රාවය

ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම එක් පෙරමුණක් බව යි. එය ඇති කරන්නට අවශ්‍ය වටාපිටාව සැකසුවේ ද, එය පවත්වාගෙන යන්නේ ද, නීතිය නිහඬ කොට එහි පාදඩ ක‍්‍රියා මාර්ග රිසි සේ ගලායන්නට ඉඩ හරින්නේ ද ආණ්ඩුව විසින් ම බව පසුගිය සති දෙක තවදුරටත් තහවුරු කළේ ය.

අලූත්ගම සිදු වූයේ ගැටුමක් නොවේ. සුළු පුද්ගල ගැටුමක් මුල් කොට ගෙන, මුස්ලිම් ජනතාවට එරෙහි ව සිංහලයන් කුපිත කොට, ප‍්‍රහාරක කල්ලි පිටතින් ගෙන්වා සැලසුම් සහගත ලෙස ඔවුන්ට පහරදීම යි. ඔවුන්ගේ දේපළ විනාශ කොට ඝාතනය කිරීම යි. මෙතරම් විශාල විනාශයකට හේතුව වූයේ ‘හිමිනමකට පහරදීම’ බව මේ අන්තවාදියෝ කියා සිටිති. එහෙත් ලංකාවේ භික්‍ෂූන්ට ප‍්‍රසිද්ධියේ පහර දී ඇත්තේ අද ඊයේක සිට නොවේ. පසුගිය කාලයට මුළුල්ලේ ම නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා වීදි සටන්වල නියැළුණු ශිෂ්‍ය භික්‍ෂූන්ට පොලිසිය එළව එළවා පහර දුන් අවස්ථා අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. වරෙක කොළඹ උපවාසයක නියැළුණු භික්‍ෂූන් පිරිසක් වෙත එළැඹුණු ආණ්ඩුවේ සිවිල් ඇඳගත් මැරයන් පිරිසක් එම හිමිවරුන්ට පහර දී සිවුරු ගලවා බස් රථවලට උස්සා දමාගෙන ගිය ආකාරය දැක්වෙන ඡුායාරූප සියලූ මාධ්‍යවල පළ විය. ඒ කිසි ම අවස්ථාවක දී, පොලිසියට එරෙහි ව ගල්මුල් ගෙන පාරට බසින්නට මේ කියන බොරු බෞද්ධයන් ඉදිරිපත් වූයේ නැත. එනිසා අලූත්ගම සිදුවීම බොදු බල සේනාව ප‍්‍රමුඛ අනෙක් අන්තවාදී සංවිධාන සැලසුම් සහගතව ක‍්‍රියාත්මක කළ ප‍්‍රහාරයක් බව පැහැදිලි ව පෙනෙයි. ඒ ප‍්‍රහාරයේ පළමු වෙඩිල්ල තැබුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප‍්‍රකෝපකාරී වචනවලිනි.
එහෙත් අද වන තුරු මේ අන්තවාදීන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ නීතියක් නැත. ඒ වෙනුවට ආණ්ඩුව පවත්වන සාමය සංහිඳියාව සඳහා වූ රැුස්වීම්වලදී ද, සාකච්ඡුාවලදී ද මේ අන්තවාදීන්ට අනිවාර්ය ආසනයක් ලැබේ. ප‍්‍රහාරකයා ම සාමය ඇති කරන රැුස්වීම්වල ද හිඳගනියි. තවමත් අඩුවට ඇත්තේ ජනාධිපතිවරයා මේ අන්තවාදී ප‍්‍රහාරකයන් සමග එක මේසයේ වාඩි නොවීම පමණකි.

අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී ජනාධිපතිවරයා උත්සාහ කළේ ප‍්‍රහාරකයන් ආරක්‍ෂා කිරීමට බව තමන්ගේ වැටහීමයැ’යි ඇමතිවරු ම කියති. මුස්ලිම් ජනතාවට වූ හානිය ගැන අදහස් පළකළ ඇමතිවරුන්ට අසාගන්නට සිදු වූයේ ‘කට වහගනු’ යන විධානයයි. ඉහත ඇමතිවරුන්ගේ වැටහීම සත්‍යයක් බවට පත් කරමින් තවමත් කුපිත කරවූවෝ නිදැල්ලේ ය. විශේෂයකට සිදු වූයේ බොදු බල සේනාව මාධ්‍ය හමුවක් පවත්වා ආරක්‍ෂක අමාත්‍යාංශය වගකීමෙන් නිදහස් කිරීම පමණෙකි. හොරුන්ට කලින් කෙහෙල්කැන් වැට පනිනවායැ’යි පැරැුන්නෝ කීවෝ මෙවැනි අවස්ථාවල දී යොදා ගන්නට ය.

