ජාතිය ගොඩනැගීම

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ජාතිය ගොඩනැගීමේ ප‍්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ වර්ගය, කුලය, ආගම හෝ සංස්කෘතිය අනුව බෙදී සිටින ජනවර්ග අතර පවත්නා උස්මිටිකම්ද, එකිනෙක කණ්ඩායම් අතර පවත්නා බිය සැක හා හිත් අමනාපකම්ද දුරු කොට ඒ සියලූ දෙනා සමාන අයිතිවාසිකම් ඇති, සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් බවට පත්කරන වැඩපිළිවෙළක් තුළ තමන් ජීවත් වන දේශය මුල් කොටගත් දේශාභිමානයකින් යුතුව සාමයෙන්ද එකිනෙකා කෙරෙහි ආදරයෙන් හා ගෞරවයෙන්ද ක‍්‍රියාකරන ශ‍්‍රී ලාංකික ජාතියක් ප‍්‍රතිනිර්මාණය කිරීමය. ජාතික රාජ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය අපට බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු දායාදයකි. ජාතික රාජ්‍යයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයේ යහපැවැත්ම සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීම සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවක් සහිත සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණද එම අවශ්‍යතා දෙක සම්පූර්ණ කරගැනීමට අද දක්වා අප අසමත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. 83 කළු ජූලියක් හෝ බේරුවල ඇතිවූවා වැනි ඛේදවාචකයක් නැවත ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේද එම ඓතිහාසික කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගනිමින් තව තව ප‍්‍රමාද කිරීමකින් තොරව ඒවා සම්පූර්ණ කරගැනීමට ක‍්‍රියාකිරීමට සමාජය සමත්වන්නේ නම් පමණය.

එම ඓතිහාසික කොන්දේසි දෙක සම්පූර්ණ නොකර ගැනීමේ වරද වෙනුවෙන් රට හා සමාජය දැනටමත් ගෙවා තිබෙන වන්දියේ ප‍්‍රමාණය දැවැන්තය. විටින් විට වර්ගය, කුලය, ආගම හා සංස්කෘතිය යන සාධකවලින් එකක් හෝ කිහිපයක් නිසා ගැටුම් ඇතිවී ඒ ගැටුම් තවදුරටත් වර්ධනයවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිංහල දකුණේත් දෙමළ උතුරේත් දිග්ගැස්සුණු ප‍්‍රචණ්ඩ ගැටුම් ඇතිවී රට එක දිගට දීර්ඝ කාලයක් මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය. දස දහස් ගණනක් මිනිස්සු ඒ නිසා මරණයට පත්වූහ. ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් වදවේදනාවන්ට හා පීඩාවන්ට පත්වූහ. අතිවිශාල දේපළ විනාශයක් ඇති කිරීමට හේතුවූවා සේ ම ඒවා රටේ ආණ්ඩුක‍්‍රමය සේ ම ආයතන ක‍්‍රමයද විකෘති කොට කුණු කිරීමටද හේතුවිය. දැන් රට තිබෙන්නේ අරාජිකත්වයකට තල්ලූ වී යන අවලස්සන තත්ත්වයකය.

සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන්ගේ දෘෂ්ටිමය සීමා

රටක් වැඩවසම් ක‍්‍රමයෙන් ධනවාදයට මාරුවී ඒ රටේ ජාතික රාජ්‍යයක් ඇතිවූ පමණකින් එම ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය කරන එක්සත් ජාතියක් ඉබේ ඇතිවන්නේ නැත. එය සමාජයේ පැරණි දෘෂ්ටිමය ආකල්ප වෙනස් කිරීමට හේතුවන බලවත් දෘෂ්ටිමය අරගලයක් ඔස්සේ ඇති කරගත යුතු තත්ත්වයකි. එහෙත් අවාසනාවකට මෙතෙක් එම පූර්ව අවශ්‍යතාව පිළිබඳව නිසි හා විධිමත් අවබෝධයක් රට ධනේශ්වර ක‍්‍රමයකට මාරුවීමේ සිට අද දක්වා බිහිවූ ජාතික නායකයන්ට නොතිබුණේය. බෞද්ධ හින්දු හා මුස්ලිම් ජනයාගේ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ නූතන යුගයේ ආරම්භක නායකයන් ලෙස සැලකිය හැකි අනගාරික ධර්මපාල, ආරුමුගම් නාවලර්, සිද්දි ලෙබ්බේ වැනි එම ආගම් තුනේ පුනර්ජීවන ව්‍යාපාරවලට නායකයන්ටද එම අවබෝධය නොතිබුණේය. ඉන්පසු එළැඹෙන ප‍්‍රතිසංස්කරණ යුගයේ බිහිවන සිංහල (ජේම්ස් පීරිස්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, එෆ්.ආර්. සේනානායක, ඞී.බී. ජයතිලක, ඞී.ඇස්. සේනානායක වැනි) දෙමළ (පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් වැනි) හා මුස්ලිම් (මාකන් මාකර්, ටී.බී. ජයා වැනි) නායකයන්ටද එම අවබෝධය නොතිබුණේය. ඒ සියලූදෙනා නිදහසින් පසු පැරණි වැඩවසම් රාජාණ්ඩුක‍්‍රමයට මාරුවීමට කල්පනා කළ අය නොවූවද සිදුවී තිබුණු ධනේශ්වර පරිවර්තනය තුළ ඇතිව තිබූ ජාතික රාජ්‍ය ක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා සම්පූර්ණ කරගත යුතුව තිබුණු එම අවශ්‍යතාවන් පිළිබඳව හරි අවබෝධයක් ඒ කිසිවෙකුට නොතිබුණේය.

ඔවුන් සියලූදෙනාගේ චින්තනය කෙරෙහි ලිබරල් අදහස් ද යම් පමණකට බලපා තිබුණි. එහෙත් ඔවුන්ට තිබූ දෘෂ්ටිය, ඇතිව තිබූ පරිවර්තනයට ගැළපෙන තරමේ නවීන දෘෂ්ටියක් නොවීය. ඔවුහු තමන්ගේ වර්ගයට, කුලයට හා ආගමට බර තබා ක‍්‍රියාකරන නායකයෝ වූහ.

ඒ යුගයේ ජාතික නායකයන් අතර සිටි වැඩියෙන්ම උගත් හා වඩා වැඩියෙන්ම කල්පනා කළ නායකයා ලෙස සැලකිය හැකි පොන්නම්බලම් අරුණාචලම් පවා සිංහල හා දෙමළ සමාජවල ක‍්‍රියාත්මක වූ කුල ක‍්‍රමය අනුමත කළේය. ඒ යුගයේ සිංහල කුලවලට අයත් නාමධාරී උගතුන් අතර නිර්මාණිත පත‍්‍රිකා මගින් ශීලාචාර නොවන ආකාරයට පැවති මහා කුලවාදය ඇති කිරීමට බලපෑවේද සිංහල සමාජයේ ගොවිගම කුලය හා දෙමළ සමාජයේ වෙල්ලාල කුලය ඒ සමාජවල අන් කුලවලට වඩා උස් බව කියන ඔහු විසින් කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකි. මේ ජාතික නායකයන් සියලූදෙනා එක්සත් ජාතියක් ගැන මතුපිටින් කතා කළ අවස්ථා තිබුණා වුවද ඔවුහු ලෝකායතවාදී හා බහුත්වවාදී ආකල්පවලින් පෝෂණය වූ නවීන අදහස් දරන අය නොවූහ. ඔවුහු එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය පෝෂණය කළ පිරිසක් වූහ. ඒ නිසා එක්සත් ජාතියක අවශ්‍යතාව හා ඊට ලැබිය යුතුව තිබුණු වැදගත්කම නිවැරදි ලෙස ග‍්‍රහණය කරගැනීමේ හැකියාව ඔවුන්ට නොතිබුණේය.

