රාවය

තවමත් කල් පසුවී නැත

තවමත් කල් පසුවී නැත

 

මෙතෙක් කලක් පැවතුණාට වඩා වැඩි පීඩනයක් මේ දිනවල ආණ්ඩුවට එල්ල වී තිබේ. ඒ ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ විමර්ශන කමිටුව නම් කිරීමත්, ඔවුන් සිය විමර්ශන කටයුතු ජූලි මාසයේ දී අරඹන බව ප‍්‍රකාශයට පත්කිරීමත් නිසාය. එම කමිටුව පිළි නොගැනීමටත්, රට තුළට ඇතුළු වීමට ඔවුන්ට වීසා නිකුත් නොකිරීමටත් ආණ්ඩුව තීරණයක් ගත්තේ ය. එහෙත්, තවමත් කමිටුව වීසා සඳහා නිල ඉල්ලීමක් කර නැති බැවින් එම අවස්ථාව විවෘත ව තිබේ.

ආණ්ඩුව මෙම විමර්ශනයට විරුද්ධ වීමෙන් බලාපොරොත්තු වන යහපත් ප‍්‍රතිඵලය කුමක්දැ’යි පැහැදිලි නැත. මන්ද, එසේ විරුද්ධ වීමෙන් ලැබෙන්නට නියමිත සියල්ල ම අයහපත් ප‍්‍රතිඵල නිසා ය. විමර්ශනයට විරුද්ධ වීම සඳහා ආණ්ඩුව දක්වන රටක ස්වෛරීභාවය පිළිබඳ තර්කයේ කිසිම වැදගැම්මක් නැත. එක්සත් ජාතීන්ගේ ක‍්‍රියා පිළිවෙතකට එරෙහිව ඉදිරිපත් නොකළ යුතු ම වැරදි තර්කයක් හැටියට දැන් ස්වෛරීභාවය පිළිබඳ තර්කය සැලකෙයි. කෙටියෙන් කිවහොත් ස්වෛරීභාවය පමණක් මිනුම් දණ්ඩ ලෙස සලකා සිතන පතන රටකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය පවා දැරීමට ප‍්‍රායෝගික හැකියාවක් නැත.

විමර්ශනයට සහාය නොදෙන්නේ තමන්ට යුද්ධයේ දී සහාය දුන් සන්නද්ධ හමුදාවල පිරිස ආරක්‍ෂා කර ගැනීම සඳහා නම් එහි කිසියම් තර්කයක් ඇත. එහෙත්, 2010 දී සරත් ෆොන්සේකා සම්බන්ධ සිදුවීම්වල දී ආණ්ඩුව තමන්ගේ මේ තර්කයට ඇති වලංගුභාවය ද නැති කර ගත්තේ ය.

මේ අනුව පෙනෙන්නේ, එක්කෝ ආණ්ඩුව විමර්ශනයට විරුද්ධ වන්නේ හුදෙක් කිසිවකුගේ හෝ කණ්ඩායමකගේ කිසිම තර්කයක් හෝ පදනමක් හෝ නැති මුරණ්ඩුකමක් නිසා බව ය. නැති නම්, සඟවාගන්නට බොහෝ දේ ආණ්ඩුවට තිබෙන නිසා බව ය. සඟවා ගත යුතු බොහෝ දේ ආණ්ඩුවට තිබේයැ’යි සිතන්නට ද නොහැක්කේ මේ යුද්ධය මානුෂික මෙහෙයුමක් ලෙස හැඳින්වූ නිසාත්, එකුදු සිවිල් වැසියකුටවත් හානියක් නොවන බවට ආණ්ඩුව වගබලාගත් බව කියූ නිසාත්, යුද්ධයට යෙදවූයේ අතකින් තුවක්කුවත්, අතකින් මානව හිමිකම් ප‍්‍රඥප්තියත් ගත් සොල්දාදුවන් බව ජනාධිපතිවරයාම කියා ඇති නිසාත් ය. එවැනි සාධාරණ, පිරිසිදු ආණ්ඩුවක් මෙවැනි විමර්ශනයකට විරුද්ධ වන්නේ ඇයි?