ප‍්‍රහාරයෙන් පසු වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය කළේ අන්තවාදීන්ගේ ප‍්‍රහාර හෙළා දැකීම නොව, ඒවා සාධාරණීකරණය සඳහා මුස්ලිම් මූලධර්මවාදයේ උදාහරණ ගෙන හැර පෑම යි. අදත්, ජාතික හෙළ උරුමය බොදු බල සේනාවට දෘෂ්ටිවාදී අනුබලය සපයමින් සිටියි. කටක් ඇර බොදු බල සේනාවට අන්තවාදීන්යැ’යි, ඔවුන් කරන්නේ විනාශයක්යැ’යි කියන්නට හයියක් තිබුණේ ඇමැති විමල් වීරවංශට පමණෙකි.

මේ රටේ ජනප‍්‍රිය ජනමාධ්‍ය මේ සිදුවීමේදී හැසිරුණු ආකාරය ද බොදු බල සේනා අන්තවාදීන්ට වෙනස් නොවේ. අලූත්ගම සිදුවීමේ දී වූ දේ කිසි ම ජනමාධ්‍යයක් වාර්තා කළේ නැත. එසේ නොකළේ වාර්ගික ගැටුමක් ගැන වාර්තා කිරීමෙන් එය පැතිර යෑමට ඇති ඉඩකඩ ගැන බැ?රුම්ව සිතා මහත් මාධ්‍ය වගකීමකින් ඔවුන් කටයුතු කළ නිසායැ’යි කියන බොරුව පිළිගන්නට අප ඉක්මන් විය යුතු නැත. එවැනි වගකීමක් ඔවුන් වෙනත් කිසිදු කරුණක් අරබයා නොපෙන්වන නිසාය. මේ ප‍්‍රවෘත්ති වාරණය සිදුවූයේ එක්කෝ ඉහළින් නියම කිරීම නිසා ය. එහෙත් ප‍්‍රහාරකයන් මහජාතිය වූ නිසාත්, ගොදුර සුළු ජාතියක් වූ නිසාත්ය යන්න සත්‍යයට වඩාත් ම ළං වූ දෙය යි. ඒ බව පැහැදිලි වන්නේ සිදුවීමෙන් පසු ප‍්‍රහාරකයන්ට මේ මාධ්‍යවලින් ලැබුණු ‘කතාකිරීමේ නිදහස’ නිසා ය. ප‍්‍රහාරයෙන් පසු සතියේ සෑම සිංහල ඉංග‍්‍රීසි පුවත්පතක ම පාහේ ප‍්‍රහාරයට ගිනි ඇවිළවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සම්මුඛ සාකච්ඡුා, පැහැදිලි කිරීම් යහමින් පළවී තිබිණි. ඒ බොහොමයක අරමුණ වූයේ, අබ සරණ යනු බුදු දහමේ උගන්වන සිව්වැනි සරණ බවට අර්ථකථනය කිරීම ය.

ඒ අතර, මේ විනාශයෙන් පසු අලූත්ගම හා ආශි‍්‍රත පෙදෙස්වල සිංහල -මුස්ලිම් වාර්ගික ධ‍්‍රැවීකරණය බරපතළ ලෙස වර්ධනය බව දැන් දැන් අසන්නට දකින්නට ලැබෙයි. එය කනගාටුදායක හා භයානක ය. මුස්ලිම් ජනතාවට ඇත්තේ, මේ සා විනාශයක් තමන්ට සිදුවීත් රටේ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීමේ කනස්සල්ල ය. කවර විරසකකම් මැද්දේ වුවද මෙතෙක් කාලයක් මේ ජාතීන් දෙක එහි සාමකාමී ව සිටියහ. බොදු බල සේනාව කළේ ඒ සංහිඳියාව සමහර විට නැවත කිසිදා ඇති නොවන ආකාරයට විනාශ කර දැමීම යි.