නවීන චින්තනයේ බර්ගර් උරුමය

මේ යුගයේ අනෙක් ජනවර්ගවලට සාපේක්ෂව දියුණු චින්තනයක් තිබුණේ බර්ගර් නායකයන්ටය. බර්ගර් ප‍්‍රජාව බිහිකළ නායකයන් අතුරින් වර්ණවත්ම පුද්ගලයෝ වූවෝ 1840 ගණන්වලදී රිචඞ් මෝගන්, 1860 ගණන්වලදී චාල්ස් ලොරෙන්ස් හා 1890 ගණන්වලදී ඒ.ඊ. බුල්ජන්ස්ය. බර්ගර්වරු යුරෝපීය සම්භවයක් ඇති දේශීය ජන කණ්ඩායමක් වීම හේතු කොටගෙන යුරෝපයේ සිදුවූ හා සිදුවෙමින් තිබූ මහා පරිවර්තනය එනම් වැඩවසම් ක‍්‍රමයේ බිඳ වැටීම, ධනේශ්වර ක‍්‍රමයක් ඇතිවීම, ස්ථිර දේශසීමා සහිත රාජ්‍යයක් පහළවීම, රාජාණ්ඩු ක‍්‍රමය බිඳ වැටී මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් ඇතිවීම වැනි දේවල් පිළිබඳව අන් දේශීය නායකයන්ට නැති අවබෝධයක් බර්ගර් නායකයන්ට තිබුණේය. ඔවුන්ට යුරෝපයේ ලිබරල් දේශපාලන ව්‍යාපාර සමගද සමීප සම්බන්ධකම් තිබුණි. ලංකාවට ලිබරල් චින්තනය හඳුන්වා දුන් පුරෝගාමීහු වූවෝද ඔවුහුය. ලංකාවේ ඇතිව තිබූ ජාතික රාජ්‍ය ක‍්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව හොඳින්ම තේරුම් ගෙන සිටි හා එම අවශ්‍යතාව වෙනුවෙන් පළමුවෙන්ම පෙනී සිටි අය වූවෝද ඔවුහුය.
ස්වදේශිකයන්ට පීඩාකාරී ලෙස බලපාන ආකාරයට පනවන සමහර බදු ක‍්‍රමවලට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි අය වූවෝද ඔවුහුය. රිචඞ් මෝගන් ලංකාවේ එකල ක‍්‍රියාත්මක වූ වහල් මෙහෙය අවලංගු කරවා ගැනීම සඳහා තමන්ගේ පෑන බලවත් ලෙස හැසිරවූ ප‍්‍රධාන පුද්ගලයාය. ඊට අතිරේකව ඔහු ජූරි සභිකයන් තෝරා ගැනීමේදී කුලය සැලකිල්ලට ගැනීමේ ක‍්‍රමයට එරෙහිව බලවත් ලෙස පෙනී සිටියේය. චාර්ල්ස් ලොරෙන්ස් සුසාන භූමි ආගම් අනුව බෙදා වෙන් කිරීමට එරෙහිව බලවත් ලෙස පෙනී සිටියේය. යුද්ධ වියදම් ලංකාව විසින්ම දරාගත යුතු බවට යටත්විජිත ආණ්ඩුව පනවන ලද නියමයන්ට එරෙහිව ව්‍යවස්ථා සභාවේ නිල නොලත් මන්ත‍්‍රීවරුන්ගේ ඓතිහාසික වර්ජනයට නායකත්වය දුන් පුද්ගලයා වූයේද චාර්ල්ස් ලොරෙන්ස්ය.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නිල නායකයා වශයෙන් ක‍්‍රියා කළ ඕල්කට් ඔහුගේ බෞද්ධකම හා මූල්‍ය පාරිශුද්ධභාවය පිළිබඳව බරපතළ ප‍්‍රශ්න කිරීමට ලක් කිරීම හේතු කොටගෙන ඕල්කට් වහාම රටින් පිටවී යෑමෙන් පසුව අනගාරික ධර්මපාල කරළියට එන තෙක් ලංකාවේ බෞද්ධ ව්‍යාපාරයේ පිළිගත් නායකයා වූයේ ඇල්ෆ‍්‍රඞ් බුල්ජන්ස්ය. ඔහු කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී ක‍්‍රිස්තියානි ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. ඒ ක‍්‍රියාව නිසා ලංකාවේ සාන්ත තෝමස් විද්‍යාලය, විද්‍යාලයේ ගරුකටයුතු ආදි ශිෂ්‍යයන්ගේ නාමලේඛනයෙන් බුල්ජන්ස්ගේ නම ඉවත් කළේය. ආනන්ද විද්‍යාලයේ ප‍්‍රථම විදුහල්පති වූයේ ඔහුය. 1893 සිට 1903 දක්වා බෞද්ධ පාසල්වල සාමාන්‍යාධිකාරිවරයා වූයේද ඔහුය. ඇමරිකන් ජාතිකයකු වූ ඕල්කට් සේ ම ලංකාවේ බර්ගර් ජාතිකයෙකු වූ බුල්ජන්ස්ද ලංකාවේ බෞද්ධ ව්‍යාපාරයේ නායකයන් ලෙස තෝරා ගැනීමට හේතුවූයේ එකල සිංහල බෞද්ධයන් කෙරෙහි බලපෑ කුලභේදය නිසාය. ඔවුන් අතර පැවති කුලභේදය නිසා තමන් අතර කෙනෙකු නායකයා වශයෙන් තෝරාගැනීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ඕල්කට්ට හා බුල්ජන්ස්ට කුලයක් නොතිබීම නිසා ඒ දෙදෙනාගේ නායකත්වය පිළිගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණේය.

