අන්තවාදීන්ට එරෙහි නීති ජනාධිපති ළඟ හිරවේ

 

බොදුබල සේනා වැනි ජාතික ආගමික හෝ වෙනත් කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට හෝ එදිරිවාදිකම්වලට හේතුවන හෝ පොළඹවන ක‍්‍රියා සාපරාධී ක‍්‍රියා ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කරන ලෙසට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත් කරන ලද හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් නොකරමින් ජනාධිපතිවරයා විසින් පමා කරමින් තිබෙන බව වාර්තා වේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 (1) (ඌ) වගන්තියේ ඇතුළත් ඉහත කරුණු දණ්ඩ නීති සංග‍්‍රහයේ XV පරිච්ෙඡ්දයේ 291 (ඇ) වගන්තිය ලෙස ඇතුළත් කරන ලෙසට මුලින්ම 2013 මැයි 15 දිනැතිව අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර පසුව එම යෝජනාව නිර්දේශ ලබාගැනීම සඳහා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇත.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකාරක සභාව 2013 නොවැම්බර් 26 දින රැුස්වී ඔවුන්ගේ නිර්දේශ වශයෙන් එම ව්‍යාපෘතිය දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ඉන්පසු නැවත වරක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා 2014.01.23 දින සහිතව අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් තමාගේ යෝජනාවට අදාළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇතත් මේ වනවිටත් එම කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩල න්‍යාය පත‍්‍රයට දැමීම සඳහා ජනාධිපතිවරයා විසින් අවසර ලබාදී නැත.

කැබිනට් මණ්ඩල කාර්යාල ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ කැබිනට් මණ්ඩලය සඳහා ඒ ඒ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන සෑම කැබිනට් සංදේශයක්ම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට යොමුකර ඔහුගේ අදහස් විමසීම් සිදුකරන බවත්, අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩල න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවමත් අනුමැතිය ලබාදී නැති බවය.