විමර්ශන කමිටුවට නම්කොට තිබෙන විශේෂඥයන් දෙස බලන විට ඔවුන්ගේ පරීක්‍ෂණය කිසිම අන්තවාදීභාවයක් හෝ පක්‍ෂපාතීභාවයකින් නැතිව සිදුවිය හැකි බව පෙනෙයි. එහි සිටින්නෝ මේ යුගයේ මෙවැනි අභියෝගාත්මක කටයුතු පීඩාකාරී පසුබිමක් මතදී භාර ගෙන ඉතා හොඳින් අපක්‍ෂපාතීභාවය හා සාධාරණත්වය ආරක්‍ෂාවන සේ කටයුතු කොට ඇති විශේෂඥයෝ ය. නිලධාරීහු ය. සිය පරීක්‍ෂණය සියලූ පාර්ශ්වයන් සහභාගි කරගෙන, ඔවුන් සියල්ලන්ට ම නිසි සේ කන්දී, සාධාරණව පවත්වන්නට අවශ්‍ය වෘත්තීයමය පූර්ව සූදානමක් දැනටමත් ඔවුන් දක්වා තිබේ. ලෝකයේ මීට පෙර ද රටවල අකමැත්තෙන් මෙවැනි විමර්ශන කොට තමන්ට පළපුරුද්දක් ඇතැ’යි ඔවුහු කියති. ඒ අවස්ථාවලදී පරීක්‍ෂණවලට ඉඩ නොදීමෙන් හෝ විමර්ශකයන්ට අවලාද නැගීමෙන් හෝ ඔවුන්ගේ නම් කිලිටි කරන්නට උත්සාහ ගැනීමෙන් අවසානයේ පාරාජිකා වූයේ ඒ ඒ චූදිත රටවල් ම මිස මේ විමර්ශන කමිටු නොවන බව අප මතක තබා ගත යුතු ය.
ලංකාවේ පාලකයන් අකමැති වුවත් නැතත් දැන් රට ජාත්‍යන්තරය ඉදිරියේ තිබෙන්නේ අපකීර්තිමත් තැනක ය. කිසියම් රටකට එරෙහිව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්‍ෂණයක් පැවැත්වෙනවා ය කියන්නේ සුළුපටු අවමානයක් නොවේ. එවැන්නක් ලංකා ඉතිහාසයේ සිටි කවර පාලකයකුගේ කවර වීරවික‍්‍රමාන්විත ක‍්‍රියාවකටත් විශාලත්වයෙන් වැඩි අවමානයකි. ඒ ‘වැදගත්කම’ ලංකාවට ලැබෙන්නේ වත්මන් පාලකයන් නිසාය.

අවමානයෙන් ගැලවීමේ මාර්ග තවමත් විවෘත ය. පහසුම ක‍්‍රමය නම්, විමර්ශන කමිටුව සාදරයෙන් කැඳවා ඔවුන්ට විමර්ශනය සඳහා පහසුකම් සලසා තමන්ට කීමට ඇති කරුණු විමර්ශනයට ඉදිරිපත් කිරීම ය. එහි දී ජාත්‍යන්තර විමර්ශකයන් ආණ්ඩුව කියන දේ සලකා බලා පිළිගත හැකි නම් ආණ්ඩුව නිදොස්යැ’යි සහතික කරනවා ද ඇත. එසේ නොමැති ව රට තුළ එක පිට එක මැතිවරණ තැබීමෙන් වත්, ළෙහි අත්ගසමින් උද්වේගකාරී ව මහජනයාට ඇමතීමෙන් වත් මේ අවදානම සමනය කළ නොහැකි බව දැන් සිදුවෙමින් පවතින දේවලින් පැහැදිලි වෙයි.