කබඩි කන කපටියෝ


kabadi

ජගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා කබඩි සංගමයේ මහ පුටුව වසර ගණනාවක් ම දැරුවෝ දේශපාල නඥයෝය. සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් වසර ගණනාවක් තනතුරේ රැඳී සිට විශ්‍රාම ගනිද්දී ඒ තනතුර තවත් දේශපාලනඥයෙකු වන ඇමැති චන්දිම වීරක්කොඩිට හිමි වන්නේ ය. මේ කිසිවෙකු කබඩි මහ පුටුවට සුදුසුකම් ලැබුවේ නම් ඒ නුසුදුසු දේශපාලනය නිසාම ය. මොවුන් දෙදෙනා කබඩි පිටියක දිග පළලවත් දන්නවා දැයි සැක සහිත ය. මේ නොදැනුවත්කම දැන දැන ම මේ තැන්වලට ඔවුන් පත් කරගන්නෝ කබඩි නිලධාරියෝ ම ය. ඒ ඔවුන්ට ඔවුන්ගේ රාජ්‍යමය මැදිහත් වීම් පහසුවෙන් කර ගැනීමේ අවශ්‍යතාව නිසා ය.
කබඩිවල පමණක් නොවේ, මේ තාලයේ වැඩ කෙරෙන තවත් ක්‍රීඩා සංගම් කොතෙකුත් වෙයි. ඒ සෑම තැනක ම වැඩ කටයුතු එක සේ ය. ‘ඇත්ත. අපි දේශපාලනඥයෝ මුල් පුටුවට පත්කර ගන්නෙ රජය මගින් ඉටු විය යුතු දේ ඉතා ඉක්මනින් කර ගැනීමේ අභිප්‍රායෙන්. ඔවුන් ඒ අවශ්‍ය කටයුතු අපට අවශ්‍ය වෙලාවට කරලා දෙනවා. මේක තමයි ලංකාවේ සිස්ටම් එක. අපි ඒ සිස්ටම් එකට අනුගත නොවුණොත් මේ ගමන යන්න හරි අපහසුයි.’ මේ කබඩි කතාව අතරතුර මා ඇසූ පැනයකට ලැබුණ පිළිතුරයි.
අඩුවක් දැනී නම් නරියා ද කෙවිට අතට ගන්නා සේ මේ වනවිට කබඩි සංගමයට ද මුහුණ දීමට සිදුව ඇත්තේ ඊට නොදෙවෙනි තත්ත්වයකට ය. කබඩි සභාපතිවරයා පසෙක සිටිය දී කබඩි පාලනයට කැසකවන පුද්ගලයෙකු සම්බන්ධයෙන් දැඩි විවේචන මේ වනවිට කබඩි ක්ෂේත්‍රයේ පැතිරෙමින් පවතී.
‘මේ පුද්ගලයා කබඩි ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ ඇමැති දයාසිරි ජයසේකරගේ හිතවත්කම් හරහා. ඔහු මහා උජාරුවෙන් ක්‍රීඩා ඇමැති ගැන කතා කරනවා. ඔහු හා ඇමැති අතර ඇති සම්බන්ධතා ගැන කතා කරනවා. ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් විදිහටයි කතාව. ක්‍රීඩා අමාත්‍යාංශයම මේ පුද්ගලයා ගැන දන්නවා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ද මේ වනවිට මේ පුද්ගලයා කියන දේ කරන තැනට වැටිලායි ඉන්නෙ. හැබැයි ඒ කරන දේවල් කබඩිවල දියුණුවට කරන දේවල් නෙමේ. හිතවත්කම් හෝ වෙනත් ප්‍රයෝජන උදෙසා කරන දේවල්.’
