවරුන්ටය. එය ඉර හඳ මෙන් පැහැදිලිය.
රාවය සංවත්සර සභාව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සාධක සහිතව ආණ්ඩුවේ සාවද්‍ය පිළිවෙත් කිහිපයක් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය. වංචා දූෂණ අපරාධ සම්බන්ධ කිසිම පරීක්ෂණයකින් කිසිම ප්‍රතිඵලයක් උදා නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඒ විවේචන සම්බන්ධව කිසිදු පිළිතුරක් දෙන්නට නොහැකි විය. එබඳු සංදර්භයක් පවතින යථාර්ථයක ජනාධිපතිවරයා රටේ නීති ගරුක පුරවැසියන්ගෙන් අපේක්ෂා කරන්නේ ගුණ වර්ණනාවක් නම්, අගය කිරීමක් නම්, එය අතිශයින් ශෝචනීය තත්වයකි.
ජාතික ලැයිස්තුවෙන් තමන් පත් කළ පුද්ගලයන්ව මෙන්ම ඒ කටයුත්ත කිරීම සම්බන්ධව තමන් විවේචනයට ලක් කිරීම සාවද්‍ය බව අවධාරණය කිරීම පිණිස ජනාධිපතිතුමන් පවසා සිටියේ ආණ්ඩුව ගෙන යන්නට තමන්ට විශ්වාසවන්ත පුද්ගලයන් අවශ්‍ය නිසා ඒ කටයුත්ත සිදු කළ බවයි.
පළවෙනි සරල ප්‍රශ්නය වන්නේ මේ විශ්වාසවන්ත පුද්ගලයන් ජනවාරි 08 තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය කුමක් ද යන්නයි. මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට සිදු වන්නේත් මේ විශ්වාසවන්ත පුද්ගලයන්ගේ උදව් උපකාර තමන්ට හිමිවීම නිසා ද? යහ පාලනය වෙනුවෙන් දායකවීමට සුදුසු කී දෙනෙක් ජනාධිපතිවරයාට ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට හැකිවී ද? රාජපක්ෂවරුන් සංවිධානාත්මකව පරාජය කළ පිරිසක් ගැන කෘතවේදීවීමට තමාට සිදු වූ බව ජනාධිපතිවරයා පවසන්නේ නම්, තමන් රටේ ජනාධිපති පදවියට පත් කිරීමට මුල් වුණ චන්ද්‍රිකා මැතිනියට නොනවත්වා අවමන් කරන, සෝභිත හිමියන්ට වස පොවන්නට සිතූ මානසිකත්වයක සිටි අවිනීතයෙකු බල සම්පන්න කළේ කවර අන්දමේ කෘතවේදීතාවක් වෙනුවෙන් ද? ඒ කටයුතු නිසා කාගේවත් සිත් පෑරෙන්නේ නැද්ද? සිත් නොරිදෙන්නේ නැද්ද?

මෝරන අර්බුදය
රාජපක්ෂවරුන්ගේ පාලන සමය තුළ තිබුණේ ස්වරූප දෙකකි. එක් ස්වරූපයක් වන්නේ, වහලුන් ලෙස සියල්ල කරබා සිටින්නට හා ප්‍රශස්ති කියන්නට සූදානම් වන්නේ නම් හරි හම්බ කරගෙන යහතින් සිටින්නට පුළුවන් වීමය. අනෙක් ස්වරූපය වන්නේ, නිදහස ගැන හිතන්නේ නම්, රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත්‍රවලට අනුරූප නොවන්නේ නම් රටේ ජීවත්වීමට අයිතිය මොනම අන්දමකින් හෝ අහිමි කර දැමීමය. රාජපක්ෂ පාලනය තුළ මේ දෙකටම ගොදුරු නොවුණ පිරිසක්, අසීරුවෙන් පණ නළ රැක ගත් පිරිසක් පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණය වෙනුවෙන් කැපවුණේය. එහෙත් ජනාධිපතිවරයා විශ්වාස වන්තයන් පහළ වන්නේ දුර්දාන්ත පාලනයට කඹුරන ලද පිරිස අතුරිනි. ඔවුන් රාජපක්ෂ පාලනය සැබවින්ම නොඉවසූ පිරිසක් නම් තව දුරටත් ඒ පාලනය දීර්ඝ කිරීමට කැපවුණේ මන්ද?