බර්ගර් උගතුන් ලංකාවට ලිබරල්වාදී අදහස් හඳුන්වා දුන් පුරෝගාමීන් ලෙස සැලකිය හැකි වුවද ඔවුන් ඉංග‍්‍රීසි භාෂාවට පමණක් සීමාවී සිටි පිරිසක් වීම හේතු කොටගෙන ඔවුන් පළ කළ අදහස් සිංහල භාෂාවට හෝ දෙමළ භාෂාවට සීමාවී සිටි ජනතාව වෙත කාන්දුවීමක් සිදු නොවීය. අනෙක් අතට සිංහල දෙමළ හා මුස්ලිම් සමාජයේ ඉංග‍්‍රීසි උගත් සීමිත පිරිසද චින්තනමය වශයෙන් පසුගාමී තත්ත්වයක සිටීම නිසා ඒ අදහස් ඔවුන් කෙරෙහිද බලපෑවේ ආන්තික වශයෙන් පමණය. අනෙක් අතට සිංහල හා දෙමළ ව්‍යවහාරයේ ලංකාවේ බර්ගර් ජනතාව හැඳින්වූයේ ‘කැරපොතු ලන්සින්’ වශයෙනි. නිදහසින් පසු ගොඩනැගෙන ලංකාවේ තමන් අවමානයට ලක්වන ජන කණ්ඩායමක් බවට පත්වනු ඇතැ’යි කල්තියා දකිමින් නිදහසත් සමග ඔවුහු බුරුතු පිටින් ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූහ. එසේ නොවී ඔවුහු ලංකා සමාජයට අන්තර්ග‍්‍රහණය කරගැනීමට සමත් වී නම් අපේ රටේ ජාතික චින්තනය ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා දේශනා කරන ජාතික චින්තනයට වඩා නවීන හා දියුණු ජාතික චින්තනයක් වන්නට ඉඩ තිබුණා සේ ම ඉංග‍්‍රීසි අධ්‍යාපනයේදී අප රට වර්තමානයේදී මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය ඇතිවන්නටද ඉඩ නොතිබුණේය.

වාමාංශික ව්‍යාපාරය හා යාපනේ තරුණ කොංග‍්‍රසය

ඉන්පසු දේශපාලන කරළියට එකතුවන වාමාංශික ව්‍යාපාරයේ නායකයන් සර්ව භෞමික ජාත්‍යන්තරවාදී බහුශ‍්‍රැතයන්ගේ කදිම එකතුවක් ලෙස සැලකිය හැකි වුවද මාක්ස්වාදයෙන් උරුම කරගෙන තිබූ පන්ති දෘෂ්ටිය නිසා ඔවුන් වැදගත් කොට සැලකුවේ ජාතිය ගොඩනැගීම නොව පන්තිය ගොඩනැගීමය. ඒ නිසා ඔවුන් අතින්ද සිදුවූයේ එම ප‍්‍රශ්නයට ලැබිය යුතුව තිබුණු වැදගත්කම නිශේධවීමය.