මේ චෝදනාව එල්ල වන්නේ කබඩි සංගමයේ උපසභාපතිවරයෙකු වන ඒ.ඩී. පතිරණ ගැන ය. ඔහු ගැන හාංකවිසියක් නොදන්නා අරටු බැහැගත් කබඩි නිලධාරීහු ඔහු සංගමයේ උපසභාපති තනතුරේ තබන්නෝ ය. දැන් නුසුදුසුයි කියා කෑ මොර දෙන්නෝ ද ඔවුහු ම ය.
‘ක්‍රීඩා ඇමැති සමග ආ නිසා උපසභාපති කෙනෙක් ලෙස පත් කළා. ටුවර් ගණනාවකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නා. එයා දැන් කටයුතු කරන්නේ කබඩි ක්ෂේත්‍රයේ ඉන්න පරිණතම පාලකයා විදිහට. මෙයා ක්‍රීඩකයන් තේරීමට වගේ ම පුහුණුකරුවන් තේරීමටත් විවිධ බලපෑම් කරනවා. කබඩි පරිපාලනය මහා අවුලකට දානවා.’ නැවතත් චෝදනාව සංගමයේ නිලධාරීන්ගෙනි.
සංගමයට ආ අලුත පතිරණ තරම් කෙනෙකු කබඩි සංගමය සිට නැත. සිදුවූ සෑම දෙයක් ම සිදුව ඇත්තේ ඔහු හරහා ය. ඔහු ද අනෙක් අය සේ ම අත-කට පුරා බෙදා-හදා ගැනීමට හැකි කබඩි සංගමය බදා ගනිමින් කටයුතු කරන්නේ ය. එහෙත් මේ ඇයිහොඳයිය ටික කාලයකි.
පතිරණ හා පාලකයන් අතර පාලම පුපුරා යන්නේ යාපනයේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලත් සමගිනි. එහි සිදුවූ සු`ඵ සු`ඵ සිදුවීම් නිසා දෙපිරිස බෙදීමකට ලක් වන්නේ ය. එය මහා දෙදරා යෑමක් වන්නේ ඒ දිනවලදී ම ඉන්දීය පංජාබ් ප්‍රාන්තයේ ආරාධනාවක් අනුව කාන්තා සර්කල් කබඩි තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනාවක් ලැබීමත් සමග ය. කබඩි සංගමය මේ කටයුතු සංවිධානය කිරීමට රවින්ද්‍ර සිල්වා නමැත්තකු යොදවන්නේ ය. සංගමය පවසන පරිදි ඔහු කබඩි ක්ෂේත්‍රයේ පළපුරුදු පුහුණුකරුවෙකි. ජාත්‍යන් තර පදක්කම් දිනා දීමට කණ්ඩායම් පුහුණුකළ දක්ෂයෙකි.
‘ඔහු ඉතාම විනිවිදව මේ කණ්ඩායම තෝරා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළා. සෑම දිස්ත්‍රික්කයක ම දක්ෂ ක්‍රීඩිකාවන් ගෙන්වා තේරීම් තරග පවත්වමින් තමයි මේ කණ්ඩායම තෝරා ගත්තේ. ඔහුගේ පුහණුකාරීත්වයෙන් තේරීම් කමිටුව විසින් තේරූ කණ්ඩායමට නිලධාරීන් හතර දෙනෙක් අපි නම් කරමින් ඇමැති අනුමැතියට යැවුවා. රවින්ද්‍ර කළ සේවය සලකලා අපි ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කළා. එහෙත් පතිරණ ඊට එකඟ වන්නේ නැහැ.’
සු`ඵ සු`ඵ සිදුවීම් මත වූ ගැටුම් මේ සිදුවීමත් සමග පුපුරා යන්නේ ය. ඒ වනවිට සංගමයේ ලේකම් ඉන්දියාවේ පුහුණුවක් සඳහා සහභාගි වී සිටියේ ය. මේ හේතුවෙන් කණ්ඩායමේ නිලධාරීන් නම් කිරීමේ ප්‍රශ්නය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත ද යන්නේ ය.