සිවිල් සමාජයට කවර විවේචනයක් ගැන වුව කැළඹීමට හේතුවක් නැත. ඊට හේතුව සිවිල් සමාජයේ න්‍යාය පත්‍රය සකස් වී තිබෙන්නේම විවේචනයට විනා ප්‍රශස්තිවලට නොවන බැවිනි. එබැවින් ජනාධිපතිවරයා නීතියේ රැකවරණය ලබා දෙමින්, විවිධ පදවි තානාන්තර හා වරදාන දෙමින්, සමීප කර ගන්නා පුද්ගලයන් සියයකට කළ නොහැකි දේ සිවිල් සමාජය නියෝජනය කරන එක පුරවැසියෙකුට කළ හැකි තත්වයක් සැබවින්ම රටේ ඇත. එහිදී ද පැහැදිලි කළ යුතු දෙයක් ඇත. සිවිල් සමාජ ක්‍රියාධරයන්, බ්‍රොයිලර්ස්ලා සේ නිපදවිය නොහැකිය. අපි කවුරුත් සිවිල් සමාජයේ තමයි කීවද ජනතා උරගල ඔස්සේ අවධානයට ලක්වෙන්නේ හෘදය සාක්ෂියට අනුව ප්‍රතිපත්ති උදෙසා කැපවුණ පුද්ගලයන් පමණි. රට තුළ සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා ඈතට විහිදෙන්නේ ඔවුන්ගේ හඬ පමණි.
සිවිල් සමාජයේ නියෝජිතයන්ට මුණ ගැසීමට අවස්ථාව ලබා දීමත්, නිදහසේ ඇහුම්කන් දිමත් ජනාධිපතිවරයා තවමත් සිදු කරන්නේය. ජනාධිපතිවරයා මුණ ගැසුණ සෑම අවස්ථාවකම යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා වැදගත් යෝජනා රාශියක් සිවිල් සමාජයෙන් සිදු කර ඇත. ඒ යෝජනා පිළිගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා ලබා දීම ද සිදු කෙරුණත් කිසිවක් ඉටු කිරීමට ජනාධිපතිවරයා සමත් වී නැත. එසේ වුව ජනාධිපතිවරයා මුණ ගැසීම සිවිල් සමාජය විසින් අඛණ්ඩව සිදු කරන්නේය. ජනාධිපතිවරයා ද සුපුරුදු අන්දමටම කටයුතු කරන්නේය. මේ වන විට මේ තත්වය තව දුරටත් පැවතීම අස්වාභාවිකය. ඒ අස්වාභාවික තත්වය තේරුම් ගනිමින් සිවිල් සමාජය කටයුතු කරන්නේ පොදු න්‍යාය පත්‍රයක් විනා පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බැවිනි. මහින්ද රාජපක්ෂ නම් මේ තත්වය මේ අන්දමට පවතින්නට ඉඩ තබන්නේ නැත. ඊට හේතුව යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ඔහුට න්‍යාය පත්‍රයක් නොතිබුණ බැවිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එහිදී වෙනස් චරිතයක් ලෙස අපි තවමත් දකිමු. යහපත් රාජ්‍ය පාලනයක් ගැන සිහිනයක් එතුමන්ට තිබෙන බවට සාධක ඇත. එනමුත් ඒ සිහ‘නය දකින්නට සුදුසු අවකාශයක් වෙනුවෙන් ශක්තිමත් වැඩසටහනක් ප්‍රායෝගිකව නැත. මේ නිසා රාජ්‍ය පාලනය තුළ දවසෙන් දවස අවුල් සහගත තත්වයන් විද්‍යාමාන වේ.
ආර්ථිකය සම්බන්ධ ගැටලු එක් පැත්තකින් ද, අධිකරණය සම්බන්ධ ගැටලු තව පැත්තකින් ද, බල අරගලය උදෙසා පසුබිම සකස් කරන්නේය. එහ‘ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය පාලනය අන්ධකාරයක අතිශයින් ව්‍යාකූලව මං සහර සොයා ගත නොහැකි ඉරණමකට ගොදුරුවීමයි.
බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්ගේ කවක මෙසේ සඳහන්ය.
අරමුණ ඇතුළෙන් දිරන විට
ආලෝකය කරා යන්නට තිබෙන දුර වැඩි වේ,
අන්ධකාරය තුළ බොහෝ දේ ගිලේ.
ඉරණම වෙනස් කළ හැක්කේ
අකම්පිත කැපවීමට පමණයි■