මේ කාලයේදී එක්සත් ජාතියක් ඇතිකර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දියුණු ඉදිරි දැක්මක් පළවී තිබුණේ යාපනේ දෙමළ අධ්‍යාපනඥයකු වූ හැන්ඩි පෙරිනිපනායගම්ගේ මූලි කත්වයෙන් බිහිවී තිබූ යාපනේ තරුණ කොංග‍්‍රසයෙන් පමණය. පොන්නම්බලම් සොහොයුරන් දෙදෙනාගෙන් හා දොරේසාමිගෙන් පළවී තිබූ දෙකට එකේ අනුපාතය ඇතුළත් නියෝජිත මූලධර්මය එම සංගමයේ දැඩි විවේචනයට හේතුවී තිබුණි. තරුණ කොංග‍්‍රසය කුලභේදයට එරෙහිව නැගී සිටි එකම ව්‍යාපාරය වූවා පමණක් නොව ලංකාවේ ජීවත් වන සියලූ ජනවර්ග අන්තර්ග‍්‍රහණය කරගත් ශ‍්‍රී ලංකා ජාතියක් වෙනුවෙන් පෙනී සිටි එකම ව්‍යාපාරයද පී. ද එස්. කුලරත්න, ගුණපාල මලලසේකර හා ඞී.බී. ධනපාල වැනි දකුණේ සිංහල උගතුන් හැන්ඩි පෙරිනිපනායගම්ගේ සමීප මිතුරෝ වූහ. සිංහලයන් ජාතික ඇඳුම ලෙස භාවිත කරන ඇඳුම හැන්ඩිගේ නිර්මාණයක් වූ අතර හැන්ඩි එය පළමුවෙන් හඳුන්වා දී තිබුණේ මහාචාර්ය ගුණපාල මලලසේකරටය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයකු වන මෛත‍්‍රීපාල සේනානායක විවාහ වූයේ හැන්ඩිගේ දුව සමගය. ඇය එකල ප‍්‍රකට පුවත්පත් කලාවේදිනියක් වූවාය.

යාපනේ තරුණ කොංග‍්‍රසය කිසියම් කාලයක් යාපනේ අර්ධද්වීපයේ ඉහළම පිළිගැනීමක් හිමිකර ගෙන සිටියේය. ඒ තත්ත්වය කෙරෙහි යාපනේ තරුණ කොංග‍්‍රසයට ගාන්ධි සමග සේ ම ඉන්දියානු කොංග‍්‍රසය සමග තිබූ සමීප සම්බන්ධය බලපෑවේය. එහෙත් එම සංගමය ගාන්ධි ඉන්දියාවේ කරමින් සිටි දේ ඒ ආකාරයටම කරන්නට උත්සාහ කළ ඉන්දියානු කොංග‍්‍රසයේ කාබන් කොපියක් වූවා මිස ගාන්ධිවාදයේ හොඳ ලංකා අනුවාදයක් නොවීය. එය ඉතා කෙටි කාලයකින් ඉහළ නැග ඒ තරම්ම වේගයකින් නැවත පහළ වැටුණු ව්‍යාපාරයක් වූ අතර ඒ නිසාම ලංකාවේ දේශපාලන චින්තනයට ඔවුන් ඇති කළ බලපෑම බලවත් නොවීය.