‘පතිරණ නම් කළ පුද්ගලයා පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ කෙනෙක් නොවේ. ඔහු හිටපු ක්‍රීඩකයෙක්. ඒත් ක්‍රීඩකයෙක් වූ පමණින් පුහුණුකරුවෙක් වෙන්න බැහැ. අප ඊට එරෙහි වුණා. පතිරණ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමඟ එක්වෙමින් පුහුණුකරු තෝරා දෙන්න කියල තේරීම් කමිටුවට කියනවා. මේක ඉතිහාසයේ ප්‍රථම වරට වෙන දෙයක්. ඔවුන්ගේ නොදන්නාකම ම මේ වැඩෙන් එළිවෙනවා.’
කෙසේ වෙතත් සංචාරය සඳහා සහභාගී වන්නේ රවින්ද්‍ර සිල්වා ය. එහෙත් මේ ප්‍රශ්නයේ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ද පතිරණගේ අදහස් ක්‍රියාත්මක කිරීමට කැසකැවූ බවක් ද මේ චෝදනාකරුවෝ පවසති.
‘පතිරණ මේ සංචාරයේ දී පමණක් නොවේ. තවත් සංචාර කිහිපයකට අත පොවලා තියෙනවා. ඔහුගේ තේරීම් වෙන්නේ කබඩි ක්ෂේත්‍රයේ සිටින අය නෙවේ. අපි විශ්වාස කරන හැටියට මේ ඔහුගේ හිතවතුන්. කබඩි සංගමයේ දූෂණ සිදුවෙනවා කියලා ක්‍රීඩා ඇමැතිට කේලම් කියන්නත් මාධ්‍යවලට වැරදි තොරතුරු දෙන්නත් පතිරණ කටයුතු කළ වාර අනන්තයි. මේ කිසිවක් කබඩි සභාපති ඇමැති චන්දිම වීරක්කොඩි දන්නේ නැහැ. අපි ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් කබඩි සභාපති වගේ ම ක්‍රීඩා ඇමැති ද දැනුවත් කරමින් පතිරණගේ කබඩි සංගමයේ තනතුර අහෝසි කරන ලෙස ඉල්ලමින් චෝදනා පත්‍රයක් ගොනු කරනවා.’
ඇත්ත නැත්ත කුමක් වූවත්, ඔවුන් විසින් ම පත්කර ගත් තැනැත්තෙකු පිළිබඳව ඔවුන්ම නගන චෝදනාවකි මේ. කබඩි සභාපති ඇමැති චන්දිම වීරක්කොඩි කබඩි ගැන කිසිවක් ම නොදන්නා කල කබඩි බහුරවයෝ පිණුම් ගැසීම අරුමයක් නොවේ. මෙහි වගකීම සම්පූර්ණ යෙන් ම කබඩි අරටු බැහැගත් නිලධාරීන් ම ගත යුතු ය. සභාපති ලෙස ඇමැති චන්දිම වීරක්කොඩි නම් කරන්නේ ම කුමන අරමුණකින් දැයි අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. එවැනි අය බලයට ගෙන එද්දී ඇමැති සමඟ ආ පමණින් ම සංගමයේ ඉහළ තනතුරක් පිරිනමමින් ද මේ නිලධාරීන් සිදු කර ඇත්තේ අනර්ථයකට මග හෙළිකර ගැනීමකි. අද මේ දෙපිරිස දෙපසකට බෙදී තම තමන්ගේ පරිපථයන් එළියට ගෙන එන්නේ තමන් වෙතින් දුරස් වෙන වරදාන සහ වරප්‍රසාද අහිමි ව යෑමේ දුකට මිස කබඩිවලට වන අර්ථයක් නිසා නොවන බැව් අපට විශ්වාසය.
ඒ අනර්ථය කබඩිවලට ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ය. කබඩි සම්බන්ධයෙන් එහි නිලධාරීන් ම කියනු ලබන මේ කතාව දේශපාල නඥයන් වන්දනාවේ යෙදෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ද වැදගත් පාඩමකි.■