ඉන්දියාව හා ලංකාව

මීට පෙරද සැකෙවින් සලකා බලන ලද ආකාරයට ඉන්දියාව හා ලංකාව ධනේශ්වර ක‍්‍රමයකට මාරුවී තිබුණේද ඒ රටවල් දෙකේ ජාතික රාජ්‍යයන් ඇතිවී තිබුණේද බොහෝ දුරකට එක සමාන ආකාරයකටය. ඒ රටවල් දෙකේ ආගමික පුනර්ජීවන ව්‍යාපාර සේ ම නිදහස් ව්‍යාපාර ගමන් ගත් මාර්ගය එක සමාන නොවීය. ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාර ආගමික බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටින විට ඊට වෙනස්ව ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ආගමික සහජීවනයක් වෙනුවෙන් පෙනී සිටියේය. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයද නිදහස දිනාගැනීමේ අරමුණට සීමා නොවී නිදහස දිනාගැනීම සඳහා කෙරෙන සටන බෙදී සිටි ජාතිය එකට එකතු කරන ව්‍යාපාරයක් බවට හරවා ගත්තේය. ඊට වෙනස්වන ලංකාවේ නිදහස් ව්‍යාපාරය වැදගත් කොට සලකන ලද්දේ සටකපටකමින් ලබාගන්නා නිදහසක් ගැන පමණය. අවසාන විග‍්‍රහයේදී ඉන්දියාව නිදහසින් පසුව ඉදිරියට ගියේ ජාතික රාජ්‍යය සඳහා අවශ්‍ය එක්සත් ජාතියක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවකින් යුතු සමාජයක්ද ඇතිවය. එහෙත් ලංකාව නිදහස් ලබාගැනීමෙන් පසුව ඉදිරියට ගියේ ජාතික රාජ්‍යය සඳහා අවශ්‍ය එක්සත් ජාතියක්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවක් සහිත සමාජයක්ද නැතිවය. ඉන්දියාව නිදහස ආසන්නයේදී ලේ හැලූවේය. ලංකාව නිදහස ලබාගත්තේ එක ලේ බිඳුවකුදු නොසොල්වාය. ජාතික රාජ්‍යයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයේ යහපැවැත්ම සඳහා සම්පූර්ණ කරගත යුතු අත්‍යවශ්‍ය කොන්දේසි දෙක (එක්සත් ජාතියක් ඇතිකර ගැනීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවකින් යුතු සමාජයක් ඇති නොකර ගැනීම) සම්පූර්ණ කරගැනීමෙන් තොරව ඉදිරියට යන්නට උත්සාහ දරන පිළිවෙතක් තුළ එක දිගට දීර්ඝ කාලයක් කෙළවරක් නැති තරමට ලේ ගලන රටක් බවට පත්වීය. ඉන්දියාව මහා අභ්‍යන්තර ගැටුම්වලින් තොරව ඉදිරියට යන රටක් බවට පත්ව තිබෙන්නේය. අප අභ්‍යන්තර ආරාවුල් නිරාකරණය කරගත නොහැකිව එක තැන පල්වෙන ලෝක පිළිගැනීම අහිමි කරගත් අසමත් රාජ්‍යයක තත්ත්වයට පත්ව සිටින්නේය.

එක්සත් ජාතියක් ඇතිකර ගැනීමට සමත්වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවක් සහිත සමාජයක් ඇතිකර ගැනීමට සමත්වීම ඉන්දියාවේ සාර්ථකත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක ලෙස සැලකිය හැකිය. එම සාර්ථකත්වය නිසා ඔවුන්ට රටට ගැළපෙන හොඳ ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමට හැකිවිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවට දේශීය ජනතාවගේ පමණක් නොව ලෝකයාගේද ඉමහත් ගෞරවයට හා පිළිගැනීමට හේතුවූ ශ්‍රේෂ්ඨාධිකරණයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන්නේය. උපරිම ස්වාධීනත්වයකින් යුතු මැතිවරණ කොමිසමක් ඉන්දියාවට තිබෙන්නේය. කාර්යක්ෂම සිවිල් සේවාවක්ද තිබෙන්නේය.

ඉන්දියාවට බහුත්වවාදී ආකල්පවලින් යුතු සමාජයක් තිබෙන්නේය. එම සමාජ වටාපිටාව ඉන්දියානු සමාජ අභ්‍යන්තරයේ මහා වෙනස්කම් ඇති කිරීමට හේතුවී තිබේ. සුළු ජාතිකයකු ඉහළම තනතුරක් දැරීම මහා ජාතියේ කෝපයට හේතුවන්නේ නැත. ජනාධිපති ධුරයට විවිධ වාර්ගික ආගමික හා කුල පසුබිම්වලින් එන අය පත්වෙති. හිටපු අගමැති සික් ජාතිකයෙකි. වර්තමාන අගමැති කුල ක‍්‍රමයේ ආන්තික තැනකින් පැමිණියෙකි. ඔහුගේ තේරී පත්වීම වහා කලබල ඇති කිරීමට හේතුවූයේ නැත.

ඉන්දියාවට සාපේක්ෂව අප සිටින්නේ ඉතාමත් අවලස්සන හා පසුගාමී තත්ත්වයකය. ආණ්ඩුක‍්‍රමය සේ ම ඒ යටතේ ඇති සමස්ත ආයතන ක‍්‍රමය තිබෙන්නේ මුළුමනින් කුණුවූ තත්ත්වයකය. සමාජ ක‍්‍රමය තිබෙන්නේද මුළුමනින් කුණුවූ තත්ත්වයකය. මේ අයහපත් තත්ත්වයේ යහපත් වෙනසක් ඇතිකර ගැනීම සඳහා දේශපාලන ක‍්‍රමයේ පමණක් නොව සමාජ ක‍්‍රමයේද මූලික වෙනසක් ඇති කරගත යුතුය. ඒ සඳහා හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම පමණක් ප‍්‍රමාණවත් නැත. එක්සත් ජාතියක් සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවක් සහිත බහුත්වාදී ආකල්පවලින් පොහොසත් සමාජයක්ද ඇති කරගත යුතුය. ඒ කොන්දේසි අප විසින් සපුරාගත යුතුව තිබුණේ නිදහසේදීය. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට අපි අසමත් වීමු. ඉතා ප‍්‍රමාද වී හෝ දැන් ඒ සඳහා තෝරාගත හැකි අවස්ථාව ලෙස සැලකිය හැක්කේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාවයි. එහිදී ඊට පමණක් සීමා නොවී එය ශ‍්‍රී ලාංකික ජාතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයද තනන අවස්ථාව බවට පත් කරගත යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් පමණක් එක්සත් ජාතිය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය තැනිය නොහැකිය. එය මහා පරිමාණයෙන් සිදුකෙරෙන මතවාදී ව්‍යාපාරයක් හරහා සිදුවිය යුතුය. ඉන්දියාවේ සිදුවූයේද ඊට සමාන ආකාරයටමය. ගාන්ධිගේ කොංග‍්‍රසය හින්දු කුල ක‍්‍රමයට තිබෙන පිළිගැනීම අහිමි කෙරෙන මහා මතවාදී ව්‍යාපාරයක නිරත විය. ඒ සමග මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව හා ගෞරවය සඳහා හින්දු ජාතිවාදයට එරෙහි මහා මතවාදී අරගලයකද නිරත විය. අවසානයේ ගාන්ධි සිය ජීවිතය පූජා කළේද එම මතවාදී අරගලය වෙනුවෙනි. දකුණු අප‍්‍රිකාව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය හොඳ ව්‍යවස්ථා සම්පාදනයකට සීමා නොකොට තම ජාතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය ගොඩනගන මහා මතවාදී අරගල සඳහා වන අවස්ථාවක් බවට පත්කර ගත්තේය. අවසානයේදී ගාන්ධි සිය ජීවිතය පූජා කළේද එම මතවාදී අරගලය වෙනුවෙනි. ගාන්ධිට ඉන්දියාවෙන් කොටසක් පාකිස්තානය ලෙස බෙදී වෙන්වීම වළකාගත නොහැකි වුවද පාකිස්තානයට එකතු වූ මුස්ලිම්වරුන්ට වැඩි මුස්ලිම්වරුන් පිරිසක් ඉන්දියාවේ තබා ගැනීමට සමත් විය. ගාන්ධි ඝාතනයට ලක්වන්නට පෙර මුළු ඉන්දියාව පුරා ජාතිවාදී ගිනි ඇවිලී තිබුණි. ගාන්ධිගේ ඝාතනයෙන් පසුව රටේ අන් තැන්වල ඇවිලෙමින් තිබූ වර්ගවාදී ගිනි නිවී ගාන්ධිගේ චිතකයෙන් නැගෙන ගින්න ඉන්දියාවේ තිබෙන එකම ගින්න බවට පත්විය. අපද තෝරාගත යුතුව තිබෙන්නේ ඒ මාර්ගයයි. අවසාන අරමුණ විය යුත්තේ ලංකාව සිය මව්බිම කොටගත් සියලූදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙමින් කුණුවී තිබෙන ආණ්ඩුක‍්‍රමය හා සමාජ ක‍්‍රමය වෙනුවට නව ආණ්ඩුක‍්‍රමයක් හා නව සමාජ ක‍්‍රමයක් ඇතිකර ගනිමින් සියලූදෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතුවන නව ශ‍්‍රී ලංකා රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීමය.